අද ව්‍යවසායකයා නිර්මාණශීලී විය යුතුමයි | Page 2 | සිළුමිණ

අද ව්‍යවසායකයා නිර්මාණශීලී විය යුතුමයි

ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්ව සංවර්ධනයේ මහගෙදර ලෙස හැඳින්වෙන්නේ මේ වන විට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ‍යේ විෂය පථයට යටත්ව ඇති “කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය” යි. මෙරටෙහි නව ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීම සඳහා කැප වී සිටින එම අංශයේ අධ්‍යක්ෂක සුධීර ජයරත්න මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ (SED) අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කාර්යභාරය, පැහැදිලි කළොත්...

1982 වර්ෂයෙදී තමයි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ආරම්භ කළේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එවකට තරුණ කටයුතු ඇමැතිව සිටි අවදියේදී තරුණ පිරිසට තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හෝ පවතින ව්‍යාපාරය සංවර්ධනය කර ගනිමින් සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස ව්‍යපාරික ලෝකය ජය ගන්න උදව් දීමට තමයි, මෙම ආයතනය බිහි කළේ.

1983 පසුව තමයි මේ ආයතනය පිළිබඳ ජනතාව දැන ගත්තේ. මුලින්ම ආරම්භ කරන කොට කච්චේරියකට නිලධාරියෙක් යොදවලා විසිදෙදෙනෙකුගේ සේවය ලබා ගනිමින් මෙය ආරම්භ කළා. මේ වන විට මෙම ආයතනයේ නිලධාරින් හයසියයකට අධික සංඛ්‍යාවක් සිටිනවා. මේ වන විට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙය පවතින ආයතනයක්. ‘ඔබේ උත්සාහයට අපෙන් දිරියක්’ තේමාව කර ගනිමින් කුඩා ව්‍යවසායකයින් වෙනුවෙන් හඬක් නගන්නට කටයුතු කරන ආයතනයක් කීවොත් නිවැරදියි. ජනතාවගේ සේවයට ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරින් නමින් හඳුන්වන කණ්ඩායමක් සහාය වෙනවා.

රටට අවශ්‍ය නව ව්‍යාපාර බිහි කිරීම සඳහා ඔබේ ආයතනය මඟින් පසුගිය කාලය පුරා කළ කී දෑ ගැන විස්තර කර දිය හැකිද?

අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසිපහට වෙනම කාර්යාල විසිපහක් තිබෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා අපි යොදවපු කුඩා ව්‍යාපාර අංශයේ සංවර්ධන නිලධාරිවරයෙක්. අපි ඒ අය සම්බන්ධ කරලා තියෙනවා ගමේ ඉන්න සංවර්ධන නිලධාරින් සමඟ. ඒ මඟින් තමයි ගම්වල සිටින ව්‍යවසායකයින් හඳුනාගෙන ඔවුන්ට මඟ පෙන්වන්නේ.

මීට අමතරව අප කුඩා ව්‍යාපාරිකයන් ලියාපදිංචි කර ගැනීමේ නව ක්‍රියාවලියකට අවතීර්ණ වී සිටිනවා. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2015 දී කරන ලද සංගණනයකට අනුව දශ ලක්ෂ දහනව දහසක් පමණ ලංකාවේ කුඩා ව්‍යවසායකයන් සිටින බව වාර්තා කර තිබෙනවා. මේ පිරිසෙන් සියයට 48ක් ලියාපදිංචි වී නැහැ. ඒ නිසා මේ පිරිස ලියාපදිංචි කර ගන්න අප කටයුතු කරනවා. ඔවුන් පිළිබඳ එකතු කර ගත් තොරතුරු පරිගණකගත කරනවා. අපි දිනකට ව්‍යාපාරිකයන් 1000ක් පමණ ලියාපදිංචි කර ගන්නවා. එතුළින් ඔවුන්ගේ ගැටලු හඳුනා ගන්නත්, ඒ සඳහා නිසි පිළියම් ලබා දෙන්නත් අපට හැකි වෙනවා. කුඩා ව්‍යාපාරිකයින්ගේ ප්‍රශ්නයකදී ඔවුන්ට කඩිනම් විසඳුම් නොදුන්නොත් ඒ ව්‍යාපාරය වසා දමන තත්ත්වයට පත් වනවා. ඒ නිසයි ඔවුන්ට ක්ෂණික විසඳුම් දිය යුත්තේ.

