නිහඬ වූ සංහිඳියාවේ පන්හිඳ | සිළුමිණ

නිහඬ වූ සංහිඳියාවේ පන්හිඳ

”සියලු ප්‍රශංසා මලටම හිමි කර දෙමින්

සුළඟ නිහඬවම මලේ සුවඳ දසත පතුරයි”

මහා කවි රවින්ද්‍රනාත් තාගෝර්ගේ ඉහත කවි දෙපදය මට සැණින් සිහි වුණේ උපාලි ලිලාරත්නයන් පිළිබඳ ව මේ සටහන ලියන්න පටන්ගත් මෙහොතේ ම ය. උපාලි ලීලාරත්න යනු මෙවන් යුගයක - මෙවන් රටක හා සමාජයක පහසුවෙන් සොයාගත නොහැකි වර්ගයේ දුර්ලභ ගති ලක්ෂණවලින් පොහොසත් මිනිසෙකි. අප උපාලි වන් දුලබ මිනිසුන් පිළිබඳ කතා කළ යුත්තේ ඔවුන් සන්තකව තිබූ ලේඛන කුසලතාව පමණක් සැලකිල්ලට ගනිමින් නොවේ යැයි මම සිතමි. නිර්මාණ කුසලතාවෙන් හෙබි බොහෝ මිනිසුන් මගෙ ජීවිත කාලය පුරා මට කොතෙකුත් මුණ ගැසී තිබේ. ඔවුන්ගේ පොතපත මෙන්ම කතාබස් ද බෙහෙවින් අසා තිබේ. එනමුත් තමන් ලියන කියන දේ මත පිහිටා ජීවත් වන්නේ ඔවුන්ගෙන් කීයෙන් කී දෙනාද යන්න මම නිතර දෙවේලේ මගෙන් ම අසන්නට පුරුදු ව සිටින ප්‍රශ්නයකි.

උපාලි ලීලාරත්න ඉහත කී වර්ගයේ මිනිස් සමාජයට අයත් වන්නෙක් නොවේ. ඔහු තමන්ගේ හෘදය සාක්ෂියට අනුව ලියූ කියූ හා ජීවත් වූ මිනිසෙකි. උපාලි සිය පන්හිඳ කිසි විටෙකත් පටු අරමුණු වෙනුවෙන් යොදාගත් ලේඛකයෙක් නොවේ. උපාලි අපෙන් සමුගන්නා දවස වන විට මට මතක හැටියට මා ඔහු හැඳිනගෙන දශක දෙකකටත් වැඩි ය. ඔහු සේවය කළ ගොඩගේ ආයතනයේදී ප්‍රථම වරට ඔහු හා කතා කළ දවසේ පටන් මේ වෙනතාක් අපේ පොදු අරමුණු වලට පරිබාහිර කිසිවක් ගැන උපාලි වදනක් හෝ නොදෙඩූ බවක් මට සහතික කර කිව හැකිය. දකුණු සිරිලක අහංගම ප්‍රදේශයේ උපත ලද උපාලිගේ ළමා හා තරුණ විය ගෙවී ගියේ කඳුරට තලවකැලේ වතුකරය ආශ්‍රිත ගම්මානයක ය. පැටි වියේ සිට ම දෙමළ ජනයා ඇසුරු කිරීමට ඔහු ලද භාග්‍යය පසු කලෙක උපාලි ලීලාරත්න නම් මානව හිතවාදී ලේඛකයා බිහිවීම කෙරෙහි බෙහෙවින් බලපෑ සාධකයක් වූවාට සැක නැත.

