සාග­ර­යක් වන් වූ වැවක් පීරි­සි­යක් වී ගොවීන් මහ පාරට | සිළුමිණ

සාග­ර­යක් වන් වූ වැවක් පීරි­සි­යක් වී ගොවීන් මහ පාරට

* ගොවි පවුල් 4000ක් අත­රමං
* ගොඩ වූ වැවේ ඉඩම් අල්ලාගන්න කුරු­මා­නම් 
* කෙටි කාල­ය­කදී වැවේ ජලය හිඳී ගිහින්

අප රටෙහි චතුර්විධ සංස්කෘ­තිය ගොඩ නැඟී තිබුණේ ගමයි, පන්ස­ලයි, වැවයි, දාගැ­බයි යන සංක­ල්පය මතය. ඒ මත පද­නම් වූ ජන ජීවි­තය එදා යම් සුභ­දා­යක මට්ට­මක පැව­තිණි. නමුත් අද අප කතා බහට ලක් කරන්නේ වැවක් තිබි­ය­දීත් ගමක් වැන­සෙ­මින් පන්ස­ලත් පාළු­වට යන ගමක් ගැනය. මේ පුවත අපට වාර්තා වන්නේ පුත්ත­ලම සහ මුන්ද­ලම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ 607 ඩී ග්‍රාම නිල­ධාරි වස­මට අයත් පොත්තු­වි­ල්ලුව ගම්මා­න­යෙනි.

මෙම ගම්මා­නය වසර දහස් ගණ­නක අතී­ත­ය­කට හිමි­කම් කියන පෞරා­ණික ගමකි. ගමේ පිහිටි පුරාණ රජ මහා විහා­ර­යට යාබ­දව ඇති පොත්තු­වි­ල්ලුව වැව අක්කර අට­සී­ය­යට ආසන්න වප­ස­රි­ය­කින් යුක්තය. ගමේ වැව ගමේ ජන­තා­වගේ ජීව­නෝ­පායේ පද­නම ලෙස ගම්මු සල­කති. පොත්තු­වි­ල්ලුව වැවේ ඉති­හා­සය වසර 60කටත් එහි බව ගමේ පැරැණියෝ සඳ­හන් කරති. පවුල් 4000ට ආසන්න සංඛ්‍යා­වක් මෙම වැව ආශ්‍රි­තව සිය ජීවි­කාව සරි­කර ගන්නේ කුඹුරු ගොවි­තැනේ මෙන්ම ධීවර කර්මා­න්තයේ ද නියැ­ළෙ­මිනි.

ගමේ බහු­ත­ර­යක් ගොවියෝ කාල­යක සිටම මේ වැව ආශ්‍රි­තව කෘෂි­කා­ර්මික කට­යු­තු­වල නිරත වෙමින් යල මහ දෙක­න්නයේ කුඹුරු අස්වද්දා අත­මිට සරු­කර ගත්හ. මේ වැව යටතේ පෝෂ­ණය වෙන පොල් අක්කර සිය ගණ­නකි.

ගොඩ වූ වැව මැද්දෙන් ගමන් බිමන්

වේලා­සිය වැවෙන් පිරී ඉතිරී යන ජලය එල්ලංගා පද්ධ­තිය ඔස්සේ වැවට ගොස් වැව පිරීම සිදු­වන බව කියති. නමුත් ඉතා මෑතක සිට මෙම වැව ආශ්‍රි­තව ගොවි­තැනේ නියැ­ළෙන ගොවි සිහින බොඳ කර­මින් වැවේ ජලය එක­ව­රම සිඳී යෑම ගැන ගොවීහු සිය කන­ස්සල්ල පළ කරති. විශාල ජල ධාරි­තා­වක් තිබූ මේ විශාල වැව මාස හයක් වැනි කෙටි කාල­ය­කදී සම්පූ­ර්ණ­යෙන් සීඳී යෑම මහත් පුදු­ම­යට කරු­ණක්ව තිබේ.

මේ හේතුව නිසා කුඹුරු අක්කර 250කට ආසන්න ප්‍රමා­ණ­යක ගොවි­තැන් සම්පූ­ර්ණ­යෙන්ම අඩා­ලවී කුඹුරු පුර­න්වීම ගොවි ආර්ථි­ක­යට සෘජුව බලපා තිබේ.

අක්කර 800ක මහා පරි­මාණ වාරි ව්‍යාපා­ර­යක් අද වන විට ගොදුරු ලොබින් සැරි­ස­රන කොකුන්ගේ හා කබ­ර­ගො­යින්ගේ සරණ බිමක් බවට පත්ව ඇති අතර වැව ඝන කැලෑ­ව­කින් වැව වැසී තිබේ.

වැව යටතේ ගොවි­තැනේ යෙදෙන පාර­ම්ප­රික ගොවීන් පව­සන්නේ වසර ගණ­නා­ව­කින් වැව ප්‍රති­සං­ස්ක­ර­ණය නොකි­රී­මත්, වැවේ තැන්පත්වී ඇති රොන්මඩ ඉවත් නොකි­රී­මත් නිසා වැවට මෙම අවා­ස­නා­වන්ත ඉර­ණම උදාවී ඇති බවයි.

