ඓතිහාසික චීන ලංකා සබඳතා ගොඩනැඟූ සේද මාවතේ අප්‍රකට දේශපාලනය | සිළුමිණ

ඓතිහාසික චීන ලංකා සබඳතා ගොඩනැඟූ සේද මාවතේ අප්‍රකට දේශපාලනය

ආචාර්ය ප්‍රියන්ත ජයසිංහ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාහිර කථිකාචාර්ය

සෙරමික් අධ්‍යයන අංශය,

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කොළඹ-07

ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට ලෝකයේ විවිධ රටවල් සමඟ විවිධාකාර සංස්කෘතික සබඳතා පවත්වා ඇත. ඒ අතර බටහිර රටවල් මෙන්ම අපට තදාසන්න මෙන්ම ඈත පෙරදිග රටවල් සමඟ ද සබඳතා පවත්වා ඇති බවට ඓතිහාසික සාධක හමු වේ. ඒ අතරින් අඛණ්ඩව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා ශ්‍රී ලංකාව සමඟ එක් වූ රටක් වශයෙන් චීනයට සුවිශේෂී තැනක් හිමි වේ. මේ වන විට චීන ශ්‍රී ලංකා සබඳතා සඳහා වසර 2000 පමණ ගත වී ඇත. මේ ඒ පිළිබඳ නැවත විමසා බැලීමට ද කාලයයි.

ශ්‍රී ලංකාවේ භූ තලයේ වැදගත්කම

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම ලෝකයට විවිධාකාරයෙන් ඉතා අත්‍යවශ්‍ය රාජ්‍යයක් විය. එහි ඇති වැදගත්කම බොහෝ සෙයින් එහි භූ පිහිටීම හා අභ්‍යන්තර සංස්කෘතිය සමඟ බැදී පවතී. දිවයිනේ භූ භෞතික පිහිටීම ප්‍රධාන වශයෙන් දෙයාකාරයකින් වැදගත් වේ. එනම්

1. බාහිර භූ පිහිටීම

2. අභ්‍යන්තර භූ පිහිටීම වශයෙනි. අවාසනාව නම් මේ තත්ත්වය වර්තමානයේ අප අවබෝධ කර නොගැනීමයි. බාහිර භූ පිහිටීමට අයත් වන ප්‍රධාන කරුණු වන්නේ

i. පෙර අපර දෙදිග මුහුදු මාර්ගයේ මධ්‍යගත ස්ථානයක පිහිටි දිවයිනක් වීම

ii. ඉන්දියානු උප මහද්වීපයේ

අසන්නව පිහිටීම

iii. දිවයින වටා ගැඹුරු මහද්වීපික තටාකයක් හෙවත් ගැඹුරු මුහුදක් පැවතීම

iv. බාහිරව ආකාර්ෂණීය හැඩයකින් යුක්ත වීම ආදියයි.

මධ්‍යගත ස්ථානයක පිහිටීම මුහුදු ගමන්වල යෙදීමේ දී අවශ්‍ය පහසුකම් සැපයීම යන අර්ථයෙන් ඉතාම වැදගත් සාධකයකි. එය කොතරම් මධ්‍යගත පිහිටීමක්ද යත් ශ්‍රී ලංකාවේ පුරාණ මහා නැව්තොට වූ මහාතිත්‍ථයේ සිට චීනයේ බෙයිජිං නුවරට සහ මහාතිත්‍ථයේ සිට රෝමයට ඇති දුර සමානය. එබැවින් අනුරාධපුර රාජධානිය පැවති කාලය තුළම, පෙරදිග හා අපරදිග මුහුදු මාර්ගයේ යන එන නාවිකයන්ට ප්‍රධාන පහසුකම් සපයන්නා වූයේ ලංකාවයි. ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳාම කෙරෙහි ද එකී මධ්‍යස්ථ බව වඩාත් ප්‍රයෝජනවත් විය.

