පෙට්‍රල් බාල වුණේ කොහොමද? | Page 2 | සිළුමිණ

පෙට්‍රල් බාල වුණේ කොහොමද?

ගෙන්නේ එකම නැවකින්

පිරිපහදු කරන්නේ එකම තැනකින්

බෙදාහරින්නේ එකම සංස්ථාවෙන්

පෙට්‍රල් සම්බන්ධයෙන් කාලෙන් කාලයට විවිධ මත, ප්‍රශ්න ඇති වෙයි. මේ දිනවල ද එවැනි ප්‍රශ්නයක් මතු වී ඇති බව දක්නට ලැබෙන්නේ, ලංකා IOC සමාගමේ පෙට්‍රල් තත්ත්වයෙන් බාල බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කළ පැමිණිල්ලෙනි. මේ සම්බන්ධයෙන් අදාල පාර්ශ්වයන් සමඟ කතාබහ කරන්නට අපි කටයුතු කළෙමු.

“පෙට්‍රල්, ඩීසල් සම්බන්ධයෙන් විවිධ ගැටලු කාලෙන් කාලයට එනවා. එක කාලයක් භූමිතෙල් කලවම් කරලා කිව්වා. සමහර ෂෙඩ්වලට සීල් තියන්න සිදු වුණා. පාරිභෝගිකයන්ට මේ වන විට පෙට්‍රල්වල ප්‍රමිතිය ගැන ගැටලුවක් ඇති වෙලා. පෙට්‍රල් බෙදාහරින ආයතන දෙකයි තිබෙන්නේ. එකක් IOC. අනෙක සිපෙට්කෝ. ඒ ආයතන දෙකට අයත් සෙඩ්වලින් තමයි පාරිභෝගිකයා පෙට්‍රල් මිල දී ගන්නේ.

එකම නැවෙන් පෙට්‍රල් ඇවිල්ලා එකම පිරිපහදුවට ගෙන ඇවිත් එකම බවුසරෙන් තමයි IOC එකටත් සිපෙට්කෝ එකටත් බෙදන්නේ. වෙනසකට තියෙන්නේ මේ දෙකෙන් පා‍රිභෝගිකයාට ලබාදෙන පෙට්‍රල්වල මිල ‍ගණන් වෙනස් වීමයි. මේ ආයතන දෙකෙන් බෙදන පෙට්‍රල්වල මිල රුපියල් දහයකින් නවයකින් වෙනස් වෙනවා. එයත් අපට ප්‍රශ්නයක්.

ඒ වගේම පෙට්‍රල්වල ප්‍රමිතියේ ප්‍රශ්නයකුත් තිබෙනවා. 92 කියනවා, 95 කියනවා, යූරෝ 2 කියනවා, යූරෝ 4 කියනවා. ඒ වගේ විවිධ පෙට්‍රල් වර්ග තිබෙනවා. පෙට්‍රල්වල ප්‍රමිතිය ගැන තියෙන ප්‍රශ්නය නිසා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලෙස අප පසුගිය පෙබරවාරි මාසයේ ලංකා IOC සමාගම විසින් පාරිභෝගිකයන්ට අලෙවි කරනු ලබන පෙට්‍රල් තත්ත්වයෙන් බාල බවට පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඉන්පසු පාරිභෝගික අධිකාරිය ඒ පෙට්‍රල් සාම්පල් අරගෙන ලංකාවේ ඒ සම්බන්ධව පරීක්ෂා කිරීමට ඇති එකම ස්ථානය වන සිපෙට්කෝ රසායනාගාරයට යවලා පරීක්ෂා කළා. මාර්තු 23 දා දක්වා සිපෙට්කෝ රසායනාගාරය පරීක්ෂණ පවැත්වූවා. 92 පෙට්‍රල්වල අගය තිබිය යුත්තේ ඔක්ටේන් 92 වුවත් වාර්තාවට අනුව තිබෙන්නේ 90.5යි.

නියදි ලබාගෙන ඇත්තේ බම්බලපිටියේ IOC පිරවුම්හලකින් වුවත් එම ඉන්ධන පිරවුම්හලට ලබා දී ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීමේ මධ්‍යස්ථානයකින්. IOC සමාගමේ ඉන්ධන ගබඩා ත්‍රිකුණාමලයේ පිහිටුවා ඇති නිසා කොළඹ පිහිටි IOC ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදා හරිනු ලබන්නේ ඛනිජතෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථායෙන්. ඒ වෙනුවට ත්‍රිකුණාමලය සහ අවට ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන හල් සඳහා IOC සමාගම විසින් ඉන්ධන බෙදා හැරීම සිදු කරනු ලබනවා. සිපෙට්කෝ IOC එකට දුන් පෙට්‍රල්වලින් සාම්පල් අරන් පරීක්ෂා කරන්නට දුන්නෙත් සිපෙට්කෝ රසායානාගාරයට.

