අකුසල චිත්ත මඟින් ඇති කෙරෙන මානසික ගැටලු පිළිබඳ බෞද්ධ විග්‍රහය | සිළුමිණ

අකුසල චිත්ත මඟින් ඇති කෙරෙන මානසික ගැටලු පිළිබඳ බෞද්ධ විග්‍රහය

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

එෂාමා කාරියකරවන

විත්ත හෙවත් සිත් යනු බෞද්ධ ඉගැන්වීම්හි සඳහන් පරමාර්ථ ධර්ම සතරෙන් පළමු වැන්නයි. පරමාර්ථ යනු සත්ත්වයන් සහිත මේ ලෝකය ඉතා සියුම් ලෙස විග්‍රහ කිරීමේදී අවසානයට තවදුරටත් නොබෙදිය හැක්කා වූ ඒකක ස්වභාවය හඳුන්වන ආකාරයයි. එම ස්වභාවය ‘ධම්ම‘ ලෙස හඳුන්වනු ලබත්.

 

එම පරමාර්ථ ධර්ම නම්

චිත්ත

චේතසික

රූප

නිබ්බාණ වේ.

විත්ත චිත්ත හෙවත් සිත් 89ක් දක්වා ඇති අතර එය විස්තර වශයෙන් 121ක් ආකාර වන බව දහමෙහි පෙන්වා දෙයි. “දැනීමම සිත වේ” යනුවෙන් ධර්මයෙහි සදහන් වේ.

චේතසික සිතෙහි හටගන්නා සිතුවිලි චේතසික නම් වේ. චේතසිකයෝ 52කි. චේතසිකයෝ සිත සමඟ ඉපදී, සිත සමඟ පැවතී. සිත සමඟම නිරුද්ධ වෙති. චිත්ත සහ චේතසිකයන්හට වෙන් වෙන් ව පැවතීමේ හැකියාවක් නැත.

රූප සත්ව ශරීර හා බාහිර වස්තූන් නිර්මාණය වී ඇති මූලික ධර්ම රූප ලෙස හඳුන්වයි. ඇසට පෙනෙන වර්ණ ධාතුව එක් රූපයකි. එසේම ඇසට ගෝචර නොවන රූප 27කි. සම්පූර්ණ රූප ගණන 28කි.

නිබ්බාණ ජාති ජරා ව්‍යාධි මරණයෙන් තොර වූ ලෝභ ද්වේශ මෝහ යන කෙලෙස් සහමුලින්ම ප්‍රහීණ කළ තත්ත්වය නිබ්බාණ හෙවත් නිර්වාණය වේ. බුදු දහමට අනුව සත්ත්වයා බෞද්ධ පිළිවෙත් පිරීමෙන් අත් කරගැනීමට බලාපොරොත්තු වන උසස්ම තත්වය හෙවත් නිෂ්ඨාව නිර්වාණයයි.

චිත්ත පරමාර්ථ ධර්මය සිත යනු මානසික ක්‍රියාකාරිත්ව සමූහයක් ලෙස අර්ථ දැක්වේ. අභිධර්මයේදී සිත් 89ක් පිළිබද කියැවෙන අතර එය විස්තර වශයෙන් 121ක් ආකාර වේ. එම සිත් පුද්ගලයා සැරිසරන භූමීන් අනුව සතර ආකාරයකට බෙදේ. එනම් කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් සහ ලෝකෝත්තර සිත් යනුවෙනි.

මෙහිදී අප විසින් සාකච්ඡා කරනු ලබන්නේ එම අකුසල සිත් මඟින් පුද්ගලයකුට මානසික ගැටලු ඇති කරන ආකාරයයි. එසේත් නැත්නම් මානසික ගැටලු පිළිබද බෞද්ධ විග්‍රහයේදී අකුසල චිත්ත ඒ කෙරෙහි බලපාන ආකාරයයි. අකුසල සිත් අයත් වන්නේ කාමාවචර සිත් කාණ්ඩයටය. එම කාමාවචර සිත් 54 යෙදෙන කාමාවචර භූමි 11කි.

