බහිරව කන්දේ බුදු රුව මවා ලෝකයට ගිය විශ්ව කර්මයා | සිළුමිණ

බහිරව කන්දේ බුදු රුව මවා ලෝකයට ගිය විශ්ව කර්මයා

ඇල්බට් විජේ­සේ­ක­ර මහතා

* බුදු පිළිමයේ මුහුණ බැලුවේ ගහක බැඳපු ඉණිමඟකට නැඟලා
* සිංග­ප්පු­රුවේ සැත­පෙන බුදු පිළි­මය සහිත විහාර ගෙයත් මගේ නිර්මා­ණ­යක්
* අවුරුදු දෙකෙන් හදන්න ගිවිසුම් අස්සන් කළ පිළිමය අවුරුද්දෙන් ඉවර කළා

අතී­තයේ දිනෙක රාත්‍රී අඳුරේ නුවර වැව වටේ ඇවිද යන මට ඈතින් පෙනෙන කිරි සුදු­පැහැ බහි­රව කන්ද සමාධි පිළි­මය දැක සිත ඇති වූ හැඟීම අදද වච­න­යෙන් විස්තර කළ නොහැකි තරම්ය. ඒ දසුන ඒ තර­ම­ටම සිත පහන් කර­න්නකි.

මේ තරම් උසට , දකින අයගේ නෙත සන­සන, මෙත­රම් විශාල පිළි­ම­යක් නිර්මා­ණය වූයේ කෙසේද? මේ අසි­රි­මත් නිමැ­වුම කළේ කවර ශිල්පි­යාද?

ඒ එද­වස සිත උපන් සිතු­වි­ලිය. කාලය ගෙවී ගියේය. එ් සුන්දර දසුන දැක වසර පහ­ළො­ව­කට පමණ පසු එම අපූරු බුදු පිළි­මය නිර්මා­ණය කළ ශිල්පියා සමඟ කතා­ක­ර­න්නට අව­ස්ථා­වක් ලැබිණි.

අසූ තුන්වැනි වියෙහි පසු වන ඒ මහා විශ්ව­ක­ර්මයා එස්. ඒ. ඇල්බට් විජේ­සේ­ක­රය. රටේ බහු­ත­ර­යක් සිටින්නේ පර­ම්ප­රා­වෙන් එන කලා­ක­රු­වෝය. එහෙත් කලාව සැමට පිහි­ටන්නෙ නැත. සහ­ජ­යෙන් ගෙනා ආ හැකි­යාව ප්‍රගුණ කිරී­මෙන් ඔහු යුග ගණ­නා­වක් පව­තින නිර්මාණ කළ අයෙකි.

එක්ද­හස් නව­සිය තිස්හය වසරේ වර­කා­පොළ බටු­වන ගමේ උපන් විජේ­සේ­කර දහ දෙනෙ­කු­ගෙන් යුතු පවුලේ පස් වැනි­යාය.

“මගේ අම්මා තාත්තා­වත් අපේ පර­ම්ප­රා­වල කිසිම කෙනෙක් චිත්‍ර මූර්ති කරලා නැහැ. නමුත් මම පොඩි කාලේ ඉඳ­ලම කළේ චිත්‍ර අඳින එක. මැටි අනලා රූප අඹන එක. තාත්තාගේ ආයු­ධ­යක් අර­ගෙන ගලක කැට­යම් කොටන එක. ළමා වයස වුණත් මම ළමයි එක්ක සෙල්ලම් කරන්න ගියේ නැහැ. ඒ විදි­හ­ටයි මගේ නිර්මාණ ජීවි­තය ඇර­ඹෙන්නේ.

