ඉන්දියාවේ පුරවැසිකම ඉල්ලා හඬන ලංකාවේ යුධ අනාථයෝ | සිළුමිණ

ඉන්දියාවේ පුරවැසිකම ඉල්ලා හඬන ලංකාවේ යුධ අනාථයෝ

මුළු සරණාගතයන් පිරිස ලක්ෂ 03ක්

හැට දහසක් පුරවැසිකම ඉල්ලලා

ඉන්දියාවේ කුඩු ගංජා විකුණන ලංකාවේ සරණාගත තරුණයන් මුලින්ම එවන්න සූදානම් වුණා

යුද්දෙන් පස්සෙ පැමිණි අයත් තවම පැල්පත්වල. ලංකාවට ආවොත් යන එන මං නැති වෙනවා 

යුද සමයේදී උතුරු ප්‍රදේශය අතහැර ආරක්ෂාව පතා ඉන්දියාවට ගිය දෙමළ සරණාගතයෝ මේ දිනවල ඉන්දියාවේ පුරවැසිභාවය ඉල්ලා සිටිති. පසුගිය මාසයේ අවසාන භාගයේදී එවැනි පවුල් 584ක් ඉන්දියාවේ විරිදු නගර් පළාතේ බලධාරීන් හමු වී ඔවුන්ට පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහ.

ඒ ඉන්දියාවේ පුරවැසිභාවය ඉල්ලා සිටි පළමු ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පිරිස නොවෙති. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයන් හැට දහසකට අධික පිරිසක් ඉන්දියාවේ පුරවැසිභාවය ඉල්ලා ඇත.

1983 වසරේ සිට උතුරු නැඟෙනහිර පළාත්වලින් ඉන්දියාවට පලා ගොස් තවමත් ඉන්දියාවේ විවිධ පළාත්වල පිහිටි සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්නය.

ඒ අනුව බලන විට යුද සමයේදී ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර පළාත් අතහැර ඉන්දියාවට ගිය දෙමළ වැසියන්ගෙන් සියයට විසිපහක්වත් ආපසු මේ දක්වා පැමිණ නැත.

තමන් උපන් හා තමන් ජීවත් වූ ප්‍රදේශ අතහැර දමා ගොස් වෙනත් රටක ජීවත් වීමට කැමැත්තක් දක්වන පිරිස් ඉතා අල්පය. නමුත් ලක්ෂ තුනකට ආසන්න දෙමළ වැසියන් පිරිසක් ඉන්දියාවේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් රැඳී සිටින්නේ කිසියම් හේතුවක් නිසා විය හැකිය.

ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන හේතු කාරණා බොහෝය. ඉන් පළමු තැන දිය යුතු වන්නේ යුද්ධය හමාර වී වසර දහයකටත් වඩා කාලයක් ගත වී ඇතත් යුද අනාථයන් වෙනුවෙන් උතුරු නැඟෙනහිර පළාත්වල සැකසී ඇති සුබ සාධන කටයුතුවල ඇති දුර්වලතාවයි.

ඔවුන් ඉන්දියාවේ සිටියත් ඔවුන්ට අසන්නට ලැබෙන පුවත් එතරම් සතුටුදායක නැති නිසා ඔවුහු ආපසු උතුරු නැඟෙනහිර පළාත්වලට පැමිණීමට කැමැත්තක් නොදක්වති.

''අපි මුලතිව් ජීවත් වුණේ අපේම ඉඩම්වල නෙමෙයි. ආණ්ඩුවේ ඉඩම්වල ගෙවල් හදාගෙනයි අපි හිටියේ. එ්වාට බලපත්‍ර නැහැ. අපි ඒ කාලේ ඒ ඉඩම්වලට බලපත්‍ර ඉල්ලනකොට තමයි යුද්දේ පටන් ගත්තේ.

ඉන්දියාව අත ඇරලා ගියොත් අපිට ඉන්න තැනක් නැහැ. ඒක දන්න හන්දා තමයි අපි ඉන්දියාවේ පුරවැසිකම ඉල්ලන්නේ.

යුද්දේ ඉවර වුණත් එක්ක අපිත් එක්ක ඉන්දියාවේ හිටපු අපේ නෑයන් හුඟ දෙනෙක් ආපහු වන්නියට ගියා. ඒ අය තවමත් ඉන්නේ තාවකාලික පැල්පත් ගෙවල්වලයි.