ඉස්සර තිබුණ ඔක්ටේන් 90 පෙට්‍රල් වාහනවලට හොඳ නැහැ, පරිසරයට හානි දායකයි කියලා තමයි 92 හඳුන්වලා දුන්නේ. ඒ විදිහට හඳුන්වලා දුන්නත් මේ වන ‍තුරුත් අපි 90 තමයි තවම පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි අපි 92ට සල්ලි ගෙවනවා.

ඊළඟට පරිසර දූෂණ ප්‍රශ්නය. ආශ්වාස කරන්නවත් හොඳ නැහැ මේ දුම. ශ්වසන ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ වාහනේ එන්ජින් එක ගෙවෙනවා. එවිට අමතර කොටස් දාන්න සිදු වෙනවා. අමතර කොටස් ගේන්නේ ඉන්දියාවෙන්, කොරියාවෙන්, ජපානෙන් වගේ රටවලින්. විශාල විදේශ විනිමයක් රටින් යනවා. ඒ නිසා ප්‍රමිතියක් නැති පෙට්‍රල් ප්‍රශ්නය රටේ සමස්ත ආර්ථිකයටම බලපානවා.

සිපෙට්කෝ ලැබ් එකෙන් දුන් වාර්තාව ලැබුණේ පාරිභෝගික අධිකාරියට. ඒත් පාරිභෝගික අධිකාරිය කිසිම පියවරක් අරන් නෑ.

අපි පාරිභෝගික අධිකාරිය අයත් ඇමැතිවරයා වන බුද්ධික පතිරණට ඒ බව දැන්වූවා.

2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරි පනත යටතේ පාරි‍භෝගිකයා නොමඟ යැවීම, මුළා කිරීම සම්බන්ධයෙන් නඩු දාන්න පුළුවන්. එහිදී විශාල දඩයක් එම ආයතනවලට උසාවියේදී නියම වෙනවා. පෙට්ට්‍රෝලියම් එකෙන් මේ IOC සෙඩ් එක සීල් කරන්න ඕන.

අප කියන්නේ ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන්න ඕනෑ කියලයි. ඕනෑම භාණ්ඩයක හාල් , වී, පරිප්පු, සීනි, එළවළු මිල වැඩිවෙන්න බලපාන ප්‍රධාන කාරණය තමයි ඩීසල් පෙට්ට්‍රල් මිල. ප්‍රවාහන වියදමත් භාණ්ඩයේ මිලට එකතු වෙනවා. අපි ඇමැතිතුමාට කියන්නේ කරවල අත්‍යවශ්‍ය භාණ්ඩයක්, සීනි, පරිප්පු අත්‍යවශ්‍ය භාණ්ඩ නම් පෙට්‍රලුත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරන්න කියලයි. පාරිභෝගික අධිකාරි පනත යටතේ එහෙම කරන්න පුළුවන්.

එහෙම වුණොත් ඉන්ධන මිල නියාමනය කිරීමේ බලය ලැබෙන්නේ පාරිභෝගික අධිකාරියට. එහිදී ප්‍රමිතිය සොයා බැලීමේ බලය ලැබෙන්නෙත් පාරිභෝගික අධිකාරියට. ප්‍රමිතිය සහ මිල සොයා බැලීමකට ලක් වෙනවා. මිල දෙකක් තිබෙන්න බැහැ. පාරිභෝගික අධිකාරියට අයත් පනතේ භාණ්ඩ ලැයිස්තුවට ඉන්ධනත් ඇතුළත් වෙනවා. අපි කියන්නේ ඉන්ධන පාරිභෝගික අධිකාරිය යටතට ගන්න කියලයි. එසේ නැත්නම් අපි අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා.

