ගුරුකන්ද පන්සලෙන් රට අවුළන්න හදන උතුරේ හනුමන්තලා | සිළුමිණ

ගුරුකන්ද පන්සලෙන් රට අවුළන්න හදන උතුරේ හනුමන්තලා

මුලතිව් ගුරුකන්ද ප්‍රශ්නය එකම ගැටුමක් බවට පත් වී තිබේ. එහි සෑම දෙයක්ම සිදු වෙමින් ඇත්තේ රටේ පොදු නීතියට පටහැණිවය. එහෙත් එය යථා තත්ත්වයට පත් කිරීමට උත්සහා ගන්නා කිසිම බලධාරියෙකු අපට හමු වන්නේ නැත.

මේ අතර ගුරුකන්ද විහාරස්ථානය ප්‍රදේශයෙන් අලුත්ම සිද්ධියක් වාර්තා විය. ඒ එම භූමිය අවට ළිප් එකසිය පනහක් බැඳ කිරිබත් පිස මහා පොංගල් උලෙළක් පැවැත්වීමය. ශුද්ධ වූ ආගමික උත්සවයක් කොතැනක පැවැත්වූවත් එය පිළිගත යුතු ශිෂ්ට භාවයක් සමාජයකට තිබිය යුතුය. එහෙත් ගැටලුව පොංගල් උත්සවය නොවේ. ඒ උත්සවය සංවිධානය කළ අශිෂ්ටයන් දෙවියන්ට මුවා වී යක්ෂයා වඩම්මා තිබීමය.

ඔවුන් පොංගල් උලෙළ සංවිධානය කර තිබුණේ ප්‍රදේශයේ දේශපාලන නායකත්වය මුල් වෙමිනි. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් යන අයද මේ පොංගල් උලෙළට සහභාගී වී සිටියහ.

එහෙත් එම ආගමික උත්සවය හුදු ආගමික අර්ථයකට එහා ගිය දේශපාලන බලහත්කාරයත්, අසංස්කෘතික චණ්ඩිකමත් ප්‍රකාශ කරන බව පෙනිණි. මේ සටහන තබන්නේ පුදබිමක් ආගමික ගින්නක් ඇති කරවීමට තරම් අවිනිශ්චිත තැනක් බවට පත් වෙමින් ඇති මොහොතකදීය.

නඩු හබ

මුලතිව් ගුරුකන්ද පුරාවිද්‍යා භූමිය රැකගැනීමේ මෑත ඉතිහාසය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම අතිශයින්ම අවම බව පෙනෙයි. මේ වන විට ඒ ස්ථානයේ අයිතිය ඉල්ලමින් ගුරුකන්ද රජමහා විහාරයේ පිරිසත් ඊට යාබදව පිහිටි ගණදෙවි කෝවිලේ පිරිසත් මාරුවෙන් මාරුවට නඩු හයක්ම අධිකරණයේ ගොනු කොට තිබේ. මීට අමතරව ගැටුම් ඇති කරගත් සෑම අවස්ථාවකදීම මුලතිව් පොලීසිය විසින් ගොනු කරන ලද තවත් නඩු කීපයක්ද වෙයි.

මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ඒ නඩු සමථයකට පත් කිරීම සඳහා පුරාවිද්‍යා ආඥාපනතේ දෙමළ භාෂා පිටපතක් අධිකරණයට ලබා දෙන ලෙස නියෝග කොට මේ වන විට මාස ගණනක් ගත වී ගොසිනි. එම ආඥාපනත තවමත් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම නිසා තීන්දුව ලබාදීම කල් ගොස් තිබේ.

