බිල්ලෝ මවපු රටක් | සිළුමිණ

බිල්ලෝ මවපු රටක්

අපේ කාලයේ මේ වගේ රට පාවා දෙන ගිවිසුම් ගැහුවේ නෑ. අපි ගිවිසුමක් ගැහුව නම් ඒක රටට හිතකර ගිවිසුමක්. නමුත් අද මුළු රට ම පිටරටට සින්නක්කරේට විකුණලා'

මහින්ද රාජපක්ෂලා එහෙම කියයි. ඒ කියන හැටියට රටට ආදරේ මහින්දලා ය; රටට අනාදරේ රනිල්ලා ය. මහින්දලා රට රකින්න ආ දේවගැතියෝය; රනිල්ලා රට ඉවර කරන්න ආ අය ය.

හැබැයි දේශප්‍රේමින්ගේ හිස් බේගල් නිසා රට ගව් ගානක් පස්සට ගිය හැටිත්, ඔය කියන දේශප්‍රේමින්ගේ බිහිසුණු ගිවිසුමුත් ගැන සමහරු සද්ද නැත.

ඒ දවස්වල ආණ්ඩු පෙරලන්න තරම් ලොකුවට කෑ ගැසූ ගිවිසුම් නිසා අද වෙලා තියෙන්නේ මොනවද කියා හොයන එක මේ වෙලාවේ ඉතාම වැදගත් ය. වසර නවයට මහින්ද චින්තනයෙන් ආරම්භ කළ ලංකාවට 100% අයත් එකදු මහා ව්‍යාපාරයක් නැත. ඔහුගේ වසර නවය ඇතුළත සිදු වූ ආර්ථික විනාශය තුළ සිදු වී ඇත්තේ දේශීය ව්‍යාපාර නමට පමණක් බෝඩ් ලෑලි තිබීම ය. බණ්ඩාරනායක 1956 ආරම්භ කළ ටෝච් බැටරි සමාගමක් වූ එලිෆන්ට් ලයිට් සමාගම ෙජ්. ආර්. ජයවර්ධන සමයේදී ලක්ෂපාන නමින් ප්‍රචලිත විය. එය හැඳින්වූයේ 'ලක්ෂපාන අපේ දෙයක්' ලෙසයි. එහෙත් මහින්ද 'අපේ දේ සමතලා කළේය. මහින්ද චින්තනය තුළ බැටරි නිෂ්පාදනය කරන්නේ චීනයේ ය. ඇතැම් සමාගම් ඇත්තෙන්ම සමහර වාහන වල එකලස් කරන්නේ ටයර් සහ සීට් පමණි. එවක ලොක්කන්ට කොමිස් ලද බැවින් මේ චීන වාහනවලට විශාල බදු සහන ලැඛෙන්නේය. මුල් පෙළේ සමාගම්වල විදුලි උපකරණ එන්නේ චීනෙන් ය. ලංකාවේ අපනයන වලින් 75% ක් යවන්නේ බටහිර ලෝකයට බව නොදත් අට පාස් වාචාලයෝ 'බටහිර කුමන්ත්‍රණ' මවති.

'ඉරණවිලට එන්නේ ඒරියා 51 වගේ අබිරහස් කලාපයක්. මුළු රටම ඉවරයි. අපි අමෙරිකාවේ යටත් විජිතයක් වෙලා ඉවරයි'

ඉරණවිල අමෙරිකන් හඬ ගුවන් විදුලිය ආරම්භ කරන්න යනකොට සමහරු කීවේ එහෙමය. අමෙරිකන් හඬ හෙවත්, වොඉස් ඔෆ් අමෙරිකා නිසා එවක රජයට විශාල මුදලක් ලැබිණි. එම ස්ථානය පවත්වා ගෙන යෑමට ඉඩ ලබා දිම හෙතුවෙන් ඔවුන් විශාල බදු මුදලක් රජයට සපයනු ලැබූ අතර චන්ද්‍රිකා බණ්ඩාරණායක ප්‍රමුඛ ආණ්ඩුව බලයට එන්නට මේ ඉරණවිල විරෝධය ද හේතු විය.

