සර­ච්ච­න්ද්‍රට බැණ වැදු‍ණත් දුකට පිහිට වූ සිසිර කුමාර මානි­ක්ක­ආ­රච්චි | සිළුමිණ

සර­ච්ච­න්ද්‍රට බැණ වැදු‍ණත් දුකට පිහිට වූ සිසිර කුමාර මානි­ක්ක­ආ­රච්චි

“හිතට එකඟව ඇත්ත කතා කිරීම නිසා ක්‍රිස්තු සාමිදරුවන්ට කුරුසයේ ඇණ ගැසුම්කා මරණයට පත්වන්නට සිදුවුණා නම්; සොක්‍රටීස්ට සියතින් වස බී දිවි නහගන්නට නියම වුණා නම්; ගාන්ධි මහත්මාට වෙඩිකා පරලොව යන්නට සිද්ධ වුණා නම්; ජෝන් කෙනඩිගේ පණ නල මූණිස්සම් අතරේ සැඟවුණා නම්; මාටින් ලුතර් කිංට නොසිතූ මරණයක් අත්පත් වුණා නම්; අති දීර්ඝ සංසාර ගමනක යෙදී සිටින සොච්චම් මිනිහකුට මරණය කවර අරුමයක්ද?

කඳෙන් ඔළුගෙඩිය කැපී වෙන්වී ගියත් ඇත්ත කියමි. අත්වන ඉරණම භාර ගනිමි!

“සාගරයක් මැද අමන රටක් ඇත!”; “මේ කොයි යන්නේ”; “කියග මගිය”; “යනු කී හෙයින්”; “මා දුටු වියට්නාමය”; “අපේ පොතේ ඔහොම නැතේ!” “ඔන්න ‍ඔහොමයි උනේ!”; “මනෝසීල”; “සාහිත්‍ය කොල්ලය” “ජානකීහරණය”; “හඳේ ලේ”; “මෙහෙවු රටේ”; “දෛව විපාකය” ආදී කෘතීන් පළ කළ සිසිර කුමාර මානික්කආරච්චි මහතා නිර්භීතව, හිතට එකඟව ලේඛන කලාවේ යෙදුණු පත්‍රකලාවේදියෙකි. කුමන මතය දැරුවද ඔහු ප්‍රතිපත්ති ගරුක නිර්භය මිනිසෙකි. ඒ බව ඔහු ඉහතින් කී වදන් මාලාවෙන් මොනවට විද්‍යාමාන වේ.

පේරාදෙණිය ගුරුකුලයට විරුද්ධ ව “සාහිත්‍ය කොල්ලය” නමින් නිර්දය ලෙස පහර ගසන කෘතියක් ඔහු රචනා කළේ වංශනාථ දේශබන්ධු නමිනි. ඒ 1961 වසරේදී ය. ඔහු මේ කෘතියේ නිමිත්ත ගැන ලියා ඇත්තේ සිංහල සාහිත්‍යාර්ණවයෙහි රුවන් නැවක් බඳුව - නූතන යුගයේ භාෂා සාහිත්‍ය කලා පෝෂණයට අතුල්‍ය සේවයක් සලසමින් වැජඹෙන සිංහලයේ ජීවමාන විද්‍යා චක්‍රවර්තීන් වූ අසහය ලේඛක හේමපාල මුනිදාස ශූරීන්ගේ දිගු වැකි සහිත වාක්‍ය වලිනි.