මම මුලින්ම ඉගෙන ගත්තේ බටු­වන කනිෂ්ඨ විද්‍යා­ලයේ. අට වැනි ශ්‍රේණියේ සිට නියැ­දු­රු­පොළ සිරි­පැ­ර­කුම්බා මහ විද්‍යා­ලයේ. චිත්‍ර විෂය මුර්ති විෂය වැඩි­දු­ර­ටත් ඉගෙ­න­ගැ­නී­මට හේවුඩ් එකට බැඳුණා. එහිදී මගේ නිර්මා­ණා­ත්මක හැකි­යාව තව තවත් ඔප­ම­ට්ටම් කර ගත්තා. එක්ද­හස් නව­සිය පනස් අට වසරේ දී රජයේ ලලිත කලා ආය­ත­න­යෙන් චිත්‍ර කලා ඩිප්ලෝ­මාව ලබා­ගත්තා. 1962 දී චිත්‍ර ගුරු පුහුණු පළමු පන්තියේ සාමා­ර්ථ්‍ය­ය­කුත් සමඟ තමයි මම ගුරු සේව­යට ඇතු­ළත් වුණේ.”

ගිරා­ගම සෞන්දර්ය ගුරු විද්‍යා­ලය ආරම්භ කරද්දි එහි ප්‍රථම චිත්‍ර කලා කථිකාචාර්යවරයා ලෙසින් කට­යුතු කිරිමේ භාග්‍ය විජේ­සේ­ක­රට හිමි විණි. එතැන් සිට එක්ද­හස් නව­සිය අනූ එක වන තුරුම රටේ සිවු දිගින් පැමිණි ගුරු­ව­රුන්ට චිත්‍ර කලාව පිළි­බඳ දැනුම අව­බෝ­ධය ලබා­දීම ඔහුගේ කාර්ය විය.

“ඉගැ­න්වීම මගේ රස්සාව වුණත් මම හිතුවේ එය මගෙන් මේ රටට මේ රටේ දරු පර­ම්ප­රා­වට විය යුතු සේවා­වක් කියලා . මම බොහෝම කැප­වී­මෙන් ආශා­වෙන් තමයි ඒ සේවය කළේ.”

ඔහුට අගනා කලා නිර්මාණ බිහි කිරී­මට මඟ පෑදෙන්නේ මේ අත­ර­තු­රය. දුටු දනන් සිත පැහැ­දෙන, බුද්ධා­ල­ම්භන ප්‍රීතිය මතු වන අයු­රින් බුද්ධ­ප්‍ර­තිමා නිර්මා­ණය කිරීමේ අව­ස්ථාව උදා වන්නේ මේ අත­ර­තු­රය. මුලින්ම මිත්‍ර­ය­කුගේ ආරා­ධ­න­යක් අනුව ඔහු පොල්ගොල්ල ගුරු­වි­ද්‍යා­ලය සඳහා අඩි තුනක් උසින් යුතු බුද්ධ ප්‍රති­මා­වක් නිර්මා­ණය කරයි. ඒ ප්‍රති­මාව දැක පැහැ­දුණු අය නිසා ඔහුට ඊළඟ ඇර­යුම ලැබෙන්නේ දොලං­වල බෝමළු විහා­ර­ස්ථා­න­යෙනි. එහි ඔහු අඩි පහක් උසැති බුදු පිළි­ම­යක් නිර්මා­ණය කරයි. අසූ අට­රි­යන් බුදු පිළි­ම­යක් නිර්මා­ණය කිරීම සඳහා ඇර­යු­මක් ලැබෙන්නේ ඊට පසුය. එය ලෙහෙසි පහසු කාර්ය­යක් නොවූ­ණද විජේ­සේ­කර ඒ සඳහා මිල ගණන් කතා නොක­රයි. ඔහු ඇර­යුම පිළි­ගන්නේ බොහෝ කැමැ­ත්තෙනි.

“එව­කට බහි­රව කන්දේ හිටපු නායක ස්වාමින් වහන්සේ මට ආරා­ධ­නය කළා බහි­රව කන්ද මුදුනේ බුදු පිළි­ම­යක් හදන්න කියලා. මම ඇස්මේන්තු හැදුවේ නැහැ. සල්ලි බලා­පො­රොත්තු වුණේ නැහැ. එක්ද­හස් නව­සිය හැත්තෑ නවය අවු­රුද්දේ තමයි බුදු පිළි­මය නෙළන්න පටන් ගත්තේ. වෙනම ඉංජි­නේ­රු­ව­රුන් හිටියේ නැහැ. සියලු කට­යුතු කළේ මම . අත්උ­ද­ව්වට අය හිටියා. පලංචි උඩ නඟින්න මට බයක් දැනුණේ නැහැ. පුංචි කාලේ ඉඳලා මම වත්තේ තිබුණ පොල් ගස්ව­ලට නැඟලා පුරු­ද්දක් තිබුණා.

