ෆාමසි ජාවාරමකුගේ කොන්ත්‍රාත්තුවකට වස බේත් සකසා රටට මරණ වරෙන්තුව ලියූ අපරාධකාරයා | Page 2 | සිළුමිණ

ෆාමසි ජාවාරමකුගේ කොන්ත්‍රාත්තුවකට වස බේත් සකසා රටට මරණ වරෙන්තුව ලියූ අපරාධකාරයා

‘මේඩ් ඉන් ඉන්දියා’ කියලා බොරු ලේබල් ගහලා

ළදරු ඖෂධ, විටමින් වර්ග, මත්ලෝලීන් හොයන අන්තරායකර ඖෂධ ඒ අතර

සියල්ල කල් ඉකුත් වෙච්ච විස බේත්

දිනය ජුලි 08 වැනි සඳුදා ය. ස්ථානය කොළඹ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි. එදින පෙරවරුවේ එහි ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරාට ඔහුගේ ඔත්තු සේවයේ අයකුගෙන් ඔත්තුවක් ලැබිණි. ඉන් කියවුණේ කැලණිය ප්‍රදේශයේ ගබඩාවක කල් ඉකුත් වූ ආහාර තොගයක් නැවත ලේබල් කරන බවය. අමිත් පෙරේරා වහාම ගම්පහ කාර්යාලයට කතා කර පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කළේය. එම වැටලීමට ගිය නිලධාරින් කැලණියේ එකී ස්ථානයේ සිට අමිත් පෙරේරා අමතා දන්වා සිටියේ කල් ඉකුත් වූ ආහාරවලට අමතරව ඖෂධ නිෂ්පාදනය කිරීමක් ද එහි සිදු වන බවය.

ප්‍රධාන ආහාර සහ ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා, ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් දෙදෙනකු වන සී.ඇස්. ගුරුසිංහ හා මහින්ද සිරිකුමාර සමඟ එම ස්ථානයට පිටත් විය. ඔවුන් එහි යන විට පස්වරු 2.00 ට ආසන්න වී තිබිණි. සිව් මහල් ගොඩනැඟිල්ලක පවත්වා ගෙන ගිය මෙම ගබඩාවේ තිබී කරල් වර්ග, සිරප් වර්ග සහ යන්ත්‍ර සුත්‍ර ද ලේබල් ද සොයා ගත හැකි විය.

“මෙම ස්ථානය ඉස්සර ඖෂධ නිෂ්පාදනය කරපු තැනක්. ඖෂධ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර සියල්ලම ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර තිබෙනවා. ස්ථානයත් ඖෂධ නිෂ්පාදනය සඳහා ලියාපදිංචි කරපු තැනක්. ප්‍රශ්නය තියෙන්නේ 2004 දී ලියාපදිංචිය කල් ඉකුත් වී තිබෙනවා. ඊට පස්සේ ලියාපදිංචිය අලුත් කර නැහැ. කුමක් හෝ හේතුවක් නිසා ව්‍යාපාරය බංකොලොත් වෙලා.” යනුවෙන් විස්තර කළේ ප්‍රධාන ආහාර සහ ඖෂධ පරීක්ෂක, අමිත් පෙරේරාය.

මෙම ව්‍යාපාරය ඉංජිනේරුවකුට අයත් වූවකි. මේ වන විට ඔහු 58 වැනි වියේ පසුවෙයි. ඔහුගේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය බංකොලොත් වීමත් සමඟ ඔහු මෙය විකුණා දැමීමට සූදානම් වී තිබේ. එහෙත් ඔහුට හිතවත් ෆාමසි ජාලයක හිමිකරුවන් විසින් ව්‍යාපාරය විකුණා, නොදමන ලෙස පවසමින් ණය මුදලක් ලබා දී තිබේ.

ඔහුට වැරදුණේ එතැනය. එම උදව්වට ප්‍රති උපකාරයක් වශයෙන් එකී ෆාමසි ජාලයේ තිබූ කල් ඉකුත් වූ ඖෂධවල දින වෙනස් කර, අලුත් පත්‍රිකා යොදා නැවතත් සකස් කිරීම ඔහුට භාර විය. එතැන් සිට ඔහු මෙම ෆාමසි ජාලය හිමිකරුවන් ඔහුගෙන් ඉල්ලා සිටි අශිෂ්ට ඉල්ලීම ඉටු කළේය.

ඉන් පසුව ඔහුට පෙති, කරල්, සිරප් වර්ග වැනි ඖෂධ නිෂ්පාදනය කිරීමේ උප කොන්ත්‍රාත්තු පවරනු ලබන්නේ ඖෂධ නිෂ්පාදන සමාගම් විසිනි. මෙම සමාගම්වල ඇණවුම් භාරගෙන නිෂ්පාදනය කරන අතරවාරයේදී ඔහුට අපූරු අදහසක් පහළ විය.

ඒ මෙම ඖෂධ තමාගේ ආයතනයට ද නිෂ්පාදනය කර ගැනීමයි. මේ ‍අනුව ඔහු තමාටද සෙසු ඖෂධ නිෂ්පාදන සමාගම්වලට ද ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කළේය. ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියට කොටු වන්නේ එම අතරවාරයේදීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර සහ ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා ඇතුළු කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් වන නීතිඥ බී. ආර්.ඩබ්ලිව්. බණ්ඩාර, ඒ.එම් .ජේ.මියාස් සහ බී.එම්.කරුණාරත්න යන අය මෙම පරීක්ෂණ කටයුතු අවසාන කරන විට අඟහරුවාදා දවසේ සන්ධ්‍යාව එළැඹී තිබිණි.