වමේ පක්ෂ කරේ තියාගෙන ගිය 'අමෙරිකන් හඬට' එරෙහි සටන පොදු පෙරමුණ හමාර කරතැයි බොහෝ දෙනා සිතූහ. නමුත් එහෙම වුණේ නැත. අමෙරිකන් හඬ එහෙමම ඉදිරියට ගියේය.

1985දි පටන් ගත් 'අමෙරිකන් හඬ' කරලියට ගෙනාවේ අවුරුදු 9ට පස්සේ ය. ඒ කියන්නේ 94දීය. ඡන්දේ කිට්ටු වෙනකොට 'රත් වූ තැටියේ රොටී පුච්චන්න' මෙහේ අය බොහොම සමත් ය.

වැඩේ ටක්කෙටම හරි ගියේය. රැල්ල අනෙක්පැත්ත ගැසුවේය. චන්ද්‍රිකා ආණ්ඩුව බලයට ආවේය. හැබැයි ආවට පස්සේ යූ. එන්.පී ආණ්ඩුවට වඩා හොඳට අමෙරිකාව එක්ක වැඩ කළේය. ඉරණවිල පළමු බිල්ල සිදු වන්නේ පොදු පෙරමුණ ආවා ම ය. පුදුමය කියන්නේ ඉරණවිල නවත්වන්න ආ පොදු පෙරමුණ යටතේ ඉරණවිල උද්ඝෝෂණයකදි පුද්ගලයෙක් මිය යෑමය. කාලයාගේ අවෑමෙන් 'කෙටි තරංග' වලට පවත්නා ඉල්ලුම අවම විය. අමෙරිකන් හඬ අමෙරිකාවට එපා විය. ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එ් සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්, දේපළ ශ්‍රී ලංකා රජය වෙත බාර දීමට අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබීය.

කණ්ඩලම හෝටලය තනන්නට යද්දීත් බොහෝ දෙනා එය දේශපාලන සටනක් කරගෙන බිල්ලෙක් මැවීය. එදා වැව් තාවුල්ලේ ගිනි තියාගෙන නිවන් දකින්නට සමහරු වෑයම් කළහ. අද කණ්ඩලම හෝටලය ලංකාවේ ඇති සුන්දර ම හා හොඳ ම හෝටලය ය. ලාංකිකයෝ ද කිසිම අඩුවක් නැතිව පැමිණෙන අතර පරිසරයට කිසිදු අතුරු ආන්තරාවක් වී නැත. ජෙෆ්‍රි බාවා නම් අපූරූ ගෘහ නිර්මාණ ශිල්පියා ඉදි කළ පරිසර හිතකාමී හෝටලය නිසා, රටට ලැබෙන ආදායම විශාල ය. රැකියාවෙ නියුතුව සිටින්නේ ගම් වාසින් ය.

නොරච්චෝලේ බලාගාරය ඉදිකරන කාලයේ නව ආරක විරෝධයක් ආවේය.

'ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ල කන්න එන්නේ. මේක රටට මහා විනාසයක්. මුලු රටම ඉවරයි. ඒ විතරක් නෙවේ මේකෙන් ශ්‍රීමහා බෝධියත් විනාශ වෙනවා'

සමහර අවස්ථාවාදීන් එහෙම බිල්ලෝ මැවීය.

අද ජාතික විදුලිබල නිශ්පාදනයේ වැඩි පංගුවක් දෙන්නේ නොරොච්චෝලේ ය.

මහවැලිය හදන විට කීවේ මේ මහා ජලාශ නිසා කඳු නාය යෑමට ලක්විය හැකි බවය.

'මේක ජාතියේ බොටුව හිර කරන වැඩක්. මුළු කඳුකරයම ඉවරයි. මහවැලිය නිසා පන්සල් යට වෙනවා. මේක මහා පාපයක්.' කියා ඒ කාලයේ සමහරු චෝදනා කළහ.

'ඕකට බ්‍රිතාන්‍ය ආධාර කරන්නේ නිකං නෙවේ. අපි දෙවෙනි වතාවට සුද්දට යටත් කරන ගිවිසුමක් ඕක. එහෙම නැතිව රැජිණ ඕකට උදව් කරන්නේ නෑ'

ඒ තවත් අය කී කතා ය. අද,මහවැලිය තරම් යෝධ ව්‍යාපෘතියක් හිතාගන්නටවත් බැරිය.

බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල්වලින් ආධාර හිමි විය. මහවැලි ගඟත්, එහි අතු ගංඟාත් මාදුරුඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39% ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශ වල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රැකියා අවස්ථා ලබා දීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීකරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය. එය අති මහත් පංගුවකින් සාර්ථක විය.

ප්‍රේමදාස 'නිවාස වැඩපිළිවෙළ' කරගෙන ගියේ අනේකවිධ පීඩා මැද ය. අයවැයෙන් සත පහක් මේ වැඩේට වෙන් නොකරන විට ප්‍රේමදාස ලෝකේ පුරා ගොස් මේ වැඩේට උදව් ඉල්ලුවේය. කවුරුවත් උපකාර කළේ නැත. පිට රටවල් එක්ක ගිවිසුම් ගහන්න හදද්දීත් සමහරු කකුලෙන් ඇද්දේය. අන්තිමට ඔහු 'සෙවණ' කියා ලොතරැයියක් පවා නිකුත් කළේය. 'ලොතරැයි විකුණලා ගෙවල් හදන්න පුළුවන්ද?' සමහරු උපහාසයෙන් ඇසීය. හැබැයි ප්‍රේමදාස වැඩේ කළේය. ඔහුගේ කකුලෙන් ඇද්ද, ඔහුට සිනාසුණ සමහරු ඒවා විවෘත කරද්දී නම් මූණු දාගන්න පැමිණියහ.

අන්තිමට ප්‍රේමදාස ඉන්දියාවේත් ගෙවල් හැදුවේය.

‘ප්‍රේමදාස ඉන්දියාවට ගෙවල් හදා දෙනවා‘

සමහරු එහෙම කීවේ ප්‍රේමදාස ඉන්දියානුවාදියෙක් බව පෙන්වන්න ය. හැබැයි ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වුණේත්,ඉන්දිය හමුදාව පිටමන් කළේත් ඒ කියන ප්‍රේමදාසම ය.

විවෘත ආර්ථිකයෙන් පස්සේ ලංකාවට ඇඟළුම් කර්මාන්තය ආවම එවකට විපක්ෂය හිනා උනා සුද්දන්ට ජංගි මහනවා කියලාය. එහෙත් ප්‍රේමදාස ඇඟලුම් කම්හල් 200 ක්‌ ඉදිකිරීම් මගින් ගමේ වෙසෙන තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කළේය. මෙතෙක්‌ කල් සිදුවූයේ ගමෙන් නගරයට පැමිණ රැකියා කිරීම ය. එ් ක්‍රමයට තිත තබමින් ගම තුළ ඇඟලුම් කම්හල් ඉදිකර ඊට අවශ්‍ය ශ්‍රමය ගම තුළින්ම ලබා ගත්තේය. ඉන් ගමට මුදල් ගලා ආවේය. ඇඟලුම් කම්හලක්‌ ගම තුළ ඉදිකර නැවතුණේ නැත. ඊට සමගාමීව ඔරලෝසු කණුවක්‌ ද ගම තුළ ඉදිවිය.

මේ ආණ්ඩුව කළ අනගිතම පින්කම කුමක්ද කියා ඇසුවොත් දෙන්න තිබෙන පළමු පිළිතුරක් වන්නේ 'සුව සැරිය'ව්‍යාපෘතිය ය. එය ගම් නියම්ගම් සිසාරා අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක 24 පැය සේවාවකි.

එහෙත් මේ ගිලන් රථ සේවාස හඳුන්වා දෙන විට වාචාල විමල් කීවේ කුමක්ද?

'මේ ගිලන් රථ සේවාව ඉන්දියාවෙන් ගෙනල්ලා,ඒ එක්කම රෝ ඔත්තු සේවයේ අය මෙහෙ වැඩට එන්න යන්නේ.'

මෙවන් තුච්ච පච දෙසන්නට හැකි විමල්ට ම පමණි. ඊට කිට්ටුවෙන් යන කතාව කීවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීවේ 'මේ අවදානම් ගිලන් රථ වලට නගින්න එපා' කියාය.

අද, සිදුව තිබෙන්නේ කුමක්ද?.