ඒ අයගෙන් තොරතුරු අහද්දී එයාලා කියන්නේ එයාලගේ ඉස්සර හිටපු ඉඩම්වල දැන් ඉන්නේ වෙන අයලු. බලපත්‍ර නොතිබුණු ඉඩම් වෙන වෙන අයට දීලා නිසා කලින් අනවසරයෙන් පදිංචි වෙලා හිටපු අයට ඉඩම් නැහැ. ඉඩමක් නැත්නම් ගෙයක් ලැබෙන්නෙත් නැහැ.

ඉතින් ලංකාවට ගිහින් ආය ජීවත් වෙන්න වෙන්නේ මේ අනාථ කදවුරුවලටත් වඩා අන්ත තැනක කියලා අපිට තේරෙන නිසයි අපි ආයෙත් ලංකාවට නොගිහින් ඉන්දියාවෙම ඉන්න පුරවැසිභාවය ඉල්ලන්නේ. තමන්ට කියලා ඉඩමක් තිබුණත් උතුරේ පදිංචි වෙලා හිටපු හැම කෙනෙකුටම ස්ථිර ගෙයක් ලැබිලා නැහැ. මුලින්ම ගෙවල් ලැබුණු අයට හොඳයි. රුපියල් ලක්ෂ දොළහක දහතුනක හොඳ ගෙදරක් ලැබුණා. ඒත් දැන් එහෙම නෑ. ගෙයක් හදාගන්න කියලා රුපියල් ලක්ෂ හතක්ලු දෙන්නේ. ඉතිං ඒ මුදලෙන් කොහොම ගෙවල් හදන්නද ?

අපි ඉන්දියාවේ නිලධාරීන්ටත් කිව්වා අපි යන්නම්. අපිට ඉන්දියාවෙන් දෙන ස්ථිර ගෙදරක් අපිටත් දෙන වගට පොරොන්දුවක් දෙන්න කියලා. ඒත් ඒ නිලධාරීන් කිව්වේ ඉන්දියාවෙන් ලංකාවේ යුද අනාථයන්ට ස්ථිර ගෙවල් දුන්නත් ඒ ගෙවල් උඹලටම දෙන්න කියලා අපිට කියන්න බෑ කියලයි. ඉතිං එහෙම විශ්වාසයක් නැතුව ගිහින් අපට එහෙ අතරමං වෙලා ආයෙත් දුක් විදින්න බැරි නිසා අපි යන්නේ නැහැ.''

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා යළිත් වරක් ඉන්දියාවේ බලයට පත් වීමත් සමඟම ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය දෙමළ සරණාගතයන් ඔවුන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලැබෙනු ඇතැයි යන අචල විශ්වාසයකින් යුතුව ජීවත් වෙති. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිවරයෙකු වන ඕ.පනීර්සෙල්වම් මේ පිරිසට ලබා දී ඇති පොරොන්දුවයි.

දෙමළ සරණාගතයන් සියලු දෙනාම රඳවා සිටින්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වීම නිසා ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට ඡන්ද බලය වැඩි කරගැනීමට ඉන්දීය දේශපාලනඥයෝ උතුරේ සරණාගතයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදීම සඳහා මහන්සි වෙති.

මේ කාර්යයේදී පෙරමුණ ගෙන කටයුතු කොට ඇත්තේ ඕ.පනීර්සෙල්වම්ය.

''ලංකාවේ ඉඳලා ඉන්දියාවට ඇවිත් ඉන්න දෙමළ අනාථ මිනිස්සුන් ගැන ඉන්දියාව මොකක්දෝ සමීක්ෂණයක් කළා. ඒකෙදි ඔවුන් කිව්වේ ලංකාවෙන් ඉන්දියාවට ඇවිත් ඉන්න අයගෙන් තුන්දාහකට වඩා වැඩි පිරිසක් ඉන්දියාවේ අයත් එක්ක එකතු වෙලා ගොඩාක් වැරදි දේවල් කරන බවයි. කුඩු ගංජා බීඩි විකුණන්නෙත් එ්වා ලංකාවට යවන්නෙත් ඒ අය කියලා ඔවුන් කිව්වා. අවසානයෙදී ඔවුන් තීරණය කළේ මේ ඉන්දියාවේ ඉන්න අයගෙන් තරුණ පහේ උදවිය සේරම ආපහු ලංකාවට යවන්නයි. එහෙම යවනවා කියලා අපේ අයට බඩු පවා ලෑස්ති කරගන්න කිව්වා.”

