පක්ෂ 28ක් සමඟ ජනපතිවරණයට එනවා | සිළුමිණ

පක්ෂ 28ක් සමඟ ජනපතිවරණයට එනවා

ෂරියා විශ්වවිද්‍යාලය යළි හිස්බුල්ලා මහතාට ලබා දීමට කටයුතු කරන බව ඔබ ආණ්ඩුවට චෝදනා කළා. ඒ සම්බන්ධව තවමත් පරීක්ෂණ පැවැත්වෙද්දී ඇයි මේ විදිහේ චෝදනා නඟන්නේ?

ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව අධ්‍යාපන හා මානව සම්පත් අධීක්ෂණ කාරක සභාව විසින් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තාව ජූනි 21 වැනිදා ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් ඇතිව තිබෙන අතර, එහි මත ගැටුමක්ද ඇති වූ බවට වාර්තා වුණා. පසුව ඒ ගැන සොයා බැලීමට අගමැතිවරයා විසින් කැබිනට් අනු-කාරක සභාවක් පත් කර තිබෙනවා. ඒ අනු-කාරක සභාවේ සිටින්නේ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, ලකී ජයවර්ධන හා මනෝ ගනේෂන් යන අයයි. මේ අනු-කමිටුවේ මලික් හා මංගල දෙදෙනා සිටීමෙන්ම එහි අවසාන ප්‍රතිඵලය ගැන සිතාගන්න පුළුවන්!

කෙසේ වුවත් මේ අනුකාරක සභාව තුළ සාකච්ඡා වී තිබෙන්නේ නීතිවිරෝධි වුවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආයෝජන ඒමට බාධාවක් වීමට ඉඩ ඇති නිසා මේ ආයතනය යළි හිස්බුල්ලාටම බාර දිය යුතු බවයි.

ඒකම තමයි සයිටම් ආයතනය රජයට පවරා ගැනීමේදීත් මේ රජය කටයුතු කළ ආකාරය. මලික්, මංගල දෙදෙනා නියෝජනය කරන්නේ අගමැතිවරයාගේ මතයයි. ඒ නිසා ජාතික සමඟියට අනාගතයේ විශාල බාධාවක් වන මේ ආයතනය යළි හිස්බුල්ලාටම දීමට යෑම විශාල ගැටලුවක් වනවා.

ඔබ පක්ෂය මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා තිබුණා...

ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් ලබාගන්න අප බලාපොරොත්තු වනවා. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කරන තේරීම් කාරක සභාවේත් මේ සම්බන්ධව වාර්තා වනවා. එමෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභාවේත් කෝප් කමිටුවේත් එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත අංශ සලකා බැලුව හොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ජනාධිපති පරීක්ෂණ කමිටුවත් මේ ආයතනය සම්බන්ධව විමර්ශනය කර තිබෙනවා. විශේෂයෙන්ම මේ ආයතනය පිහිටුවීමේ සිටම රටේ නීතිය උල්ලංඝනය කර ඇති බව පෙන්නුම් කරනවා. ඒ නිසා මේ සම්බන්ධව පාර්ලිමේන්තුව මේ සියලු වාර්තා අධ්‍යයනය කර විවාදයක් කිරීම සුදුසුයි කියා අප විශ්වාස කරනවා.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මඟින් ආණ්ඩුවේ පව් සෝදා ආණ්ඩුව තිරිහන් කළ බවට ඔබ පක්ෂයට මධුමාධව අරවින්ද මහතා චෝදනා එල්ල කර තිබෙනවා.

ඇත්තටම රටක දේශපාලනය, දේශපාලන ඉතිහාසය පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ආදිය නිසි අයුරින් නොදන්නා අය මාධ්‍ය ඉස්සරහා විවිධ සන්දර්ශන පවත්වන එක සුදුසු නැහැ. පාර්ලිමේන්තුවක් පවතින ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවට එරෙහිව ගෙන එන නීත්‍යනුකූල විරෝධයක් තමයි විශ්වාසභංගයක් ලෙස හඳුන්වන්නේ.

1949 සැප්තැම්බර් මාසේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ඉදිරිපත් කරපු පළමු විශ්වාසභංගයත් සමඟ මේ වන විට පාර්ලිමේන්තුවේ විශ්වාසභංග 50ක් පමණ විවාද වෙලා තියෙනවා. 26ක්ම සමස්ත ආණ්ඩුවට එරෙහිව එල්ල වූ විශ්වාසභංගයි.

මා දන්නා පාර්ලිමේන්තු ඉතිහාසයේ විශ්වාසභංගයක් ජයග්‍රහණය කර ඇත්තේ පසුගිය 2018 වසරේ පමණයි. එය ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පිහිටුවාගත් මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට ආණ්ඩුවට එරෙහිවයි. අනෙක් සියලු විශ්වාසභංග පරාද වුණා. එයින් අදහස් කළ හැකිද ඒ විශ්වාසභංගයන්ගේ සියලු කරුණු අසත්‍ය බවට? එසේත් නැත් නම් එයින් ආණ්ඩු තිරිහන් වීමක් සිදු වුණාද?

