හදවත් කියැවීම | සිළුමිණ

හදවත් කියැවීම

“ලොකු බලාපොරොත්තු තියාගෙන ලියන නවකතාවක්, තමන්ගේම බසක් නිපදවා ගත යුතුය. මේ නවකතාව එහෙම කර ඇත්තේ ය.”

අරුන්දතී රෝයිගේ “The God of Small Things” නවකතාව වෙනුවෙන් ‘The New Yoker’ පුවත්පතට ජෝන් උප්ඩික් නම් විචාරකයා ලියන්නේ එසේය. (මේ කෘතිය ‘සුළු දෙය ඇසුරු කළ දෙවියා” නමින් එල්. බී. හේරත් විසින් සිංහලට පරිවර්තනය කර ඇත) ලේඛකයෝ සිය නිර්මාණවලින් ස්වීයත්වයෙන් ප්‍රකට කරන්නේ යම් සේද ඒ සිය භාෂා භාවිතයෙන් වෙති. තම නිර්මාණය ස්පර්ශ කර සමාජ ආර්ථික වපසරිය යම් ආකාර ගන්නේ ද ඒ සමාජ ක්‍රමය නිරූපණය කිරීමේලා අවැසි උචිතම බස් වහර නිර්මාණයට යොදා ගැනීම මෙයින් අදහස් වේ.

සාහිත්‍යයේ තිබෙන්නේ මොනවාද? කියා කෙනකු ඇසුවොත් පිළිතුරක් දීම පහසු නැත. විවිධ අය විවිධ විවිධ දෑ කියනු ඇත. විවිධ ආඛ්‍යාත ක්‍රමවේද, උචිත ක්‍රමෝපාය, විග්‍රහ එකී මෙකී හැමදෙයක් ගැන ම එවිට මතක් වනු වැළැක්විය නොහැකිය. සියලු මතවාද කෙරෙහි ආකල්ප හෝ අවතක්සේරුවකින් තොරව සාහිත්‍ය යනු මිනිස් සබඳතා යැයි කිවහොත් ඔබ එකඟ වන්නෙහි ද? ලේඛනයේ රන්සුනු සොයාගෙන මේ ගමනේ එවිට අපට පැහැදිලි මාවතක් විවර වෙයි. මිනිස් සබඳතා හා ඒ ඔස්සේ මතුවෙන අනේකවිධ සංකීර්ණතා, මනෝභාව, හැඟීම්, දැනීම් මේ සියල්ලේ එකතුව නිර්මාණය වෙති. මේවා අප වෙත පැනෙන්නේ ඊට චමත්කාරයක් ද එක් කරමිනි; ඒවා ඔබේ මගේ ජීවිතයේ බොහෝ දෑ කියවා ගන්නේ ය.

අපේ ද ජීවිත හරි අපූරුවට කියවාගත් ආර්. කේ. නාරායන් මෙතරම් සමීපව අපට දැනෙන්නේ මිනිස් සබඳතා විවරණයෙහිලා ඔහු දක්වන සමත්කම නිසා ය. ලොව කිසිදා නවකතාකරුවකු නොදුටු තරමේ චරිත විශාල ප්‍රමාණයක් හේ දකියි. ක්‍රිකට් ගහන්නට තනන කොලු ගැටයෙක්, එකල අරුමයක් වූ උපාධිධරයන්, ව්‍යාපාරිකයන්, පොත් අච්චු ගහන මුද්‍රණ ශිල්පීන්, සර්කස්කරුවන්, රසකැවිලි වෙළෙන්දන්, කයිවාරුකරුවන් පමණක් නොව, ඔහු ජාතික අරගලයට සම්බන්ධ වූවන් ද දකියි. මේ විශාල චරිත ප්‍රමාණයේ ම සිතිවිලි හා ගතිපැවතුම් අතර හේ පුරුදුකාරයකු සේ සරයි. ඔහුට මේවා කෙතරම් ගෝචර වූවේ ද, සමාන වූවේ ද යන්නට ඔහු කදිම පිළිතුරක් “Under the Banyan Tree and other stories” නම් කෘතියෙහි කියා තිබේ. ලේඛනයේ රන්සුදු සොයා යන අපට වටිනා නිසාම එය ඔබේ දැනගැනීම පිණිස ලියන්නට සිතුවෙමි.

“කතාවක් ලියන්නේ කෙසේදැයි කෙනකු මගෙන් ඇහුවොත්, එය පහදා දෙන ආකාරය මා දන්නේ නැත. මට කිව හැකි එකම දෙය නම් කතා ලියන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය හිස් වා තලයේ, වෙළෙඳපොළේ, මනිපුරයේ වීථිවලදී මට ලැබුණ බව ය. මම ටිකක් කියවා ඇත්තෙමි. ලියන්නට වෑයම් කර ඇත්තෙමි. උයන්වල ද වැව් ඉවුරුවල ද, පටු මාවත්වල ද ඇවිද්දෙමි. ඒ සමහර අවස්ථාවලදී පොළට යන ගැහැනුන් දෙසද, නගරයෙහි අවට ඇති කඳු දෙස ද බලා සිටිමි. මා එසේ කළේ කතා ලියන්නට කරුණු අහුලා ගන්නට නම් නොවේ. මිනිසුන් දෙස බලා සිටීමෙන් ආස්වාදයක් ලබාගන්නට ය. කතා කියන්නකු දැන ගත යුතු කාරණයක් ඇත. එනම් අනෙක් අය නවතන්නට කියා කියන්නෙක් සිටින්නේ නැතිව තමාගේ කතාව නවත්වන තැන දැන සිටීමයි.”