'මේ ගිලන් රථ සේවයෙන් කරපු පින්කමම ඇති නිවන් දකින්න'

එහෙම කියන්නේ අහිංසක ජනතාවය.

දැන් අලුත් මාතෘකාව සෝෆා ගිවිසුම ය. ඒකත් මේ ආණ්ඩුව කරපු වැඩක් වගේ කෑ ගසන්නේ ව්‍යාජ දේශප්‍රේමියෝ ය.

ලොකු ම විහිලුව රට ගැන මහා පුරසාරම් දොඩවන දේශප්‍රේමීන්ගේ හෙළුව රටට ම පේන එක ය. මව් රටේ පුරවැසිකම අත් හැර 'සරු බිමක' පුරවැසිකම ගත් ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් දේශප්‍රේමය බලාපොරොත්තු වෙනවා නම් ඊට පෙර ඔවුන් මව් රටේ බැඳීම අමෙරිකාව ඉදිරියේ ගලවා වීසි කළ අයුරු මතකයට ගන්නා ලෙස කිව යුතුය .

‘රටටම හොරෙන් ඇමෙරිකාව සමඟ අත්සන් කළ ගිවිසුම මෙන්න’කියා අද්මිරාල් සරත් වීරසේකර වත්මන් ආණ්ඩුවට මඩක් ගසා තිබුණි. කාරණාව සත්‍ය නම් මඩ නොව ගොම ගැසුවත් කමක් නැත. එහෙත් ඔහුගේ මඩ එල්ල විය යුත්තේ සත්‍ය වශයෙන්ම ඔය කියන පන්නයේ ගිවිසුම ගැසූ අයට ය; ඒ අය කවුද?

ඇමරිකානු පුරවැසියන් දෙදෙනකු විසින් 2007 දී අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිළිබඳ ගිවිසුම” මගින් ලංකාව අනතුරට තල්ලු කළේ ඒ දෙදෙනා ය. අයෙක් අමෙරිකන් ජාතික රොබර්ට් ඕ බ්ලේක් ය. අනෙකා අමෙරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ ය.

ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මේ ගිවිසුම ගැන කතාකර තිබුණි. එම අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නැඟී සිට මෙසේ කියා තිබුණි.

‘අපි මේ පිළිබඳව එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ලියලා ඇහුවා කොහොමද මේක වෙන්නෙ කියලා. එතුමා මට දුන්න උත්තරය තමයි මම ජනාධිපති. තානාපති කෙනෙකුයි අමාත්‍යාංශ ලේකම් කෙනෙකුයි අත්සන් කරපු ගිවිසුමක් වලංගු නැහැ කියලා.’

විමල්ලා කියන විදිහට ලංකාව ගිලින්න බලාගෙන ඉන්න අමෙරිකාව එක්ක තීරණාත්මක ගිවිසුම ගැහුවේ මහින්දගේ ආණ්ඩුව ය. හරියටම කීවොත් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ අමෙරිකන් තානාපති රොබර්ට් ඕ බ්ලේක් ය.

ඒ 2007 වර්ෂයේ මාර්තු 05 වන දා ය.

මේ ගිවිසුම එදා අත්සන් කළේ රහසිගත ලෙස ය. එදා කැබිනට් මණ්ඩලයවත් දැනගෙන හිටියේ නැත. අමෙරිකාව වෙනුවෙන් එරට පුරවැසියෙක් වූ රොබර්ට් ඕ බ්ලේක් ඒ ගිවිසුම අත්සන් කරද්දී ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් කළේත් අමෙරිකන් පුරවැසියෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ ය. රටවල් දෙකක් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරද්දී දෙපාර්ශ්වයට ම නියෝජිතයන් සිටිය යුතුය. හැබැයි එදා ලංකාව ගැන තීරණාත්මක ගිවිසුමකට අත්සන් කරන්නේ අමෙරිකාවේ පුරවැසියන් දෙදෙනෙකි. ආයුධ පද්ධති, මිසයිල, ටෝර්පිඩෝ, න්‍යෂ්ඨික අවි, රසායනික අවි ආදිය මෙකී ගිවිසුම අනුව හුවමාරු කර ගැනීම තහනම් යැයි සඳහන් නමුත් සැපයුම් සහාය, සැපයීම සහ සේවා මූලික වූ මෙකී ගිවිසුම අනුව උණ්ඩ, කඳවුරු ක්‍රියාන්විත සහාය අන්තර්ගත ය. කඳවුරු ක්‍රියාන්විත සහායේදී කඳවුරු ඉදිකිරීමත් අන්තර්ගත කර තිබේ. උණ්ඩ යැයි කී විට ටෝර්පිඩෝ ආදිය උණ්ඩ ලෙස අවශ්‍ය නම් ගිනිය හැකිය.