නමුත් මේ අතරවාරයේ ගුරුකන්ද රජමහා විහාරයේ දායකයන් යැයි යැයි කියා ගන්නා පිරිසත් ගණදෙවි කෝවිලේ අයිතිය ගැන තර්ක කරන පිරිසත් අතර නිතර නිතර ගැටුම් ඇති වීම නිසා අධිකරණයේ ඇති නඩුවලට අමතරව මුලතිව් පොලීසිය මඟින් ගොනු කොට ඇති නඩුද මුලතිව් අධිකරණයට විභාග කිරීමට සිදු වී තිබේ.

මේ ගැටුම් සංඛ්‍යාව වැඩි වීමත් සමඟම මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා විසින් දෙපාර්ශ්වය සඳහාම රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා ඇප බැඳුම්කරයකට අස්සන් තබා ඇත . ඒ නඩුවේ ස්ථිර තීන්දුවක් ලබාදෙන තුරු හෝ ඉදිරි වසර දෙක තුළ දෙපාර්ශ්වය විසින්ම අරගල මතභේද ගැටුම් ඇති කර නොගෙන සහයෝගයෙන් හා සමාදානයෙන් යුතුව ජීවත් වන බවටය.

නමුත් ඒ බැඳුම්කරයේ සඳහන් කොන්දේසි උල්ලංඝනය වූ අවස්ථා එමටය. ඒ සෑම අවස්ථාවකදීම පොලීසිය ඊට සම්බන්ධ පාර්ශ්ව අධිකරණය හමුවට ඉදිරිපත් කළත් විනිසුරුවරයා කළේ ඔවුන්ට අවවාද කිරීම පමණකි. දෙපාර්ශ්වයම ආගමික කණ්ඩායම් බැවින් සාමදානයෙන් සිටින ලෙසට විනිසුරුවරයා අවවාද කර තිබිණි.

විනිසුරුවරයා එසේ අවවාද කළත් ගුරුකන්ද ප්‍රදේශයේදී මේ ආගමික ස්ථාන දෙක මුල් කරගෙන ඇති වන ගැටුම් දිනෙන් දින ඉහළ යමින් පවතී.

ගුරුකන්ද විහාරයේ ඉතිහාසය

මහා වංශය ඇතුළු බොහෝ ග්‍රන්ථවල එම බෞද්ධ සිද්ධස්ථානය පිළිබඳ තොරතුරු සඳහන් වේ. වෙනත් විවිධ මූලාශ්‍රද එම ඓතිහාසික පුදබිම සම්බන්ධ යථාර්ථය සනාථ කරයි.

මහා වංශයට අනුව අතීත නාග ගෝත්‍රිකයන් වාසය කළ නාගයන්ගේ ගංගාව අරුත ඇති නයින් ආරු නම් වී පසුව එම ප්‍රදේශය නායාරූ වී තිබේ. පසුව නයාරු වූ ප්‍රදේශයේ ගුරුකන්ද රජ මහ විහාරය වර්තමානයේ එම ප්‍රදේශයේ ඉතිරි වී ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය ය. පදවි ප්‍රදේශයේ ඇති සෙල් ලිපියක එම අතීත කතාව තහවුරු කරයි.

කිත්සිරි මෙවන් රජ දවස (ක්‍රි.පූ. 6 - 7 සියවසේදී) ඉන්දියාව, මියැන්මාරය ඔස්සේ ලංකා පටුන දක්වා වූ රහසිගත සහ කෙටිම මාර්ගයකින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සඟවා ගෙන පැමිණි හේමමාලා - දන්ත කුමරු දෙපළ පළමුව ගිමන් හැරි ස්ථානය ගුරුකන්ද මහ විහාරය සේ පැනේ.

දැනට එම ස්ථානයේ ශේෂව ඇති නටඹුන් අනුව අතීතයේ දී චෛත්‍ය හතක් ඇතුළු සංඝාවාස සංකීර්ණයක් තිබෙන්නට ඇතැයි සැලකෙන නටබුන් මේ පුදබිමේ ප්‍රකට වේ. එහෙත් අද ඉතිරි වී ඇත්තේ ඉන් එක් චෛත්‍යයක් පමණි.