ඉන්දියානු උප මහද්වීපයට ආසන්නයෙන් පිහිටීම යන කාරණය දේශීය වශයෙන් වැදගත් වන්නේ එම හේතුවෙන් බුදුදහම සංරක්ෂණය කොට ආරක්ෂා කරදීම සඳහා මහත් රුකුලක් වීමය. එබැවින් අදටත් ලෝක ඉතිහාසයේ බුදුදහම ලෝකයට රැකදීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වෙයි. දිවයින වටා ගැඹුරු මුහුදු තීරයක් ඇති වීමෙන් ස්වභාවික ව ඇති වූ කඩතොලු වරායන් හෝ තොටුපොළ ලෙස භාවිතයට ගැනීමට සුවිශේෂී සාධකයක් විය. ඓතිහාසික වටිනාකම්වලින් යුක්ත මහාතිත්‍ථ,ගෝකණ්නතිත්‍ථ, කාලතිත්‍ථ ආදී තොටුපොල සහ වරායන් රාශියක් ඇති වන්නේ ඉහත හේතුවෙනි. එසේ ම මත්ස්‍ය සම්පත ඇතුළු සම්පත් ස්ථානගත වීම කෙරෙහි ද ගැඹුරු මුහුදු කලාපය ප්‍රබල හේතුවකි.

එසේම ඈත අතීතයේ සිටම ඉන්දියානු සාගරයේ ගමන් කරන නාවිකයන්ට භූමි සලකුණක් වශයෙන් ද ලංකාව වැදගත් විය. අඹ ගෙඩියක හැඩය ඇති රටක් වශයෙන් ලංකාව ලෝකය විසින් හඳුනා ගනු ලැබ ඇත. එබැවින් එම නිශ්චිත හැඩය ලංකාවේ ඓතිහාසික නාමකරණය කෙරෙහි ද බලපා ඇත. මීට අමතරව දිවයින අභ්‍යන්තරයේ පිහිටීම, ස්වභාවික සම්පත් හා විශිෂ්ට පරිසර පද්ධතීන්හි සංකලනය දේශීය වශයෙන් වඩාත් යහපත් මානව සංස්කෘතියක් ගොඩනැඟීමෙහිලාත්, විදේශීය ආකර්ෂණය සඳහාත් හේතු සාධක විය.

විවිධ කාලවල භාවිත කරන ලද වරාය සහ තොටු පෙළ දිවයින වටා තිබූ බව ඓතිහාසිකව තහවුරු වූ කරුණකි. අනුරාධපුර රාජධානි කාලය පුරා මහා වරාය වූයේ පිහිටි දිවයිනේ වයඹ දිග කෙළවරට වන්නට පිහිටි මාතොට හෙවත් මහාතිත්‍ථයයි. මේ පෙර - අපර දෙදිග මහාතොටුපොළයි. පිහිටීම හා එහි ඇති ප්‍රමාණාත්ම සහ සංවිධානාත්මක බව අතින් මීට සමාන නැව්තොටක් ආසියාවේ හෝ ලෝකයේ වෙනත් රාජ්‍යයක් සතුව තිබෙන්නට හැකියාවත් නැත. මුහුදු මාර්ගයේ මධ්‍යගතව ස්ථානගත වීමට අමතරව භූ භෞතික පිහිටීම පැත්තෙන් ද ඉතා වැදගත් වේ. ආයාසයකින් තොරව නැව් තොටට ඇතුළු විය හැකි බෑවුම් ස්වභාවය මෙහි ඇති විශේෂිත ගුණාංගයකි. එසේ ම මුහුදේ සිට වරාය වරාය අංගණය සඳහා බඩු ගෙන ඒම සහ නැවත පිට වීම සඳහා අශ්ව ලාඩමක හැඩයට තිබූ ඇතුළු වීමේ සහ පිටවීමේ ද්විත්ව ඇළ මාර්ග අදටත් දැකගත හැකිය.

