මාලි එක්දින කරළියෙන් බැස යයි | සිළුමිණ

මාලි එක්දින කරළියෙන් බැස යයි

ලාංකේය එක්දින ක්‍රිකට් වංශ කතා‍ෙව් 123 වැනියා ලෙස 2004 ජූලි 17දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව දඹුල්ලේදි අන්තර් ජාතික එක්දින වරම් දිනා ගත් ලසිත් මාලිංග බංග්ලාදේශය සමඟ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයෙන් සිය 15 වසරක එක්දින තරග දිවියට සමු දීමට නියමිතය. සිය පළමු තරගයේදී පන්දුවාර 10ක් යවා එක් කඩුල්ලක් දවා ගත් මාලිංග එදා මෙදා තුර අවසන් තරගයට පිවිසෙන විට තවත් කඩුලු 335ක් බිඳ දැමීමට සමත්ව තිබේ. මීට වසර නවයකට පෙර ටෙස්ට් පිටියට සමු දුන් මාලිංග මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව සම්පූර්ණයෙන් ම ක්‍රිකට් දිවියට සමු දෙන බවයි.

අන්තර් ජාතික එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභින් අතර 10 වැනියා වන මාලිංග තරග 225කදි පන්දු 10878ක් යවා ලකුණු 9722 කට කඩුලු 335ක් බිඳ දමා තිබෙන්නේ සාමාන්‍යය 29.02කි. ක්‍රිකට් ලෝක කුසලාන තරග වැඩිම හැට්‍රික් ලාභි පන්දු යවන්නා වන මාලිංග 2007 දී දකුණු අප්‍රිකාවට සහ 2011 දී කෙන්යාවට එරෙහිව කඩුලු ත්‍රිත්වය බැගින් දවා ගැනීමට සමත්ව තිබේ. ඊට අමතරව ඔස්ට්‍රේලියාවට එරෙහිව 2011 දී තවත් කඩුලු ත්‍රිත්වයක් බිඳ දැමීමට සමත්ව තිබේ.

මාලිංග කිසිඳු රටකට එරෙහිව කඩුලු 50ක් බිඳ හෙළා නොමැති අතර, එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට සහ පාකිස්ථානයට එරෙහිව කඩුලු 48 බැගින් බිඳ දමා තිබේ. මාලිංග කඩුලු 335 න් වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ දමා ඇත්තේ ලංකාවේදීය. ඒ 124කි. මාලිංග ක්‍රීඩා කළ රටවල් අතුරින් කඩුල්ලක් දවා ගැනීමට නොහැකිවී ඇත්තේ නෙදර්ලන්තයට එරෙහිවය. සිය 15 වසරක එක්දින දිවියේ කිසිම වසරකදි කඩුලු 50ක් දවා ගැනීමට සමත් නොවීම ද විශේෂත්වයකි. 2011 දී කඩුලු 48ක් බිඳ හෙළීමට සමත්ව තිබේ. ලෝක කුසලාන තරග 11කදී කඩුලු 56ක් බිඳ දමා තිබේ. 2007 - 11 දී අවසාන මහා තරගයට පිවිසි ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද සමත් විය. 2007 දී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු හතරකදී කඩුලු 4ක් දවා ගැනීම ඔහුගේ එක්දින දිවියේ සුවිශේෂි මතක සටහනකි.

 

 

අදහස්