උපාලි දෙමළ ජනයා ඇසුරු කළා පමණක් නොව ඔවුන්ගේ බස මෙන්ම ඇවතුම් පැවතුම් ද මැනවින් ප්‍රගුණ කළේය. සිංහලයා-දෙමළා හෝ මුසල්මානුවා ආදි මුද්‍රාව සහිත මිනිස්සු උපාලි හැදී වැඩුණු පරිසරයේ ජීවත් නොවූහ. ඔහු ලියූ පොත්පත්වලින් අපට හමු වන්නේ එකම ලෙයින් මසින් සුසැදි පොදු මිනිස් වළල්ලකි. තමා අයත් වන ජනවර්ගය හේතුවෙන් ඒ කිසිදු මිනිසෙක් වෙසෙසින් හොඳ හෝ නරක වන්නේ නැත. රා මෙර බී මත්ව ගැහැනුන්ට හා දරුවන්ට අඩත්තේට්ම් කරන සිංහලුන් මෙන්ම දෙමළුන් ද ඒවායේ වෙති. සල්ලාලකම් හා හොරමැරකම් කරන්නෝ ද පොදු මිනිස්සු ම ය. මොවුහු සමෝසමේ පන්සල් ද කෝවිල් ද යති. මඟුල් අවමඟුල්වලදිද කිසිදු භේදයකින් තොරව ඔවුනොවුන්ට අදාළ සිරිත් විරිත්හි නිමග්න වෙති.

උපාලි ලීලාරත්නගේ ස්වතන්ත්‍ර කෘති ඔස්සේ සේම පරිවර්තන මගින්ද පාඨකයා හමුවේ නිරූපණය වන්නේ මිනිස් සමාජය පොදුවේ අත්දකින ජීවන ධර්මතා ය. ඔහු මෑත වසර කිහිපය ගත කළේ රෝග රකුසා සමඟ බරපතළ සටනක නිරත වෙමිනි. මරණයේ හස්තයට ඔහු කෙමෙන් ග්‍රහණය වෙමින් සිටින බව පැහැදිලිවම පෙනෙද්දීත් උපාලි සිය සාහිත මෙහෙවර අතහැරියේ නැත. ඔහුගේ පොතක් පෙරළා බලන්නකුට එහි දෙවන පිටුවේ ඉතා කුඩා අකුරෙන් මුද්‍රණය කර ඇති ග්‍රන්ථ ලේඛනය කියවා ගැනීමට සෑහෙන වෙලාවක් ගත වනු නිරඅනුමානය. උපාලි බලවත් ලෙස රෝගාතුරව සිටි 2017 හා 2018 වසරවල නිකුත් වූ කෘති කිහිපයක් ද ඔබට එහිදී දැකගන්නට ලැබෙනු ඇත. මරණයේ සෙවණැල්ලට ඔහු බිය වැද්දීමට කිසිසේත් ම නොහැකි වූ බවට වෙනත් සාක්ෂි කුමටද.?

උපාලි අප වෙතින් සමුගන්නට මාස දෙකකට පමණ පෙරාතුව දූරකථනයෙන් මට කතා කළේය. ඔහුගේ අලුත් ම පොත් හතර ගොඩගේ ආයතනයේ මා සඳහා වෙන්කර තිබෙන බවත් එහි ගිය වෙලාවක මතක ඇතිව ඒවා රැගෙන යන ලෙසත් ඔහුට ආවේණික තැන්පත් හඬින් පවසා සිටියේය. කොටගල කොලනිය, ගෙයිකෝ, හවුල්කාරයෝ හා වතුකම්කරුවන්ගේ ජන ජීවිතය හා සංස්කෘතිය නම් ඒ පොත් හතර පසු දවසක මම රැගෙන ආවෙමි. ඒවා අතරින් ගෙයිකෝ හා හවුල්කාරයෝ යන පොත් දෙක පරිවර්තන ය. 'කොටගල කොලනිය' නවකතාවකි. වතුකම්කරුවන්ගේ ජන ජීවිතය හා සංස්කාතිය මගින් උපාලි ජනශ්‍රැතිවේදයට මනා මෙහෙවරක් කර ඇති බව එහි අන්තර්ගත කරුණු විමසා බලන විට මට පසක් විය. ඔහු ලියන හැම පොතකින් ම පිටපතක් මා සඳහා වෙන් කිරීමේ සිරිත උපාලිට ලෙඩ ඇඳේ සිටියදී පවා අමතක නොවීම ඔහු සතු විරල මිනිස් ස්වභාවයට කදිම සාක්ෂියකැයි මම සිතමි.