1984 දී පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කළ ද යුද සමයේදී දෙමළ කොටි සංවිධානය විසින් එම ස්ථානය ඉතා දීර්ඝ කාලයක් ඔවුන්ගේ කඳවුරක් ලෙස භාවිතයට ගෙන ඇත.

උතුරු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම LTTE ග්‍රහණ⁣යෙන් මුදාගැනීමෙන් පසුව ගුරුකන්ද මහ විහාරයට වැඩම කළ කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන් වහන්සේ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ විහාරස්ථානයට ජීවය දුන්හ.

ගැටුම් ඇති වන්නේ ඇයි?

බෞද්ධ හා හින්දු දෙපිරිසක් අතර මේ අන්දමට ගැටුම් ඇති වීමට මේ පුදබිම මුල් වූයේ කෙසේද යන්න විමසා බැලීම ඉතා වටී. එය ශාස්ත්‍රීයව විමසා බැලීමේ වගකීමේ ප්‍රධානම කොටසක් අයත් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙතය. එහෙත් ඔවුන් මේ පිළිබඳ දරන නිහඬතාව විටෙක අප මවිත කරවයි.

මුලතිව් නයාරූ ප්‍රදේශයේ ගුරුකන්ද රජමහා විහාරය පිහිටා ඇතත් එහි ගුරුකන්ද නමින් ගම්මානයක් වර්තමානයේදී නැත. දැන් ගුරුකන්ද පුරාණ විහාරය පිහිටා ඇත්තේ නයාරූ ප්‍රදේශයේ ජනතාව සෙම්මාලෙයි නීරාවියඩි යනුවෙන් හඳුන්වන ගම්මානයේය.

යුද්ධයේ අවසන් කාලයේදී පුරාවිද්‍යා රක්ෂිතයක් වූ ඒ භූමිය හමුදාව ආරක්ෂා කළේය. එමෙන්ම යුද්ධය වකවානුවේ දෙමළ වැසියන් ගම්මානය අතහැර ගිය කාලවකවානුවේ යම් හින්දු පිරිසක් විසින් එම ප්‍රදේශයේ ගණදෙවි කෝවිලක් පිහිටවනු ලැබීය. ඔවුහු නිතර නිතර එම කෝවිලට පැමිණ ආගමික වතාවත් ඉටු කරනු ලැබූහ. ඊට කිසිවෙකුගෙන් හෝ බාධාවක් නොවීය.

නමුත් යුද්ධයෙන් පසුව ගුරුකන්ද රජමහා විහාරයට භික්ෂූන් වහන්සේ වැඩම කිරීමත් ගම්මාන අතහැර ගිය දෙමළ ජනතාව ආපසු පදිංචියට පැමිණීමත් සමඟම ගුරුකන්ද රජමහා විහාරයේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය.

ඒ සමඟම උතුරු පළාත් සභාවේ දේශපාලනඥයන්ගෙන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් පළාත නියෝජනය කරන දේශපාලනඥයන්ගෙන් බෞද්ධාගමට දැඩි විරෝධයක් එල්ල විය. ගුරුකන්ද රජ මහා විහාරයට නුදුරින් ගණදෙවි කෝවිල ඉදි කළ පිරිසට ඒ බෞද්ධ පුදබිමේ අයිතිය කියා සිටීමට අවශ්‍ය දේශපාලන පසුබිම සකසා දුන්නේ ඒ පිරිසය.

ඔවුන් දැන් අධිකරණය හමුවට ගොස් කියා සිටින්නේද ගුරුකන්ද රජමහා විහාරය බෞද්ධයන්ට අයත් නොවන බවය. එහි අයිතිය දෙමළ හින්දූන්ගේ බවය.

