මාසික ශුද්ධිය නිසා ගර්භාෂ ඉවත් කරන කාන්තාවෝ | සිළුමිණ

මාසික ශුද්ධිය නිසා ගර්භාෂ ඉවත් කරන කාන්තාවෝ

කාන්තාවන් රැකියාවේ යෙදීම සහ ආර්තවය හෙවත් මාසික ශුද්ධිය සම්බන්ධයෙන් ඉතා සෝචනීය පුවත් කිහිපයක් ගැන ඉන්දියාවෙන් අසන්නට ලැබිණි.

කාන්තාවන්ගේ ආර්තවය වර්තමානයේදී පවා ඉන්දියාව තුළ ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකාවකි. මාසික ශුද්ධිය පවතින කාලය ඇතුළත කාන්තාවන් අපිරිසිදු යැයි සැලකෙන අතර, ආගමික සහ සමාජීය ක්‍රියාකාරකම්වලට සහභාගි වීමට අවසර නොදෙයි.

මෑතකදී හෙළිවූ වාර්තා දෙකකින් කියවුණේ, ආර්තවය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඇති වැරදි ආකල්ප තවදුරටත් පවතින බවය. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත්, අධ්‍යාපනයක් නොලද කාන්තාවන් බොහෝ දෙනෙකුට සිය සෞඛ්‍ය තත්ත්වයට දීර්ඝ කාලීනව බලාපාන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වීමට බලපෑම් කෙරෙන බවය.

ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තරුණියන් දහස් ගණනක් පසුගිය වසර තුන ඇතුළත සිය ගර්භාෂය ඉවත් කර ගැනීමේ සැත්කම්වලට ලක්වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සැත්කමට ලක්වූවන්ගෙන් බොහෝ දෙනා උක් කැපීමේ රැකියාවේ නිරත වූ කාන්තාවෝ වූහ.

අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් දහස් ගණනක පිරිසක් සෑම වසරකදී ම බීඩ්, ඔස්මානාබාද්, සංග්ලි සහ සොලාපූර් යන ප්‍රදේශවල සිට ප්‍රාන්තය තුළ වැඩි රැකියා අවස්ථා ඇති බටහිර ප්‍රදේශවලට පැමිණෙනු දැකිය හැකිය. එම ප්‍රදේශ හඳුන්වන්නේ "සීනි තීරය" නමින් වන අතර එහි පිහිටි උක් යායවල මාස හයක කාලයක් "උක් කපන්නන්" ලෙස රැකියාවේ යෙදෙති.

රැකියාවට ගිය පසු අතිශය කෑදර සේවා කොන්ත්‍රාත්කරුවන්ගේ පාලනයට යටත් වන අතර, සෑම ආකාරයකින් ම ඔවුහු සූරා කෑමට ලක් වෙති.

උක් කැපීම ඉතා බරපතළ කාර්යයක් බැවින් ඊට කාන්තාවන් බඳවා ගැනීමට කොන්ත්‍රාත්කරුවෝ මුලදී මැලි වූහ. මාසික ශුද්ධිය අතරේදී කාන්තාවන්ට දිනක් හෝ දෙකක් රැකියාවට ඒමට නොහැකි වේ. එසේ වූ විට ඔවුහු දඩ මුදලකට ද යටත් කෙරෙති.

එම වගාබිම් පුද්ගලයන්ට දිවි ගෙවීමට සුදුසු මට්ටමක නොපවතී. සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ අය වගාබිම්වලට ආසන්නයේ පිහිටා ඇති කූඩාරම්වල දිවි ගෙවන අතර, වැසිකිළි පහසුකම් ද නොමැත. එමෙන් ම, සමහර අවස්ථාවලදී රාත්‍රී කාලයේදී පවා අස්වැන්න නෙළන අතර, නිදා ගැනීමට හෝ අවදි වීමට නියමිත කාලයක් නොමැත. ඒ අතර, මාසික ශුද්ධිය කාලය අතරතුර කාන්තාවන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ.

අපිරිසිදු බව නිසා කාන්තාවන්ට බොහෝ ලෙඩ රෝගවලට ද මුහුණ දීමට සිදු වේ. රෝගවලට ප්‍රතිකාර කරන, ආචාරධර්මවලට පටහැනි වෛද්‍යවරුන්, ඖෂධවලින් පාලනය කළ හැකි මට්ටමේ නාරි සහ ප්‍රසව රෝගවලට පවා අනවශ්‍ය සැත්කම් කිරීමට අදාළ කාන්තාවන් පොළඹවන බව ක්‍රියාකාරීහු පවසති.

(බී.බී.සිය ඇසුරෙනි)

Comments