ඇට්ලස් සමාගම 60 වන සංවත්සරයට | සිළුමිණ

ඇට්ලස් සමාගම 60 වන සංවත්සරයට

ඇට්ලස් ඇක්සිලියා සමාගම මුලින්ම ආරම්භ කරන ලද්දේ ඩී. එස්. මදනායක මහතා විසින්, 1959 වර්ෂයේදී ය. සේවකයන් 10 දෙනෙකු සහ යන්ත්‍ර 11 ක් සමගින් එම සමාගම ආරම්භ වන විට මෙරට වෙළඳපොළ ආනයනය කරන ලද පෑන්, පැන්සල් සහ අභ්‍යාස පොත්වලට නතුවී තිබිණි. එහෙත් වඩාත් උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන දේශීයව නිපදවිය හැකි බව සමාගම පෙන්වා දුන් අතර, ක්‍රමයෙන් නව නිෂ්පාදන රැසක් පාරිභෝගිකයන් වෙත ලබාදීමටද සමත් විය.

මේ වනවිට පිලිපීනය, මාලදිවයින සහ බංගලාදේශය යන රටවලට නිෂ්පාදන අපනයනය කරන ඇට්ලස් සමාගම ඉදිරියේදී කලාපයේ තවත් රටවල් වෙත ව්‍යාප්ත වීමට අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇට්ලස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසී ය. “රටේ අධ්‍යාපනය නගාසිටුවීම සහ දරුවන්ගේ යහපත සැලසීම වෙනුවෙන් ඇට්ලස් සමාගම වසර 60 ක් තිස්සේ කැපවී කටයුතු කරමින් සිටිනවා. මෙම අරමුණ වෙනුවෙන් අප මුළු දිවයිනම ආවරණය වන පරිදි අධ්‍යාපන වැඩමුළු, ගුරු පුහුණු වැඩමුළු, පහ වසර ශිෂ්‍යත්ව වැඩමුළු ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුයි. විශේෂයෙන්ම රිදීගම රිදී විහාරය සමග එක්වී වසර 16 ක් තිස්සේ අප ක්‍රියාවට නංවමින් සිටින, අපගේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන ගැන අපට ආඩම්බර වන්නට පුළුවන්. මෙම වැඩසටහන යටතේ සෑම වසරකදීම අප දරුවන් 5,000 කට අධික පිරිසක් වෙනුවෙන් ලිපිද්‍රව්‍ය බෙදා දෙනවා.

සියයට සියයක් දේශීය සමාගමක් ලෙස එදාමෙදාතුර, බහුජාතික සමාගම්, බාල ප්‍රමිතියෙන් යුතු ආයනිත නිෂ්පාදන සහ ව්‍යාජ නිෂ්පාදන ඇතුළු අභියෝග රැසකට මුහුණ දීමට ඇට්ලස් සමාගමට සිදුවිය. එහෙත් තම නිෂ්පාදනවල ප්‍රමිතිය වැඩිකරමින්, මිලගණන් වඩාත් සහනදායී මට්ටමකට ගෙන එමින් සහ නව නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙම අභියෝග ජයගැනීමට සමාගමට හැකියාව ලැබිණි.

සමාගමේ කීර්ති නාමයට හානි කරන ව්‍යාජ පුවත් සහ ද්වේෂ සහගත අදහස් 400 කට අධික සංඛ්‍යාවක් පළවී ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි ව්‍යාජ ගිණුම් මගිනි. ෆේස්බුක් වෙබ් අඩවිය සිය ප්‍රතිපත්ති අනුව මෙම පුවත් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇත.

තවත් මෙවැනි ප්‍රකාශ 148 ක් සිදුකර ඇත්තේ තරගකාරී සමාගම් වෙනුවෙන් සේවය කරන සහ වෙනත් පටු අරමුණු සහිත පුද්ගලයන් විසිනි. අද පවා සමාගමට එරෙහි චෝදනාවලින් හරි අඩක්ම එල්ල කරනු ලබන්නේ ෆේස්බුක් වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුම් හරහාය.

Comments