“සිංහල සාහිත්‍ය වංශයේ පෙර ගමනක ස්වරූපය පෙන්වන්නට තැත් කරමින් එය අමු තිත්ත කතා වැලකට පෙරළා ජාතික අපරාධයක් සිදු කරන්නට මාන බලන ඊනියා තාත්විකවාදීන් හට සාහිත්‍ය ක්ෂේත්‍රය දඩබිමක් වන්නට ඉඩකඩ සැලසෙන පරිද්දෙන් පුද්ගලයන් දෙදෙනකුගේ දුෂ්ට කුමන්ත්‍රණයකින් ආරම්භ කොට මැදහත් විචාරකයන් හට නොදැනෙන සේ මෙතෙක් කල් හොර රහසේ කරගෙන ගිය සාහසික සාහිත්‍ය කොල්ලයක තොරතුරු හෙළිදරව් කිරීමකි. විසිවැනි සියවසේ නවකතාවට, කෙටිකතාවට, කවියට, දෘශ්‍ය කාව්‍යයට, විචාරයට හා වියත් බස් වහරට උපන් හපන්නුන් අසුවල් දෙතුන් දෙනා පමණකැයි ද සෙස්සන් පුස්සන් යයි ද වික්‍රමසිංහ - සරච්චන්ද්‍ර කල්ලියට අයත් හන්තානවාදීන් අනාගතයේදී සාහිත්‍ය වංශ කථාවට ලියන අටුවා අමූලික ගජබින්න බව පෙන්වා තැබීමත්, රජයෙන් හා සමාජයෙන් අපේ සාහිත්‍ය කලාවේදීන්ට පිරිනැමෙන තැන් බොරුවෙන් කොල්ලකා ගන්නා අන්දම අනාවරණය කිරීමත් බලවත් සාහිත්‍ය සේවයක් බව ‘සාහිත්‍ය කොල්ලයේ’ නිමිත්තයි.

‘සාහිත්‍ය කොල්ලය කෘතියෙන් මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර ඇම්.ජේ. පෙරේරා, රෙජී සිරිවර්ධන, නන්දසේන රත්නපාල, ආරිය රාජකරුණා, එච්.එම්. ගුණසේකර, පී. වැලිකල ආදීන්ට මෙම කෘතියෙන් පහරදී ඇත.

වංශනාථ දේශබන්ධු හෙවත් සිසිරකුමාර මානික්කආරච්චි කවුද?

මාතර වැලිගම උපත ලබා ගමේ පාසලෙන් හා වැලිගම මෙතෝදිස්ත පාසලෙන් ඉගෙනුම ලැබූ සිසිර කුමාර මානික්කආරච්චි ගමේ සංස්කෘතියේ හරය හඳුනාගත්තේ වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරයේ බද්දේගම ධම්මරතන හිමියන්ගේ පා සෙවනෙහිය. පාලි, සංස්කෘත වැනි භාෂා ප්‍රගුණ කොට ඉන්පසු මැතෝදිස්ත පාසලෙන් මැතෝදිස්ත ආගම ගැනත් පුළුල් අව‍බෝධයක් ලැබූ ඔහුට කලාව පිළිබඳ ඇල්ම ඇති වූයේ ගම්මඩු, බලි තොවිල් අසුරෙනි.

“මම ගමේ බලි තොවිල් බලා ගෙදර ආවම තාත්තා බැණ වැදුණා. නමුත් අම්මා මගේ කලාත්මක අදහස්වලට අනුබල දුන්නා. ලිවීමේ හැකියාව පාසල් යන කාලයේ සිටම මා තුළ තිබුණා.‍ පස්වන පන්තියේදී මා ලියූ ‘වැස්ස’ කවි පන්තිය සිංහල ගුරුවරයා අගය කළා. ඒ අගය ඔස්සේ මම ලේඛන කලාව මුවහත් කර ගත්තා. මේ කාලයේ මගේ ලිපි ‘සිංහල බෞද්ධයා’ පුවත්පතට ලිව්වා.” කුඩා කාලය ගැන කතා කරමින් ඔහු මට කීවේ 1978 වසරේ ඔක්තෝබර් මාසයේ පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමිනි. ඒ මහතාට ජනාධිපති සම්මානය හිමි වී දින දෙකට පසු ‘සරසවිය’ පත්‍රය වෙනුවෙන් හමුවූ අවස්ථාවේදී ය.

