යළි නැඟී සිටිය හැකි වුණේ රටක් ලෙස අප එකට සිටි නිසයි | සිළුමිණ

යළි නැඟී සිටිය හැකි වුණේ රටක් ලෙස අප එකට සිටි නිසයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අපට ශක්තිමත්ව නැඟී සිටින්න හැකි වූයේ රටක් ලෙස සියලු දෙනා කැප වීමෙන් ක්‍රියා කළ නිසා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පසුගිය සිකුරාදා (12) අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමාටත් අමාත්‍යවරුන්ටත් විශ්වාසභංග යොජ්නාවක් ලෙස ඉදිරිපත් කළ චෝදනා පදනම් විරහිත බවට ඒ යෝජනාව පරාජය වීමෙන් පාර්ලිමේන්තුව තීන්දු කළ බවත්, පාස්කු දින ප්‍රහාරය සැල වූ මොහොතේ සිට රජයක් ලෙස ගත් පියවර මේ වන විට සමස්ත පාර්ලිමේන්තුවම පිළිගෙන ඇත බවත් එහිදී අගමැතිවරයා සඳහන් කළේය. රජය ගත් ඉක්මන් පියවර නිසා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතියේ රැහැනට හසු කරගැනීමට හැකි වූ බවත්, ඒ ගැන ආරක්‍ෂක අංශවලට ප්‍රශංසාව පුද කරන බවත් පැවසූ අගමැතිවරයා විපතට පත් අයට සහන සැලසීමට හා විනාශ වූ දේපළ යළි ගොඩනැංවීමට රජය ගත් පියවර නිසියාකරව සිදු වූ බව දැන් පාර්ලිමේන්තුවද පිළිගෙන ඇති බවද කියා සිටියේය.

අගමැතිවරයා මෙසේද පැවසීය: "මේ අතර තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සන්නිවේදනය නොවීම. ආරක්ෂක බුද්ධි මණ්ඩලයේ අවධානය මේ ගැන නිසි අයුරින් යොමු නොවීම.අප මුලින් කළේ ත්‍රස්තවාදීන් සොයාගැනීමේ මෙහෙයුමයි. අපට එය සාර්ථක කරගන්න පුළුවන් වුණා.

ඊට පසුව අපි බුද්ධි තොරතුරු සන්නිවේදනය නිසියාකාරව සිදු නොවීම ගැන හොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත්, එය නීත්‍යනුකූල බව අධිකරණයත් පිළිගෙන ති‍බෙනවා. අපට හංගන්න දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාව හමුවට යන්න බයක් නෑ. මාවත් කාරක සභාව විසින් කැඳවා තිබෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියනවා.

විශ්වාසභංග යෝජනාව විවාද කරද්දීත් වැදගත් කරුණු ගණනාවක් රටට හෙළි කරන්න අවස්ථාව ලැබුණා. මේ සත්‍යය අප හෙළිදරවු කරගන්නේ පුද්ගලයන් හෝ දේශපාලන පක්‍ෂ ඉලක්ක කරගෙන නොවෙයි. සත්‍යය හඳුනාගෙන, අඩුපාඩු වී ඇත්නම් අනාගතයේ එසේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමටයි.

තවත් කරුණක් කෙරෙහි මා ඔබේ අවධානය යොමු කරන්න කැමැතියි. මෙවැනි අනපේක්‍ෂිත විපතක් නිසා රටේ සියලු කටයුතු එක තැන හිර වනු ඇතැයි කියා සමහරු සිතුවා. එහෙත් අප ඊට ඉඩ දුන්නේ නෑ. අපේ ආණ්ඩුව ආර්ථික, සමාජීය හා සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට ගෙන ගියා; සමෘද්ධිය ලබා දුන්නා; ඉඩම් ඔප්පු ලබා දුන්නා; රැකියා දුන්නා; නිවාස දුන්නා. අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යළි ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කළා. ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් වන්න අප ඉඩ දුන්නේ නෑ. මේ සාර්ථකත්වය අත් කරගැනීමට හැකි වුණේ අප සියල්ල එකට එක් වී රට ගැන සිතමින් කටයුතු කළ නිසයි. ජය ගැනීමට තවත් අභියෝග අප ඉදිරියේ තිබෙනවා. කඩිනම් කළ යුතු කාර්යයන් තවත් තිබෙනවා. රට වෙනුවෙන් එකතු වී අපි ඒ සියල්ලත් සාර්ථක කරගනිමු.

Comments