අපි කියන්නේ ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න. එවිට මේ ප්‍රශ්නය විසඳෙනවා. මොකද ඉන්ධන මිල ප්‍රමිතිය බෙදාහැරීම නියාමනය කරන්න ආයතනයක් නැහැ. පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් දැම්මොත් පොලිස් කොමිසමට එය විමර්ශනය කරන්න පුළුවන්. අල්ලස් එකට පුළුවන් දූෂණ වංචා ගැන නියාමනය කරන්න. විදුලි බලය ප්‍රශ්නයක් නම් මහජන උපයෝගීතා කොමිසමට පුළුවන්.

පෙට්‍රල් නම් ඛනිජ තෙල් සංස්ථාවටයි, අමාත්‍යාංශයටයි කියන්න ඕනේ. මෙය සාධාරණ නැහැ. මේවා නියාමනය කරන්න ආයතනයක් ඊට උඩින් තිබිය යුතුයි.

සංස්ථාව පැත්තෙන් කියන්නේ, මේක ඉන්ධන පිරවුම්හලෙන් කරන දෙයක් බවයි. ඒ අය බෝලය තල්ලු කරන්නේ ඉන්ධනහල්වලට. පාරිභෝගිකයා විදිහට අපිට ඒක අදාළ නැහැ. අපි සල්ලි දීලා ගන්නවා. අපි ඒකට ටැක්ස් ගෙවනවා. අපිට ප්‍රමිතියෙන් යුතු පෙට්‍රල් දෙන එක අමාත්‍යාංශයේ වගකීමක්. ඛනිජ තෙල් සංස්ථාව එයට මැදිහත් වෙන්න ඕනෑ.

“වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙස අපි හැම වේලාවෙම පාරිභෝගිකයාට හොඳ දෙයක් දෙන්නයි උත්සාහ කරන්නේ. මෙය රජයේ ආයතනයක්. බාල පෙට්ට්‍රල් දීලා වාහනවලට යම් හානියක් වුණොත් රටටම තමයි එහි පාඩුව විඳින්නට සිදු වන්නේ. මේ ගැන දැනගන්නට ලැබුණු විගස මම ක්‍රියාත්මක වුණා. අපි හැමදාම පිරිපහදුවේ හදන තෙල් පරීක්ෂා කරනවා. කොලොන්නාවට ගෙන ආ විට එතැනින් පරීක්ෂා කරනවා. පිටරටින් ගේන ඒවා කොලොන්නාවේ පිරිපහදුවේ රසායනාගාර දෙකේම පරීක්ෂා කරනවා. ඉන්ධන පරීක්ෂා කරන්න පුළුවන් පහසුකම් ලංකාවේම තියෙන්නේ ඒ රසායනාගාර දෙකට විතරයි. ඒ දෙකේම පරීක්ෂා කරලා තමයි අපි පාරිභෝගිකයාට ලබා දෙන්නේ.

සිද්ධිය දැනගත් විගසම මම සොයා බැලුවා. මුතුරාජවෙල තිබෙන ටැංකි ඔක්කෝම පරීක්ෂා කරන්න කිව්වා. එහෙම පරීක්ෂා කරලා මට රිපෝට් එව්වා. එදා දවස අතුළත මට එවපු රිපෝට්වල කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවායේ 92යි දශම ගණන් තිබෙනවා.

පාරිභොගික අධිකාරියෙන් පරීක්ෂණය සඳහා යොමු කළ සාම්පල් නිසි ප්‍රමිතියෙන් ගත් ඒවා ද කියා අපිට සැකයක් පවතිනවා. ඉන්ධන සාම්පල් පරීක්ෂණයකට යොමු කරද්දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබෙනවා.

ඒ සාම්පල් දැමිය යුතු භාජන තිබෙනවා. ඉන්පසු ඒවා නිසි ලෙස සීල් කළ යුතුයි. ඒ එවපු සාම්පල් ගැන අපිට වගකීමක් ගන්න බැහැ. පාරිභෝගික අධිකාරියෙන් අපිට සාම්පල් එකක් එවලා ඒක පරීක්ෂා කරන්න කියලා කියපු නිසයි අපි කළේ. ඒ සාම්පලේ ගැන කිසිම වගකීමක් අපිට ගන්න බැහැ.

එය කොහෙන් ගත්ත ද කොහෙන් ගෙනාවද කවුරු හරි ඒකට මොනවා හරි කලවම් කරලා ගෙනාවද කවුද දන්නේ? අපි මෙතැනින් තෙල් බව්සර්වලට ලබා දුන්නට පස්සේ බව්සර්වල දී මොනවා වෙනවද? ඒවයේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඔවුන් එ්වා අරගෙන ගිහින් මොනවා හරි කලවම් කරනවද කියලා අපි දන්නෙ නැහැ. තෙල් සීල් කරලා තමයි අරගෙන යන්නේ.