හාමු­දු­රුවෝ ඉදලා හිටලා මම එපා කියද්දි රුපි­යල් සීය­යක් දෙසි­යක් මගේ සාක්කු­වට දානවා. ඒ හැර මට මහ­න්සි­යට කියලා ලැබුණේ රුපි­යල් දහ­දා­හක් විත­රයි. මම රෑ දවල් වෙන­සක් නැතිව වැඩ කළා. කන්දක පිළි­මය හදන එක හරිම අසී­රුයි. මට බුදු පිළි­මයේ මුහුණේ ප්‍රමා­ණය දැක ගන්න ඕනෑ.

ඒ වේලා­වට පහ­ළට බැහැලා පයි­නස් ගහක බැඳලා තියෙන ඉණි­ම­ඟට නඟි­නවා. දව­සට කිහිප වරක් ඒ ගහට නඟි­නවා බහි­නවා. පිළි­මය නිම කළේ 1993 වසරේ.

පිළිමේ වැඩ ඉවර වුණාම මගෙ හිතට දැනුණ සතුට කියා නිම කරන්න බැහැ. මම මවු­පි­යන්ට ගුරු­ව­රුන්ට හිතෙන් පින් දෙමින් තමයි මේ පිළි­මය නිර්මා­ණය කළේ. බහි­රව කන්ද විහා­රයේ වර්ත­මාන විහා­රා­ධි­පති වහන්සේ වන යට­වත්තේ ධම්මා­නන්ද හාමු­දු­රුවෝ මාව බොහෝම අගය කර­නවා.”

කන්ද උඩ­රට විශා­ලම බුදු පිළිම වහන්සේ නිර්මා­ණය කළ විජේ­සේ­ක­රට ඉන් පසු බුදු පිළිම නිර්මා­ණය සඳහා විදේ­ශ­ය­න්ගෙන් ද ආරා­ධ­නය ලැබිණි. එක් ආරා­ධ­න­යක් සිංග­ප්පු­රු­වෙනි. විජේ­සේ­කර ඒ අතී­තය සිහි­පත් කරන්නේ බොහෝ සතු­ටෙනි.

“සිංග­ප්පූ­රුවේ ලංකා­රාම විහා­රයේ බුද්ධ මන්දි­රයේ සැත­පෙන බුදු පිළි­මය සාදන්න මට ආරා­ධ­නය ලැබුණා. එහි බෞද්ධ සංග­මයේ අය ලංකා­වට ඇවිල්ලා මෙහෙ බුදු පිළිම බලලා ශිල්පි­යෙක් හොයලා තියෙ­නවා. ඒ අව­ස්ථාවේ තමයි ඔවුන් බහි­ර­ව­කන්ද බුදු පිළි­මය දැක ඒ ගැන පැහැ­දිලා මාව සොයා­ගෙන ආවේ. මුලික කතා බහෙන් පස්සේ මට සිංග­ප්පු­රු­වට එන්න කියලා ටිකට් පතක් ලැබුණා. එහෙදි ඔවුන් කිව්වා බුදු පිළි­මයේ ආකෘ­ති­යක් සාදා පෙන්වන්න කියලා. මම ඔවුන් ඉදි­රියේ සැත­පෙන පිළි­ම­යක ආකෘ­ති­යක් නිර්මා­ණය කළා. එයට මාස­යක් විතර ගත වුණා. ඔවුන් එය දැක පැහැ­දුණා.