මූලික වශයෙන් රටවල් දෙක අතර ඒකාබද්ධ පුහුණුවීම් ආදී අවස්ථා සඳහා පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මේ ගිවිසුම අත්සන් කරනු ඇතැයි මුලින් සඳහන් වුවද ඊට යටින් ‘අනපේක්ෂිත අවස්ථාවන් හිදී’ සහ ‘හදිසි අවස්ථා වලදී’ ද ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ බලය ලබා දී තිබීම සැලකිය යුතුය.

රාජපක්ෂලා විසින් එක් අතෙකින් ගෙවා ගත නොහැකි ණය ගනිමින්, වෙනම භූමි භාග සින්නක්කරවම ලබා දෙමින් රට චීනයට ගොදුරු කරන ලද අතර, අනෙක් අතින් මෙවන් ගිවිසුමකින් ඇමරිකාවට ද ඕනෑම අවශ්‍ය අවස්ථාවක රටේ භූමිය තම යුද කටයුතු සඳහා භාවිත කිරීමට ද අවස්ථාව සලසා දී තිබීමෙන් ශ්‍රී ලංකාව නමැති මාතෘභූමිය මහ බලවතුන්ගේ පන්දු පිටියක් බවට පත් කරන ලදී. ඉන් නොනැවතී මුස්ලිම් අන්තවාදී තව්හිද් ජමාද්ට ද, බෞද්ධ අන්තවාදී බොදුබල සේනාවට ද, හින්දු අන්තවාදී ශිවසේනා ට ද එකම රහස්‍ය ගිණුමකින් මුදල් ආධාර ලබා දෙමින් රටේ අන්තවාදය ආරම්භ කරමින් පෝෂණය කළෝ ය. ඒ සියල්ල අවසානයේ ව්‍යවස්ථාව ද කඩමින් බලයක් නොමැතිව අගමැති ධූරයක් ලබා ගෙන රට කුමන්ත්‍රණයකට භාජනය කර අරාජික රාජ්‍යයක් බවට ද පත් කරමින් දුර්වල රාජ්‍යයකට පාර කපා සතුරන්ගේ පහසු ඉලක්කයක් බවට ද පත් කෙළේ ය.

අමෙරිකාවට දිවි දෙන්න දිවුරූ පුරවැසියා ලංකාව වෙනුවෙන් එදා තීරණාත්මක ගිවිසුම අත්සන් කරනවිට දේශප්‍රේමියෝ 'හ්ම්' කීවේ නැත.

'අමෙරිකාව යුද්ධෙට උදව් කරනවා, ඒ නිසා මේ ගිවිසුම ගහනවා'

රාජපක්ෂ ආණ්ඩුව කීවේ එහෙම ය. හැබැයි යුද්ධෙට සහය දෙනවා කීව අමෙරිකාව එදා ලංකාව ගිලගත් හැටිත්, යුද්ධයේ අවසන් දිනවල අමෙරිකන් නැව් උතුරු මුහුදේ සූදානම්කොට තිබ්බ හැටිත් කීවේ විමල්ලා ම ය.

ඒ විතරක් නොවේ එදා ශ්‍රීලංකා-අමෙරිකා ආරක්ෂක ගිවිසුමට අත්සන් කළ රොබර්ට් ඕ බ්ලේක් ඊට ටික දිනකට පස්සේ 2012 පෙබරවාරි 14 කීවේ 'ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමරිකාව සහය දක්‌වනවා' කියා ය. තුන්කල් දකිනවාය කී මහා දේශප්‍රේමීන්ගේ වස්ත්‍ර ගැලවුණේ එහෙම ය.

