සෙනෙහෙලතාට මුණගැසුණු සීදූවෙන් ආ අලුත් හාදයා | Page 2 | සිළුමිණ

සෙනෙහෙලතාට මුණගැසුණු සීදූවෙන් ආ අලුත් හාදයා

එවක දිලුණු යසම තරු යුගල විජය හා මාලනියයි

විජය මාලනී සුසංයෝගයට අවසානයක් නම් නැත

සුගතපාල සෙනරත් යාපාගේ නවතම සිනමාපටය සඳහා නවක නළු නිළියන් තෝරා ගැනීමේ අරමුණින් සම්මුඛ පරීක්ෂණයක් පිළිබඳව පුවත්පත් දැන්වීමක් පළකර තිබිණි. ඒ ඔස්සේ විජය කුමාරණතුංග ප්‍රථම සිනමා නිර්මාණය වූ හන්තාන කතාව චිත්‍රපටය හා සම්බන්ධ විණි. 1968දී මේ හා සම්බන්ධ සිදුවීම වුවත් චිත්‍රපටය තිරගත වූයේ 1969දීය. එතැන් පටන් විජය තම සිනමා ආගමනය තුළ තමන්ගේ ආස්ථානය සටහන් කිරීමට සමත් විය.

ලාංකේය රිදී තිරය ආකර්ෂණයෙන් පුරවාලූ යුගයක ඇරඹුම සිදුවන්නේ මින් පසුවයි. කැලණියේ හුන් මාලනීත් සිදුවේ සිට පැමිණි කැරලි කැරලි ගැසුණු කොණ්ඩා හිමි උසැති තරුණයාත් ප්‍රේක්ෂක සිත්සතන් මෝහනයට පත් කළ ප්‍රේමනීයම යුවළ වේ යැයි යැයි කිසිවෙකු නොසිතන්නට ඇත. මාලනී සෙනෙහේලතා ෆොන්සේකාත් විජයකුමාරණතුංගත් මුලින්ම සිනමාවට පැමිණියේ “මේ දෑස කුමටද,, චිත්‍රපටයෙනි. “මේ දෑස කුමටද,, චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ සංගීතා වීරරත්නගේ පියාණන් වූ තිමති වීරරත්නය.

කෙසේ වුවත් මේ දෑස කුමටද චිත්‍රපටයෙන් මාලනිය සමඟ රංගනයට පිවිසි සීදුව සිට පැමිණි අලුත් හාදයා පුරා වසර විසි ගණනකටත් වඩා කාලයක් මාලනිය සමඟ රංගනයේ යෙදෙන්නට සමත්විය. ඔහු ඇයගේ පෙම්වතා විය. ඇය ඔහුගේ පෙම්වතිය විය. සිනමාවේ කුමාරයා විජය වනවිට මාලනිය සියලු සිනමා රසිකයන් වශීකෘත කරගත් සිනහවකින් යුත් කාගේත් පෙම්වතිය විය. විජය වීරයාත්, පෙම්වතාත්, සිහින කුමරාත් වන විට සියල්ලන්ගේම බලාපොරොත්තුව වූයේ කටකාර මාලනිය විජයගේ පෙම්වතිය සේ දැක බලා ගන්නට වූ අපේක්ෂාවයි. ඔවුන්ගේ මුල්ම සිනමා පටය වූ මේ දෑස කුමටද චිත්‍රපටයේ දෑස් නොපෙනෙන අහිංසක තරුණයකු ලෙස විජය රංගනයෙන් එක්වන විට මාලනිය ගැමි තරුණියක ලෙස ඔවුන්ගේ මංගල හමුව සිනමා පටය හා සම්බන්ධ විය. එය ලංකාවේ රසිකයා ඉතා ඉහළින් පිළිගත් චිත්‍රපටයක් විය. එයට යම් කිසි ලෙසකින් බලපෑමක් වූයේ නීල් රූපසිංහගේ හතර දෙනාම සුරයෝ චිත්‍රපටය යැයි අනුමානයකටද පැමිණිය හැකිය. මන්ද හන්තානේ කතාවෙන් ජනප්‍රිය හුන් විජය දිගින් දිගටම ජනප්‍රිය වෙමින් හතර දෙනාම සූරයෝ තුළින් මුල්ම වරට මාලනිය සමඟ පෙනී සිටියේය. මේ දෑස කුමටද මුලින්ම රූ ගත කළත් තිරගත වූයේ පසුව නිසා නැවුම් එක්වීමේ දෙවැනි අදියර දැක බලා ගන්නට ප්‍රේක්ෂකයා එක් රොක් වන්නට ඇත.