මානව සබඳතා විවරණය යන්න ආවාට ගියාට කළ නොහැක්කක් බැව් දැන් ඔබට වැටහෙනු ඇත. ඒ සඳහා වන බලා සිටීම, ඇසුරු කිරීම, ඒවා විග්‍රහ කරගැනීම මෙන්ම ඉබාගාතේ යෑම ද කෙතරම් වටින්නේ ද යන්න කිවීමට නාරායන් තරම් හොඳ ‍උදාහරණයක් නැත.

ඇරිස්ටෝටල් කියන්නේ ද මෙය ම ය. ඒ සාහිත්‍යයට, නිර්මාණකරණයට විෂය විය යුත්තේ සුවිශේෂය නොව සාමාන්‍යය බව ය. සුවිශේෂය යනු යම් පුද්ගලයකුට පමණක් විශේෂ වූ දෙයයි. උදාහරණයක් ලෙස ඔබ දන්නා හඳුනන පුද්ගලයකු ගන්න. ඔහු කොට ය; මහත ය; කළු ය; මුහුණෙහි යම් දැඩි බවක් කීවේ යැයි සිතන්න. මේවා හැමෝටම නැති අතිශය සුළුතරයකට පමණක් තිබෙන ලක්ෂණ ය. ඒ අතරම මේ කරුණත් සිතා බලන්න. ඔහු සාමාන්‍ය මිනිසෙකි; වෙළෙඳාමෙහි ශූර ය; බුද්ධිමත් ය.

මේ ලක්ෂණ අන් සාමාන්‍ය අය අතරත් දැකිය හැකි පොදු ලක්ෂණ ය. එහෙයින් ඒවා සාමාන්‍ය ගති ලක්ෂණ ය. මේ සාමාන්‍ය විසින් අර අසාමාන්‍ය, පොදු නොවන ලක්ෂණය යටපත් කර අප අතර අප වැනිම කෙනකු බවට පත් කරන්නට නිර්මාණකරුවාට මඟහසර පාදයි. “සාමාන්‍ය ගුණ යෝගයෙන්” රසය උපදින්නේ යැයි භාරත මුනිවරයා එදා කීවේ ද මෙයම ය. පසුකාලයේදී විශ්වනාථ විසින් “සාධාරණීකරණය” යනුවෙන් ද බර්ට්‍රෝල් බ්‍රේෂ්ට් “පරාරෝපණය” ලෙසින් ද සැලකුවේ, හැඳින්වූවේ මෙය ම ය. මේ සියල්ලෝ ම විවිධ ලෙස අප වැනි ලේඛනයේ රන්සුනු සොයා යන්නන් කියන්නට අදහස් කළේ සාහිත්‍යවේදී, ලේඛනයේදී දක්නට ලැබෙන්නේ බොහෝ දෙනාට පොදු දෙයක් බව ය. එසේ නැත්නම් සාහිත්‍යයෙන් සියල්ලන්ට ම පොදු අත්දැකීමක් ලැබෙන්නට බැරි ය. එය තවත් සරල කර කියන්නේ නම් සාහිත්‍යයෙන් දක්නට ලැබෙන්නේ, නිරූපණය වන්නේ පොදු පුරුෂයෝ ය; පොදු ස්ත්‍රීහු ය; ඔවුන්ගේ ජීවිතවල පවත්නා බොහෝ දෑ, ලක්ෂණ සමාජයේ බොහෝදෙනා අතර පවතී. මේ නිසාම ඔබ, මම පොදුවේ ගතහොත් සාහිත්‍ය පරිශීලනය කරන්නා තමා විඳින නිර්මාණවල ඇතුළාන්තයෙන් දකින්නේ තමා ම ය. මේ ලියා ඇත්තේ මට ම නොවේදැයි සිතෙන්නේ, කියන්නේ ඒ නිසා ය.

සාහිත්‍යයේ සිදුවන බොහෝ දෑ ඔබටත්, මටත් අදාළ වන්නට ලියන්නට, නිර්මාණය කරන්නට නිර්මාණකරුවා සමත් විය යුතු වන්නේ ඒ නිසා ය. අසරණ ඇනා කැරනිනා කෝචිචියට තල්ලු කළේ ඇයිදැයි පාඨකයන් ටෝල්ස්ටෝයිට බනින්නේ මෙන්න මේ ගුණය ඔහු සිය නිර්මාණකරණයෙන් විශද කළ නිසා ය. නැතිනම් ඇනා කැරනිනාට කුමක් වුවත් මට මොකද කියා පාඨකයන් කලබල වන්නේ නැත.

රුසියානු මාක්ස්වාදයේ පියා ලෙස පිදුම් ලැබූ “ජෝර්ජ් වැලැන්තිනොව්” කීවේ “සාහිත්‍යකරුවා මුළු මහත් ජාතියම මුහුණපාන ප්‍රශ්න ගැන ලිවිය යුතු බව ය.” ටොල්ස්ටෝයිගේ නවකතාවලින් මුළුමහත් රුසියාවමත්, එතැනින් ඔබ්බට ගොස් මුළුමහත් ලෝකටයත් පිබිදුණේ වැලැන්තිනොව් කියූ මේ ලක්ෂණය ගැබ්ව පවතින නිසා ය.

ලේඛනයේ, නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අප පළමුවෙන් ම හැරී බැලිය යු‍ත්තේ අප අවට දෙය බව දැන් ඔබට වැටහෙනු ඇත.

[email protected]

අදහස්