ඒ මහතා හාපුරා කියා රැකියාවක් සොයාගෙන කොළඹට පැමිණ වරායේ කම්කරුවන් භාර කොන්ත්‍රාත්කරුවෙකුගේ ලිපිකරුවෙකු ලෙස ය ජීවන වෘත්තිය අරඹන්නේ. පසුව හෙදි සේවයට බැඳී කලක් සේවය කළ ඔහු නාවික සිවිල් ඉංජිනේරු ලිපිකරු සේවයේ යෙදී සිට යුද්ධය අවසානයත් සමඟම ‘සිංහල බෞද්ධයා’ පුවත්පතට බැඳී ඇත.

මානික්කආරච්චි මහතා පුවත්පත් ලේඛන කලාවට හුරු කළේ ඩේවිඩ් කරුණාරත්න මහතා බවත්, හේමපාල මුනිදාස මහතා නිසා තම හැකියාවන් ඔප මට්ටම් වූ බව කෘතවේදීව මතක් කළේ ය. මේ ගුරුවරුන් යටතේ පැරණි සාහිත්‍යයත්, කාව්‍ය රචනයත්, ලේඛන කලාවත් ඔහු දියුණු කර ගත්තේ ය.‍ එහි ප්‍රතිඵලයක් වූයේ ‘ජානකී හරණය’ කෘතිය පරිවර්තනය කිරීමය. ඔහු නාට්‍යකරුවකු නළුවකු ලෙස ප්‍රකට වූයේ පනහ දශකයේ දී ය. උපාලි වනසිංහගේ ‘දස්කොන්’ ‍ෙව්දිකා නාට්‍යයේ ඔහු නරේන්ද්‍රසිංහ රජු ලෙස රඟපෑ අතර, ලිවිනිස් පෙරේරාගේ ‘දොම්පෙ ආයා’ නාට්‍යයේ ද රඟපෑමෙන් පසු ගුවන් විදුලියේ නාට්‍ය රචකයකු විශේෂාංග ලේඛකයකු ලෙස කටයුතු කොට චිත්‍රපට නළුවකු ලෙස 1952 දී ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයේ සිල්වාගේ චරිතයෙන් ජනප්‍රිය විය. ඒ අතර ‘ගනුදෙනුව’ හා ‘විදුහල් කුමාරි’ නාට්‍ය රචනා කර ඇත.

1955 වසරේ ලේක්හවුසියේ ‘ජනතා’ පුවත්පත මඟින් චිත්‍රපට කතා තරගයක් පවත්වා ඇත. ජයග්‍රාහී චිත්‍රපට කතාවට රු.‍ 2000 ක් පිරිනමන බව ද ප්‍රකාශයට පත් විය. ජයග්‍රාහී චිත්‍රපට කතාව සිනමාවට නඟන බවත් එම රු. 2,000 ද තමා විසින් පිරිනමන බවත් සිංහල චිත්‍රපට කලාවේ පියා ලෙස සැලකිය හැකි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා නළුවකු වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිවේදනය කළේ ය. ඒ අනුව ‘ජනතා’ චිත්‍රපට කතා තරගයෙන් තරුණ ලේඛකයකු මුල්තැනට තේරී ඇත. මානික්කආරච්චි ලේඛකයා ලියූ ‘දෛව විපාකය’ චිත්‍රපට කතාවට මුල් තැන හිමි ය. මේ කථා තරගයෙන් දෙවන තුන්වන හා හතර යන ස්ථාන ලැබී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කවියකු හා පත්‍ර කලාවේදියකු වන සෝමවීර චන්ද්‍රසිරි, පාසල් ගුරුවරයකු වූ ජේ. සෝමසිරි හා රජයේ ලිපිකරුවෙකු වූ දෙහිවල ජේ.ඒ.සී. ජයසූරිය යන කතාකරුවන් ය. තරගයට ඉදිරිපත් ව‍ූ කතා 333 අතරින් තෝරාගත් කතා 36 අතුරින් ජයග්‍රාහකයන්. තේරූ විනිශ්චය මණ්ඩලයට ගුවන් විදුලි සේවය අධ්‍යක්ෂ ජනරාල් ඇස්.බී. සේනානායක, රජය ලලිත කලායතනයේ අධිපති ජේ.ඩී. පෙරේරා සහ නාට්‍ය නිෂ්පාදක ඩික් ඩයස් යන මහත්වරු ඇතුළත් වූහ. ජයග්‍රාහී චිත්‍රපට කතාව ලියූ සිසිර කුමාර මානික්කආරච්චි මහතා පවසා තිබුණේ රක්ෂාව නැති කාලේ ලියූ මේ චිත්‍රපට කතාව ලිවීමට හේමපාල මුනිදාස මහතාගෙන් ගුරු උපදෙස් ලැබුණු බවය. තවදුරටත් ඔහු මට එදා මෙසේ කීවේය.

