නිර්ණායකවලින් බැටකන ලේඛකයෝ | සිළුමිණ

නිර්ණායකවලින් බැටකන ලේඛකයෝ

 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 13 වැනි වතාවට ය. මේ වන විට මෙම වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උදෙසා පොත් 12ක් නිර්දේශ වී තිබේ. ඒ පොත් 12 මතු දැක්වේ.

1) මියුරු හඬ - සුනේත්‍රා රාජකරුණානායක (විදර්ශන ප්‍රකාශන)

2) සප්න - ප්‍රියංකා අමරතුංග (සරසවි ප්‍රකාශන)

3) සන්තිපරං - චමිමින්ද වෙලගෙදර (සුරස ප්‍රකාශන)

4) ගුම් - බටුවන්ගල රාහුල හිමි (සදීපා ප්‍රකාශන)

5) ධරණි - කත්‍යානා අමරසිංහ (සූරිය ප්‍රකාශන)

6) අව පෑළවිය - දීප්ති මංගලා රාජපක්ෂ (ගොඩගේ ප්‍රකාශන)

7) මන්දාරම් උයන - දර්ශනා ශම්මි විජේතිලක (සුසර ප්‍රකාශන)

8) වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි (සරසවි ප්‍රකාශන)

9) අදිසි නදිය - කපිල කුමාර කාලිංග (සුරස ප්‍රකාශන)

10) මා - චූලාභය ශාන්ත කුමාර (සුරස ප්‍රකාශන)

11) පුළිඟු - ශාන්ති දිසානායක (සරසවි ප්‍රකාශන)

12) මලබාර් නෑයෝ - ප්‍රේමකීර්ති රණතුංග (දයාවංශ ජයකොඩි ප්‍රකාශන)

එහෙත් මේ වන විට මේ නවකතා දොළස අතරින් සුනේත්‍රා රාජකාරුණානායකගේ “මියුරු හඬ” කෘතිය තරගයෙන් ඉවත් කර තිබේ. ඊට හේතුව ලෙස පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, මේ නවකතාව පොතක් වශයෙන් පළ කිරීමට පෙර පුවත්පතක නවකතාවක් ලෙස කොටස් වශයෙන් පළ වී ඇතැයි දැන ගන්නට ලැබීමයි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ස්වර්ණ පුස්තක සම්මාන සඳහා පොත් තෝරා ගැනීමේදී සලකා බැලෙන කොන්දේසි අතරින් එක් කොන්දේසියක් වන්නේ මේ නවකතාව මීට පෙර පුවත්පතක හෝ සඟරාවක පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මුද්‍රණය නොවිය යුතුය යන්න ය. සුනේත්‍රා රාජකරුණානායකගේ “මියුරු හඬ” නවකතාව තරගයෙන් ඉවත් වීමට හේතු වූයේ එකී කතාවේ කොටස් කීපයක් “සැබෑ” පුවත්පතේ පළ වී තිබීම බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

“ස්වර්ණ පුස්තක සම්මාන සඳහා සලකා බලන සියලුම පොත් ගැන එකින් එක විමර්ශනය කිරීම අපහසු වුවත් පොත් 12 තේරුවාට පස්සේ ඒ සෑම පොතක් ගැන ම අපි අවධානය යොමු කරනවා. මේ පාර පොත් 12 තෝරලා නම් කළාට පස්සේ අපිට පැමිණිල්ලක් ලැබුණා; මියුරු හඬ නවකතාව මීට පෙර පත්තරයක පළ වුණා කියලා. අපිට ඒ පුවත්පත් පිටු කිහිපයක් ලැබුණා. අපි නවකතාවත්, පත්තර පිටු කීපයත් කියෙව්වා. කත‍ාවේ නම්, ඉදිරිපත් කිරීමේ ආකෘතික වශයෙන් වෙනස්කම් තිබුණත් කතා සන්දර්භය එකයි. කතාවේ පසුබිම එකයි.‍ අපි කතුවරියට දුරකථනයෙන් කතා කරලා විමසීමක් කළා. ඈ ඒ බව පිළිගත්තා. ඒ නිසා අපි මියුරු හඬ පොත තරගයෙන් ඉවත් කළා.” යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා ය.