කොටගල කොලනිය නම් නවකතාව ද උපාලි ලියූ සෙසු ස්වතන්ත්‍ර නවකතා වන තේ කහට, ඇද සෙවණැලි, මනුදෙව් අරණ, මීදුම් නිම්නය සහ පිනිවන්තලාව යන ප්‍රබන්ධ මාලාවේම තවත් දිගුවක් ලෙස සැලකිය හැකිය. ඒ හැම නවකතාවකට ම පාහේ පසුබිම් වන්නේ පැටි වියේ පටන්ම ඔහු හැදී වැඩුණු උඩරට වතුකරයයි. 'කොටගල කොලනිය' නවකතාව ලියැවී ඇත්තේ 1970 දශකය සිමාවේ බව සලාක ප්‍රශ්නය වැනි කරුණු අනුව තේරුම් ගත හැකිය. කොටගල කොලනිය කෘතියේ පෙරවදනේ එන උපාලිගේ වැකි කිහිපය වතුකරය ආශ්‍රීතව ජීවත් වන සිංහල හා දෙමළ ජනයාගේ දුක්බර ජීවන පැවැත්ම පිළිබඳ හරස්කඩක් බඳු ය.

“යාන්තම් ජිවිතය ගැටගසා ගත් වතුයායේ නගරබද ජනතාව සලාකයට ලැබුණු සීනි-සහල්-රෙදි හා වෙනත් පාරිභෝගික භාණ්ඩ වැඩි මිලට විකුණා දමන්නට පුරුදු වී සිටියහ. බොහෝ දෙනා සලාක පත් උකස් තබා තිබුණි. අට දෙනකු වූ අප පවුලේ ආර්ථික තත්ත්වය ද මේ ආකාරයේ පැවතුණි. සලාකයට ලැබුණ පාන් ගෙඩිය පවා විකුණා දැමීමට අපට සිදු විය. උම්බලකඩ කැබැල්ලක් කැ කාලයක් මතක නැත.”

ස්වතන්ත්‍ර රචනයේදි මෙන්ම පරිවර්තන සාහිත්‍යයේදිත් ඔහු වඩාත් නැඹුරුවක් දක්වන්නේ ජන දිවියේ කටුක යථාර්තය ඉස්මතු කෙරෙන කෘති කෙරෙහි බව මෙතෙක් පළ කර තිබෙන පොත් පෙළ සාක්ෂි දරයි. උතුරු නැගෙනහිර දෙපළාතේ ජීවත් වන අප සහෝදර ජනතාවගේ දිවි පවත් මතු නොව අපේ ආසන්නතම අසල්වැසි රාජ්‍යයක් වන තමිල්නාඩුවේ ජන දිවියද උපාලි සිය පරිවර්තන ඔස්සේ අපට සමිප කර දුන්නේය. උපාලිගේ ඒ අමිල සාහිත මෙහෙවරට මෙතෙරටත් වඩා ගරු බුහුමන් පිදුණේ එතෙරිනි. මවු බිමේදී ලද සම්මාන සත්කාරවලට වඩා දකුණු ඉන්දියාවෙන් ලද ගෞරවය උපාලිගේ මෙහෙවරෙහි වටිනාකම පිළිබඳ කදිම තක්සේරුවකැයි මට සිතේ. දකුණු ඉන්දියාවේ විශිෂ්ට ලේඛකයකු වන චින්නප්පභාරතී නමින් පිදෙන සාහිත්‍ය සම්මානය අවස්ථා කිහිපයකදී ම දිනාගන්නට වරම් ලද එක ම ලාංකික ලේඛකයා උපාලි ලිලාරත්න ය. එසේම දෙමළ සාහිත්‍ය කාති පරිවර්තනය වෙනුවෙන් මෙරට රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ගැනීමට ද ඔහු අවස්ථා කිහිපයකදීම සමත් විය.