 

කාමාවචර භූමි පහත සදහන් පරිදි වේ

දිව්‍යලෝක 6

නිරය 1

අසුර නිකාය 1

ප්‍රේත ලෝකය 1

තිරිසන් ලෝකය 1

මනුස්ස ලෝකය 1

කාමාවචර භූමිය යනු කම්සැප විඳීම මුල් කරගත් භූමියකි. ඉහත භූමි අතුරෙන් දිව්‍යලෝක සයත් මනුෂ්‍ය ලෝකයත් සත්ත්වයාට ඉපදීමට සුදුසු භූමි වේ. එම භූමියන් හිදී පුද්ගලයාට පහළ වන සිත් 54න් සිත් 12ක් අකුසල සිත් ලෙස ගැනෙයි. එම අකුසල සිත් තවදුරටත් විග්‍රහ වෙමින් ලෝභ මූල (8), ද්වේශ මූල (2), සහ මෝහ මූල (2) යනුවෙන් වෙන් වෙයි. එම ලෝභ, ද්වේශ සහ මෝහ මූල සිත් යනු අනාගතයේ අනිෂ්ට විපාක සහ විඳීම් ඇති කරනු ලබන සිත් වේ.

ලෝභය, ද්වේශය සහ මෝහය මුල් කරගත් චේතනා උපදින එම සිත් පුද්ගලයාට මානසික ගැටලු ඇති කරන්නට පමණක් නොව සත්ත්වයා සංසාරයේ දුක්විපාකයන්ට ගොදුරු කරවමින් සැරිසරවන්නටද හේතුකාරක වෙයි. එම සිත්වල කෙලෙස් මූල වන්නේ චේතසිකයන්ය.

ලෝභමූල සිත් ඇත්තා වූ පුද්ගල ස්වභාවය නම් ආශාවෙන් ලෝභයෙන් හෙවත් තෘෂ්ණාවෙන් සියල්ල අල්ලාගැනීමට අත්පත් කරගැනීමට යුහුසුලු වීමය. එසේ අල්ලාගැනීමට උත්සහා කරනු ලබන වස්තුව හෝ අරමුණ කුමන ආකාරයේ වුවද කවරකුගේ හිමිකාරිත්වයක් යටතේ එය පැවතියද ආශාවෙන් ලෝභයෙන් මඩනා ලද සිත් ඇති පුද්ගලයෝ ඒ කෙරෙහි ආශක්ත වෙති. එය දුකම ඇති කරවයි. මෙහිදී පුද්ගලයා තුළ විවිධාකාරයේ අදහස් ඇති වෙයි. එනම්

 

- ආශා කරන දෙය තමා සතු කරගැනීමේ උවමනාව

- ඒ දෙය නැවත නැවත දැකීමේ, ඇසීමේ සහ විඳීමේ ආශාව

- තමා ඒ දෙයින් නොලබන සුවයක් සැපතක් වෙනත් කෙනෙකු විඳීනු දැකීමේ අකමැත්ත සහ එය ඉවසිය නොහැකි බව..

- දිවා රෑ දෙකෙහි ඒ පිළිබඳ සිතමින් තැවෙමින් සිටීම.

- සිතින් අල්ලාගත් දෙය අත්පත් කරගැනීමට කරනු ලබන නොනිසි උපක්‍රම හේතුවෙන් ඇති වන මානසික කැලඹීම පීඩාකාරී වීම

 

මේ පිළිබඳ බුදුහිමියන් තණ්හා මූල සූත්‍රයේදී මෙසේ දේශනා කරති.

’’මහණෙනි, තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නවය කවරහුද? තෘෂ්ණාව නිසා තෘෂ්ණාවෙන් භෝගයන් සෙවීම වෙයි. සෙවීම නිසා ලාභය වෙයි. ලාභය නිසා මගේ යයි විනිශ්චය වෙයි.

විනිශ්චය නිසා දැඩි ආශාව වෙයි. ආශාව නිසා මමය, මාගේයයි සනිටුහන් කර ගැනීම වෙයි. සනිටුහන් කිරීම නිසා තෘෂ්ණා දෘෂ්ටියෙන් දැඩිව අල්ලාගැනීම වෙයි. දැඩිව අල්ලාගැනීම නිසා මසුරුකම වෙයි. මසුරු බව නිසා ආරක්‍ෂා කිරීමට හේතු වෙයි. අඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කලහය, විරුද්‍ධවාදය (නුඹය, නුඹය) යන ප්‍රියශූන්‍ය මුසාවාද වූ නොයෙක් ළාමක වූ අකුශල ධර්‍මයෝ ලැබීම වෙත්. මහණෙනි, මේ නවය, තෘෂ්ණාව මුල්කොට ඇති ධර්මයෝය“.