හතරදෙනාම සූරයෝ, මේ දෑස කුමටද චිත්‍රපට දෙක විජය මාලනීගේ ප්‍රේමාන්විත සිනමා අම්බරයේ එක දෙක ලෙස අංක ගත වුවත් විජය ප්‍රධාන නළුවකු සේ පෙනී සිටී “හන්තාන කතාව,, චිත්‍රපටය විජය මාලනී මුණගැසුණු මංගල චිත්‍රපටය වන්නටද ඉඩ තිබිණි. ඒ බැව් වරක් ප්‍රකාශ කර තිබුණේ මාලනියම විසිනි. ඒ ඇයට ද ඒ සදහා ආරාධනාවක් ලැබුණු බවත් කවර හෝ හේතුවක් නිසා එය මඟ හැරී ගිය බවත්ය. එයත් එසේ වූවා නම් විජයගේ ආරම්භයම යම් විටෙක වෙනස් වන්නට ඉඩ තිබිණි..

ඒකාකාරී චරිතයන්ගෙන් වට්ටෝරු සිනමාවෙන් පිරී පැවති ලාංකේය සිනමාවේ නළුවන් ද බොහෝවිට බොහෝවිට ගිනිකූරු පොයින්ට් තැබූ එකම වර්ගයේ අය වූහ. සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාවෙන්,, මේ ක්‍රමය වෙනසකට බඳුන් විය. හන්තාන කතාවෙන් නවකයන් රැසක්ම බිහිවිය. පසුකාලීනව දේශීය සිනමාවේ නොවෙනස් පෙම්වත් චරිත දෙක විජය මාලනී කතන්දරයේ එක් චරිතයක් හොබවන්නට එදා කරළියට පා තැබූ විජය කුමාරතුංග නම් වූ නවකයාට හැකි විය. යුගයක ඇරැඹුම ඇති වන්නේ තවත් තැනකිනි. එනම් 1973 මාර්තු නවවැනිදා යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ තුෂාරා චිත්‍රපටයෙනි. මනස්කාන්ත වදන්, සෙනෙහෙබර අනුරාගයන්, සුන්දර සිනහවන්, ආදර කතාවන් තාරුණ්‍යයේ ජීවන රටාවන් එකී මෙකී සියල්ලන්ම යසපාලිත නානායක්කාරගේ උකහා ගැනීම නිසා අත්වූ අවසන් ප්‍රතිඵලය වන්නේ තුෂාරා චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් අතිශය සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටයක් වීමයි. නමුත් එය තවත් එක් බොක්ස් ඔෆිස් තැබූ චිත්‍රපටයක් නම් නොවීය .එය විජයගේ මාලනියගේත් සිනමා ගමන්මඟේ හැරවුම් ලක්ෂයක් වූවා සේම ලාංකේය සිනමා ගමන්මඟ නැවුම් මාවතකට හැර වීමටත් යම් තරමකට සමත් විය. විජය මාලනී යුගයක් පිළිබඳව අද කතා කළ හැකි වන්නේ ද එදා තුෂාර චිත්‍රපටයෙන් බිහි වූ ඒ නැවුම් ආරම්භයයි.

මේ දෑස කුමටද චිත්‍රපටයෙන් හමුව හතර දෙනාම සූරයෝ තුළින් ප්‍රේක්ෂ සිනමා මානයට පැමිණි විජය හා මාලනී චිත්‍රපට 50කට වඩා ප්‍රධාන චරිතයන් හා එක්ව ඇති බව මගේ වැටහීමයි. මෙකී හතර දෙනාම සූරයෝ චිත්‍රපටයෙන් ඇරඹි විජය මාලනී සුසංයෝගය මේ දෑස කුමට ද, තුෂාරා, සුසී, සැණකෙළිය, දාහකින් එකෙක්, හත් දින්නත් තරු, උන්නත් දාහයි මලත් දාහයි, ගංගා, වාසනා, සංගීතා, ආදරෙයි මං ආදරෙයි, සකුන්තලා, ප්‍රදීපේ මා වේවා, කුන්ඩලකේෂි, සැලී, සෙලීනගෙ වලව්ව, හිතුවොත් හිතුවමයි, පෙම්බර මධූ, එයා දැන් ලොකු ළමයෙක්, මිහිදුම් සිහින, බඹරු ඇවිත්, විශ්මය, අනුපමා, මොනරතැන්න, හිඟන කොල්ලා, යස ඉසුරු, නැවත හමුවෙමු, සමනල සිහින, බැද්දේගම, ගීතිකා, කෝකිලා, දෙව්දුව, වැල්ලෙ තැනූ මාලිගා, වරදට දඬුවම්, මධුසමය ආදී ලෙස ගලා එන්නට විය. හතර දෙනාම සූරයන්ගෙන් ගමන් ඇරඹි මේ සුසංයෝගය සමඟ බාල මහලු සියල්ලෝම වයස් බේදයකින් තොරව ප්‍රේම කළහ. ඔවුනගේ පරම අභිලාෂය වූයේ විජය මාලනීගේ පෙම්වතා වීමත්, මාලනිය විජයගේ පෙම්වතිය වීමත්ය. නොඑසේ නම් රණ්ඩු දබර වුවත් විජය නම් චිත්‍රපටයේ වීරයා විය යුතුම විය.