නමුත් හොර වැඩ කරනවාද කියලා අපි දන්නේ නැහැ. ෂෙඩ්වල අයත් එහෙම වැඩ කරන අවස්ථා තිබෙනවා. හැමෝම එහෙම නැහැ. එක ෂෙඩ් එකකින් ගත් සාම්පලයක් බලලා සමස්තයක් ගැන කතා කරන්න බැහැ. මේ පරීක්ෂණයට ලක් කරලා තිබෙන සෙඩ් එක සිපෙට්කෝ සෙඩ් එකක් නෙමෙයි.

මොකද අපිට ඒක පැහැදිලිව කියන්න පුළුවන්. සාම්පල් තුනක් එවලා තියෙනවා. එකක් යූරෝ තුන කියන ජාතිය. ඒක අපි ගාව නැහැ. අපි ගාව තියෙන්නේ 92, 95 විතරයි. ඒ නිසා මේ පරීක්ෂණ වාර්තා ගැන වග කියන්නත් බැහැ. සාම්පල් ගත්ත විදිහ හරි ද කියලා අපිට කියන්නත් බැහැ. එක ෂෙඩ් එකක මොකක් හරි දෙයක් කරලා ලංකාවේම ෂෙඩ් ගැන අනාවැකි කියන්නත් බැහැ. ඒක සම්පූර්ණ වැරදියි. නීතිවිරෝධී ක්‍රියාවක් කරලා තියෙන්නේ.

පාරිභෝගිකයන් බය කරලා. හරි නම් ඒ කියන පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි කියලයි මම හිතන්නේ. මොකද මහජනතාව බය වෙන දේවල් කියන්න බැහැ. හරියට හොයල බලල මේ දේවල් කරන්න ඕන. හැම ෂෙඩ් එකෙන්ම සාම්පල් අරගෙන හොයල බලලා කියනවා නම් කමක් නැහැ. එහෙම නැතුව මහජනතාව බය වෙන දේවල් නොකිය යුතුයි.

2014 දී පෙට්‍රල් ඔක්ටේන් 92 කළ දවසෙ ඉඳල අපි දුන්නේ 92 තත්ත්වයෙන්ම තමයි. අනෙක නිරන්තරයෙන් අපේ රටට එන තෙල් අපි චෙක් කරනවා. එහෙම තමයි අපි තෙල් ලබා ගන්නේ. පසුගිය කාලයේ එලෙස ආ බාල තෙල් නැවක්ම ආපසු හරවා යැව්වා. අපිට තෙල් එන ක්‍රම දෙකයි තිබෙන්නේ. එකක් පිරිපහදුවෙන්. අනෙක පිටරටින්.

අපි දන්නෙ නැහැ වෙනත් ආයතනවලට එන ඉන්ධන ගැන. ත්‍රිකුණාමලයට යන ඒවා තිබෙනවා. අපි දන්නෙ නැහැ ඒවා අධීක්ෂණය වෙන්නේ කොහොමද කියලා. එ් නිසා මේ චෝදනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙය අපේ ආයතනය අපහසුතාවට පත් කරන්න සිදු කළ දෙයක් වෙන්න පුළුවන්. අනෙක අපි අපේ ෂෙඩ් පරීක්ෂාවට ලක් කරනවා. පොම්ප පවා පරීක්ෂා වෙනවා.

අපි අලෙවි කරන සියලුම වර්ගයේ ඉන්ධන ඉතාම උසස් තත්වයෙන් තමයි පාරිභෝගිකයන්ට ලබා දෙනනේ. එහි තත්තවය කිසිම විටෙක බාල වෙන්න බැහැ. IOC ඉන්ධන නිසි ප්‍රමිතියට නැහැ කියන චෝදනාව අපිට කිසිම විටෙක භාර ගන්න බැහැ.

එහෙම චෝදනාවක් කරන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. IOC ඉන්ධනවල ප්‍රමිතිය ‍චෙක් කරන්න ඕන නම් එය කළ යුත්තේ ත්‍රිකුණාමලයේ ලැබ් එකෙයි. ප්‍රමිතියේ වරදක් තිබෙනවා නම් ලැබ් එකෙන් අපිව දැනුම්වත් කරනවා. එහෙම නැතිව වෙන තැන්වල කළ පරීක්ෂණ වාර්තා අපිට පිළිගන්න බැහැ.