අනුරාධපුර රාජධානිය අවුරුදු 1600 පමණ දීර්ඝ කාලයක් පැවතීම සඳහා එම මහා වරාය ද හේතුවක් වී තිබිණි. මාතොට වරාය හැරුණු කල්හි පොලොන්නරුව රාජධානියේ මහාවරාය වූ නැඟෙනහිර වෙරළට අයත් ගෝකණ්ණයත් ඊට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 4-5 සියවස්වල සිට නැඟෙනහිර වෙරළේ පිහිටි පල්ලවවංක වරායත්, ජම්බුකෝලපට්ටන, ඌරාතොට, ගොඩපවත, ලෝකය හා ලංකාව යා කළ පුරාණ ලංකාවේ මහා තොටුපළය. ඒ හේතු නිසා එකල ලංකාව නම් දිවයින ඉන්දියන් සාගරය ඔස්සේ වැටී තිබූ මුහුදු මාර්ගයේ “මධ්‍යම මහා තොටුපොළ” (Central great port) වූ බව පෙනේ.

ඓතිහාසික සේද මාවත සහ ශ්‍රී ලංකාව

ලෝකයේ පෙරදිග සහ බටහිර යා කරමින් ඉන්දියන් සාගරය ඔස්සේ වැටී තිබූ ඓතිහාසික සේද මාවතේ විශිෂ්ටතම නැවතුම් ස්ථානයක් ලෙස ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම ශ්‍රී ලංකාවට සුවිශේෂී වැදගත්කමක් හිමි විය. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට එම මාර්ගය භාවිත කළ බවට චීනයේ මෙන්ම බටහිර ලෝකයේ විවිධ ස්ථානවලින් සොයාගන්නා ලද පුරාවිද්‍යාත්මක සාධක ආශ්‍රයෙන් අනාවරණය වී ඇත. බටහිර චීනයේ චන්ග්ආන් (Chang-An) (වර්තමාන ෂියාං) අගනුවර සිට මුලින් ගොඩබිමින් ආරම්භ වන සේද මාවත ආසියාවේ විශාලතම කාන්තාරය වන ගෝබි කාන්තාරය (Gobi desert) මෙන්ම චීනයේ තකලමකන් (Takalamakan desert) කාන්තාරය හරහා මධ්‍ය ආසියාව සහ ඉන්දියාව ඔස්සේ පැමිණ ඉන්දියන් සාගරය තරණය කොට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඓතිහාසික ලංකා-චීන සබඳතා

පසුව චීනයේ අගනුවර උතුරු චීනය දක්වා මාරු වීමත්, චීනයේ ප්‍රධාන දොරටුව බවට දකුණු චීනය, පත් වීමත් යන කරුණු පදනම් කරගෙන සේද මාවතේ වැඩි කොටසක් මුහුදු මාර්ගය ඔස්සේ ව්‍යාප්ත විය. නව ලෝකය සොයා යෑම උදෙසා සිදු වූ දේශ ගවේෂණ කටයුතුවල ශීඝ්‍ර දියුණුව හේතුවෙන් මුහුදු මාර්ග ඇති වීම, නාවික තාක්ෂණය දියුණු වීම සහ දකුණු චීනයේ ආර්ථික වශයෙන් වැදගත් නිෂ්පාදන මධ්‍යස්ථාන ඇති වීම හා මෙතෙක් ගොඩබිම් මාර්ගය ඔස්සේ හුවමාරු වූ භාණ්ඩවල ස්වරූපය, භාණ්ඩවල උපයෝගීතාව වෙනස් වීම ආදී කරුණු ගණනාවක් හේතුවෙන් මුහුදු සේද මාවත වඩාත් පුළුල් විය.