“මම මේ පොත ලියන්ට හුඟක් මහන්සි ගත්තා. ජීවිතය පිළිබඳ සත්‍ය සිද්ධීන් ඊට අඩංගු කිරීමට මම විශේෂ උනන්දුවක් ගත්තා. රක්ෂාවක් නැතිව සිටි කාලයේදීයි මෙය ලීවෙ. ඒ නිසා අපේ රටේ දහස් ගණන් උගත් රක්ෂා නැති තරුණයින් මුහුණපාන දුෂ්කරතාවන් ගැන හොඳාකාර කරුණු ඉදිරිපත් කිරීමට පුළුවන් වුණා. මම ද වචනයේ අර්ථයෙන් ම සිංහල වූ චිත්‍රපට කතාවක් ලියන්නට මුළු සිත යෙදවීමි. ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සොයා ගන්නට මට වැඩිපුර යන්නට සිදු නොවීය.

අප අවට පරිසරයේම කොතෙකුත් දක්නට ලැබෙන තාත්වික සිද්ධීන් හා දිළිඳු ජනතාව විඳින දහසක් දුක් ගැහැට එක් කොට ගත් කළ මට මගේ කෘතිය සඳහා ඉන් යොදාගත හැකි වූයේ අල්ප මාත්‍රයක් පමණකි. වරින් වර රක්ෂාව නැතිවී යාමත්, ජීවිතයේ දහසක් කම්කටොලුවලට මුහුණපෑ‍මත් නිසා මගේ අත්දැකීම් හා පොදු ජනතාව අතර නිරතුරුව විද්‍යාමාන වන දුක් වේදනාවන් ගෙන් අංශු මාත්‍රයක් පිළිබිඹු කරමින් කතාවක් ලියන්නට මට හැකි විය.

“දෛව විපාකය” කතාව බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න විසින් 1956 වසරේදී සිනමාවට නැඟීය. එය අතිශයින් ජනප්‍රිය චිත්‍රපටයක් විය. ඉන්පසු ඔහු ලේක්හවුසියට බැඳී ජනතා කර්තෘ මණ්ඩලයට ද, සිළුමිණ කර්තෘ මණ්ඩලයට ද බැඳී දිනමිණ විශේෂාංග ධූරයට පත් විය. 1977 ඔහු ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස පත් විය. 1978 වසරේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් ජනාධිපති සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.‍ ඔහු පසුව ‘ගැහැනු ගැට’ චිත්‍රපටයේ කතාව හා දෙබස් රචනය කොට එහි එන දොන් සැමුවෙල් අලකේෂ්වර ගේ චරිතය රඟපෑවේය. මානික්කආරච්චි මහතා ගීත රචකයෙකු ද වෙයි. ප්‍රවීණ ගායිකා සුජාතා පෙ‍රේරා (පසුව අත්තනායක) වයස අවුරුදු 12 දී ගුවන් විදුලියේ ගායනා කළ මුල් ගීතය වූ ‘මල් සේ දිලේවා ලෝ තුළ’ ගීතයේ රචකයා ද වූ ඔහු ‘ගැහැනු ගැට’ චිත්‍රපටයේ සිසිර සේනාරත්න ගැයූ ‘රන් වළා තොටිල්ල’, එච්.ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ද ලැනරෝල් (පසුව ගුණතිලක) ගැයූ ‘ආලේ මිහිර පෙන්නා සියතුන් නාද දෙන්නා’ මොහිදීන් බෙග් ගැයූ ‘නයනහාරි පෙම් කුමාරි ආදරේ’ ජනප්‍රිය ගීතවල ද රචකයා විය. ඒ.ජේ. කරීම් ගැයූ මේ ගීතයේ ද රචකයා ඔහු ය.

