TJC අඹ හඳුන්වාදුන් එල්ලාවල හෝර්ටිකල්චර්ට රන් සම්මානයක් | සිළුමිණ

TJC අඹ හඳුන්වාදුන් එල්ලාවල හෝර්ටිකල්චර්ට රන් සම්මානයක්

වියළි කලාපයේ භෝග වගාව, ජාත්‍යන්තරය කරා ‍රැගෙන යන ‘TOM E JC’ අඹ වගාවේ නිර්මාතෘ සමාගම වන, එල්ලාවල හෝර්ටිකල්චර් පුද්ගලික සමාගම පසුගියදා විශේෂ සම්මානයකට පාත්‍ර විය.

ඒ, අනුරාධපුර වාණිජ මණ්ඩලයෙන් ප්‍රදානය කරන ලද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි රන් සම්මානය හිමි කරගනිමිනි.

අපනයන කෘෂිකර්මාන්තයේ නියැළෙන ප්‍රධාන සමාගමක් වුවත්, වියළි කලාපයේ නිසරු බිම්, සරු අස්වනු ලබන වගා බිම් බවට පත් කිරීමේ දුෂ්කර කාර්යයකට අතගසා සිටින ඔවුහු මේ සඳහා ප්‍රධානකොට තෝරා ගෙන ඇත්තේ, හිස්ව පවතින පාසල් ඉඩම් වීම, විශේෂත්වයකි.

එසේ තෝරා ගන්නා හිස් පාසල් ඉඩම් සංවර්ධනය කර, එම ඉඩම් තුළ TJC අඹ වගාව ආරම්භකොට, සමාගම විසින් නඩත්තු කර දෙනු ලබන අතර, අඹ වග‍ාවෙන් ලැබෙන ආදායම පාසලටම ලබා දේ.

එමඟින්, පාසල සංවර්ධනය වන අතරම, සිසිලස සෙවණ පිරි පාසල් පිටියක් ද නිර්මාණය වන අතර, දරුවන්ට නව තාක්ෂණය මුසු කෘෂිකාර්මික අත්දැකීම් ප්‍රායෝගිකව ලබා ගැනීමට ඉන් අවස්ථාව උදා වේ. එල්ලාවල සමාගමට රන් සම්මානය හිමි වූයේ ලාභයෙන් ඔබ්බට ගිය, මෙම දැවැන්ත මෙහෙවර අගයනු පිණිස වීමද විශේෂත්වයකි.

එමෙන්ම TJC අඹ වගාව, වර්තමානය වන විට ඉහළ ලාභදායි වාණිජ වගාවක් බවට පත් ව ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගල්කිරියාගම ප්‍රදේශයේ පිහිටි එල්ලාවල හෝර්ටිකල්චර් ප්‍රයිවට් ලිමිටඩ් හී සභාපති දේශබන්ධු ටොම් එල්ලාවල මහතා විසින් දිගු කාලයක් පුරා සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස TJC අඹ විශේෂය හඳුන්වා දුන් අතර, පිලිපීන ජාතික ජුවාන් කාලෝස් මහතා, එතුමා හට තාක්ෂණික සහය ලබා දී ඇත.මෙම විද්වත් දෙපළගේ නම් කෙටිකර TOM EJC’ ලෙස අඹ ප්‍රභේදය නම් කර ව්‍යාප්ත කර ඇති අතර, එතැන් පටන් ගෙවතු වගාවක් ව පැවැති අඹ වගාව ඉහළ ආදායම් ඉපැයිය හැකි වාණිජ වගාවක් බවට පත් විය.

එල්ලාවල හෝර්ටිකල්චර් පුද්ගලික සමාගම තුළ අක්කර 140 පමණ ප්‍රමාණයකTJC අඹ වගාව යහපත් කෘෂි පිළිවෙත් (GAP) යටතේ සහ කොටසක් කාබනික වගාව යටතේ (organic) ඉතා සාර්ථකව සිදු කරනු ලබන අතර ඉන් ලැබෙන අස්වැන්නෙන් 50% ප්‍රමාණයක් අපනයනය සඳහා (විදේශ වෙළෙඳපොළ සඳහා) 20% ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළ සඳහා ද, 30% ප්‍රමාණයක් ආහාර සැකසුම් කර්මාන්තය සඳහා ද යොදාගනු ලබයි. මෙම අඹ ප්‍රභේදය හඳුන්වා දුන් ටොම් එල්ලාවල මහතාගේ අරමුණ වූයේ වියළි කලාපයේ අපනයන භෝගයක් වශයෙන් මෙය ව්‍යාප්ත කර රටට විදේශ විනිමය වැඩි වශයෙන් ලබා ගැනීම සඳහා අවස්ථාවක් ඇති කිරීමයි.