ඒ කාලයේ මේ දෙපළ හුන් සිනමා නිර්මාණයන් බිහි වූයේ ද එසේ ය. නිෂ්පාදකවරයාගේ අවශ්‍යතාව වූයේ කෙසේ හෝ වැඩි දින ගණනක් චිත්‍රපටය ප්‍රදර්ශනය කරවා ගැනීමයි. අධ්‍යක්ෂවරයාට කළ යුතුව තිබුණේ ඒ සඳහා කෙසේ හෝ චිත්‍රපටය ජනප්‍රිය කරවාදීමයි. චිත්‍රපටය ජනප්‍රිය වීමට නම් ඒ සඳහා තරු යුගලයක් අවැසිම විය. තරු විවිධාකාර ලෙසින් හැඩතල දමමින් දිස්නය දුන්නද එයිනුත් එකට එක පෑහෙන හොඳම තරු යුගලය තමන්ගේ නිර්මාණයන්ට එක් කරගැනීමට මේ දෙපළම කටයුතු කළහ. එවක දිලුණු යසම තරු යුගල විජය හා මාලනියයි. ප්‍රේක්ෂකයන්ගේ දෑස්වලට පමණක් නොව කටටද හුරු වූයේ විජය ළඟට මාලිනියගේ නමයි. එය ඒ ආකාරයෙන්ම සාර්ථකව බව හැඟෙන්නේ විජය මාලිනී සුසංයෝගයේ චිත්‍රපට බහුතරයක්ම ජනප්‍රිය වූ නිසාය.

විජය වාණිජ චිත්‍රපටවලට පමණක් හරියට නළුවෙකු යැයි කවුරුන් හෝ ප්‍රකාශ කළේ නම් විජය මාලනී හා එක්ව රඟපෑ මධුසමය, බඹරු ඇවිත් වැනි චිත්‍රපටය නැරඹුවේ නම් මැනවැයි සිතේ.

එහි විජයගේ රංගන හැකියාවන් ඒ සඳහා හොඳම නිදසුන්ය. පරිච්ඡේද කවරාකාර ලෙසින් අවසන් කළද විජය මාලනී සුසංයෝගයට අවසානයක් නම් නැත. අවසන් වූයේ නව නිර්මාණයන් බිහි වීම පමණි.

ඒ අසිරිමත් කාලය ලාංකේය සිනමාව අලුත් හුස්මක් ගත් කාලයයි. විජය මාලනී හා එක්ව ප්‍රධාන චරිතයත් රඟපෑ තරමට හා සමානව වෙනත් තරු යුගලක් නම් සිංහල සිනමාවෙන් සොයා ගැනීමට හැකියාවක් නැත. විජය-මාලනී සිනමාවට නවමු පෙම් පුවතක් ගෙනා තරු යුගලක් පමණක් නොවීය. සිනමාවේ කුමාරයා විජය වන විට කුමාරයාගේ නෙත් සිත් පැහැරගත් ප්‍රියම්බිකාව මාලනිය විය. කාලය වියැකී ගියද මේ ප්‍රේමය සදාතනික සිහිවටනයක් විය. හිම මීදුම් අතරින් සවන් පත් සනහා තවමත් නිතැතින්ම රැව් දෙන්නේ ඒ ප්‍රේමයේ සිහින සරයයි.

කලක් තිස්සේ හිතක් පත්ලේ

පිපී රන්වන් මලක් දිලුණේ

තුෂාරා පත් මුදු මුදුන් සරසා

සුපෙම් හැඟුමන් හිතේ ගවසා

කලක් තිස්සේ හිතක් පත්ලේ

පිපී රන්වන් මලක් දිලුණේ ..

රජිත බස්නායක

 

Comments