දකුණු චීනයේ දී අභ්‍යන්තර මාර්ග ගණනාවක් ලෙසින් හා පෙරදිගින් මුහුදු මාර්ගයක් ලෙසින් බටහිරට ගමන් කරන එම සංකල්පීය මාර්ගය විවිධ සංස්කෘතික ප්‍රවාහයන් පෙරදිග සහ බටහිර අතර හුවමාරු කිරීමට උපකාරි විය. බටහිර චීනයේ මල්බෙරි වගාව ආශ්‍රිතව ඇති කරන ලද පටපණු කෝෂ යොදා නිෂ්පාදනය කරන ලද විශිෂ්ට සේද සළුපිළි බටහිරට ප්‍රවාහනය සඳහා ගොඩබිම් මාර්ගය යොදාගත් බැවින් සේද මාවත යන නම සංකල්පයක් ලෙස දිගුකාලීනව භාවිත කරන ලදී. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට විවිධ පිරිස් විසින් මුහුදු මාර්ගයේ බහුල වශයෙන් හුවමාරු වූ විවිධ වෙළඳ ද්‍රව්‍ය පදනම් කොට මුහුදු සේද මාර්ගය උදෙසා අනුරූපී වෙනත් නම් භාවිත කර ඇති බවට සාධක හමු වේ. ඒ අතර සෙරමික් මාවත, කුළුබඩු මාවත, ඇත්දළ මාවත ආදී විකල්ප නාම කිහිපයක් සුලභව භාවිත කර ඇත.

ඉහත කී සියලුම හේතු චීනය ලංකාව සමඟ පැවති සංස්කෘතික සබඳකම්වලට මුල් වූ අතර ඒ සියල්ල මෙන්ම ඒ හා බැඳි දේශපාලන අරමුණු ද තිබූ බව විශේෂයන් සඳහන් කළ යුතු වේ.දෙරටේ සබඳතාවල ස්වරූපය පිළිබඳ දළ හැඳින්වීමක් කළහොත් ක්‍රිස්තු පුර්ව යුගයේ අවසාන භාගයේ සිටම දෙරට එකිනෙකා නාමිකව දැන තිබී ඇත. ක්‍රිස්තු වර්ෂයෙන් 1-6 කාලයේ සිට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිදු වී තිබේ. චීනයේ හන් රාජ වංශ සමයේ (206AD-220AD) ඇරඹී එම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අනුරාධපුර රාජධානිය පුරාවටම අඛණ්ඩව සිදූ වී ඇත.ඒ වන විටත් බලවත් වූ චීනයේ හන් පාලනය (western Han dynasty) සිය බලය පැතිරවීම සහ වටිනා සම්පත් ගවේෂණය සඳහා සිය කණ්ඩායම් දකුණු ආසියාව වෙත යැවු බව චීන වාර්තාවල සඳහන් වේ.

ඝෘජුවම රාජ්‍යතාන්ත්‍රික නොවූත් බෞද්ධාගමික අරමුණු වෙනුවෙන් ගවේෂණයේ යෙදුණු ෆාහියන් (ක්‍රිස්තු වර්ෂයෙන් 400-411) , ඉත්සිං (ක්‍රිස්තු වර්ෂයෙන් 635-712) සහ හිය්‍යුං සියෑන්ගේ ( ක්‍රිස්තු වර්ෂයෙන් 7) ද ලංකා-චීන සංස්කෘතික සබඳතා ගැන අධ්‍යයනයන් ඉතා වැදගත් වේ.ඔවුන්ගේ වාර්තා (travelogues) ශ්‍රි ලංකාවේ අවශේෂ ඓතිහාසික කරුණු හැදැරීමෙහිලා ද එක සේ වැදගත් වේ.චීන තංග් රාජවංශ කාලයේ (Tang dynasty) සිට දෙරට අතර ඝෘජු වශයෙන් ම වාණිජ සබඳතා පැවතී ඇත.මේ වන විටත් දිවයින ඉන්දීයන් සාගරය හරහා පෙර-අපර දෙදිග වෙළඳාමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වූ අතර නාවික බලය අතින් ද ශක්තිමත් ව සිට ඇති බව සමකාලීන චීන වාර්තා මඟින් ම සනාථ වේ.එම වාර්තාවලට අනුව චීනයේ දකුණු මුහුදට පැමිණි නැව් අතර විශාලම නැව් පැමිණ ඇත්තේ Lion kingdom (shizi guo;) හෙවත් ශ්‍රී ලංකාවෙනි.