මේ සම්බන්ධයෙන් “මියුරු හඬ” නවකතාවේ කතුවරිය වන සුනේත්‍රා රාජකරුණානායකගේ අදහස් විමසීමේදී ඈ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ පොත තරගයට ඉදිරිපත් කිරීම හෝ තරගයෙන් ඉවත් කිරීම ඇයට අදාළ නොවන බව සඳහන් කරමිනි. ඇගේ ප්‍රයත්නය වන්නේ සාර්ථක නවකතාවක් රචනා කිරීම පමණි. ස්වර්ණ පුස්තක සම්මානය සඳහා පොත් ඉදිරිපත් කරන්නේ පොත් ප්‍රකාශකයන් මිස ලේඛක ලේඛිකාවන් නොවේ. “මියුරු හඬ” නවකතාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විදර්ශන ප්‍රකාශකයන් විසිනි. විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩගෙන් අදහස් විමසුවේ ඒ නිසාය.

“පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ලියුමක් එව්වා 2018 ජනවාරි 01 වැනි දා සිට 2018 දෙසැම්බර් මාසයේ 31 වැනි දින දක්වා ප්‍රකාශයට පත් කළ නවකතා ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ඉදිරිපත් කරන්න කියලා. මෙය සෑම අවුරුද්දක ම සිද්ධ වෙන දෙයක්. අපි එක් පොතකට රු: 1000.00 බැගින් අයදුම්පත්‍ර පුරවලා බාර දෙනවා. මියුරු හඬ නවකතා‍වත් ඒ විදිහට බාර දුන්නේ. කාගේ හෝ පැමිණිල්ලක් මත මේ පොත තරගයෙන් ඉවත් කළා. අඩුම වශයෙන් එවැනි ගැටලුකාරි තත්ත්වයක් ගැන මගෙන් කිසිදු විමසීමක් කළේ නැහැ. අපිට කරුණු දැක්වීමට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ බව ලිඛිතව දැනුම් දුන්නේ නැහැ. 'මියුරු හඬ' නවකතාව පත්තරේ පළ වුණු නවකතාව ම නොවෙයි. ඊ‍ට වෙනස් විදිහටයි පොතට රචනා වී තිබෙන්නේ. පත්තරේ කොටස් එක්ක සංසන්දනය කරලා බැලුවා නම් තේරෙනවා.” යනුවෙන් ජනක ඉණිමංකඩ සිය අදහස් ඉදිරිපත් ක‍ළේ ය.

“පොත් බාර දෙන විට ප්‍රකාශකයා නීතිරීතිවලට කොන්දේසිවලට එකඟයි කියලා අපට සහතික කර දී තිබෙනවා. ඒ නිසා ඒ ගැන ප්‍රකාශකගෙන් විමසීමක් කිරීමට, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට අවශ්‍ය නැහැ. අනික අපි පත්තර කොටස් සමඟ පොත සංසන්දනය කරන විට අපිට ඔප්පු වුණා මේ කතා දෙකේ ම සන්දර්භය එකයි කියලා. අපි කර්තෘගෙන් විමසුවා ම ඈ ඒ බව පිළිගත්තා. ඈ කිව්වා පොත තරගයෙන් ඉවත් කරන්න කියලා. මේ සිද්ධිය මහ ලොකු, අමුතු සිද්ධියක් නොවෙයි. මීට ඉස්සෙල්ලාත් මෙවැනි සිද්ධි වුණා.” ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා ඊට පිළිතුරු බැන්දේය.