“ලංකාවේ අය මේ වෙලාවේ ගිහින් දුක කිව්වේ පනීර්සෙල්වම් මහත්තයට තමයි. එයා මධ්‍යම ආණ්ඩුවත් එක්ක කතා කරලා ඉන්දියාවේ පොලීසියයි නිලධාරීනුයි ගත්ත ඒ තීරණය වෙනස් කරලා දුන්නා. ඊට පස්සේ තමයි මේ පුරවැසිකම ලබා ගන්න ඕනේ කියන ආශාවත් වුවමනාවත් ආවේ. අපේ අය එදා ඉඳලා ඒකට වෙහෙසෙනවා. ඉන්දියාවේ දේශපාලනඥයන් විශාල පිරිසකගෙන් සහාය ලැබිලා තියනවා.''

මේ පිරිස් ඉන්දියාවට ගොස් වසර ගණනාවක් නිසා බොහෝ දෙනෙක් එහිදී විවාහ වී දරුවන්ද ලබා සිටිති. ඔවුන් කිසිවෙකු ලංකාව හෝ ඔවුන් එදා ජීවත් වූ උතුර ගැන කිසිම අවබෝධයක් නැති පිරිසකි.

ඇතැම්හු ඉතා හොඳ රැකියා කරති. තවත් සමහරුන් විවාහ වී සිටින්නේ ඉන්දියාවේ ධනවත් පවුල්වලිනි. මේ ආදී වශයෙන් වසර ගණනාවක් මුළුල්ලේ ඉන්දියාවේදී ඔවුන් ගොඩ නඟාගත් අලුත් සංස්කෘතියෙන් බැහැර වී ඔවුන් ආපසු ලංකාවට පැමිණීමට කැමැත්තක් නැති බවද මේ දෙමළ සරණාගතයන්ගෙන් කියවිණි.

'' අපේ අය දැන් එහාට ගිහින් අවුරුදු විසි පහකට වැඩියි. මෙහෙ ඉඳලා යනකොට ගොඩාක් අයට අවුරුදු පහේ හයේ ළමයි හිටියා. ඒ වගේම තමයි එහෙදි හම්බ වුණු ළමයිනුත් ඉන්නවා. මේ සේරම අය ඉගෙනගත්තේ ඉන්දියාවේ ඉස්කෝලවලයි.

වයසත් එක්ක ළමයින්ට අනාථ කඳවුරුවලට ඈතින් තියන ඉස්කෝලවල ඉගෙනගන්න ලැබුණා. ගොඩාක් දෙමළ සංවිධාන උතුරේ ළමයි අනාථයන් කියලා ඉගෙනගන්න ශිෂ්‍යත්ව දුන්නා. මේ ඉගෙන ගත්ත අයගෙන් ගොඩාක් දෙනෙකුට ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල උපාධි තියෙනවා. තවත් අයට ඩිප්ලෝමා තියෙනවා. විශ්වවිද්‍යාල නොවෙන තැන්වලින් ගත්ත ඩිප්ලෝමාත් තියෙන අය ඉන්නවා. ඉතින් ඒ අය ඒ සුදුසුකම්වලට ගැළපෙන රස්සා ඉන්දියාවෙන් හොයාගෙන ඉන්නේ. ආපහු ඒ අය උතුරට එනවා කියන්නේ දැන් කරනවා වගේ රස්සාවක් කරන්න ලැබෙන්නේ නෑනේ.“

''අපේ අය ඉන්දියාවේ ඉඳලා යාපනේ ඉන්න අයගෙන් අහනකොට ඒ අය කියන්නේ ලංකාවෙන් උපාධිය ගත්ත 3000ක් විතර යාපනේ රස්සා නැතුව ඉන්නවා කියලයි. මේ ළමයි උපාධි ඩිප්ලෝමා අරගෙන තියෙන්නේ ඉන්දියාවෙන්. ඉතින් උතුරට ඇවිත් රස්සාවක් හොයාගන්න බැරි වෙනවා කියලා ළමයි කියනවා. ළමයින්ගේ කීම නිසා ගොඩාක් දෙනෙකුට ඉන්දියාව දාලා එන්න බැහැ.''