දෙරට අතර නිරන්තරයෙන් සහ ඉහළ මට්ටමින් සිදු වු එම වාණිජ කටයුතු සනාථ කරනු ලබන පුරාවස්තු අතර බහුලව හමු වන චීන මැටි බඳුන් හැරුණු කොට බහුලව චීන සුංග් රාජවංශයට ( ක්‍රිස්තු වර්ෂයෙන් 960-1279, Southern and Northern Song dynasties) අයත් කාසි හමු වී ඇත. විශාලම එකතුව හමු වන්නේ යාපහුවෙනි.

ඊට අමතරව තවත් කිහිප ස්ථානයකින් ම චීන කාසි හමුවී තිබේ. ඒවා දෙරටේ සංස්කෘතික හුවමාරුවට අදාළ කාලය නීර්ණයෙහිලා ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සාධකයකි.චීනය බටහිර සමඟ සිය ගනුදෙනු කිරිමේ දී මිංග් රාජ සභාව ( Ming court 1368-1644) නියෝජනය කළ චෙන් හ(ර්) (zheng he),ක්‍රිස්තු වර්ෂයෙන් 1405-1407 වර්ෂවල ලංකාවට පැමිණ ඇති බවට සාධක ඇත.දෙරටේ සංස්කෘතික සබඳතා අතර වෙළඳාම සහ දේශපාලන යන අංශ දෙකෙන් ම ඉහළ තලයකට පැමිණ තිබී ඇති බව පැහැදිලි වේ.දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති “චෙන් හ(ර්)ත්‍රෛ භාෂා සෛලමය පුවරු ලිපිය”(zheng he ‘s trilingual inscription) එකී කාලයේ දෙරටේ සබඳතා අධ්‍යයනයෙහිලා අතිශය වැදගත් පුරවිද්‍යාත්මක සාධකයකි (The historical evident in archaeology).කෙසේ වුවත් ක්‍රිස්තු වර්ෂයෙන් 6-13 සියවස්වලට ගැනෙන සීගිරි කුරුටු ගී අතර ඇති “sina pata ….” චීන සිල්ක් රෙදි-පිළි පිළිබඳ සටහනද එම අධ්‍යයනයේ අතිශය වටිනාකමකින් යුතු පුරාවිද්‍යාත්මක සාධකයකි.

එහි සඳහන් වන්නේ “සිනපට බෙජිඑරනවන”(සීගිරි කුරුටු ගී ) Graffiti:No.399;S.paranavithana’s( Sigiri Graffiti);1956 රන්වන් සීගිරී ලලනාවන්ගේ සළු වෙනෙකක් නොව වටීනා චීන පටපිළි බවකි. එමඟින් ලබාගත හැකි ඓතිහාසික වශයෙන් වැදගත් තොරතුරු ගණනාවක් වේ. එනම් චීනය (sina) යනුවෙන් රටක් පිළිබඳව එකී කාලය වන විටත් අප දැන සිටි බවය. චීනය සමඟ පැවති රාජ්‍ය තාන්ත්‍රික සංස්කෘතික සබඳතා හේතුවෙන් එවන් ඈත කාලයේ පටන් ලක් වැසියන් ඈත පෙරදිග පිළිබඳ දැන සිට ඇති බවය.