ඇත්ත වශයෙන් ම ස්වර්ණ පුස්තක සම්මානය උදෙසා නිර්දේශිත කෘති අතරින් පොත් ඉවත් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2016 වසරේදී ද 2015 පළ වූ පොත් අතරින් තෝරා ගත් පොත් 12න් පොත් 2ක් ඉවත් විය. ඒ සමන් වික්‍රමාරච්චිගේ “අසන්ධිමිත්තා” සහ කපිල කුමාර කාලිංගගේ “සැප්තැම්බරයේ දිග දවසක්” නවකතා ද්විත්වයයි. සමන් වික්‍රමාරච්චිගේ “අසන්ධිමිත්තා” නවකතාව කොටස් පළ වූයේ ජනරළ පත්‍රයේ ය. කපිල කුමාර කාලිංගගේ “සැප්තැම්බරයේ දිග දවසක්” කතාවේ කොටස් කීපයක් හෙළදිව සහ දිනමිණ පත්‍රවල පළ විය. එ‍හෙත් ඔවුන් දෙදෙනාම ඒ කතා සම්පූර්ණයෙන් ම ප්‍රතිරචනය කර පොත් වශයෙන් පළ කිරීමට ප්‍රකාශකයන්ට බාර දුන් බව ඔවුන් 2016 දී අප සමඟ පවසා ඇත. සමන් වික්‍රමරාච්චිගේ “අසන්ධිමිත්තා” නවකතාවේ ප්‍රකාශකයා වූයේ සරසවි ප්‍රකාශකයන් වන අතර සුරස ප්‍රකාශකයෝ කපිල කුමාර කාලිංගගේ “සැප්තැම්බරයේ දිග දවසක්” නවකතාවේ ප්‍රකාශකයා විය. 2016 දී ඒ ප්‍රකාශකයෝ දෙදෙනා එකී පොත් ද්විත්වය වෙනුවෙන් පෙනී නොසිටියහ.

“තරගයෙන් පොත් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලේඛකයන්ට ඉදිරිපත් වෙන්න බැහැ. ප්‍රකාශකයන් තමයි ඉදිරිපත් වෙලා ඒ ගැන කතා කළ යුත්තේ. කලින් අවස්ථාවේ ඒ පොත්වල ප්‍රකාශකයන් ඒ ගැන කතා කරන්නේ නැතිව ඇති. ඒත් ‘මියුරු හඬ’ නවකතාව මගේ ප්‍රකාශනයක්. ඒ නිසා මම ඒ පොත වෙනුවෙන් පෙනී සිටිනවා.” විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩගේ අදහස එසේය.

මීට පෙර තවත් අවස්ථාවකදී ජයන්ත චන්ද්‍රසිරි රචනා කළ “මහරජ ගැමුණු” නවකතාව තරගයෙන් ඉවත් කෙරුණේ එය කොටස් වශයෙන් දිවයින පත්‍රයේ පළ වී තිබුණු නිසා ය. එයට කිසිවකු හා හෝ ගෑ වගක් අපේ මතකයේ නැත.

තරගයකට ඉදිරිපත් වීමේදී තරගයට අදාළ කොන්දේසි සහ නීති රීති වලට එකඟ වීමට තරගකරුවන් සූදානම් විය යුතුය. තරගය අතරමැද කොන්දේසි වෙනස් කළ නොහැකිය. එසේ නම් සිද්ධ විය යුත්තේ තරගය ආරම්භ වීමට පෙර තරග කොන්දේසි වෙනස් කිරීමයි.

“අවුරුදු 12කට ඉස්සෙල්ලා තමයි මේ නිර්ණායක ඇතුළත් කළේ. අපි එයින් අදහස් කළේ සමහර ලේඛකයන් පත්තර පිටු ටික එකතු කර ගෙන ඇවිත් ප්‍රකාශකයන්ට පොත් ගහන්න බාර දීලා පළ කරගන්න පොත්, තරගයෙන් ඉවත් කිරීමටයි. මොකද සමහර කතා පත්තරවල පිටු පුරවන කතා මිසක් කලාත්මක වශයෙන් උසස් නවකතා නෙමෙයි. ඒත් ඒ කතා සන්දර්භය ආපහු අමුතුවෙන් ලියලා පළ කරන පොත්වලට මේ නිර්ණායකය අසාධාරණයි.” යනුවෙන් ජනක ඉණිමංකඩ තවදුරටත් සඳහන් කළේය.