එම සූත්‍ර පාඨයෙන් ලෝභය නිසා පුද්ගලයා තුළ ඇති වන කායික මානසික චිත්තවේගික වෙනස් කම් මනාව පෙන්වා දෙයි. එනම්

 

- ලෝභය නිසා සෙවීම

- සෙවීම නිසා ලාභය

- ලාභය නිසා මගේ යැයි හැඟීම

- හැඟීම නිසා දැඩි ආශාව

- ආශාව නිසා මමය, මාගේය යනුවෙන් ස්ථීර කරගැනීම

- එම ස්ථීර කරගැනීම නිසා තෘෂ්ණාවෙන් දැඩිව අල්ලාගැනීම

- අල්ලාගැනීමෙන් ඇති වන මසුරුකම

- මසුරු බව නිසා ආරක්ෂා කිරීමට පෙලඹීම

- ආරක්ෂා කිරීමට ආයුධ පරිහරණය

- ආයුධ පරිහරණය නිසා කලහ ඇති වීම, සතුරන් ඇති වීම, විරුද්ධවාදීන් ඇති වීම

- එම නිසා ප්‍රියතාවක් නැති මුසාවාද ඇතුළු ළාමක අකුසල සිදු වීම

 

මෙහි දකින කායික වෙනස්කම් සියල්ල ඇති වීමට හේතුව සිතෙහි ඇති වන ලෝභයයි. එසේත් නැත්නම් ලෝභය නැමති අකුසල ස්වභාවය සිතෙහි හටගැනීමයි.

මෙය නිදසුනක් ඇසුරෙන් දැක්විය හැකිය.

“ආභරණ කෙරෙහි මහත් ලොල් බවක් ඇත්තකු හට ඉතා වටිනා ආභරණ කට්ටලයක් දකින්නට ලැබෙයි. ඔහු එය කෙරෙහි දැඩි ලෝභයෙන් බැඳෙයි. ඒ ඇති කරගන්නා දැඩි ආශාව හෙවත් ලෝභය නිසා එය අත්පත් කරගැනීමට ඔහු දැඩි උත්සහයක් ගනී. තමාට නොලැබී එය අනෙකකු සතු කරගනු ඇතැයි බියවෙයි. වෙනකකු එය අත්පත් කර ගෙන පලඳිනු දැකීමට අකමැති වෙයි, ඊර්ෂ්‍යා වෙයි.

ඒ නිසා සිතෙහි දොම්නස ඇති වෙයි. සමහර විටෙක එම වටිනාකම ගෙවා එය ලබාගැනීමට අසමත් නම් කෙසේ හෝ අත්පත් කරගැනීමට පහළ කරගන්නා සිතින් ඒ සදහා උපක්‍රම සෙවීම සහ ක්‍රියාත්මක කරයි. කිසියම් ක්‍රමයකින් එය ලබාගත් පසු එය අහංකාරයෙන් පැලඳගෙන මාන්නය වඩවාගෙන හැසිරෙයි.

ඉන්පසු එය ආරක්ෂා කරගැනීමට දරන වෙහෙස. සොර සතුරු බිය ඇතිවීම.

ඒ නිසා නින්ද නොයෑම, දන්නා නොදන්නා පුද්ගලයන් කෙරෙහි සැක පහළ කරගැනීම.

ඒ නිසා ආරක්ෂාව සඳහා ආයුධ, ආරක්ෂකයන් තබාගැනීම. එයිනුත් සෑහීමට පත් නොවීම. සැකය නිසා අන් අය සමග අමනාපකම් ඇති වීම. විරුද්ධවාදීන් ඇති වීම සිදු වේ.

ඉහත ආකාරයෙන් වස්තුව අත්පත් කරගත් පසු ඇති වන මානසික තත්ත්ව මෙන්ම එය අත්පත් කරගැනීමට නොහැකි වුවවහොත් පුද්ගලයා තුළ ඇති වන මානසික පීඩාද තිබේ.

