තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

මාරියෝ පොරොන්දුව ඉටු කරලා

මාරියෝ ආනන්ද තමන්ගේ පියා වන ග්‍රේෂන් ආනන්දයන්ට වුණු පොරොන්දුවක් පසුගිය දිනක ඉටු කළා කියලා අපට ආරංචි වුණා. ඒ පොරොන්දුව මොකක්ද කියලා දැනගන්නට අපි මාරියෝට කතා කළාම ඔහු මෙහෙම කීවා. අපේ තාත්තා ඉන්නකොට මට කීවා ලතා මැඩම් එක්කයි ඇන්ජලින් මැඩම් එක්කයි ගීතයක් ගයන්න කියලා. මම තාත්තට එදා පොරොන්දුවක් වුණා ඒ ඉල්ලීම ඉටු කරනවා කියලා. විවිධ හේතු නිසා ඒ පොරොන්දුව ඉටු කරන්නට බැරි වුණා. ඒත් පසුගිය දිනක ඒ කටයුත්ත සඵල කරගන්නට හැකිවුණා. ඒ ලතා මැඩම් එක්ක ඇය ගැනම ලියවුණු 'සැළලිහිණි රැජිනියේ' කියන අලුත් ගීතය කළා. මේ ගීතය ලියවුණේ දැනට වසර පහකට පමණ ඉහතදී. එහි පද රචකයා සමන් චන්ද්‍රනාත් ගැනත් මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි.

ධනපාල උඩවත්තට සම්මානයක්

එදත් අදත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ප්‍රවීණ ගායක ධනපාල උඩවත්තට පසුගියදා සම්මානයක් ලැබුණා කියලා අපට දැනගන්න ලැබුණා. ඒ ගැනත් ඔහුගේ අලුත්ම තොරතුරුත් දැනගන්නට හිතාගෙන අපි ඔහුට කතාකළා. මානව හිතවාදී කීර්ති ශ්‍රී විභූෂණ සම්මානය පසුගියදා මට ලැබුණා. මේ මට ලැබුණු පස්වන සමමානය. ධර්ම ශක්ති සේවා පදනම තමයි මෙය සංවිධානය කරලා තිබුණේ. මීට පෙර රණවිරු ගීත සම්මානය, 2010 කොළොම්තොට භූෂණ සම්මානය, රාජ්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. සුපුරුදු විදියට සංගිත ප්‍රසංගවලට සහභාගී වනවා. මගේ රසිකයින් වෙනුවෙන් කළ 'මං ඉතාලියේ තනිවුණා' ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. you tube ඔස්සේ දැන් එය රසවිඳීමේ හැකියාව තියෙනවා. මේ ගීතය සංගීතවත් කළේ මගේ පුතා ගයාන් උඩවත්තයි.

චම්පාගෙන් අලුත් සින්දුවක්

ජනප්‍රිය ගායන ශිල්පීනී චම්පා කල්හාරිගේ හඬ මේ දවස්වල වැඩිය අසන්නට නො‍ලැබෙන්නේ ඇයි කියලා ඇයට ආදරය කරන රසික රසිකාවන් අපෙන් විමසනවා. ඒ ගැන චම්පාගෙන් ඇසු විට ඇය කීවේ මෙවැන්නක්. ඇත්තටම පසුගිය දවස්වල මට අසනීප වුණු නිසා අලුත් නිර්මාණ කරන්න බැරිවුණා. ඒත් මම අලුතින් කරපු 'යමුනා නදී' ගීතය මගේ රසිකයන්ට දැන් අසන්නට පුළුවන්. 'යමුනා නදී 'සඳහා වීඩීයෝ එකකුත් කරන්නට හිතන් ඉන්නේ. එය ළඟදිම රසිකයන්ට දකින්නට පුළුවන්. ඊට අමතරව මගේ අලුත්ම ගීතයක රෙකෝඩින් මේ දවස්වල කරගෙන යනවා. පසුගිය දිනවල රටේ ඇතිවුණු වාතාවරණයත් එක්ක ප්‍රසංග පැවැත්වුණේ අඩුවෙන්. ඒත් ඉදිරියේදි ප්‍රසංගවලට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අනෝමාට සම්මාන

පසුගියදා පැවැති හයවැනි 'සාක්' චිත්‍රපට උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය හිමි කරගන්නට ඇය සමත්වුණා. අනෝමට මේ සම්මානය හිමිවුණේ සංජීව පුෂ්ප කුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙනුයි. එම සම්මානය ඇයට තවත් වැදගත් වීමට හේතුවක් තිබුණා. ඒ තමයි එම චිත්‍රපටයේම සංස්කරණය කළ අජිත් රාමනායකට හොඳම සංස්කරණය හිමි සම්මානය හිමිවීම.

 

 

අදහස්