ගොවි­යන් මෙහිදී වැඩි දුර­ටත් පෙන්වා දෙන්නේ රජයේ මැදි­හ­ත්වී­මෙන් හෝ එසේ නැති­නම් රජ­යෙන් තමන්ට අව­ස­ර­යක් ලබා දෙන්නේ නම් හෝ වැවෙහි තැන්පත්වී ඇති අන­වශ්‍ය රොන්මඩ ඉවත් කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ හැකි බවයි.

වැව සුද්ද කරගන්න අපට පුළු­වන්

සාග­ර­යක් වැනි විශාල වැවක් මෙලෙස දිනෙන් දින පරි­හා­නි­යට යැවී­මට ඉඩ දී නිහ­ඬව බලා සිටින නිල­ධා­රීන්ට ගොවීහු මේ සම්බ­න්ධ­යෙන් චෝදනා කරති. මේ වැව කෙරෙහි අදාළ බල­ධා­රීන්ගේ අව­ධා­නය වහාම යොමු නොවන්නේ නම් නුදු­රේම වැවේ ගොඩවූ ඉඩ වැට ඉනි ගසා වෙන් කර­ගෙන හොර ඔප්පු සකසා ගැනී­මට ජාවා­ර­මුන් කැස කවන බව ගොවීහු පෙන්වා දෙති. මේ වන විට වැව ගව ගාල් හිමි­යන්ගේ පෞද්ග­ලික බූද­ල­යක් බවට පත්වී හමා­රය. තවත් සම­හ­රුන් ගමන් පහ­සුව උදෙසා වැව මැදින් විකල්ප මාර්ග යොදා ගෙන තිබීම බර­ප­තළ ගැට­ලු­වකි.

මෙම වැවට සම්බන්ධ පිට වාන අඩි 800කට ආස­න්නය. එම පිට වාන මේ වන­විට වල් බිහිවී වේල්ල සම්පූ­ර්ණ­යෙන්ම ඝන කැලෑ­ව­කින් වැසී තිබේ. වැව සිඳී­යෑම නිසා කුඹුරු අක්කර 250කට ආසන්න ප්‍රමා­ණ­යක වගාව සම්පූ­ර්ණ­යෙන්ම නැවතී ඇති අතර වගා­වට අවශ්‍ය ජලය පතා ගොවීහු මේ දින­වල වැස්ස වලා­හක දෙවි­යන්ගේ පිහිට පතති. වැවෙන් දිය ගත් බොහෝ දෙනා නෑමට පවා දරු­ම­ල්ලන් ද රැගෙන සැත­පුම් ගණන් ඈත එපි­ටට පිය නගන දසුන් මේ දින­වල එම­ටය.

පොත්තු­වි­ල්ලුව ගමේ මේරි­යස් ගොවි මහතා පාර­ම්ප­රික ගොවි­යෙකි. වසර ගණ­නක සිට කුඹුරු ගොවි­තැනේ නිරත හෙතෙම දැන් කුඹුරු වගා කර ගැනී­මට නොහැ­කිව අඳෝනා නඟයි.

“අපි මේ කුඹුරු ගොවි­තැන කරන්නේ අවු­රුදු ගණ­නා­වක ඉඳ­ලයි. ඒ දව­ස්වල අපට මෙහෙම සාග­ත­යක් තිබ්බෙ නැහැ. අපි සියල්ල කළේ කුඹුරු ගොවි­තැ­නෙන් ලැබුණු ආදා­ය­මෙන්. අපි මේ ප්‍රශ්නෙට මුහුණ දීලා දැන් අවු­රුදු දෙකක් වෙනවා. සාග­ර­යක් වගේ තිබ්බ වැව අද පීරි­සි­යක් බවට පත්වෙලා. වැව හදලා දෙන්න කියා බල­ධා­රී­නට කට කැඩෙ­න­කල් කිව්වා. කිසිම කෙනෙක් අපේ කිය­මන තුට්ටු­ව­කට ගණන් ගත්තෙ නැහැ. අද අපි කබ­ලෙන් ළිපට වැටිලා.

වැව මේ විදි­යට කැලෑ­වට යද්දි හොර ඉඩම් ජාවා­ර­මුන් වැවට අයි­ති­වා­සි­කම් කියන්න එනවා. ඒ විත­රක් නෙමෙයි අද සම­හරු වැව මැදින් පාර­වල් දාගෙන. වැඩි කාල­යක් යන්න පෙර වැවත් අල්ලා ගනී.අපි ඉල්ලන්නේ අපේ දුක බලලා මේ වෙනු­වෙන් මැද­හත්වී මේ වැවේ රොන්මඩ ටික ඉවත් කරලා ජලය රැඳෙන්න සුදුසු ආකා­ර­යට වැව ප්‍රති­සං­ස්ක­ර­ණය කරලා දෙන්න කිය­ලයි”

වැවට අත්ව ඇති ඉර­ණම ගැන සෙබ­ස්ති­යන් ගොවි මහතා චෝදනා එල්ල කරන්නේ නිල­ධා­රී­න්ටය.