එනම් දැඩි ශෝකය, කලකිරීම, වැනි තත්ත්වයන් ඔහු සාමාන්‍ය ජීවිතයෙන් පලවා හැර අකර්මණ්‍ය කිරීමටද හේතු වනු ඇත.“

ඉහත නිදසුනේ තද පාටින් දක්වා ඇත්තේ පුද්ගලයා සිය ජීවිතයේදී එක් කරුණක් සම්බන්ධයෙන් පමණක් තමා තුළ ඇති කරගන්නා ලද මානසික ස්වභාවයන්ය. ඒ නයින් බලන කළ පුද්ගල ජීවිතය තුළ කොපමණ වාර ගණනක් විවිධ ප්‍රස්තූතයන් අරබයා ඇති කරගන්නා ලෝභයෝ , ආශාවෝ කෙතෙක් වේද?

ඒ සෑම අවස්ථාවකදීම පුද්ගලයා තුළ ඉහත ලක්ෂණ කෙටි කාලයකට හෝ දිගු කාලයකට හෝ ඇති විය හැකියි. එවන් අවස්ථා රාශියක් නිරන්තරව සිත තුළ උත්පාදනය වන ආකාරයේ ලෝභ චරිත, ද්වේශ චරිත ආදී චරිත ස්වභාවයක් ඇති විට ඔහු ද්වේශයට පත් වීමට ඉඩ ඇත.

එසේම ද්වේශය නිසා ඔහු අතින් සිදු විය හැකි අනර්ථය බහුලය. සමහර පුද්ගලයන් ද්වේශය බාහිර ලෝකයට එල්ල නොකර සිටින අවස්ථාද ඇත. එවන් පරිවුට්ඨාන මට්ටමෙන් ද්වේශය ක්‍රියාත්මක වන විට එය අන්‍යයන්ට හානි නොකළද පුද්ගලයාටම හානිකර වෙයි. කායික මානසික සහ චිත්තවේගික දෝෂ තමන් තුළ බහුල වෙයි. තමා තුළ ද්වේශය ඇතිවූ හේතුව නිසියාකාරව වටහාගැනීමට නොහැකිවීම සහ ඒ දෙස යෝනිසෝ මනසිකාරයෙන් නොබැලීම නිසා පුද්ගලයා මෝහයට පත්වෙයි. මෝහය යනු තත්වය නිසි සේ වටහා ගැනීමට ලෙස තරහින් හා ද්වේශයෙන් දැවීමයි. මෝහය මිත්‍යා දෘෂ්ටීන් ඇති කිරීමට දායක වෙයි.

මනෝ විද්‍යාත්මකව ඒ දෙස බලන කල්හි අකුසල සිත මඟින් පුද්ගලයාගේ එළඹ සිටි සිහිය අවදි බව සහ ප්‍රජානන ක්‍රියාවලිය සහමුලින්ම අවුල් කරනු ලබයි. පුද්ගලයා තුළ මානසික ගැටලුවක් ඇති වූ පසු ඔහුගේ මානසික ක්‍රියාවලියට එය බලපෑම් කරයි.

එවිට තර්කනය, විශ්ලේෂණය, අවධානය, සංකේන්ද්‍රණය, මතකය. සංජානනය, ගැටලු විසඳීමේ හැකියාව ආදී ප්‍රජානන හැකියා දුර්වල වෙයි. එය දිගින් දිගටම සිදු වීමේදී බාහිර ලෝකය සමඟ ගැටීම් ඇති වී ආතතිය, කාංසාව, විශාදය වැනි මානසික රෝගයන් ඇති වීමට පසුබිම සාදයි.

ඒ සියල්ල අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බුදු රජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවන් හිදී මනාකොට ශ්‍රාවකයන්ට පහදා දුන් සේක. පහත දැක්වෙන්නේ සූත්‍ර දේශනා කිහිපයකදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට එය පැහැදිලි කරදුන් අවස්ථාව වේ.

අලගද්දූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පුද්ගලයා මම යැයි කෙනෙකු ඇතැයි ගැනීමෙන් ඇති කරගන්නා පීඩා ගැන මෙසේ දේශනා කරති.

“මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක පරිදේව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවන්නේ නම් එබඳු දෙයක් මමයයි ගනිව්. මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක, පරිදෙව, දුක් දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෙයක් තොපි දක්නහුද?” “නැත, ස්වාමීනි.” “යහපති මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෙයක් මමද නොදකිමි“.

මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේදී උන්වහන්සේ නැවත මෙසේද දේශනා කරති.

“මහණෙනි, නැවත අනෙකක්ද කියමි. කාමය හේතු කොට කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා රජවරුද රජවරුන් සමඟ කලහ කරති.

ක්ෂත්‍රියයෝද ක්ෂත්‍රියයන් සමඟ කලහ කරති. බමුණෝද බමුණන් සමඟ කලහ කරති. ගෘහපතියෝද ගෘහපතීන් සමඟ කලහ කරති.

මවද පුතා සමඟ කලහ කරයි. පුතාද මව සමඟ කලහ කරයි. පියාද පුතා සමඟ කලහ කරයි. පුතාද පියා සමඟ කලහ කරයි.

සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරිය සමඟ කලහ කරයි. සහෝදරියද සහෝදරයා සමඟ කලහ කරයි. යහළුවාද යහළුවා සමඟ කලහ කරයි.

ඔවුහු කෝලාහල, විරුද්ධකම්, විවාද යන මීට පැමිණියාහු එකිනෙකා අතින්ද පහර දෙති, කැට කැබලිතිවලින්ද පහර දෙති, පොලුවලින්ද පහර දෙති. (කඩු ආදී) ආයුධවලින්ද පහර දෙති.

ඔවුහු එයින් මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හෙතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණ කොටගෙන, කාමය නිසා මෙලොවදීම වින්ද යුතු වූ ආදීනව රාශිය දුක් රාශිය වන්නේය“.

“මහණෙනි, නැවත අනෙකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කයින් දුසිරිතෙහි හැසිරෙති, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙති, සිතින් දුසිරිතෙහි හැසිරෙති.

ඔවුහු කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරුකොට වැටීමක් ඇත්තාවූ නිරයෙහි උපදිති. මහණෙනි, මෙය කාමය හේතු කොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන, කාමය නිසා පරලොව වින්දයුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

කාලාම සූත්‍රයේදී අකුසල ධර්මයෝ වූ ලෝභ, දෝස සහ මෝහ පිළිබඳව කාලාම වැසියන් සමඟ බුදුරජාණන් වහන්සේ මෙසේ සංවාද කරති.

“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුළ උපදින්නාවූ ලෝභය, ද්වේශය, මෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’

“ස්වාමීනි, අහිත පිණිසය.’’

“කාලාමයෙනි, ලෝභය, ද්වේශය, මෝහයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි එම ක්ලේශ විසින් මඬනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?’’

“ස්වාමීනි, එසේය.’’

“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් හෝ වෙද්ද, අකුසල් හෝ වෙද්ද?

“ස්වාමීනි, අකුසල්ය.’’

“වරද වෙද්ද, නිවරද වෙද්ද?’’

“ස්වාමීනි, වරද වෙත්.’’

“නුවණැත්තන් විසින් ගර්හා කරන ලද්දාහු හෝ වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාහු හෝ වෙද්ද?’’

“ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරන ලද්දාහු වෙත්.’’

මේ ආකාරයෙන් බලන විට අකුසල සිත් මිනිසාගේ මානසික සුවපත් භාවය නැති කර මනස ගිලන් කිරීමට ඍජුව දායක වන බව පෙනී යයි. ඒ ගිලන් බව පුද්ගලයාටද, සමාජයටද හානි ගෙන දෙන අයුරු බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දුන් සේක.

අකුසල සිත් මඟින් ගිලන් වන සිත් සුවපත් කරන ආකාරය ද බුදුරජාණන් වහන්සේ මැනවින් සත්ත්වයා හට පෙන්වා දුන් සේක.

එමගින් පුද්ගලයා තුළ ඇති වන ශාන්ත සුවය ඔහුගේ විමුක්ති මාර්ගය හෙළි පෙහෙළි කරන අන්දමද මැනවින් පෙන්වා දුන් සේක.

අදහස්