තරග කොන්දේසි වෙනස් කිරීම කාලෝචිත බව අපි ද පිළිගනිමු. අනෙක් කරුණ වන්නේ පුවත්පත්වල කොටස් වශයෙන් පළ වන නවකතා නිර්මාණාත්මක ගුණයෙන් හීන හුදෙක් පිටු පුරවන කතා පමණක් ද යන්න ය. චාල්ස් ඩිකන්ස්, ලියෝ ටෝල්ස්තෝයි වැනි විශ්ව කීර්තියට පත් ලේඛකයන් පුවත්පත්වලට කොටස් වශයෙන් ලියූ නවකතා විශිෂ්ට කෘති වශයෙන් එළිදැක්වී තිබෙන බව ද අප අමතක නොකළ යුතුය.

කෙසේ නමුදු මෙවැනි සිදුවීම්වලින් අපහසුතාවට පත් වන්නේ ලේඛක ලේඛිකාවන් ය. පොත් තරගයට ඉදිරිපත් කරන්නේ පොත් ප්‍රකාශකයන් ය. පොත් එයින් ඉවත් කෙරෙන්නේ පොත් ප්‍රකාශකයන්ගේ අඩුලුහුඬුකම් නිසා මිස ලේඛකයන්ගේ වරදකින් නොවේ. එහෙත් පොත් තරගයෙන් ඉවත් කළ විට සමාජගත වන්නේ අසවල් ලේඛකයාගේ පොත, අසවල් ලේඛිකාවගේ පොත වශයෙනි. එය ලේඛක ලේඛිකාවන්ට හොඳ දෙයක් නොවේ. සංවිධායකවරුන්ගේ වරදින් ලේඛක ලේඛිකාවන් දඬුවම් විඳිය යුතු නැත. අනෙක් අතට ඒ කොන්දේසි ප්‍රශ්නය පාඨකයන්ට කිසි සේත් අදාළ නැත.

මේ අතරවාරයේදී “මියුරු හඬ” නවකතා රචිකාව වන සුනේත්‍රා රාජකරුණානායක විදෙස් සංචාරයකට සූදානම් වන්නේ ඇගේ පොත තරගයෙන් ඉවත් වීම කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි. “අනේ මාව ඕවාට පටලවා ගන්න එපා.” ඒ ඇගේ ප්‍රකාශයයි. එහෙත් මේ අවස්ථාවේදී ඈ පුංචි අදහසක් ඉදිරිපත් කළාය.

“මම 2018 අවුරුද්දේ පොත් 2ක් ප්‍රකාශයට පත් කළා. එකක් ‘මියුරු හඬ’. අනික ‘ශ්‍රී ශාන්ත්’. මේ රටේ සිද්ධ වෙන ධර්ම ව්‍යාපාරය ගැන ප්‍රශ්න කරමින් ලියූ නවකතාවක් තමයි ශ්‍රී ශාන්ත්. ඇත්තට ම මම හිතුවෙ මියුරු හඬ නෙමෙයි, ශ්‍රී ශාන්ත් පොත පොත් 12ට තේරෙයි කියලා. ඒත් ඒ පොත තේරුණේ නැහැ.” ඇගේ ප්‍රකාශය සාහිත්‍ය සම්මාන සම්බන්ධයෙන් අප වෙනත් මානයකට යොමු කරනු ඇත. දහසින් බැඳි පියලි ත්‍යාග වශයෙන් පිරිනමන මේ ධනේශ්වර සමාජයේ රජයන වෙළෙඳ තරගය හමුවේ සිදු වන පරිහානිය ගැන අප පුදුම විය යුතු නැත. එහෙත් ලේඛකයන් එහි ගොදුරු බවට පත් වීම නම් කනගාටුදායකය.

(සංවාදයට විවෘතයි)

අදහස්