“ මෙහෙන් ගිය වැඩිහිටි අය ඉන්දියාවේ එක එක රස්සා හොයා ගත්තා. ඒ රස්සා උතුරේ නෑ. ඒ අය උතුරට ආවොත් කරන්න වෙන්නේ එක්කෝ ගොවිතැන් කරන එක. නැත්නම් මාළු අල්ලන රස්සාව. ඒ රස්සා කරන්නත් ඒ අයට කියලා තැනක් නෑනේ. මේ නිසා ඒ අය එන්නෙත් නෑ.“

ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ ඉන්න සරණාගතයන්ට ආපහු එන්න කියලා කරපු දැනුම් දීමේ පත්‍රිකා අපේ අයට එහෙදි බෙදුවා. ඒකේ යන්න කැමති අයට පුරවන්න පෝරමේකුත් තිබුණා. සමහරු පිරෙව්වා. සමහරු පිරෙව්වේ නෑ.“

“ඉන්දියාවේ අනාථ කඳවුරුවල ඉන්න ලංකාවට එන්න අකැමති සේරම දෙනා එකතු වෙලා පෙත්සමක් අස්සන් කළා. ඒකෙන් ඉල්ලා හිටියේ ඒ අයට ඉන්දියාවේ තමිල්නාඩුවේ පුරවැසිභාවය දෙන්න කියලයි. ඒවට ඉදිරිපත් කරන්න පුළුවන් සාධාරණ හේතු ඉදිරිපත් කළා.“

මීළඟට ඔවුන් අතරින් ලංකාවට ඒමට කැමැත්තක් දක්වන සරණාගතයන් පිරිස වෙනුවෙන් ඉන්දීය රජයද ශ්‍රී ලංකා රජයද අනාථයන් පිළිබඳ වූ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයද (UNHCR) එක්ව සැලසුම් කොට ඇති පහසුකම් ඔස්සේ ඔවුන් උතුරට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමට බලපාන හේතුද උතුරේ පොලීසිවලට පවසා ඇත.

එහිදී තමන් ඉන්දියාවේ වසර විස්සකට වඩා ජීවත් වූ පිරිසක් ලෙස රජයන් දෙකත් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයත් කටයුතු නොකිරීම නිසා තමන්ට ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් උතුරට පැමිණීමට විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට සිදු වී ඇති බව ඔවුහු කියා සිටිති.

''උතුරේ හිටපු අය ඉන්දියාවේදි බොහෝ දේ කළා. අවුරුදු විස්සකට වඩා වැඩි කාලයක් ජීවත් වෙන කොට එහෙන් තෑගි ලැබුණු බඩු තියෙනවා. දෑවැදිවලට ලැබුණු භාණ්ඩ තිබෙනවා. මේ විදිහට අවුරුදු ගානක් එකතු වුණු බඩු මේ අයට තියනවා.”

“ ආණ්ඩු දෙකම කියන්නේ ආපහු උතුරට යනකොට තියෙන සේරම බඩු අරන් යන්න බෑ කියලයි. ගුවන් මඟින් යනවා නම් එක්කෙනෙකුට කිලෝ ග්‍රෑම් 50ක බරක් විතරයි අරන් යන්න පුළුවන් කියලා කියන්නේ. නැව් සේවයක් තිබුණා නම් එක්කෙනෙකුට කිලෝ ග්‍රෑම් සීයක් ගෙනියන්න පුළුවන් කියලා කියනවා.

“ ඒත් එක ගෙදරක අවුරුදු විස්සකට වඩා වැඩි කාලයක් ගොඩ ගැහුණු බඩු දිහා බලනකොට කිලෝ කීයක් තියෙනවද?. ඉන්දියාවේ ආණ්ඩුව කියන්නේ අපේ වියදමින් ඒ බඩු නැව්වලට දාලා අපේ අයට ගුවන් මඟින් ලංකාවට යන්න කියලයි. නැව් ගාස්තු ගැන හොයලා බලනකොට එ්වාට ගොඩාක් සල්ලි දෙන්න ඕනේ. එහෙම දෙන්න සල්ලියක් මේ මිනිස්සුන්ට නැහැ.