‘අඩු කුලේ කියලා අසරණයා

මැඩලන්නෙ මෙලෝකේ වසලයා

වංසේ කුල භේදේ නි ලොවේ

නොම වේ බමුණා හෝ වසලයා

1973 ලේක්හවුසිය රජය භාරයට ගැනීමේ ආරංචිය ලැබී මුලින් ම තම මේසය අස්කර තබා ගත් ඔහු පාලන අධිකාරිය සේවකයන්ගෙන් සමුගැනීමට පෙර කාටත් නොකියාම පිටව ගියේ මානික්කආරච්චි ය. ඔහු රසවත් මිනිහෙකි. එදා ඔහු සමඟ කර්තෘ මණ්ඩලයේ සිටි අය අතර ආචාර්ය එඩ්වින් ආරියදාස, එඩ්මන්ඩ් රණසිංහ, සිරි ගුණසිංහ , තිලකරත්න කුරුවිට බණ්ඩාර, ඩී.සී. කරුණාරත්න, ධර්මවර්ධන අදත් ක්‍රියාකාරී මාධ්‍යවේදීන් ය.

ඔහු විසින් ලියූ ‘මනෝරාජ්ජේ’ (1973) කෘතියේ පෙරවදනින් මෙසේ පාඨකයාගෙන් වචනයකට අවසර පැතීය.

“සාගරයක් මැද අමන රටක් ඇත” පොත කියවූ මගේ දයාබර පාඨකයෝ, තවත් එවැනි ම පොතක් ලියන්නැයි දිගින් දිගටම මගෙන් ඉල්ලා සිටියහ. මුල් බැසගත් අවිචාර අකල්පයනට හා ගණන්කාරකම් බලපුළුවන්කාරකම සර්වාධිකාරිකම් වලට ද, විරුද්ධව, අත්වන ඉරණම ගැන තැකීමක් නැතිව, පිටකොන්ද කෙලින් තියාගන කිව යුතු දේ කියන්නට - සතර අගතියෙන් තොරව කතා කරන්නට ගුණත් අගුණත් දෙක ම පෙන්වා දෙන්නට හුඟ දෙනෙකු ඉදිරිපත් නොවන නිසාත් එවැනි බොරු කඩදාසි මාලිගා කැඩී බිම වැවෙනු දකින්නට මේ රටේ විචාර බුද්ධිය ඇති පිරිස් කැමති නිසාත් එම ඉල්ලීම කෙරුණේ යයි සිතමි.”

1976 ඔහු ලියූ ‘මේ කොයි යන්නේ’ කෘතියෙන් පාඨකයන් ගෙන් සුළු උදව්වක් ඉල්ලයි.

“ඔබෙන් එක ඉල්ලීමක් කරන්නම්. පොතක් මිලදී ගැනීමෙන් ඔබ ලේඛක සංහතියටම කරන්නේ ලොකු ආධාරයකි. අද වැනි වකවානුවක පොතක් ලියා පළ කරවන්නේ කොතරම් අමාරුවෙන් ද?