කුඩා ව්‍යාපාරිකයන්ට බලපාන ඔබ හඳුනාගෙන ඇති එම ගැටලු මොනවාද?

ව්‍යාපාරයට හිතකර පරිසරයක් නැති වීම පිළිබඳ ගැටලු තියෙනවා, සමහර අයට ලියාපදිංචි කර ගැනීමේදී විවිධ ගැටලු බලපානවා. වෙළෙඳපොළ හොයා ගන්න අපහසුතා ඇති වෙනවා. වෙළෙඳපොළට ගැළපෙන දේ මොකක්ද කියලා ඔවුන් නිසි අවබෝධයක් නැති කමින් ව්‍යාපාර බංකොලොත් වන අවස්ථාද තිබෙනවා. ණය ගෙවීමට නොහැකිවීම, ලබා ගත් ණය පරිභෝජනයට ගැනීමත් විශාල ගැටලුවක්.

මොනවද ඔබ ආයතනය මඟින් ඔවුන්ගේ ඒ ගැටලු විසඳන්න ගෙන ඇති පියවර...

වෙළෙඳපොළට ගැළපෙන විදිහට ව්‍යාපාරයක් ආරම්භ කරන්න අප ඔවුන්ට මුල සිටම දැනුම ලබා දෙනවා. “ව්‍යවසායකත්ව” ප්‍රදර්ශනය සෑම වසරකම මෙන් ම ලබන වසරේදිත් පවත්වන්නේ ඒ අරමුණින්. අප ව්‍යවසායකත්වය සඳහා පුහුණු කරන්න පාඨමාලා පවත්වනවා. ප්‍රාදේශීය වෙළෙඳපොළ සොයන අයට ගැනුම්කරුවන් සොයා දෙනවා. ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය සහාය ඇතිව ඒ භාණ්ඩ හා සේවා පිටරට යවන්නත් සහාය දෙනවා.

අද බොහෝ දෙනෙකුට Online සේවාව ඉතා පහසුදායක වෙලා තියෙනවා. ඒ නිසා අප ව්‍යවසායකයන්ට තම ජංගම දුරකථනය භාවිතයෙන් Online සේවය ලබාගන්න උගන්වනවා. ඔවුන්ට ඒ සඳහා මඟ සලසා දෙනවා ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න මෙය කදිම රුකුලක්. වර්තාමනයේ ලංකාවේ ජනප්‍රිය වී ඇති wow.lk,Daraz, Takas වැනි සේවාවන් සමඟ ඔවුන් ලියාපදිංචි කර පහසුකම් සලසන්න අප ආයතනය පියවර ගෙන තිබෙනවා.

ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස හැඳින්විය හැකි ‘ව්‍යවසායකයන්’ වෙනුවෙන්, රජය හා බලධාරින් ඉටු කරන සේවය ගැන ඔබේ අදහස?

පළාත් සභා හා අනෙකුත් සියලු ආයතන එක අරමුණකට වැඩ කරනවා නම් තමයි හොඳ. සම්බන්ධීකරණය මීට වඩා හොඳ වනවා නම් හොඳයි. එකම දේ දෙපොළකින් නොකර ඒ සඳහා ආයතන පත් කළ යුතුයි. ව්‍යවසායකයාට අපහසුතා ඇති වන පරිදි ආයතන කටයුතු නොකළ යුතුයි.

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැනි වැඩසටහන් සමඟ අප මේ ව්‍යවසායකයන් සම්බන්ධ කරනවා. අපේ ‘ස්වශක්ති පහස’ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙයත් රජයේ වැඩසටහනක්. ඒ හරහා අපි මේ වන විට 12,000 කට ණය මුදල් නිකුත් කර තිබෙනවා. පොලිය සියයට 5.5ක් තරම් වෙනවා. ඒ වගේම ලංකා බැංකුවේ ‘තුරුණු දිරිය’ ණය ක්‍රමය යටතේත් මේ වන විට දහසකට ආසන්න පිරිසකට ණය නිකුත් කර තිබෙනවා.