2009 වසරේ උතුරු-නැගෙනහිර ගැටුම්කාරී වාතාවරණය නිමාවට පත් වූ සැණින් සිංහල දෙමළ ලේඛක එකමුතුව නමින් සංවිධානයක් කොළඹදී පිහිටවන්නට පුරෝගාමි වූ ලේඛකයන් අතර උපාලි ද කෙනෙකි. පසු කාලයක ගොඩගේ ප්‍රකාශන ආයතනය මගින් දියත් කෙරුණු සිංහල - දෙමළ පොත් පරිවර්තන ව්‍යාපාතියට මෙන්ම දෙමළ කෘති සඳහා සම්මාන ප්‍රදානය කිරීම වැනි අගනා කාර්යයන්ට ද වෙහෙස නොබලා උර දුන්නේ උපාලි ය. දෙමළ හා මුස්ලිම් ලේඛකයන් සිංහල සාහිත්‍යකරුවන්ගේ හිත මිතුරන් බවට පත්කිරීමේ සත් කාර්යයේ වැඩි ගෞරවය උපාලිට හිමි විය යුතු යැයි මම සිතමි. එසේම දෙමළ බසින් සාහිත්‍ය කටයුතුවල නිරත වන ලේඛක ලේඛිකාවන් බහුතරයකගේ සිත් දිනාගත් සිංහල ලේඛකයා වූයේද උපාලි බවට තර්කයක් නැත. උපාලිට අවසන් ගෞරව දක්වන්නට පැමිණි දෙමළ හා මුස්ලිම් ලේඛක ලේඛිකාවන් සම්භාරය මීට කදිම නිදසුනකි. සිංහල දෙමළ ලේඛක එකමුතුව මඟින් සිංහල හා දෙමළ භාෂා දෙකින් ම වාර කිහිපයක් පළ කළ දීප නම් වාරික ප්‍රකාශනයේ සංස්කාරකවරයා වශයෙන් ඔහු ඉටු කළ මෙහෙවර ප්‍රශංසනීය ය.

ප්‍රසිද්ධ වේදිකාවල හා ජනමාධ්‍යවල සාමය හා සහජීවනය පිළිබඳ තොරතෝංචියක් නැතිව කෑමොර දෙන ව්‍යාජ මානවහිතවාදීන්ගෙන් මෙන්ම අවස්ථාවාදී දේශපාලනඥයන්ගෙන් උපාලි වෙනස් වන්නේ ඔහු කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයකින් තොරව මේ මහඟු කාර්යයේ නිරත වූවකු බැවිනි. එමතුද නොව උපාලි, මෙකී මෙහෙවරට අත ගැසුවේ මේ ඊනියා සාම දූතයන් කලඑළි බසින්නට බෙහෝ කලකට කලින් බව ද පැවසිය යුතුය. මෙවන් නිහඬ මෙහෙවරක් ඉටු කළ උපාලි ලීලාරත්න නම් සහෘදය ලේඛකයා 2019 ජූලි මස 13වනදා සදහටම අපෙන් සමු ගත්තේය. “මිනිසුන් කරන නරක පමණක් ඉතිරි වී යහපත් හා වැඩදායක දේ වැළලී යන්නේය” කියා විලියම් ශේක්ස්පියර් වරෙක පවසා ඇත. ශේක්ස්පියර්ගේ ඒ කියමන සත්‍යයක් වුවද උපාලි වැනි මානව ප්‍රේමියකු පිළිබඳ මතකය කෙටි කලකට හෝ මිහිපිට රඳවා තබන්නට වැර දැරූ දෙමළ හා මුස්ලිම් ලේඛක සහෘදයන් කිහිප දෙනකු විසින් දෙමළෙන් හා සිංහලෙන් පළ කර තිබූ ශෝක ප්‍රකාශයක් එදින මාතට පත් විණි. සහෝදරත්වයේ පවුර සවිමත් කරන්නට දිවිහිමියෙන් ඇපකැප වූ ලේඛක සගයාට ගෞරවය පිණිස එහි වැකි කිහිපයක් උපුටා දක්වමින් මෙම ලිපිය සමාප්ත කරමි.

“ශ්‍රී ලාංකේය දෙමළ සාහිත්‍යයට සිංහල-දෙමළ පරිවර්තන මගින් ඉමහත් සේවාවක් කර දෙමළ බස කථා කරන ජනතානගේ සිත් තුළ කිසිදා නොමැකෙන ස්ථානයක් හිමි කරගත් උපාලි ලිලාරත්න මහතාගේ අභාවය පිළිබඳ අපගේ සාතිශය සංවේගය”.

අදහස්