පිළිම නිර්මා­ණය සඳහා ගිවි­සුම් අස්සන් කෙරුණා. මම මෙහෙන් අත් උද­ව්වට කිහි­ප­දෙ­නෙක් ගෙනිච්චා. එහෙ­නුත් කිහිප දෙනෙක් ගත්තා. පඩි­නඩි ගෙව්වේ මම.

විය­දම හැටි­යට ගත්තේ රුපි­යල් ලක්ෂ විසි පහයි. අඩි හත­ළිස් පහක් දිග සැත­පෙන බුදු පිළිම වහන්සේ, විහා­ර­ගෙයි අභ්‍ය­න්තර සැර­සිලි හා සඳ­කඩ පහණ, පුන්ක­ලස නිර්මා­ණය කරන්න ගිවි­සුම ගැහුවේ අවු­රුදු දෙකක් කියලා. නමුත් අවු­රු­ද්දක් ඇතු­ළ­තදි මම ඒ සියල්ල නිම කෙරුවා. සිංග­ප්පු­රුවේ සැත­පෙන බුදු පිළි­මය සහිත විහාර ගෙය නිර්මා­ණය කෙරුවේ 1995 වසරේ.

මම අපේ රටේ විහාර ගණ­නා­වක බුදු පිළිම, බිතු­සි­තු­වම් නිර්මා­ණය කෙරුවා. ඒ අතර බළ­න්ගොඩ ශෛල­ත­ලා­රා­මයේ අඩි හැට­ප­හක් උස බුද්ධ ප්‍රතිමා වහ­හන්සේ, ගම්පොළ සාලියා පිරි­වෙනේ අඩි 132ක් සැත­පෙන බුදු පිළිම වහන්සේ, හලා­වත මුන්නේ­ෂ්ව­රම් පිරි­වෙනේ අඩි හැත්තෑ­වක් උස බුදු පිළිම වහන්සේ ඇතුළු තවත් පිළිම වහන්සේ නිර්මා­ණය කර තිබෙ­නවා.”

ඔහුගේ නිර්මාණ කාර්ය බුදු පිළිම නිර්මා­ණ­යට පම­ණක් සීමා නොවේ. ඔහු චිත්‍ර ශිල්පයේ ද දක්ෂය.

කැට­යම් කලාවේ ද දක්ෂය. පොත් පිට­ක­වර නිර්මා­ණයේ පම­ණක් නොව ඔහු ගොක් කොළ කැට­යම් කලා­වේද දක්ෂ­යෙකි. ඔහුගේ දක්ෂතා හඳු­නා­ගත් අය හැම විටම ඔහුගේ හැකි­යා­වට වටිනා තැනක් ලබා දුන්හ.

මම ගිරා­ගම ගුරු විද්‍යා­ලයේ සේවය කරන කාලේ වික්ටෝ­රියා ව්‍යාපා­රයේ දෙවැනි ඉංජි­නේරු මහ­ත්තයා මා හමු­වන්න ආවා. ඔහුගේ නම මට මතක හැටි­යට නානා­ය­ක්කාර. ඔහු මට කිව්වා වික්ටෝ­රියා වේල්ල විවෘත කිරීමේ උත්ස­ව­යට ගොක් කොළ තොර­ණක් නිර්මා­ණය කරන්න කියලා. ගිරා­ගම සෞන්දර්ය විද්‍යා­ලයේ ගුරු­ව­රුන් ළම­යින් ගමේ අය මට උදව් කළා.

ගමේ අය පොල් අතු කපලා දුන්නා. හැමෝ­ටම මම පඩි ගෙව්වා. මම ඒ ගොක් කොළ තොරණ සඳහා අය කළේ රුපි­යල් හය­දා­හක් විත­රයි. හාර­දා­හක් විය­දම් වෙලා රුපි­යල් දෙද­හක් මා අතේ ඉවර වුණා.