කරුණාකර ඔබේ පොත නිකම් බලා දෙන්නට නිකමුන්ට දෙන්නට එපා. නැති බර කෙනෙකුට දුන්නාට කාරියක් නැත. ඒත් දේවාල ගානේ තැබෑරුම් ගානේ, සමාජ ශාලා ගානේ මුදල් තැබෑරුම් ගානේ, සමාජ ශාලා ගානේ මුදල් නාස්ති කරන අමනයන්ට පොතක් නොමිලේ බලන්නට දෙන්නේ ඇයි?

ලේඛකයන් නසන මේ නිවට පුරුද්ද නැති කිරීමට ඔබත් ආධාර දෙන්න. නොමිලයේ බලන්නන්ට ඔබේ පොත දෙන්නට එපා. මෙය මානික්කආරච්චි ඔබෙන් කළ ඉල්ලීමකැයි පිනාලාට කියන්න.”

මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් 1973 වසරේ ලියූ ‘බවතරණය’ ට දැඩි ලෙස නිර්දය පහර දුන්නේ, බුදු සිරිත අලළා ලියූ ජයසේන ජයකොඩිගේ ‘අමාවැස්ස’ නවකතාව අහස උසට නංවා තැබීමෙනි.

“බවතරණය’ හා මානික්කආරච්චි අතර මෙම ලියූ පෞද්ගලික අත්දැකීමක් ඇත.

1973 මුලින්ම ‘බවතරණය’ පිට වූ අලුත මාර්ටින් වික්‍රමසිංහ මා අත මානික්කආරච්චිට එහි පිටපතක් යැව්වේ, “ඔය මිනිහා ‍ඕකට හොඳට බන‍ීවි” කියා සිනාසෙමිනි. ඒ කාලයේ ලේක්හවුසියේ කර්තෘ මණ්ඩලයක සේවය කළ මා ‘බවතරණය’ නවකතාවේ පිටකවරය ද නිර්මාණය කර තිබුණි.

මම ‘බවතරණය’ දිනමිණ විශේෂාංග කර්තෘ මානික්කආරච්චි අතට දුනිමි. ඔහු මට නිතර විහිළු කරන වැඩිමහල් හිතවතෙකි. ඔහු මට ආදරයට කතා කරන්නේ “උඹ” කියා ය.

“උඹද? මේකෙත් කවර ඇන්දේ?”

“ඔව්”

“එහෙනං උඹත් වික්‍රමසිංහ එක්කම අපාගත වෙන්න ලැහැස්තිවෙලා හිටපං” ඔහු එදා උපහාසයෙන් සිනාසුණු අයුරු අදත් මට සිහිපත් කර ගත හැකි ය.

මහාචාර්ය තිස්ස කාරියවසම්, මානික්කආරච්චි මහතා ගැන වරක් කී කතාවක් මට සිහිපත්වෙයි.

“මානික්කආරච්චි මා සමඟ ළෙන්ගතු වුණේ ආචාර්ය පී.බී. සන්නස්ගලගේ හඳුන්වාදීමෙන්. මම ඒ කාලේ හිටිය නේවාසිකාගාරයට යාර 100 ක් එහා ඔහුගේ නිවස තිබුණේ. ඇතැම් හවසක මම ඔහු ඉන්න තැනට ගියා. අපි සාහිත්‍ය ගැන කතා කර කර ඉන්නවා. මට දිනමිණට විචාර ලියන්න කියලා පොත පතක් දෙනවා.”

“ඔය කාලේ මහාචාර්ය සරච්චන්ද්‍රත් මානික්කආරච්චි මහත්තයත් සාහිත්‍ය සතුරෝ හැටියට නේද හිටියේ” මම ඇසුවෙමි.

