අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර | සිළුමිණ

අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදාව නිදන් කොට ඇති පොලොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අබියස 14 වන වරටත් සිදු කරනු ලබන ශ්‍රී දකුණු දළදා පෙරහර අනිද්දා (16 ) ඇසළ පුරපසළොස්වක පොහෝ දින පවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට සෝමවතී චෛත්‍ය රාජයා ඉදි කරන ලදි.

ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් මොහොතේ 04 වන දළදා පෙරහර පැවැත්වීමට 2009 ජුනි 07 වැනි පොසොන් පොහෝ දින සාකච්ඡා කරමින්, වනයේ සිටින අලි ඇතුන් නිසා පෙරහර අලි රහිතව පැවැත් විමටත් රන්සිවිගේ සහිත කරඬුව වාහනයක තබා වැඩම කිරීමටත් තීරණය කරණ ලදි. පසුදින උදයේ 6.30 ට පමණ කිරි ආහාර පූජාව රැගෙන යන මොහොතේදී චෛත්‍ය රාජයා දෙසින් බෙරහඬක් ඇසී බලන විට චෛත්‍ය රාජයා තුළින් කරඬුවක් තබා ගත් අලි ඇතුන් සහිත පෙරහරක් එන බව පෙනිණි. නැවත එම ජූනි මස 28 දින රත්‍රී 7.45 ට පමණ ගිලන් පස පූජාව තබන මොහොතේ පූජාවට සහභාගි වූ පිරිස අතර, අවුරුදු 03 මාස 06 වයසැති කුඩා දරුවෙක් බියට පත්වනු දැක, අතේ තිබූ දුරකථන කැමරාවෙන් ඡායාරූපයක් අහඹුලෙස ගන්නා ලදි. “තාත්තේ මගේ ඇගේ රත්තරන් මාල වළලු දැමූ ලස්සන ඇදුමක් ඇන්දවූ සුදු ඇත් පැටියෙකු හැපීම නිසා මා බියට පත්වූයේ යැයි.” කුඩා දරුවා ප්‍රකාශ කළ ද අසා සිටි පිරිස එය පිළිගත්තේ නැත. . ගත් ඡායාරූපය දෙස බලන විට ඒ සියල්ලම සැබෑ විය.

මේ අවස්ථා දෙකම නිසා පෙරහර සඳහා ඇතෙක්ම යොදා ගතයුතුයැයි තීරණය කොට වර්තමාන බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හා හිටපු කෘෂිකර්‍ම නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහත්වරුන් මහනුවර ශ්‍රී දළදා පෙරහරේ කරඬුව වැඩම වන ඉන්දිරාජා හස්තිරාජයා රැගෙන ගොස් 2009 ජූලි 06 වන දින දළදා පෙරහර චෛත්‍ය රාජයා වටා ප්‍රදක්‍ෂිණා කොට ගෙවදීමත් සමඟම රාත්‍රී 01.00 ට පමණ එක් දළක් ඇති ඇත්පැටියෙක් චෛත්‍ය රාජයා වෙත පැමිණ පැයක් පමණ සිට කැලයට ගියේ ය.

පසුදින 07 වැනිදා ප.ව. 05.00 ට පමණ එක් දළක් සහිත අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවෙක් චෛත්‍ය රාජයා දෙසට පැමිණෙනු දැක මා ඉදිරියට යන විට මා සමීපයට පැමිණ හොඬවැල ඔසවා මා දෙස බලා සිටියේ ය. මවිතයට පත් මා 2013 වසරේ ඉන්‍දිරාජා හස්ථියා සහිතව පෙරහරේ කරඬුව රන්සිවි ගෙහි තැන්පත් කරන මොහොතේ කිහිපවතාවක් ම දළදා වහන්සේ සහිත කරඬුව චෛත්‍යරාජයාණන් වහන්සේට ඉහළ අහසේ දිස්වනු දැකීම වැනි ආශ්චර්යයමත් සිද්ධීන්ගෙන් ගහන බුදුරාජණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති මෙම සෝමවතී චෛත්‍යරාජයා අභියස මේ අයුරින් විශ්මයජනක සිද්ධීන් ඇතිවීමෙන් ඉතිහාසයේ ද මීටපෙර සඳහන් වු අයුරින් අදෘශ්‍යමාන බලවේග තුළින් පෙරහැරක් පැවැත් විය යුතු ආකාරය පෙන්වූයේ මෙම සෝමවතී චෛත්‍ය රාජයා සමීපයෙහි ශ්‍රී දළදා පෙරහැර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයැයි යන පණිවුඩය ලෝකයාට පෙන්නුම් කිරීම බව බව පෙනී ගියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බුද්ධ ශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා, හිටපු කෘෂිකර්ම අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඇතුළු සැදැහැවත් පිරිසද නන් අයුරින් පෙරහරට සම්බන්ධ වෙමින් පෙරහර දර්ශනීය අන්දමින් වාර්ෂිකව සිදු කිරීමටත් පටන් ගන්නා ලදි. 12 වන වරටත් පෙරහැර පවත් වන මොහෙතේදී පෙරහැර ගමන්කරන අවස්ථාවේදීත් රාත්‍රී 09.00 ට පමණ රශ්මි ධහරාවකින් බබලන දළදා වහන්සේ සහිත කරඬුවක් ඉහළ අහසේ ද චෛත්‍ය රාජ්‍යාගේ චූඩාමාණික්‍යද සමීපයෙහි අංග සම්පූර්ණ විෂ්ණු දෙවියන්ගේ රූපයද, චෛත්‍යාරාජයා වටා අහසේ විවිධ හැඩයන්ගෙන් යුක්ත දේව රූපයන් ද, අපවත් වී වදාළ සෝමවතියේ නාහිමි දෙනම චෛත්‍ය රාජයාට ඉහළින් වැඳගෙන සිටින ආකාරය ද, බෝධීන් වහන්සේගේ අතුපතරින් දේවරූප 03 ක් දිස්වෙන ආකාරයේ ඡායා රූපගැනීමට ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමාට හැකි විය.

අනිද්දා16 වන ඇසළ පුර පසළොස්වක පොහො දින රාත්‍රී 08.00ට චෛත්‍යාරජයා සහිත මහමළුව වටා පෙරහර මාර්ගයෙහි ශ්‍රී දකුණු දළදා පෙරහරත්, මහා මුළුතැන් දළදා පූජාව ආදී ඇසළ පොහෝ දින සිදු කෙරෙන එම පින්කම් මාලාවට සම්බන්ධ වන ජනාධිපති තුමන් ප්‍රධාන මැති ඇමතිවරුන් ඇතුළු සකල ලාංකික ජනතාවට ශ්‍රී දකුණු දළදා වහන්සේගේ ආශීර්වාදය ලැබීමෙන් නිසි කලට වැසි ලැබී සකල ප්‍රාර්ථනා සමෘද්ධිමත් වී ඉමහත් යහපතක්ම සැලසේවායි ප්‍රාර්ථනය කරමි.

සෝමවතී රජමහ විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි

Comments