අනෙක පෙට්‍රල් පරීක්ෂා කරත්දී පරීක්ෂා කළ යුතු වන්නේ එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ 3 සහ එක්ස්ට්‍රා ප්‍රීමියම් 95 තමයි. මේ වගේ චෝදනාවක් කරන්න හේතුව අපි දන්නේ නැහැ. මම යළි යළිත් කියන්නේ අපේ තෙල් හොඳ මට්ටමේ තිබෙනවා කියලයි.


ෂෙඩ්වලට නඟන චෝදනා සදාචාරාත්මක නෑ

IOC බෙදා හැරීමේ සංගමයේ සභාපති - කෝසල විදාන ආරච්චි

අපේ ඉන්ධන පිරවුම්හල්වලට තෙල් ගන්නේ ඛනිජ තෙල් සංස්ථාවෙන් හෝ ත්‍රිකුණාමලයේ ලංකා IOC ගබඩාවෙන් ඒ අයගේ ඉන්වොයිස්වල සඳහන් කර එවන පිරිවිතර ටැංකිවලට තමයි අපි තෙල් දාන්නේ. 92 තෙල් 92 ටැංකියටම තමයි දාන්නේ. යුරෝ 3 ටැංකියට අදාළ තෙල් ඒ ටැංකියටම තමයි දාන්නේ. අපි කිසිම දෙයක් ඒ තෙල්වලට එකතු කරන්නේ නැහැ.

අපිට එන තෙල්වල ප්‍රමිතිය මනින්න අපට හැකියාවක් නැහැ. ඒ දේවල් මනින්නේ සිපෙට්කෝ ලැබ්වලින්.

ඒ නිසා ඒ ගැන වගකීමක් හෝ අවබෝධයක් අපිට නැහැ. 92 පෙට්‍රල්වල ප්‍රමිතිය බාලයි කියලා පැමි‍ණිල්ලක් කළොත් එය පාරිභෝගික අධිකාරිය ඔස්සේ සිපෙට්කෝ ලැබ් එකෙන් චෙක් කරනවා. ඒ බාල පෙට්‍රල් ගැනත් හෙළිදරව් වුණේ බම්බලපිටිය ප්‍රදේශයේ IOC ෂෙඩ් එකකින් ගත් පෙට්‍රල් සාම්පල්වලයි. ඒක අරගෙන තිබෙන්නේ පෙට්‍රල්වල ගුණාත්මක භාවය මනින්න. ඒත් අහම්බෙන් තමයි පෙට්‍රල්වල ප්‍රමිතිය අඩුයි කියලා හෙළි වුණේ. ඒ අනුව 92 ඔක්ටේන් - 90.5 බවත් යුරෝ 3 වල අඩුම තරමේ 92 පෙට්‍රල්වල ප්‍රමිතියවත් නැති බව ඔප්පු වෙලා තිබෙනවා.

කොයි දේත් පහළ තැනින් තමයි ගලා ගෙන යන්නේ. ඒ නිසා අපිට තමයි චෝදනා කරන්නේ. ෂෙඩ්වලට කරන චෝදනාවල කිසිම සදාචාරාත්මක බවක් නැහැ. පසුගිය කාලයේ මුතුරාජවෙලින් හරවා ඇරිය බාල තෙල් නැව ත්‍රිකුණාමලයේ දී IOC සමාගම බාගත්තා.

අද තියෙන්නේ මුදල් අමාත්‍යාංශය, පෙට්ට්‍රෝලියම් එක සහ IOC එකේ ඉන්ධන මාෆියාවක්.

අපි කියන්නේ ඉන්ධන නියාමනය කරන්න පාරිභෝගික අධිකාරියට ලබා දෙන්න කියලයි. එවිට මේ මාෆියාව බිඳ වැටෙනවා.


නිසි ප්‍රමිතියට ඉන්ධන නැති නම් එන්ජිමට බලපානවා

ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු නුවන් මදනායක

පෙට්‍රල් හැදිලා තියෙන්නේ Iso octane කියන හයිඩ්‍රොකාබනයෙන්. එයට අමතරව Heptane නම් හයිඩ්‍රොකාබනයත් යොදනවා. පෙට්‍රල්වල Iso octane සියයට 90ක් තිබෙනවා නම් Heptane සියයට 10ක් තිබෙනවා. එවිට එම පෙට්‍රල් කාණ්ඩය ඔක්ටේන් 90 පෙට්‍රල් යනුවෙන් හඳුන්වනවා. පෙට්‍රල් ඔක්ටේන් 90, 92, 95 යනාදී වශයෙන් තීරණය කරන්නේ ඒ අනුපාතයට අනුවයි.