“මේ දෙන්නා ජන්මාන්තර වෛරයකින් හිටියෙ. ඒත් සරච්චන්ද්‍ර මහත්තයා මාව හම්බවෙන්න නේවාසිකාගාරයට එන බව ඔහු දැන හිටියා. ඒ ගැන ඔහු මගෙන් කිසිවක් ඇහැව්වේ නැහැ. දවසක් සරච්චන්ද්‍ර මහත්තයාගේ තාත්තා අසනීප වෙලා කළුබෝවිල රෝහලට ඇතුළත් කරගන්න බැරිව හිටියේ. ඔහු සිටියේ සිත්තැවුලකින් නිසා රථය පැදවූයේ මා විසින්. රෝහලට ගියාම සරච්චන්ද්‍ර මහත්තයා ඇසුවා “තිස්ස තාත්තාට ඒ තරම් හොඳ නෑ නේද?” කියලා. ඒ අවස්ථාවේ තාත්තාට ඒ තරම් හොඳ තත්ත්වයකින් හිටියෙ නැහැ. අපි දන්න හඳුනන කෙනෙක් හිටියෙත් නෑ. සරච්චන්ද්‍ර මහත්තයා අසීරු තත්ත්වයක හිටියේ.

“සර්, එන්න කැමති වෙනවා නම් මගේ යාළුවෙක් ඉන්නවා, එයා මේ රෝහලේ පාලන කමිටුවක ඉන්නවා. යමක් කමක් කරන්න පුළුවන් කෙනෙක්.”

“කවුද ඒ...”

“සිසිර කුමාර මානික්කආරච්චි.”

“කමක් නෑ... යමු. මගේ තරහක් නැහැ.”

මම සරච්චන්ද්‍ර මහත්තයව මානික්කආරච්චි මහත්තයලගෙ ගෙදර එක්ක ගියා. එහෙ ගියා ම දෙන්න බොහෝ කාලයක ඉඳල දැනගෙන හිටිය අතීත මිත්‍රයෝ දෙදෙනෙක් වගේ බදාගෙන පිළිගත්තා. සාහිත්‍ය ගැන මත ප්‍රකාශවල ද විවිධ විවේචනවලට දෙදෙනා ගැටුණත් මිත්‍රයන් වශයෙන් මනුෂ්‍යයන් වශයෙන් කොතරම් උතුම් ගතිගුණ තියෙනවද කියලා එදා මට වැටහුණා. සරච්චන්ද්‍ර මහත්තයා කාරණේ කිව්වා.

“ඩොක්ටර් ඉන්න මම කමිසයක් දාගන්නකන්” කියලා මානික්කආරච්චි ගෙට ගියා. අපට මොනවද බොන්නත් ගෙනත් දුන්නා.

මම සරච්චන්ද්‍ර මහතාගේ ෆොක්ස්වොගන් කාර් එක පදවනවා. මානික්කආරච්චි මහත්තයා ඉස්සර අසුනේ. සරච්චන්ද්‍ර මහතා පිටුපස අසුනෙ ඉඳගෙන.

රෝහලේ මුරකරුවා මාණික්කආරච්චි මහතා දැක්කාම ගේට්ටුව ඇරියා. එතැන ඉඳලා රෝහල පුරාම ලොකු ආධිපත්‍යයක් දැරූ ඒ මහතා කෙළින් ම රෝහල් අධිකාරි දොස්තර මාලිංග ප්‍රනාන්දු ළඟට ගියා. එතැන ඉඳලා අපිට ඕන විදිහට ලෙඩාගේ කටයුතු කරගන්න පුළුවන් වුණා. මානික්කආරච්චි මහතාගේ විචාරයට පෞද්ගලික ප්‍රශ්න බලානොපෑ බව මින් මොනවට පැහැදිලි වෙනවා.” මහාචාර්ය තිස්ස කාරියවසම් මා සමඟ කීවේ ය.

සිසිර කුමාර මානික්කආරච්චි නම් මේ අභීත ලේඛකයා අභීත පුවත්පත් කලාවේදියා මීට වසර 40 කට පෙර එනම් 1979 ජූනි 21 වැනිදා මිය ගියේ ය.

අදහස්