ආටෝපය යට සැඟවුණු සැබෑව Beauty and Bitter | සිළුමිණ

ආටෝපය යට සැඟවුණු සැබෑව Beauty and Bitter

මුළු මහත් සමාජයේ ම මානව ජීවිත විවිධ සමාජ, සංස්කෘතික හා දේශපාලනික වටපිටාව තුළ නොයෙක් අත්දැකීම් ලබමින් ගලා යන අතර, එම ජීවිත තුළින් ප්‍රකාශ වන්නේ එම සමාජ වටපිටාවේ ම ප්‍රතිබිම්භයයි. එය පුද්ගල බාහිර ස්වරූපය තුළින් අපට හැඳින ගැනීම පහසු නොවේ. මන්දයත්: ඒ සැබෑ යථාර්ථය ඔවුන් විසින් සුන්දරත්වයකින් සඟවාගනු ලැබ ඇති නිසා ය. ‘සුන්දරත්වය සහ දොම්නස (Beauty and Bitter)’ නමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන මනෝරංජන හේරත් අප හමුවට රැගෙන එන්නේ මෙකී යථාර්ථයයි.

මේ චිත්‍ර මූර්ති ප්‍රදර්ශනයේ අරමුණ ගැන සැකෙවින් පැහැදිලි කළොත්?

අපට අභිමුඛ වන සොඳුරු පුද්ගල රූප තුළ ඇති අභ්‍යන්තරික වේදනාව ඔවුන් සඟවා ගෙනයි සිටින්නේ. ඇතැම් විට ඔවුන් ගත කරන්නේ අතිශය කටුක ජීවිතයි. මේ ඒ පිළිබඳ කළ විමර්ශනයක් කිව්වොත් නිවැරදියි. ඒ පිළිබඳ ව ගැඹුරින් අධ්‍යයනය කරන විට පේනවා; අප දකින ඒ සොඳුරු බව ඇතුළත අපට නොපෙනන අපට කියවිය නොහැකි අමිහිරි අනේක දෝමනස්සයන් පිරී පවතින බව. ඇත්තෙන්ම මෙය සත්‍ය වසන් කර පෙනී ඉඳින මායාමය ස්වරූපයක්. කොටින් ම කිව්වොත් දෙබිඩි පැවැත්මක්. ඒ නිසා අපට එදිනෙදා හමුවන ජීවන විලාසිතාව තුළ බාහිර ආටෝපයෙන් සඟවාලන ලද සැබෑව දෘශ්‍ය රූප (චිත්‍ර/මූර්ති) ඇසුරෙන් ගොඩනැංවීම මේ පර්යේෂණයේ මූලික අපේක්‍ෂාව වුණා. එය දෘශ්‍ය රූප ඇසුරින් විග්‍රහ කිරීමයි මගේ වෑයම වුණේ. ඒ විදියට බාහිර සොඳුරු බවින් වැසී ගිය හා විවිධ ආටෝප සාටෝපයන්ගෙන් පැහැගැන්වූ මිනිස් ජීවිතයේ අභ්‍යන්තරික අදෝනාව තුළම පෙනෙන සුන්දරත්වය ත්‍රිමාණ හා ද්විමාණ දෘශ්‍ය ප්‍රකාශන ඇසුරෙන් ගොඩනැඟීමට මම උත්සාහ කළා.

මේ තේමාව, සංකේතාර්ථ උපයෝගී කරගනිමින් ඉදිරිපත් කිරීමට ඔබ උත්සාහ කර තිබෙනවා.

ඔව්, මෙහි අපේක්‍ෂිත අදහස මතු කිරීමට අවශ්‍ය මුඛ්‍ය හැඩය, රූපය ලෙස මානව කවන්ධය (TORSO) යොදා ගන්න මෙහිදී මා පෙලඹුණා. එය සංඛේතාත්මක භාවිතයක්. ක්වන්ධයක් කියන්නේ හිස, අත්, පා නොමැති මානව රූපයක්. අසම්පූර්ණ මානව රූපයක්.

මේ තේමාවේ අර්ථ දැක්වීමට ක්වන්ධය ම යොදා ගන්න උත්සාහ කළේ ඇයි?