ඉතා කෙටි කාලයක් තුළ දී, TJC අඹ ප්‍රභේදය ජනප්‍රිය වීමට සහ දේශීය සහ විදේශිය වෙළෙඳපොළ ඉතා ඉහළින් ජයග්‍රහණය කිරීම සඳහා එහි ඇති විශේෂත්වයන් ලෙස,

*පැළ සි‍ටුවා වසර 3ක් වැනි කෙටි කාලයකින් ඵල දැරීම ආරම්භ වීම.

*වසරේ මාස 08 ක් පුරාවට ඵල දැරීම අඛණ්ඩව සිදු වීම.

*ගෙඩියක බර ග්‍රෑම් 600 - 1000 අතර වීම.

*ආකර්ෂණීය රන්වන් කහ පැහැය නිසා පාරිභෝගික ආකර්ෂණය වැඩි වීම ස්වාභාවිකව ඉදීම සඳහා සාපේක්ෂව වැඩි කාලයක් ගත වීම නිසා වෙළෙඳපොළ ආයු කාලය (Market life) වැඩිවීම.

*රෝග සහ පළිබෝධ සඳහා ප්‍රතිරෝධි වීම, ආදිය දැක්විය හැක. මෙම ලක්ෂණ හේතුවෙන් TJC අඹ ප්‍රභේදයේ වෙළෙඳපොළ වටිනාකම ඉතා ඉහළ වන අතර, සාමාන්‍යයෙන් මෙම අඹවල පළමු ශ්‍රේණියේ අඹ කිලෝවක වෙළෙඳපොළ වටිනාකම රු.350- 700 අතර වේ.

මෙම TJC අඹ ප්‍රභේදය වගා කිරීම සඳහා ඉතාමත් උචිත දේශගුණික සහ කාලගුණික සාධක පවතින්නේ වියළි සහ අතරමැදි කලාපයේ වන අතර, මෙම අඹ ප්‍රභේදය වාණිජව වගා කිරීමට නිර්දේශ කරනුයේ ද මෙම කලාපයන්වල පමණි. එම කලාපවල වගාකිරීමෙන් අඹ ප්‍රභේදයට ආවේණික රසය සහ ප්‍රමාණය ඒ අයුරින්ම තබා ගැනීමේ හැකියාව ඇත.

කාලයක් සමඟ ඉතා ජනප්‍රිය වෙමින් පවතින TJC අඹ වගාව වාණිජ වශයෙන් සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහ පරිමාණ ලෙස වගාකරුවන් විශාල ප්‍රමාණයක් දැනටමත් ආරම්භ කර ඇති අතර, එම වගාකරුවන් සඳහා අවශ්‍ය TJC අඹ පැළ, නිවැරදි තාක්ෂණික දැනුම, සහ අවශ්‍ය අනෙකුත් උපදෙස් එල්ලාවල හෝර්ටිකල්චර් පුද්ගලික සමාගම විසින් ලබා දේ.

මේ වන විට මෙම ආයතනය සතුව බාහිර වගාකරුවන් 3000ක පමණ ප්‍රමාණයක් ඇත. බාහිර වගාකරුවන් සඳහා අවශ්‍ය TJC අඹ පැළ ඉතා උසස් තත්වයෙන් නිෂ්පාදනය කර ගැනීම සඳහා A ශ්‍රේණියේ පැළ තවානක් ආයතන සතුව ඇති අතර TJC අඹ පැළ නිෂ්පාදනය සඳහා 100%ක් ප්‍රභේදයට ආවේණික මවු ගස්වලින් රෝපණ ද්‍රව්‍ය ලබා ගනී. TJC අඹ වගාව වාණිජව සිදු කරන වගාකරුවන්ගේ අස්වැන්න එල්ලාවල හෝර්ටිකල්චර් පුද්ගලික සමාගම විසින් මිල දී ගැනීමේ ක්‍රමවේදයක් ද ආයතනය සතු වේ.

මෙම අඹ ප්‍රභේදය ආශ්‍රිත අතුරු නිෂ්පාදන ලෙස TJC අඹ ජෑම්, අඹ චට්නි, වියළි TJCඅඹ, අඹ පල්ප, TJCඅඹ කැබලි සහ TJCඅඹ යුෂ දැක්විය හැකිය.

මෙම ආහාර සැකසුම් සියල්ලම ඉතා ආරක්ෂාකාරි ලෙස ගුණාත්මක ලෙස සිදු කරන අතර, මෙම නිෂ්පාදන අංශය සඳහා GMP,ORGANICයන තත්ත්ව සහතික ලබාගෙන ඇති අතර, ISO22000 තත්ත්ව සහතිකය ලබා ගැනීමට කටයුතු සිදු කරමින් පවතී.

එමෙන්ම ගොවිපළ තුළ පවතින කාබනික අඹ වගාවෙන් ලබා ගන්නා අඹවලින් ඉහත නිෂ්පාදනයන් සියල්ල කාබනික නිෂ්පාදන ලෙස ද සිදු කරනු ලබයි.

අදහස්