රටට ජාතික ප්‍රතිපත්තියක් තිබෙන්න ඕනෑ. ජාතික සැලැස්මක් තිබෙන්න ඕන. කවුරු බලයට පත් වුණත් මේ ක්ෂේත්‍රය නගාසිටුවන්න ඒ සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේ වන විට රජය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අප ජාතික සැලැස්මක් හදනවා. අනාගතයේදි එය ක්‍රියාත්මක වේවි.

ව්‍යාපාර ආරම්භ කර එක දිනකින් වැසී නොයා, පවත්වාගෙන යෑමට කළ යුතු දේවල් මොනවාද?

සමහර ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආදායම - වියදම ගැන හරි අවබෝධයක් නෑ. ඔවුන් ඒවා සටහන් කර ගන්නේ නෑ. ව්‍යාපාරය හා පෞද්ගලික ජීවිතය හරිහරණය පටලවාගෙන තියෙනවා. ඒ නිසා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශාල දුර්වලතාවක් තිබෙනවා. එය ප්‍රධානම හේතුවයි.

ව්‍යාපාරය සුදුසු වෙලාවට වෙනස් කරන්නේ නෑ. පිටරටින් බඩු ගේන නිසා මෙහේ නිෂ්පාදන කරන්න බැහැ වගේ අදහසන් තිබෙනවා සමහර ව්‍යාපාරිකයන්ට. ඒත් මේ මතය වෙනස් කළ යුතුයි. ආනයන අපනයන ගැන හිතනවා වගේම පාරිභෝගිකයන් පිනවන්න අපේ රටේ ව්‍යවසායකයන් දන්නේ නෑ. කඩේකට ගියහම පාරිභෝගිකයා සමඟ හිනා වෙලා කතා කරන පිළිවෙළක් අපේ රටේ නැහැ.

රටේ දේශපාලන තත්ත්වය කුමක් වුවත් කොයි ආණ්ඩු තිබුණත් මේ පැත්ත දියුණු කරන්න බැරිව විවේචනය කර කර ඉන්නවා. තමන්ගේ පැත්තේ අඩුපාඩු හදා ගන්නේ නෑ.

නව නිර්මාණකරුවන් පිළිබඳව ඔබගේ අදහස...

නව නිර්මාණයක් බිහි වන්න නම් සමාජයේ හා මිනිසුන්ගේ ගැටලුවක් පදනම් කරගෙනයි. ලෙඩකට බෙහෙතක් හොයනවා වගේ පරිසර ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න වගේ දැවෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න තමයි නව නිර්මාණ බිහි වෙන්න ඕනෑ. ඒත් අපේ රටේ එහෙම නව නිර්මාණ බිහි වන සංස්කෘතියක් නෑ. තමන් කැමති දේ තමයි හදන්නේ. හදලා බලනවා එයට වෙළෙඳපොළ තිබෙනවාද කියලා. ඉතිං එයට වෙළෙඳපොළ හම්බ වෙන්නෙ නෑ. වෙළෙඳපොළ ඉලක්ක කර බිහිවන නිර්මාණ නෙවෙයි.

ව්‍යවසායකයන් වෙනුවෙන් ‍රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඔබගේ අදහස?

අධ්‍යාපන ක්‍රමය නම් ව්‍යවසායකයන්ට ගැළපෙන්නේ නැහැ. ව්‍යවසායකයෙක් හදන්න නම් නිර්මාණශීලී, පරිසරය විඳින්න පුළුවන්, පරිසරයේ ගැටලු හඳුනා ගන්න පුළුවන් අලුත් විදිහට ලෝකය දකින්න පුළුවන් මිනිහෙක් තමයි අපි බිහි කළ යුත්තේ.

එහෙත් අද ඉන්නේ කටපාඩම් කරපු පරපුරක්. ව්‍යවසායකත්වය විෂයයක් විදියට ඉගැන්නුවොත් සමහරවිට හරි යයි. ඒත් කටපාඩම් කරලා බිහි වන ව්‍යවසායකයා නෙමෙයි අපි බිහි කළ යුත්තේ, ප්‍රායෝගිකව ලෝකය දකින්න පුළුවන් ව්‍යවසායකත්වයයි අපේ ඉලක්කය විය යුත්තේ.

Comments