මෙහි තිබූ ඖෂධ වර්ග එක් මහලකට රැගෙන විත් ගොඩනැඟිල්ල සීල් කළේ කිසිවකුට ඇතුළු වීමට නොහැකි වන පරිද්දෙනි. මෙම ඖෂධ නිෂ්පාදන ආයතනයේ සේවක සේවිකාවන් 15 දෙනකු සේවය කළ බව වාර්තාවේ.

එහෙත් කිසිම කටයුත්තක් සම්බන්ධයෙන් ලේඛන හෝ වාර්තා පවත්වා ගෙන ගොස් නැත්තේ මෙය නීති විරෝධී කටයුත්තක් බව අයිතිකරු හොඳින් දන්නා නිසාය.

මේ වන විට ඔහුට විරුද්ධව ගොනු වී ඇති චෝදනා මෙසේය.

  • බලපත්‍රයක් නොමැතිව ඖෂධ නිෂ්පාදනය කිරීම
  • ජාතික ඖෂධ නිෂ්පාදන අධිකාරියේ ලියාපදිංචි නොකර ඖෂධ නිෂ්පාදනය කිරීම.
  • කල් ඉකුත් වූ ඖෂධ දිනය වෙනස් කර නැවත සකස් කිරීම.
  • මත්ලෝලින් භාවිත කරන, මෙරට අවභාවිත වන ප්‍රබල වේදනා නාශකයක් තිබීම.
  • ඖෂධ ඉන්දියාවේ නිෂ්පාදනය කරන බවට ලේබල් කිරීම.

මෙම ස්ථානයේ තිබී හමු වූ නැවත ලේබල් කළ කල් ඉකුත් වූ ආහාර ගම්පහ දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් විසින් නගරසභා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යොමු කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කර තිබේ. මෙම ස්ථානයේ තිබුණු ඖෂධ වර්ග සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරනු ලබන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසිනි.

“මෙහි තිබුණු ඖෂධ, පත්‍රිකා, කවර, කරල් පිරවීමට පෙර තිබෙන හිස් කොපු, කල්ඉකුත් වූ ඖෂධ රාශියක් අපි අත්අඩංගුවට ගත්තා. ඖෂධ වරග අතර කුඩා ළමුන්ගේ කැස්ස සහ අසාත්මිකතාවට ලබා දෙන සිරප් වර්ග 2ක්, ප්‍රතිජීවක ඖෂධ 1ක් අතිරේකමය පෝෂණමය ආහාර වශයෙන් ලබා දෙන කරල් වර්ග ගණනාවක්, විටමින් සිරප් වර්ග ගණනාවක් තිබෙනවා.

දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ ඖෂධ ලංකාවේ මොන මොන ප්‍රදේශවලට ගිහින් තියෙනවාද කියලා විමර්ශනය කරලා ඒ සියල්ලම එකතු කරගන්න. ප්‍ර‍ශ්නෙ තියෙන්නේ මේ ගැන රූපවාහිනි මාධ්‍යවලින් ප්‍රචාරය කළාම ඒ බේත් ඖෂධ අලෙවිසැල්වලින් ඉවත් කර ගන්න, හංගාගන්න ලේසියි. අපිට එකපාරට ගිහිල්ලා අල්ලාගන්න බැරි වෙනවා. කොහොම වුණත් අපි ළඟ මේ ඖෂධ නිෂ්පාදනයේ යොදා ගත් ඛාණ්ඩ අංක ති‍බෙනවා.

ඒ ඔස්සේ අපි දිවයින පුරා විමර්ශන කටයුතු සිද්ධ කරනවා. දැනටමත් අපේ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් ලංකාවෙම මෙහෙයුම් කටයුතු කරනවා.” යනුවෙන් අමිත් පෙරේරා විස්තර කළේය.

මේ වන විට කැලණියේ නීති විරෝධී ආකාරයට පවත්වා ගෙන ගිය ඖෂධ නිෂ්පාදන ආයතනයේ හිමිකරු පොලිස් අත්අඩංගුවේ පසු වෙයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ භාරයට ගැනුණු ඖෂධවල වටිනාකම දළ වශයෙන් කෝටි 2කට ආසන්න වේ.

මෙකී හිමිකරුගෙන් නීති විරෝධි ඖෂධ බෙදා හැරීම ඇතුළු වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය වුවත් එය අඛණ්ඩව සිදු කරගෙන යෑමට නොහැකි වී තිබෙන්නේ ඔහු මෑතක දී බයිපාස් සැත්කමකට භාජනය කර ඇති බැවිනි. එහෙත් නුදුරු දිනයකදීම මෙහි අල ගිය තැන් මුල ගිය තැන් හෙළිදරව් වනු ඇත. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ එතැන නොවේ. වසර ගණනක් මුළුල්ලේ පවත්වා ගෙන ගිය මෙම ඖෂධ නිෂ්පාදන ආයතනයෙන් බෙදා හරිනු ලැබූ ඖෂධ භාවිත කළ ජනතාවගේ ඉරණම ගැනය. කල් ඉකුත් වූ ඖෂධ හොර ලේබල් යොදා විකුණන විට, ලංකාවේ නිෂ්පාදනය කර ඉන්දියාවේ නිෂ්පාදනය කරන බවට ලේබල් කරන විට රැවටෙන්නේ ජනතාව ය.

ජීවිත කාලයම රෝග පීඩාවලින් දුක් විඳින්නේ ජනතාවය. ඔවුන්ට සිදු වූ අගතිය ගැන කියන්නට කෙනකු නැත. අසන්නට ද කෙනෙකු නැත.

මුදල් පෙරදැරි කර ගත් සමාජයක නොමිනිසුන්ගේ අයථා ක්‍රියාකාරකම්වලට බිලි වන අපේ මිනිසුන්ගේ හෙට දවස දන්නේ දෙවියන් ම පමණි.

Comments