මම උත්ස­වය දා හිටියේ නැහැ. නිදි­මත නිසා ගෙදර ආවා. උත්ස­වය අව­සන් වුණාට පස්සේ ඉංජි­නේරු මහ­ත්තයා මා සොයා­ගෙන ආවා. ඔහු මට කිව්වා ඔබ මේ වෙනු­වෙන් වටි­නා­ක­මට මුදල් අය කර නෑනේ කියලා. මින් ඉදි­රි­ය­ටත් උත්සව සඳහා ඔබේ උදව් අවශ්‍ය බව කිව්වා.

ඉන් පසු රන්දෙ­ණි­ගල, රන්ටැඹේ, කොත්මලේ, මාදුරු ඔය, නිල්ලඹ ආදි ව්‍යාපෘති විවෘත කිරි­මේදී ඒවායේ සැර­සිලි කළේ මම. ගම්උ­දාව විවෘත කිරීම් උත්සව කිහි­ප­ය­කත්, නිද­හස් උත්සව කිහි­ප­ය­කත් මම තොරණ ප්‍රද­ර්ශන කුටි සරසා තිබෙ­නවා. පොත් පිට­ක­වර නිර්මා­ණය කර තිබෙ­නවා. ඒ වගේම මුද්දර කිහි­ප­ය­කුත් නිර්මා­ණය කර­න්නට ලැබුණා. ”

ඔහුගේ හැකි­යාව එක් තැන­කට පම­ණක් සීමා නොවේ. වේදිකා නාට්‍ය නළු නිළි ඇඳුම් නිර්මා­ණය, පසු­තල නිර්මා­ණය , වේශ නිරු­ප­ණය මෙන්ම බතික් කලා­වේද දක්ෂතා දැක්වූ විශ්ම­ක­ර්ම­යෙකි.

දැන් ඔහු ජීවි­තයේ සැදෑ සමය ගත කරයි. ඔහු ප්‍රගුණ කළේ පර­ම්ප­රා­වෙන් මවු­පිය උරු­ම­යෙන් ගෙන ආ ශිල්ප­යක් නොවේ. ඔහු සහ­ජ­යෙන් ගෙන ආ කලා හැකි­යාව ප්‍රගුණ කර දෙනෝ දාහක් දොහොත් මුදුන් දී වදිනා බුදු පිළිම නිර්මා­ණය කළේය. ඔහු කාර්ය­ක්ෂ­මය. යම් කාර්ය­යක් පටන් ගත් විට එය නිමා කරන තුරු ඔහු දිවා රෑ නොතකා වෙහෙස වී වැඩ කරයි. එහි අව­සා­නය සුන්ද­රය. අද ඔහුගේ දෑසේ පෙනීම දුර්ව­ලය.එහෙත් ඔහු ජීවි­තය ගෙවන්නේ තුටිනි.

“මගේ දුව ඉංජි­නේ­රු­ව­රි­යක්. පුතා ගුවන් යානා ඉංජි­නේ­රු­වෙක්. මගෙන් පස්සේ මේ කලාව ඉදි­රි­යට ගෙනි යන්න කෙනෙක් නැහැ. මගේ හොඳම ගෝලයෝ දෙන්නයි. පළ­මු­වැ­නියා හැත්තෑ ­එකේ කල­බල කාලේ අතු­රු­දන් වුණා. දෙවැ­නියා චාල්ස් දයා­නන්ද. ඔහු ගැන මට බොහෝම සතු­ටුයි. මම දැන් වය­සයි. රෑට නිදන්න ගියාම මට සිතු­වම් පෙළක් වගේ මා අතින් නිම කෙරුණු බුදු පිළිම එකින් එක දෑස් ඉදි­රියේ මැවෙ­නවා. මගෙ හිතට පුදුම සැන­සී­මක් සතු­ටක් දැනෙ­නවා. මගේ බිරි­යගෙන් මට හොඳ නිද­හ­සක් මෙන්ම සහ­යෝ­ග­යක් ලැබුණා. එනි­සයි මෙරම් හොඳ ගම­නක් එන්න ලැබුණේ.“

සම­ර­වීර ආර­ච්චි­ලාගේ ඇල්බට් විජේ­සේ­කර කලා­ක­රුවා පව­සන්නේ මඳ සිනා නඟ­මිනි.

අදහස්