දැනට ගුරුකන්ද රජමහා විහාරයේ වැඩ වාසය කරන්නේ කොළඹ මේධාලංකාරකිත්ති හිමිය. උන් වහන්සේ පවසන ආකාරයට උන්වහන්සේ පැමිණ දැනට අවුරුදු 13කි. වර්තමානයේ ගුරුකන්දේ පවුල් 96ක් ජීවත් වෙති. ඉන් පවුල් 5ක් සිංහල වන අතර ඉතිරිය දෙමළය.

 

බලපෑම් එල්ල වීම

 

අවුරුදු 11ක් තිස්සේ විහාරස්ථානය සාමකාමීව පැවති අතර ගම්වැසි දෙමළ ජනතාවද විහාරයට ආ ගිය අය අතර විය. එකී සාමයට කණ කොකා හඬන්නට වූයේ පසු ගිය අවුරුදු දෙකක පමණ කාලයක සිටය. එය ගැටුමක් බවට පත් වූයේ ප්‍රදේශයේ දෙමළ දේශපාලකයන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පිරිසක් පසුගිය තෛපොංගල් දින බලහත්කාරයෙන් විහාර භූමියේ කෝවිලක් ඉදි කිරීමට කළ උත්සාහය සමඟිනි.

ගුරුකන්ද රජ මහා විහාරයට විවිධ බලපෑම් එල්ල වන්නට පටන් ගැනීමත් සමඟ දකුණේ පිරිස් මේ ස්ථානයට පැමිණීම වැඩි වී තිබේ. ඔවුන් සමග පැමිණි නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව දැන් මෙහි තත්ත්වය විස්තර කළේ මෙලෙසිනි.

‘‘ගුරුකන්ද රජමහා විහාරස්ථානය ඉපැරණි පුදබිමක්. 1800 ගණන්වල ගත්ත වාර්තාවල වගේම 1901 වාර්තාවේත් සඳහන් වෙලා තියෙන්නේ මේ ස්ථානය බෞද්ධ පුදබිමක් විදිහටයි. 1968 ලබාගත් ගුවන් සිතියම්වලත් සඳහන් වෙලා තියෙන්නෙ මේ ස්ථානය බෞද්ධ පුදබිමක් බවයි. එවැනි පුදබිමකට, පුරාවිද්‍යා භූමියකට දෙමළ ඩයස්පෝරාවෙන් යැපෙන පිරිසක් ඇතුළු වෙලා කෝවිලක් හදන්න ගියා. මෙරට නීතියට අනුව පුරාවිද්‍යා භූමියකට බලහත්කාරයෙන් ඇතුළු වෙලා කැණීම් කිරීම බරපතළ වරදක්.

ඒ වගේම ඒ පිරිසෙ හිටිය දෙමළ දේශපාලනඥයෙකු විහාරස්ථානයේ වැඩ සිටින නායක හාමුදුරුවන්ට බැණ වදිමින් තර්ජනය කරලා තිබුණා. ඒකත් බරපතළ වරදක්. ඒත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තිබුණේ සාමය කඩ කිරීමක් විදිහට. පුරාවිද්‍යා භූමියේ කැණීම් කිරීම සම්බන්ධයෙන් කිසිම නඩුවක් නෑ. හාමුදුරුවන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නඩුත් නෑ. අන්තිමේ පීඩාවට පත් හාමුදුරුවො විත්තිකාරයා වුණා.

මේ ස්ථානයට ඇවිත් හාමුදුරුවන්ට බැණ වැදිලා තර්ජනය කළ පුද්ගලයා දැන් නඩුවෙන් නිදහස් වෙලා. දැන් ඒ නඩුවේම විත්තිකරුවො ඇවිත් කෝවිලේ දැන්වීම් පුවරු ගහලා ගිහින්.“

වර්තමානයේදී ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වාසය කරන හිමියන් උන්වහන්සේගේ අදහස් එක් කළේ මේ අන්දමටය.