මා මධුමාධවගෙන් විමසනවා 2018 අප්‍රේල් මාසයේ ඔහුගේ නායකයා වන ගම්මන්පිල නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට මහබැංකු බැඳුම්කර වංචාවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරාද වීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිරිසුදු වූවාද කියා. එසේම එහිදී ඒ විශ්වාසභංගයට පක්ෂව ඡන්ද ලැබුණේ 76ක් පමණයි. විපක්ෂව ඡන්ද 122ක් ලැබුණා.

ඒත් අපි ඉදිරිපත් කරපු මේ විශ්වාසභංගයට ඡන්ද 92ක් ලැබුණා. ආණ්ඩුවට තිබුණේ 105යි. ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන් පැමිණියා නම් එතැන 97ක් හා ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනා සමඟින් 103ක් හිමි වනවා. තව ඡන්ද දෙකක් එහාට මෙහාට කරගත්තා නම් ආණ්ඩුව පරාද කරන්න තිබුණා. මම අහනවා ඇයි ගම්මන්පිල මහතා මේ අවස්ථාව මඟහැරියේ කියලා. ගම්මන්පිල හරි මධුමාධව හරි ඒ සඳහා පිළිතුරු දිය යුතුයි. එමෙන්ම මධුමාධව මහතා පවසන පරිදි ඔහුගේ නායකයා ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කරපු විශ්වාසභංගයෙන් ආණ්ඩුව මීටත් වඩා තිරිහන් වෙලා පිරිසුදු වී තිබිය යුතුයි.

මහින්ද යාපා මන්ත්‍රීවරයා පවසා තිබුණා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණය කල් දාන්න උත්සාහ ගන්නා බවක්.

මැකො තියා ශක්‍රයා ආවත් ජනාධිපතිවරණය කල් දාන්න බැහැ. එය මැතිවරණ පනතකටත් වඩා ව්‍යවස්ථාවේම පවතින්නක්. ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම දෙසැම්බර් මස 8 වැනිදාට පෙර පැවැත්විය යුතුමයි. සාමාන්‍යයෙන් ඒ මැතිවරණය පවත්වන්නේ සෙනසුරාදා දිනයක බැවින් ආසන්නම දිනයේ නොපවත්වන්නේ හදිසි ආපදාවක් මත හෝ එදින ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වුව හොත් යළි ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර ව්‍යවස්ථාව පවා වෙනස් කළ යුතු හෙයින්. ඒ නිසා දෙසැම්බර් මස පවත්වන සාමාන්‍ය පෙළ විභාගය ඇතුළු කටයුතු සලකා බැලීමේදී ජනාධිපතිවණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ නොවැම්බර් මස 23 වැනිදායි.

ඔබ පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධව තවම ස්ථිරතාවක් නැහැ වගේ...

මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනිවාර්යෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා. අප කිසිසේත්ම පොදුජන පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ කිසිවකුට සහාය දෙන්නේ නැහැ.

මේ රටේ ජනතා විශ්වාසය ගොඩනඟාගත හැකි විකල්ප බලවේගයක් අප ගොඩනඟමින් ඉන්නේ. ඒ හරහා ජාතික ජන බලවේගය පසුගිය 14 වැනිදා අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූවා. එහිදී දේශප්‍රේමී ජාතික සංවිධාන දේශපාලන පක්ෂ 28ක් අප සමඟ එක් වුණා. තවත් සංවිධාන ගණනාවක් ඒ සඳහා එකතු වීමට බලාපොරොත්තුව සිටිනවා. අප ඒ අය සමඟත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජන බලවේගය දේශපාලන පෙරමුණක් බවට පත් කරගත් විකල්ප දේශපාලන පෙරමුණකින් තමයි මෙවර අපේක්ෂකයා තීරණය වන්නේ.

ජාතික ජන බලවේගයට එකතු වෙලා ඉන්න පක්ෂ කණ්ඩායම් සියල්ල ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය. ඒ හැම දෙනාටම අවස්ථාව දෙමින් තමයි අපේක්ෂකයා තෝරා පත් කරගන්නේ. එහෙම නැතිව මහින්ද රාජපක්ෂ මහතා ඒ පැත්තෙන් අපේක්ෂකයා තේරීම් බලාධාරියා ලෙස හා අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනවා වගේ අපේ පෙරමුණ කටයුතු කරන්නේ නැහැ. සාමූහික කැමැත්තෙන් සියලු කටයුතු සිදු කෙරෙන්නේ.

පාද සටන කොහොමද? ප්‍රතිඵලයක් තිබුණද?

ආණ්ඩු විරෝධය පළ කිරීමට රාජපක්ෂ කල්ලිය තෝරාගෙන තිබුණේ විහාරස්ථානයකට ගොස් හෝ නඩු කටයුත්තකට ගොස් පැමිණීමේදී මාධ්‍යයට අදහස් දැක්වීමයි. ඒත් විපක්ෂයේ කාර්යභාරය එය නොවන බව අප විසින් පෙන්වා දීමෙන් පසු ඔවුන්ට රිදුණා. ඒ නිසයි ආණ්ඩු විරෝධී අපේ පාද සටන නිසා ආණ්ඩුවට වඩා ඔවුන්ට රිදී ඇත්තේ.

Comments