එල්.බී. ෆිනෑන්ස් බැංකු නොවන මූල්‍ය ආයතන අතර මුල් තැනට | Page 2 | සිළුමිණ

එල්.බී. ෆිනෑන්ස් බැංකු නොවන මූල්‍ය ආයතන අතර මුල් තැනට

මෙරට බැංකු නොවන මුල්‍ය ආයතන අතර ප්‍රමුඛයාවන එල්.බී. ෆිනෑන්ස් ආයතනය 2019 මාර්තු මාසයෙන් අවසන් වූ මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 9.8 ක දැවැන්ත මුල්‍ය සේවා මෙහෙයුම් බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය. එය පසුගිය වසරේ රු. බිලියන 7.8 සමග සැසඳීමේදී 24.9%ක කැපී පෙනෙන වර්ධනයකි. අභියෝගාත්මක ආර්ථික පරිසරය ක්‍රමෝපායික ලෙස සිය ඉදිරි ගමන සඳහා යොදා ගනිමින් එල්.බී. ෆිනෑන්ස් ආයතනය අඛණ්ඩව වර්ධනය වෙමින් ඉදිරියට පැමිණියේය.

ළෙන්ගතු පාරිභෝගික පදනම මත එල්.බී. ෆිනෑන්ස් ආයතනය රු. බිලියන 5.1 ක බදු පසු ලාභයක් අත්කර ගැනීමට සමත් විය. මෙය ආයතනයේ ඉතිහාසයේ බදු පසු ලාභය රු. බිලියන 5ක සීමාව පසු කළ පළමු අවස්ථාව වන අතර පසුගිය වසරේ වාර්තා වූ රු. බිලියන 4.3ක බදු පසු ලාභය සමග සැසඳීමේදී මෙවර 18.9%ක වර්ධනයකි. සමාලෝචන වර්ෂය තුළ බදු පෙර ලාභය රු. බිලියන 7.7ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරේ රු. බිලියන 6.5 ක බදු පෙර ලාභය සමග සැසඳීමේදී 19.5%ක සුවිශේෂී වර්ධනයකි. විශේෂයෙන් පසුගිය වසරේ අග භාගයේදී මෙරට ඇති වූ අස්ථාවර දේශපාලන තත්ත්වය ද හමුවේ මෙවැනි වර්ධනයක් අත්කර ගැනීමට එම ආයතනය සමත් වීම විශේෂත්වයකි. 2018-19 වසර සඳහා ජනතාවගේ මුල්‍ය සේවා සම්පාදකයා ලෙස කිරුළු දරමින් එල්.බී. ෆිනෑන්ස් ආයතනය මෙරට ජනතාවගේ හදවත තුළ සිය නාමය තවදුරටත් සනිටුහන් කිරීමට සමත්ව සිටී. 2019 මාර්තු 31 වනදායින් අවසන් වූ මුල්‍ය වර්ෂය සඳහා එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ දළ පොළී ආදායම රු. බිලියන 14.4ක් ලෙස වාර්තා විය.

මෙය පසුගිය වසරේ වාර්තා වූ රු. බිලියන 11.9ක දළ පොළී ආදායම සමග සැසඳීමේදී 21.2%ක කැපී පෙනෙන වර්ධනයක්වන අතර එම කාලය සඳහා වාර්තාගත ආදායම රු. බිලියන 29.3ක් විය. එය පසුගිය වසරේදී රු. බිලියන 25.0ක් වූ අතර 16.9%ක වර්ධනයකි.

මෙරට ජනතාව තමන් කෙරෙහි තබා ඇති නොමඳ විශ්වාසය මැනවින් පිළිබිඹු කරමින් එල්.බී. ෆිනෑන්ස් ආයතනය සිය තැන්පතු පදනම රු. බිලියන 83.2ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වූ අතර පසුගිය වසරේ වාර්තා වූ තැන්පතු පදනම රු. බිලියන 73.0කි.

වසර 48ක කීර්තිමත් ඉතිහාසය පුරා මුල්‍යමය සහ දේශපාලනික අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යමින් එල්.බී. ෆිනෑන්ස් ආයතනය මෙරට මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ සිය අභිමානවත් බව මැනවින් පෙන්නුම් කර ඇත.

Comments