2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ඉහත ඇති ඔප්පුවේ අස්සන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ය.

කොළඹ පෝට්සිටි ව්‍යාපෘතියට අත තිබ්බේ චීනයයි. වැඩේ ආරම්භ කළේ උත්සවශ්‍රීයෙන් ය. දැන්වීම්වලින් කියැවුණේ ලොව මහා විස්මය කොළඹ සිදුවන බවක් වාගේ ය. 'රටට අලුත් දිවයිනක්', 'ශ්‍රී ලාංකිකයන්ට උරුමයෙන් විවර වුණු පුරවරය', 'කොළොම්තොටේ අසිරි පුරයක් අභිමන් දේශයක ආශ්චර්ය', 'සංවර්ධනයේ සුවිසල් කඩඉම ඇරැඹේ', 'විදෙස් ධනය උපදන මහා ධන උල්පත නව රැකියා තෝතැන්නක්,' 'කලාපයේ වාණිජ කෙන්ද්‍රස්ථානය' ආදී ආලවට්ටම් දැමූ වචනවලින් ඒ දැන්වීම් හැඩවැඩ විය.මහින්ද චීනය එක්ක ගහපු ගිවිසුම් ගැන කවුරුවත් සද්ද නැත. 'චීනයේ හොඳම බඩු ඇත්තේ දෙකකි. එනම් චීන මහා ප්‍රාකාරයත් චීන වෛශ්‍යාවනුත් පමණි' යනුවෙන් කතාවක් තිබේ. චීන වෑයම ආර්ථිකය ඔස්සේ චීන නව යටත් විජිත වාදය ස්ථාපිත කිරීමය. ඔවුන් ඇමරිකාවේ සුප්‍රසිද්ධ මෝටර් රථ සමගමක් වූ ජෙනරල් මෝටර්ස් සමාගම 2010.11.18 දින ඇමරිකානු ඩොලර් මිලියන 500 කට මිලට ගත් අතර ජී.එම්. ග්ලෝබල් ස්ටීරින්ග් සමාගමද 2010.07.07 දින ඇමරිකානු ඩොලර් මිලියන 450 කට මිලට ගත්තේ ය. ඇමරිකාවේ අභ්‍යවකාශ විද්‍යා සමාගමක් වූ ට්‍රිපල් එච් කෝල් සමාගමද 2012.03.12 දින ඇමරිකානු ඩොලර් මිලියන 541 කට මිලට ගත්තේ ය.

දැවැන්ත සමාගම් වූ බල ශක්ති ක්ෂේත්‍රයේ ද ඒඊඑස් කෝපරේෂන් සමාගම ඩොලර් බිලියන 1581 කට ද, ඔයිල් ඇන්ඩ් ගෑස් ඇසට් සමාගම ඩොලර් බිලියන 2.2 කට ද, මුල්‍ය අංශයේ මෝගන් ස්ටැන්ලි සමාගම ඩොලර් බිලියන 5579 කට ද, ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝපරේෂන් සමාගම ඩොලර් බිලියන 4229 කට ද, ආහාර අංශයේ ස්මිත් ෆීල්ඩ් ෆුඩ්ස් සමාගම ඩොලර් බිලියන 7099 කට ද, තාක්ෂණික අංශයේ අයිබීඑම් සමාගම ඩොලර් බිලියන 1.75 කට ද චීනුන් විසින් මිලට ගත්හ.

1996 සිට 2014 දක්වා මෙලෙස විශාල ඇමරිකානු සමාගම් 51 ක් චීනය සතු කොට ගෙන ඇත.