මේ බඩු ගේන්න ඕනේ කියලා පොර කන්නේ එදිනෙදා කීයක් හරි හම්බ කරගන්න මේ බඩු ඕනෑ නිසයි.” “ඉන්දියාවේදී වෑල්ඩින් වැඩ කරගෙන ගිය කෙනා උතුරට ඇවිල්ලත් කරන්න ඕනේ ඒ වැඩේම තමයි. ඉතින් ඒ බඩු මුට්ටුවල බර කිලෝ දාහකට දෙදාහකට වඩා වැඩියි. නැවකට දැම්මම ගෙවන්න වෙන ගාස්තු දිහා බලනකොට අලුතින් ඒ උපකරණ ගන්න පුළුවන්. එහෙම ගන්න සල්ලි නැති හන්දා තමයි ඒ බඩුටික කොහොම හරි හොර පාරෙන් හෝ උතුරට ගේන්න බලන්නේ.”

“මේකට යම් විදිහක් හදලා දෙන්න කිව්වට කවුරුවත් ඒක කරන්නේ නෑ. එයාලා අපේ අයට නීතියේ තියෙන විදිහ කියලා දෙනවා. ඒ නීති තියෙන්නේ අනාථ වැසියන්ට හදපු නීති නෙමෙයි.

ලංකාවේ ඉඳලා ඉන්දියාවේ වෙළඳාමට යන මිනිස්සුන්ට හදපු නීතිම තමයි අපිටත් කියන්නේ.

මේක විශාල අසාධාරණයක්. ලංකාවේ ඉඳලා ඉන්දියාවට ආපු හැම ඇමති කෙනෙකුටම කිව්වා මේ මිනිස්සුන්ගේ සේරම බඩු මුට්ටු අරගෙන ආපහු උතුරට යන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න කියලා. අපි යෝජනා කළා මේකට වෙනම ලොකු නැවක් යොදවලා දවසකට එක සැරේ ගානේ හරි උතුරට යන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා. ඒක වුණේ නෑ.”

“දෙමළ ජාතික සන්ධානයේ නායකයන් නිතරම ඉන්දියාවට එනවා. අපි එයාලට කිව්වා මේ ඉන්නේ ඔයාලගේ ඡන්දදායකයන් නිසා කොහොම හරි ගෙනිහින් ඒ අය උතුරේ පදිංචි කරවාගන්න කියලා. ඒ අය අහන්නේ අපි කියන දේ නෙමෙයි. ඉන්දියාවේ ආණ්ඩුව කියන එකයි. අපිට හා හා කියලා යනවා. ඒත් වැඩේ වෙන්නේ නෑ.”

“ ඉන්දියාවේ ඉන්න අය ගුවනින් යනවා නම් ඒ සේරම වියදම් UNHCR එකෙන් දෙන්නම් කියලා කියනවා. ඒත් කිලෝ 50ක බඩු අරන් ගියාම මුළු පවුලේ අයටම අරන් යන්න පුළුවන් වෙන්නේ කිලෝ 300ක විතර බඩු ටිකක් විතරයි. ඇඳුම් මලු ටිකයි. ළමයින්ගේ පොත්පත් ටිකයි, අනෙක් උපකරණ ටිකයි දා ගත්තම කිලෝ 300 හරි.

එතකොට හම්බ කරගෙන කන බඩු, ළමයින්ගේ පුටු මේස ඇඳවල් වගේ දේවල් මෙහෙ දාලයි යන්න වෙන්නේ.

ඒ බඩු මෙහෙ දාලා ගියාම ලංකාවෙන් ඒවාට බඩු දෙන්නේ නෑනේ. එ්වා අපේ අයට සල්ලි දීලා ගන්න වෙනවා. එහෙම ගන්න සල්ලි තියෙනො නම් මේ අයට අනාථයන් කියලා කියන්න ඕනේ නෑනේ.”

ඒ සියලුම ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් ඔවුන්ට කළ හැකිව ඇත්තේ ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගෙන එහි ජීවත් වීමට උත්සහා කිරීම පමණකි.

අදහස්