ක්වන්ධය කියල මෙච්චර කාලයක් අපට හමුවන බොහෝ දෘශ්‍ය රූප දිහා බලනකොට ඒවා අපට පේන්නේ සෞන්දර්යෙන් යුතු දෘශ්‍ය රූප විදියටයි. ඒවා බැලූ බැල්මට ආකර්ෂණීය හැඩ ලෙස අපට රසවිඳිය හැකි යි. විශේෂයෙන් ම මානව ශරීරයේ (පිරිමි/කාන්තා) අංග අතර ඉතාම වැදගත් කොටස් විදියට ඒවා රසවිඳින්න පුළුවන්. ඒ ශරීර කොටස් හිස නැතිව වුණත් ඉතාම සොඳුරු රිද්ම පිරි ප්‍රකාශන ගුණයෙන් පූර්ණ දෘශය රූපයක්. ඒනිසා ක්වන්ධය වුණත් මනබඳිනා සුලුයි. එහෙම බලද්දී මිනිසාගේ බාහිර පෙනුම වඩාත් ත්‍රීව කරනු සඳහා යොදාගත හැකි සංකේතයක් ලෙස මෙය මා යොදා ගත්තා. පර්යේෂකයකු විදියට පිරිමි හා ගැහැණු ක්වන්ධ තේමාවට අදාළ අර්ථ ප්‍රකාශ කිරීම සඳහා නොයෙක් ආකෘතියෙන් මා ඒවා යොදා ගත්තා. එමගින් මගේ අපේක්‍ෂාව වුණේ අපට බාහිරින් පෙනෙන සොඳුරු මිනිසා පිළිබඳ අදහස මතු කිරීමයි.

ඒ සුන්දරත්වයෙන් අභ්‍යන්තරයේ පවත්නා දෝමනස්සය මතු කරන්නේ කොහොමද?

හිස අත්පා සිඳීගිය ක්වන්ධ කිසිදු ක්‍රියාකාරිත්වයකින් තොර හැඟීම් දනවන නිශ්චල හැඩයක්. ප්‍රාණය හා ක්‍රියාකාරීත්ව කෙරෙහි ඇවැසි බොහෝ අංග ඉන් ඉවත් වෙලා.

අපට හමුවන ක්වන්ධ සැබෑ ලෙසම එහි නියමාර්ථය පිළිබඳ අර්ථය ජනනය කරන්නේ නැහැ. තමන් අයත් සමාජයේ ඒ සම්පූර්ණ රූප කවර අරමුණු සඳහා පෙනී සිටයේ දැයි හඳුනාගැන්ම අසීරු කාරණයක්. ඒ නිසා ඒ ක්වන්ධ නිමැවුම් විවිධ සමාජ පිළිබඳ සාධක අප වෙත සපයන්නේ අප­ැහැදිලි අයුරින්. එසේ බැලීමේදී ක්වන්ධය එදා මෙන්ම අදත් සමාජයේ ජීවත්වන විලාප නගන මිනිසාගේ ඛේදවාචකයන් සඟවා තිබෙන ජීවිත අභ්‍යන්තර දුක්ඛ දොම්නස්සයන් පිළිබිඹු කරනු ලබන සංකේතයක් වැනියි.

මනෝරංජනගේ මේ කවන්ධයන් විටෙක අප ඉදිරියේ සොඳුරු දසුනක් මවාපෑවද; ඒ පිළිබඳ නැවත අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ සියල්ල අහිමි වූ සමාජ ජීවිත ලෙසින් එය අර්ථගැන්වෙන බව ය.

මේ පර්යේෂකයා විසින්, කවන්ධය සිය ප්‍රකාශනයේ මුඛ්‍ය රූපය ලෙස යොදා ගැනීමේදී එය යථාරූපී අයුරින් ඉදිරිපත් නො කිරීමම ඊට දෙස් දෙයි. එය විවිධ හැඩවලට කැඩී ගිය ගොඩනැංවීමක් ලෙස නිර්මාණය කර තිබෙන අතර එමඟින් තවදුරටත් විනාශ වී ගිය නැති නම් ඛණ්ඩනය වී ගිය වත්මන් මිනිස් ජීවිතය, මානව හැඟීම්, අහිමිවීම් හා අපේක්‍ෂා පිළිබඳත් අදහස් ජනනය කිරීමෙහිලා පොහොසත් ය. මනෝ රංජන අතින් නිමැවෙන මූර්තිය නිර්මාණයක් සජීවීව දැකබලාගෙන ‘සුන්දරත්වය සහ දොම්නස (Beauty and Bitter)’ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය දැක ගන්න ඔබත් මහනුවර පේරාදෙණිය සීබල් පෙදෙසේ පිටරවුම් පාරේ පිහිටි ඇටලියර් කලාගාරයට ජූලි මස 27 වැනිදා සවස 05ට ගොඩවන්න. එළඹෙන අගෝස්තු 19 වෙනි දින දක්වා මේ ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන් විවෘත ව පවතී.

අදහස්