අනෙක් වැදගත් ඓතිහාසික කාරණය වන්නේ චීන සේද පිළිබඳ කියැවෙන තොරතුරයි. මෙරට වැසියන් චීනපට සිල්ක් දැන සිටියා මෙන්ම මෙරට රාජරාජ මහාමත්‍යාදීන් ඇතුළු සහ අන්ත:පුර ප්‍රභූ ස්ත්‍රීන් එම වටිනා පටපිළි ඇඟලන්නට ඇති බවයි. එසේම තවත් පැත්තකින් සීගිරී සිතුවම් සිතුවම්ගත කිරීමේ දී භාවිත කරන ලද තාක්ෂණික ක්‍රම විධි සඳහා සිල්ක් භාවිතයට දේශීය ශිල්පියා තුළ තිබූ පරිචය මැනවින් කැපී පෙනේ. අමුද්‍රව්‍ය තෝරා ගැනීම භාවිතය සහ ක්‍රම විධි පිළිබඳ කරුණු හෙළි වන තොරතුරු රාශියක් මෑත කාලීන පුරාවිද්‍යා පර්යේෂණවල දී හෙළිදරව් විය. රන්වන් පාට වර්ණය ලබාගැනීම සඳහා සිල්ක් භාවිතා කරන්නට ඇද්ද යන්න සැලකිය යුතු කාරණයකි. එසේ වුවහොත් ඒ වර්ණය මඟින් නියෝජනය කරන්නේ ද චීන සිල්ක්මය.

අනෙක් අතින් චීන සේද රෙදි පිළිබඳ ආසියාවේ පැරණිතම පුරාවිද්‍යා සාක්ෂිය ලංකාව සතුව ඇත. ඒ කෑගල්ලට නුදුරු දැලිවල කොටවෙහෙර බෞද්ධ ස්තූපය කැණීම් කිරිමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමු වූ ලෝකඩවලින් නිම කරන ලද ධාතු කරඬුව ආවරණය කරණ ලද සේද රෙදි කඩක අවශේෂයන්ය.

අලංකාර ලෙස මුතුඇට අල්ලා ඇති එම සළුව දිරාපත්ව කරඬුවටම ඇලී ඇත. ඕස්ට්‍රෙලියාවේ ජාතික විශ්වවිද්‍යාලය මඟින් කරන ලද විශ්ලේෂණයකින් එම සේද රෙදි පිළිබඳ සාක්ෂිය දැනට ආසියාවෙන් හමු වන චීන සේද පිළිබඳ පැරණිම තොරතුර ලෙස සඳහන් කරයි. ඒ අනුව චීන සේද පිළිබඳ ඇති පුරාවිද්‍යා සාක්ෂිය දැලිවල කොටවෙහෙරෙන් ලද මෙම සාක්ෂිය වන අතර එහි ඓතිහාසික සාධකය සීගිරි කැටපත් පවුරෙන් ලැබේ.

එම සාධක ද පුරාණ ලංකා චීන සම්බන්ධතා මනාව ගළපාගැනීමට උපකාරී වේ. තව ද පොලොන්නරුවේ සත්මහල් ප්‍රසාදය නමින් හඳුන්වන ගොඩනැගිල්ල සඳහා ද මුල් ආකෘතිය වී ඇත්තේ බටහිර චීනයේ සියාං ඓතිහාසික නගරයේ පිහිටි මහ චීන පැගෝඩාවක් බව චීන විද්‍යාව සහ ශිෂ්ටාචාරය ගැන ලියන ජෝෂප් නිදාම් (Needham Joseph; 1980; Chinese Science and the west, page90, Great Britain Nile) සඳහන් කරයි. එය පොලොන්නරු යුගයේ පැවති ලංකා-චින සබඳතාවල ප්‍රතිඵලයක් විය හැකිය.

නූතන සබඳතා ලංකා-චීන සබඳතා සහ අභියෝග

අනාදිමත් කාලයක සිට ඉතා ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම මිත්‍රශීලී සබඳතා ඉහත ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් තහවුරු වේ.

එසේ වුවත් චීනය සමඟ නූතනයේ ලංකාවේ සිදු වන සංවර්ධන ක්‍රියාදාමයත් සමඟ ඉහත මිත්‍රශීලී සබඳතා වෙනුවට සංස්කෘතික ආක්‍රමණශීලී ස්වරූපයක් පෙනේ. එය කනගාටුවට කරුණකි. අප ප්‍රාර්ථනා කරන්නේ යටි අමුණින් තොර මිත්‍රශීලී රාජ්‍ය සබඳතාවකි. එය යථාර්ථයක් වුවහොත් ඓතිහාසික සේද මාවතේ අර්ථය සැබෑවක් වනු ඇත.

අදහස්