අදාළ නිල­ධා­රීන් පළා­ත­ක­වත් නෑ

“මේ වැවේ වතුර පොදක් නැති වුණු දවසෙ ඉඳලා අපි පුදුම දුකක් විඳින්නෙ. අපේ දරු මල්ලන්ට අද යන එන මං නැති වෙලා පවු­ල්වල ආර්ථික ප්‍රශ්න ඉහ ඔස­වන්න බැරි තරම්. කුඹු­ර­කට උදැ­ල්ලක් තිබ්බ කාල­යක් මතක නැහැ. අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ වැව දිහා බල­මින් හූල්ල­න්නයි.

මේ වැව අයිති වාරි මාර්ගෙ නිල­ධා­රීන් පැත්ත පළා­ත­කට එන්නෙ නැහැ. හරි­යට කිය­න­ව­නම් වැවක් තියෙ­න­වද කිය­ලා­වත් දන්න­වද දන්නෙ නැහැ.”

මේ සම්බ­න්ධ­යෙන් අප කළ විම­සු­ම­කදී ජූඩ් ගොවි මහතා මෙසේ පැව­සීය.

“මේ දව­ස්වල නිය­ඟය නිසා පුත්ත­ලමේ ගොඩක් වැව් හිඳෙනවා කියන කතාව ඇත්ත. නමුත් මේ වැව ඔය ගණ­යට දාලා වැව හිඳිලා කියලා බල­ධා­රින් නිද­හ­සට කරුණු හොය­නවා. වැව හිඳෙන්න හේතුව තමයි වැව ගොඩ­වෙලා තිබීම. අනෙක් කාර­ණය තමයි වැවේ රොන්මඩ තට්ටු­වක් තියෙ­නවා අඩි අත­රක පහක විතර. වැව හිඳුණාම තමයි වැව සුද්ධ කරන්න පහසු වෙන්නේ. වැවේ වතුර පිරු­ණාම වැව සුද්ද කරන්න බැරි­බව මේ නිල­ධා­රීන් දන්නෙ නැද්ද?”

මේරි ලූර්දු මහ­ත්මිය කලක පටන්ම වැව මත්තේ ජීවි­තය ගැට­ග­සා­ගත් තැනැ­ත්ති­යකි.

ඉස්සර පුත්ත­ල­මටත් වී විකු­ණුවා

“අපට මේ අහිමි වෙලා තියෙන්නේ ගමේ මිනි­හෙක් මාළු කූරි­යෙක් අල්ල­ගෙන කාලා ගොවි­යෙක් කුඹු­රක් කොටා­ගෙන දරු පවුල ජීව­ත්ක­රපු සම්ප­තක්. අද මිනි­ස්සුන්ට වෙලා තියෙන්නේ වැවේ නෙළුම් අල හාරලා ජීවත් වෙන්නයි. අපිට අද යන එන මං නැති­වෙලා. කියන්න ලැජ්ජයි අපි එදා මුළු පුත්ත­ල­මට වී අලෙවි කෙරුවා. අද අපට වෙලා තියෙන්නේ පුත්ත­ල­මෙන් හාල් අල්ලට කොල්ලෙට අරන් කන්න.

වැව බලන්න එන අය මේ දැන් වැව හදලා දෙනවා වගෙයි කතා කරන්නේ. ඒත් තව­මත් හදපු දෙයක් නෑ.”

“එදා ඉඳන් අපි පොතේ ලියලා කෑව මිනිස්සු නෙමේ මේ මහ පොළොව එක්ක ඔට්ටු­වෙලා දහ­දිය මහ­න්සි­යෙන් තමා කීයක් හරි හොයා ගත්තේ අද ඒක­ටත් කණ­කොකා හඬලා ඉව­රයි. කොටින්ම කිය­න­ව­නම් අද අපේ කුඹුරු ඝන කෑලා වෙලා. සුද්ධ කරන්න කාල­යක් නැහැ. මොකද කුඹු­රක වැඩ ගොඩක් තියෙ­නවා කරන්න. එව්වා කරලා වැවේ වතුර නැතුව අත වකු­ටු­ක­ර­ගෙන ඉන්න එකට වඩා දැන් අපි තැනින් තැන කුලී වැඩ­ව­ලට ගිහින් ලැබෙන සොච්ච­මෙන් තමයි ජීවත් වෙන්නෙ.” චන්ද්‍ර­වතී ගොවි මහ­ත්මිය පැව­සුවේ ශෝක­යෙනි.

කේ. ප්‍රියංකර කළුපහන
වනා­ත­වි­ල්ලුව සමූහ

අදහස්