‘‘මම මේ පන්සලට වැඩම කරපු අලූත නයාරූ ගමේ දෙමළ මිනිස්සුත් දන් ගේනවා. මේ ගොඩනැගිලි හදන්න සිංහල මිනිස්සු සමඟ හරි හරියට දෙමළ මිනිස්සුත් වැඩ කළා. මේ අවට ගම්වල දෙමළ මිනිස්සු මේ පන්සල තියෙනවට කැමතියි. ඒ මිනිස්සු පන්සලට ඇවිත් බුදුන් වැඳලා, දේවාලය වන්දනා කරගෙන යනවා.

මම මේ පන්සලේ දේවාලය ආරම්භ කළෙත් දෙමළ ජනතාවට ආගමික වත්පිළිවෙත්වල යෙදෙන්න පරිසරයක් නිර්මාණය කරදීම අරමුණු කරගෙනයි. ඒත් දෙමළ දේශපාලනඥයන් මේ ආගමික සංහිඳියාවට කැමති නෑ. ඔවුන්ට ඕනෑ මේ භූමිය කොල්ලකා ගන්න. මුලින් ඇවිත් මාව බය කරලා කෝවිලක් හදන්න හැදුවා. ඒකට මම ඉඩ දුන්නෙ නෑ. උසාවියේ නඩුවකුත් දැම්මා.

ඊට පස්සේ ඇවිත් පන්සල ඉස්සරහා කෝවිලේ නම සඳහන් කරලා දැන්වීම් පුවරු දෙකක් ගහලා ගියා. ඒ දැන්වීම් පුවරු ගහන්න ආවේත් මම දාපු නඩුවේ තුන්වෙනි විත්තිකරු. ලක්‍ෂ දෙකක ශරීර ඇපපිට ඉන්න පුද්ගලයෙක්. ඒ මනුස්සයා දැන්වීම් පුවරු ගැහුවේ පොලිසිය බලා හිටිද්දී. අපේ පොලිස් නිලධාරීන් වචනයක් කතා කළේ නෑ. පුරාවිද්‍යා ඉඩම්වල වළවල් හාරලා බෝඩ් ගහනවා. ඒකට විරුද්ධව පුරාවිද්‍යා නිලධාරීන් පොලිසියට ගිහින් පැමිණිලි කරනවා. ඒ පැමිණිලිවලට විභාග නෑ. පොලිසිය බයයි.

මම කොළඹ ගිහින් ආර්. ඩී.ඒ. එකට දැනුම් දුන්නට පස්සෙ ඒ නිලධාරීන් ඇවිත් පන්සලේ බෝඩ් ලෑල්ලත් ගලවලා දැම්මා. පන්සල පහළ ගහලා තියෙන කෝවිලේ බෝඩ් ලෑල්ල තවම තියෙනවා. හැම තැනදීම අපි රැවටෙනවා. මේවට තවත් ඉඩ දෙන්න බෑ මහත්තයෝ. මේ අපේ ජාතික උරුමය. මම ජීවත් වෙලා ඉන්නා තුරා මේ පන්සලට අතක් තියන්න දෙන්නෙ නෑ.“

මේ සියලු කතා දෙස බලන විට අප මුලින් සදහන් කළා සේ ගුරුකන්ද මේ වන විට ගැටුම් කන්දක් වී හමාරය. මේ ප්‍රාථමික ගැටුමට හේතුව මේ රටේ වලංගු නීතිය ගුරුකන්ද පුදබිම විෂයෙහි ක්‍රියාත්මක නොවීමය.

ඒ වැරැද්ද නීත්‍යනුකූලව නිවැරදි කළ යුතු වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවය. ඔවුන් ඒ පිළිබඳ දක්වන අලසභාවය හා නිද්‍රාශීලීභාවය ජාතියේ නාමයෙන් තුරන් නොවන්නේ නම් ඉදිරියට ඇවිළීමට නියමිත මහා ජාතික ව්‍යසනයට ඔවුන් ඍජුවම වගකිව යුතුය.

 

අදහස්