'මගේ ගාව ඔය හැමෝගෙම ෆයිල් තියෙනවා. ඒත් මම ඒවා අදින්නේ නෑ.'දෙදහස් පහළවේ' ඡන්දේ කට උඩ තියාගෙන මහින්ද එහෙම කීවේය. මෛත්‍රී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ගමන් මහින්ද කී ඒ කතාවට මහින්ද කඳවුරෙන් ම විරෝධතා ආවේය. 'ෆයිල් තියෙනවා නම් එළියට නොදා ඉන්නේ මොකද? 'කියා මහින්දගේ ඇමැතිවරු ඇසූහ. පරාජය කට උඩ තියාගෙනවත් මහින්ද ඇද්ද ෆයිල් එකක් නැත. එහෙම ඇද්දා නම් අදින්න ෆයිල් තිබ්බේ මහින්ද ගාව හිටපු අයගේ ම මිසක්, විපක්ෂයේ අයගේ නොවේ. එදා නොඇද්ද ෆයිල් දැන් අඳින්නට පටන්ගෙන තිබේ. එහෙම ඇදෙනකොට මහින්දලා සමඟ කල්ලිය ම කලබල වී සිටී. පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් ආන්දෝලනාත්මක හෙළිදරවුවක් කරනු ලැබීය. එහි වන්නේ ශ්‍රී ලංකාව ම චීන ණය උගුලක හිර කර ඒ ණය වලින් ම මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට අඩුම ගණනේ ඩොලර් මිලියන 7.6 කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා (27) වාර්තා කර තිබිණි.

සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැව් මධ්‍යස්ථාන හා ධාවන පථ වැනි දේවලින් සමන්විත 'කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය' යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කළ අතර ව්‍යාපෘතිය සඳහා සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1337ක මුදලක් දරන අතර ඒ මුදල පියවා ගැනීම සඳහා චීනයට හෙක්ටයාර් 108ක ප්‍රමාණයක් ලබාදීමට නියමිත විය.

ඒවා දැන් හැමෝටම අමතක වෙලා ය.

ඊට පස්සේ ඒ ආණ්ඩුව බැස්සේ 'ෂැන්ග්‍රිලා හෝටෙල් ව්‍යාපෘතිය'ට ය. රුපියල් මිලියන 44,880ක ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු කර තිබූ එයට විදේශ සේවකයන් 30 දෙනකුට හා දේශීය සේවකයන් 432 දෙනකුට රැකියා ලබාදෙන්නට සැලසුම් කොට තිබුණේ ය. ෂැන්ග්‍රිලා ගනුදෙනුවට සෘජු ව ම සම්බන්ධ වෙන්නේ රජය වෙනුවෙන් ආණ්ඩුව ය. සාමාන්‍යයෙන් නීතිය වන්නේ මෙවැනි ව්‍යාපෘති අස්සන් කරන්නේ ආයෝජන මණ්ඩලය සමඟ වීම ය. එහෙත් ඉඩම් සින්නක්කරේට තබා බද්දටවත් දෙන්න අයිතියක් ආයෝජන මණ්ඩලයට නැති නිසා ෂැන්ග්‍රිලා විකුණන්නේ රජය විසින් ය. ඉඩම් කොමසාරිස්ගේ 4/10/33433 අංක දරන සින්නක්කර ඔප්පුව 2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ලබාදී ඇත්තේ එවක ජනාධිපතිවරයා විසින් ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් එවකට රුපියල් මිලියන 8,250කට එය සින්නක්කරව ලබාදී ඇත.

දැන් ආණ්ඩුවට ගෙනෙන අලුත් චෝදනාව; සිංගප්පූරු කුණු ගේනවා කියාය. හැබැයි කුණු ආනයනයට මඟ පෑදුණේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ විශේෂ ගැසට් පත්‍රයකින් බව හෙළි වේ.

කටුනායක ගබඩා කර තිබී සොයාගන්නා ලද බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ බවට පැවසෙන කුණු කන්ටේනර් 98 ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ එවක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් අනුව බව අනාවරණය වේ. 2013.7.11 දිනැති 1818/30 දරන විශේෂ ගැසට් පත්‍රයෙන් හා එම ගැසට් පත්‍රය අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රේගු ප්‍රධානීන්ට යවන ලද ලිපිය මඟින් ඒ බව අනාවරණය වේ.

මේ ගැසට් පත්‍රය මගින් ආනයනය හා අපනයන සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි නිබල කිරීමක් සිදු වේ. ඒ අනුව විනිමය පාලන පනත, රේගු ආඥා පනත හා ආනයන අපනයන පාලන අණපනත් ඉක්මවා ක්‍රියා කළ හැකිය.

බලාගෙන ගිහාම හොරු මාරුවෙලාය, දේශප්‍රේමියෝද මාරු වෙලා ය.

මානාභරණ

Comments