සෑම වාහනයකම එන්ජිමකම සම්පීඩන අනුපාතයක් තිබෙනවා. එනම් එහි ඉන්ධන දහනය සිදු විය යුතු වන්නේ මේ අනුපාතයට අනුවයි. එය වඩා ඉක්මන් වීම හෝ ප්‍රමාද වීම එන්ජිමට යහපත් වන්නේ නැහැ.

අදාළ වාහනයට යෙදිය යුතු ඉන්ධනවල ඔක්ටේන් අනුපාතය තීරණය කළ යුත්තේ ඒ අනුවයි. නිෂ්පාදකයා බලාපොරොත්තු වන්නේ තමන් තීරණය කරන ඔක්ටේන් අනුපාතයෙන් යුතු ඉන්ධන මෝටර් රථය භාවිත කරන්නා යොදනු ඇතැයි කියායි.

එයට හේතුව මෝටර් රථයේ උපරිම කාර්යක්ෂමතාව ඇති වන්නේ, ලබාගත හැකි වන්නේ ඒ අනුව වන නිසා. අදාළ ඔක්ටේන් අනුපාතයෙන් යුතු ඉන්ධන මෝටර් රථයකට නොයෙදීමෙන් කරුණු දෙකක් සිදු විය හැකියි.

1. අක්‍රමවත් දහනය 2. පරිසර දූෂණය

මෙහිදී අක්‍රමවත් දහනය නිසා හානි සිදු වන්නේ ඔබගේ මෝටර් රථයටයි. මූලිකවම මෝටර් රථයේ එන්ජිමට හානි සිදුවීමක් විය හැකියි. ඔක්ටේන් 95 යෙදිය යුතු මෝටර් රථයකට ඔක්ටේන් 92 යෙදුවා යැයි සිතමු. එහිදී එන්ජිම අභ්‍යන්තරයේ දහනය අදාළ උෂ්ණත්වයට පෙර සිදු වන්නේ යොදා ඇති ඉන්ධනයේ Heptane ප්‍රමාණය වැඩි වන නිසායි.

එවිට සිදු වන්නේ මෝටර් රථයේ නිෂ්පාදකයා බලාපොරොත්තු වන බලය ලබා දීමට නොහැකිව රථයේ එන්ජිම Knock කිරීමට (මිස් කිරීම) වීමයි. එමෙන්ම ක්‍රෑන්ක් ශාෆ්ටර්එකට ලැබෙන බලයද අක්‍රමවත් වනවා. ඒ දහනය නිශ්චිත අවස්ථාවේදී සිදු නොවන නිසා රථයට අදාළ ක්‍රමානුකූල රිද්මය නොලැබීමෙන්. මේ අන්දමින් දීර්ඝ කාලීනව නියමිත අගයෙන් යුතු ඉන්ධන නොයෙදීමෙන් එන්ජිමේ ක්‍රෑන්ක් ශාෆ්ටර්ය ගෙවීමට ලක් විය හැකියි.

එමෙන්ම පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැකි දුර අඩු වීමෙන් රථයේ ඉන්ධන කාර්යක්ෂමතාව ද අඩු විය හැකියි. වැඩිදුරටත් සඳහන් කරනවා නම් වර්තමානයේ භාවිත වන අති නවීන මෝටර් රථ පාලනය වන්නේ ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති මඟින්. එවැනි වාහනවලට නියමිත ප්‍රමිතියෙන් යුතු ඉන්ධන නොයෙදුවහොත් පළමුවැනි බල පහරේදීම එන්ජිමේ Knock කිරීම හඳුනාගනිමින්, දහනයේ අති අපිළිවෙළ බව හඳුනාගනිමින් ක්‍රමවත් දහනයක් පවත්වා ගැනීමට අවශ්‍ය ලෙස ඉග්නේෂන් point එක වෙනස් කිරීමක් සිදු කරනවා. එවිට එන්ජිමට සිදු වන හානි අවම වීමක් සිදුවනවා. ඒත් මෙය දීර්ඝ කාලීනව සිදු වන විට එන්ජිමට හානි ගෙන දෙනවා. එය නවත්වන්නට බැහැ.

Comments