ගින්නට ඔරොත්තු දෙන දොරවල් හදන ORIAN TERRA LAK STEEL | සිළුමිණ

ගින්නට ඔරොත්තු දෙන දොරවල් හදන ORIAN TERRA LAK STEEL

යකඩ හා වානේ දොරවල් කිව්වම අද රටේ එතරම් පිළිගැනීමක් නැහැ. නමුත් ශක්තිමත් හා ආරක්ෂාකාරී බව නොදිරන බව හා කල් පැවැත්ම නිසා වානේ දොරවල් භාවිතයට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා . නමුත් ලී දොරක් නිෂ්පාදනය කරන්නට කපා විනාශ කළ යුතු ගස් සංඛ්‍යාව ගැන සළකා බලන විට රටේ යකඩ හා වානේ දොරවල් සඳහා වන ව්‍යාපාරයක් සඳහා අනුග්‍රහය ලබාදීම ඉතා වැදගත් කාරණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

කොරියානු තාක්ෂණය මෙරටට ගෙනැවිත් ලංකාව තුළ කැපී පෙනෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්නට කැප වූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් ලෙස පී. ජී චමින්ද මහතා හැදින්විය හැකිය. ඔහු ORIAN TERRA LAK STEEL LTD (PVT) ආයතනය බිහිකළ නිර්මාතෘවරයායි.

හබරණ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආයතනය පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා පසුගියදා අප කළ සංචාරයකදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

මම 2005 දි රැකියාවක් සඳහා කොරියාවේ ගියා. එහිදී මම යකඩ දොරවල් හදන කොරියානු සමාගමක් සමඟ සම්බන්ධව වැඩ කළා. යකඩ දොරවල් හැදීමේ තාක්ෂණය ඉගෙන ගත්තා. එම රටවල 90% ම පාවිච්චි කරන්නේ යකඩ. දිනකට එම කර්මාන්තශාලාවෙන් දොරවල් පන්සියයක් පමණ සාදනවා.

මටත් අදහසක් ආවා ලංකාවට ඇවිත් මේ තාක්ෂණය අපේ රටට ලබාදීමට ඕන කියලා. එයට හේතුව වූයේ අපේ රටේ දොරවල් හදන්න අප ගස් කපා විනාශ කරනවා. නමුත් ලංකාවෙ එම කපන ගස් වෙනුවට තවත් ගත් ගස් වවන්නේ නැහැ. මේ සම්පත රැක ගන්න නම් අපි විකල්පයක් ලංකාවට හඳුන්වා දිය යුතුයි කියන එකයි මගේ අදහස වුණේ. ඒ අනුව විකල්පයක් ලෙස සාමාන්‍ය දොරවල්, ගින්නට ඔරොත්තු දෙන දොරවල්, වෙඩි නොවදින දොරවල් අපි සකස් කරනවා. මේවා මිල අධිකයි. මිල අධික වී තිබෙන්නේ පිටරටින් ඊට අවශ්‍ය සියලු දේ ගෙවීමට සිදුව ඇති නිසයි.

මම ව්‍යවසායකයෙකු ලෙස පිටරට ගිහින් ලබා ගෙන ආ දැනුමෙන් රටට සේවයක් ගත යුතුයි කියලා කාටවත් හැගීමක් තිබුවෙ නෑ. මේ නිසා මම මේ ආයතනය තනිවම ආරම්භ කළා. නමුත් යකඩ දොරවල් සඳහා රටේ කිසිදු ඉල්ලුමක් තිබුණේ නැහැ. මේ නිසා මම මේ ආයතනය වසා දමන්න තීරණය කළා. නමුත් 2013 දී දැයට කිරුළ උතුරු මැද පළාත් අධ්‍යාපන ප්‍රදර්ශනය වෙලාවේ දොරවල් 13 ක් මිලදී ගන්නට අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කළා. ඒ අනුව මම වහන්න ගිය ව්‍යාපාරයට නැවුම් පණක් ආවා. පස්සේ මම එම ව්‍යාපාරය වසා දැමුවොත් දොරවල් වලට වග කියන්නේ කවුද කියන කාරණය මගේ හිතට ආවා. මොකද අවුරුදු පහක වගකීම් සහතිකයක් සහිතව තමයි අපි දොරවල් ලබා දෙන්නේ. ඒ අනුව මම මෙම ආයතනය දිගටම කරගෙන යන්න තීරණය කළා.

2015 දී මහජන බැංකුව හා ඇමරිකානු ආයතනයක් එකතුවෙලා මට උදව් කළා. මෙම විශාල මැෂින් ගත්තේ අලුත් තාක්ෂණය හඳුන්වා දුන්නේ ඒ නිසයි. දවසකට දොරවල් සියයක් හදන්න අපට හැකියාව තිබෙනවා. රජයෙන් අවශ්‍ය සහාය දෙනවා නම් මට මෙම ව්‍යාපාරය මීට වඩා දියුණු කරගන්න පුළුවන්.

අද ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයන් කරන්නේ පිටරටින් චීනය, මැලේසියාව, ඉන්දියාව වැනි රටවලින් දොරවල් ආනයනය කරන එකයි. ඒවට කිසිදු වගකීමේ සහතිකයක් නැහැ. නමුත් අපි දේශීයව නිෂ්පාදනය කරන මෙම දොරවල් පිළිබඳ සම්පූර්ණ වගකීමෙන් කටයුතු කරනවා.

සුළු හා මධ්‍ය පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අතහිත දෙන ආයතනයක් ලෙස ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය මෙම ආයතනයට දිරි දෙන බව මෙහිදී චමින්ද මහතා සදහන් කළේය.

අදහස්