එල්ලුම්ගහට අභියෝග කළ පශ්චාද් උපාධිය | සිළුමිණ

එල්ලුම්ගහට අභියෝග කළ පශ්චාද් උපාධිය

මරණිය දඬුවම නියම වූ සිරකරුවන්ට ඇත්තේ අඩුවරප්‍රසාදය. අච්චු ලැබූ සිරකරුවකු අඩුම වශයෙන් තමන්ගේ මඟුල් මුද්දවත් ළඟ තබාගැනීමට අවසරයක් නැත. එළිය දැකීමට අවස්ථාව ඇත්තේ දවසට පැය භාගයක් පමණි. ඒත් බමුණුසිංහ සම්බන්ධයෙන් බොහෝ නීති වෙනස් විය. ඒ කාරුණික මහත්වරුන්ගේ හොඳ හිත නිසාය. ඔහුට පාඩම් කරන්නට, පොත් කියවන්නට එළිය ලැබිණි. කැසට් රෙකෝඩරයකින් පාඩම් අසා ගන්නට අවස්ථාව ලැබිණි.

“රටේ අපරාධ වැඩී වීමට හේතුව අපරාධකරුවන්ට දඬුවම් නොකිරීමයි. විශේෂයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමයි. කවුරුත් බලා සිටින්නේ වැරදිකරුවන් එල්ලා දමන්නටය.”

ජීවිතේ කොතරම් දැවෙන ප්‍රශ්න තිබුණද අද දවසේ වැඩි දෙනාගේ කතාව එයයි. ඇතැමෙකු උත්සහා දරන්නේ එල්ලුම් ගහ ක්‍රියාත්මත කිරීමට උල්පන්දම් දීමටය. පසුගිය දා හා හෝ ගා කතාව පැතිර ගියේ ජනාධිපතිවරයාද එල්ලුම් ගස් යවන්නට හතර දෙනෙකුගේ නම්වලට අස්සන් තැබූ බව කීමෙනි. එල්ලුම් ගහ ගෙන ආ විට බමුණුසිංහ වැන්නවුන්ට කුමක් වේවිද? ඔබට නිකමටවත් එසේ සිතුණිද?

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම අභියාචනා ඉදිරිපත් කර සිටින බමුණුසිංහ විශේෂ වන්නේ ඇයි. ඊළඟ ප්‍රශ්නය එයයි.

බමුණුසිංහ යනු ප්‍රසිද්ධ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයට වැරදිකරුවන් වී මරණීය දඬුවම නියම වූ අයගෙන් කෙනෙකි. එක් අතකින් බැලූ විට ඔහු තවත් එක් සිරකරුවෙක් පමණි. ඒ ඔහු දඬුවම ලැබූ අලුතය. දැන් බමුණුසිංහගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු පශ්චාත් උපාධිධාරියෙකි. උප පොලිස් පරික්ෂකවරයකු වූ ලක්මිණ ඉන්දික බමුණූසිංහ 2012 වසරේදී බාහිර උපාධය හැදෑරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී සිටියේය. එහෙත් එය සම්පුර්ණ කරගැනීමට ඔහුට නොහැකි වූයේ බන්ධනාගාර ගත වීමට සිදු වූ නිසාය. බන්ධනාගාර ගතවීමෙන් පසු ඔහු බන්ධනාගාරයෙන් ඉල්ලිමක් කළේය. ඒ තමන්ට උපාධිය සම්පුර්ණ කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙසය. එවකට වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළේ චන්දන ඒකනායක මහතාය.

බමුණුසිංහගේ ඉල්ලිමට බන්ධනාගර දෙපාර්තමේන්තුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන්නේ ඔහුගේ වාසනාවටය. මරණිය දඬුවම නියම වූ සිරකරුවන්ට ඇත්තේ අඩු වරප්‍රසාදය. අච්චු ලැබූ සිරකරුවකු අඩුම වශයෙන් තමන්ගේ මඟුල් මුද්දවත් ළඟ තබාගැනීමට අවසරයක් නැත. එළිය දැකීමට අවස්ථාව ඇත්තේ දවසට පැය භාගයක් පමණි. ඒත් බමුණුසිංහ සම්බන්ධයෙන් බොහෝ නීති වෙනස් විය. ඒ කාරුණික මහත්වරුන්ගේ හොඳ හිත නිසාය. ඔහුට පාඩම් කරන්නට, පොත් කියවන්නට එළිය ලැබිණි. කැසට් රෙකෝඩරයකින් පාඩම් අසා ගන්නට අවස්ථාව ලැබිණි. ( බමුණුසිංහ වෙනුවෙන් දේශනවලට සහභාගි වන ඔහුගේ බිරිය ඒවා පටිගත කරගෙන විත් සෑම සතියකම සිය සැමියාට දුන්නාය.) ඔහු උපාධිය හොඳින් සමත් වූයේය.

ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ පශ්චාද් උපාධිය ලබාගැනීමය. ඔහු ඒ සඳහා ලියාපදිංචි වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේය. එහිදි තවත් රැඳවියකු වූ හේමන්ත ජයසිංහගේ උදව්ව ඉගෙනීම සඳහා බමුණුසිංහට ලැබිණි. පරිගණකයක් පාවිච්චි කිරීමේ අවස්ථාවද ඒ හැම විටෙකම බන්ධනාගාර නිලධාරියෙකුගේ අරක්ෂාව ද ඔහුට ලැබිණි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර අමාත්‍යාංශය මෙන්ම හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, වර්තමාන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් හා වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි තුසිත ඉන්ද්‍රජිත් උඩුවර යන මහත්වරුන්ගේ සහාය නිරන්තරයෙන්ම ලැබිණි.

ඉතාම අඩු පහසුකම් යටතේ එල්ලුම් ගහ පාමුල සිටිමින් සියලු දුක් වේදනා අමතක කරදමමින් බමුණුසිංහ සිය අරමුණ කරා ගමන් ගත්තේය. ඒ අරමුණ ජයගැනීමට ඔහුට හැකියාව ගෙන දුන්නේ ඔහු තුළ තිබූ අධිෂ්ඨානයයි. උත්සාහයයි.

“ මම පශ්චාද් උපාධිය හදාරනවා. කොහොම හරි එය සමත් වෙනවා.“

ශාස්ත්‍රවේදී උපාධිය සමත් වූ දිනයේ ඔහු අප හා පැවැසුවේ අධිෂ්ඨානශීලිවය. ඔහු ජය ගත්තේය. ඒ ලංකාවෙන්ම බන්ධනාගාර රැඳවියකු පශ්චාත් උපාධියක් ලබාගත් පළමු වැන්නා ඔහු බවට පත් වෙමිනි. ඔහු ලංකාවට එකය. ලෝකයට පස්වැන්නාය.

එල්ලුම් ගහ පාමුල හිඳින මේ රැඳවියාට එය සුවිශාල ජයග්‍රහණයකි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විශාල ගෞරවයකි. රැඳවියන් අල්ලාගෙන කූට වැඩ කරන බන්ධනාගාර නිලධාරින් අතර සිරකරුවෝද මනුෂ්‍යයෝය යන මානුෂීය හැඟිමෙන් කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන්ට කොමසාරිස් චන්දන ඒකනායක හොඳ ආදර්ශයකි. තවමත් සුද්දාගේ නීතියම ක්‍රියාත්මක වන බන්ධනාගාරය තුළ හැකි පමණින් මිනිසුන්ට තම අයිතිවාසිකම් භුක්ති විදීමට මඟපෑදීමට විශේෂයෙන්ම බමුණුසිංහගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පෙනී සිටීමට ඔහු පෙරමුණ ගත්තේය. අද ඔහු බමුණුසිංහගේ ජයග්‍රහණය දැක අපමණක් සතුටු වෙයි.

“එල්ලුම් ගහට නියම වූ බමුණුසිංහ හැම විටම සිනහවෙන් උද්‍යෝගිමත්ව ඉන්න කෙනෙක්. ඔහුගේ උත්සාහය කැප වීම නිසයි ඔහු මේ ජයග්‍රහණය ලැබුවේ. ඔහු මේ සමාජයට හොඳ ආදර්ශයක්. එල්ලුම් ගහට නියම වෙලා ඉන්න මිනිසුන් දවස ගෙවන අයුරු අපි දැකලා තියෙනවා. නමුත් බමුණුසිංහ මේ මොහොතේ ජීවත් වෙමින් හොඳ කල්පනාවෙන් ඉතා සීමිත පහසුකම් යටතේ තම අධ්‍යාපන කටයුතු කරගෙන යෑම විශාල ජයග්‍රහණයක්. ඔහු වෙනුවෙන් අපට මෙවැනි සත්කාර්යයක් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. බමුණුසිංහගේ ඉදිරි බලාපොරොත්තුව ආචාර්ය උපාධිය ලබාගැනීම. මම විශ්වාස කරනවා ඔහු එයත් සාර්ථකව නිම කරාවි කියලා“ ඒකනායක මහතා පවසයි.

හිරගෙදර කියන්නේ විශ්වවිද්‍යාලයක් යැයි කෙනෙකු බිත්තියක කුරුටු ගා තිබිණි. බමුණුසිංහ එවන් සරසවියක සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලද්දේ ය. අද වන විට විවිධ ගණයේ අපරාධකරුවන් මත්ලෝලීන් සිටින එල්ලුම් ගහ ළඟ සුසුම්ලන හූල්ලන මිනිසුන් අතරින් මතු වී නැඟී සිටිමින් ලංකාවෙන් එක වෙමින් ලෝකයේ පස්වැන්නා වෙමින් සිරමැදිරියක සිට පශ්චාත් උපාධිය ලැබූ, පෝරකයට නියම වී සිටින බමුණුසිංහට කුමක් වෙයිද? අපි බලා සිටින්නේ එදෙසය.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

Comments