‘පෙත්සම’, ‘අත්සන’ හා ‘මං නැති දා’ තුන් ඈඳුතු නවකතා ලියූ මහ දිසාපති ආචාර්ය ලීල් ගුණසේකර | සිළුමිණ

‘පෙත්සම’, ‘අත්සන’ හා ‘මං නැති දා’ තුන් ඈඳුතු නවකතා ලියූ මහ දිසාපති ආචාර්ය ලීල් ගුණසේකර

හම්බන්තොට දිසාපතිවරයකු ව සිටි ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් “බැද්දේගම” නමින් සිංහල ජීවිතය ඇසුරු කොට නවකතාවක් ලියන ලද්දේ එකදාස් නවසිය දහතුනේ දීය. එය හැඳින්වූයේ The Village in the Jungle නමිනි. ඉන් පසු දිසාපතිවරයකු විසින් ගැමි ජීවිතය ඇසුරෙන් නවකතාවක් ලියන ලද්දේ මීට වසර පණස් එකට ඉහත එකදාස් නවසිය හැට එකේදී ය. කතුවරයා කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ ආචාර්ය ලීල් ගුණසේකර ය. නවකතාවේ නම “පෙත්සම” ය. ප්‍රකාශයට පත් කළේ මහරගම සමන් ප්‍රකාශකයෝ ය.

“ගමේ වැව වාංදැමීම ඉතාම සිරියාවන්තයි. අපේ ගමේ කවුරුත් එකවරම සිනහ වන්නාක් මෙන් වැව පිරී ඉතිරී වානෙන් වතුර ඇද හැලේ. සැලකිය යුතු අමුත්තක් නැත්තා සේ කවුරුත් ඒ අවුරුද්දේ කල් ගෙවූහ. ඒ කුඹුරු වපුරා ගොයම් පීදී ගෙන එන කාලයයි.”

රජරට ජනතාව ඇසුරෙන් ලත් ආභාසයෙන් ලීල් ගුණසේකරයන් ලියූ “පෙත්සම” නවකතාව එකදාස් නවසිය හැට දෙකේ දී වසරේ හොඳ ම නවකතාව ලෙස රාජ්‍ය සම්මානයෙන් පුද ලැබීය. පෙත්සමෙහි බස ලිහිල් ය; එහෙත් ප්‍රාණවත් ය. නව පරපුර සමඟ නව අරුත් ඔප නංවන “පෙත්සම” වැදගත් සාහිත්‍ය උරුමයකි. “පෙත්සම” නවකතාව ලියන විට එයට බලපෑ පරිසරය සකස් වූ අයුරු ගුණසේකර මහතා වරක් මට මෙසේ විස්තර කළේය:

“1957 ඇති වූ මහා ජල ගැල්ම නිසා මුළු අනුරාධපුරය කැලඹිලා තිබුණා. ගම්වල ලොකු වැව් වගේ ම පොඩි වැව්ත් කැඩිලා. සුනාමිය ඇති වුණාට පස්සේ තිබුණ තත්ත්වය වගේ ම, විශේෂයෙන් දුප්පත් මිනිස්සු අසරණ වෙලා හිටියෙ. මේ අතරේ මට මන්නාරමෙන් කොළඹට මාරුවක් ලැබුණා. මම කොළඹ යන ගමන් අනුරාධපුර කච්චේරියටත් ගියා. මිනිස්සු බිම නිදාගෙන හිටියෙ. හඬන, වැලපෙන මිනිසුන්ගේ ඇඟට උඩින් මම කන්තෝරුවට ගියෙ. මේ 1958 වසර. මේ ගමන මම ගියේ වුවමනාවකට නෙවෙයි. ආණ්ඩුවේ ආයතනයක් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේ ද කියලා බලන්න. එතකොට දිසාපති හිටියේ නැහැ. එදා මම ආපසු කොළඹ එන විට ශ්‍රී මහා බෝධිය වැඳලා බාරයක් වුණා. මට මේ මිනිසුන්ට සේවයක් කරන්න එන්ට ලැබේවා කියලා”.

අනුරාධපුරයේ අතිරේක උප දිසාපතිවරයා ලෙස ලීල් ගුණසේකර මහතාට පත්වීමක් ලැබෙයි. ඔහු අනුරාධපුරයට යන විට එහි දිසාපතිවරයාව සිටියේ ඩෙරික් අළුවිහාරේ මහතා ය. ඊට පසුව ඩී.සී.ඇල්. අමරසිංහ හා එස්.ජේ. වල්පිට යන මහත්වරු මහ දිසාපතිවරුන් ලෙස සිටියහ. ගුණසේකර මහතා අනුරාධපුරෙ එන විට දිසාපතිවරයා වූයේ නිශ්ශංක විජේරත්න මහතාය. අනුරාධපුරයට ගිය විට ගුණසේකරයන්ට ඇති වූයේ සංවේගයකි.

“මගේ හරක බාන නැති වුණා”

“අස්වැන්න පාළු වුණා”

“කන්න අඳින්න විදිහක් නෑ”

ආදි ජනතාවගේ සෝ සුසුම් ය. උදේ සිට හවස වනතුරු කච්චේරියේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට පිළියම් ‍ඔහු සෙවීය. සති අන්තයේ කොළඹ ගොස් ආපසු අනුරාධපුරය බලා එන දවසක් ගැන ඔහු මෙසේ විස්තර කළේය.

“අනුරාධපුරය බලා එන දිනට පෙර දින මම “මනමේ” නාට්‍ය බැලුවා. එසේ වුවත් පසු දා පාන්දර 5ට පමණ මගේ අලුත් ෆොක්ස්වැගන් රථයෙන් අනුරාධපුරය බලා පිටත් වුණා. මම රථය පදවා ගෙන යන විට පාළුවට “මනමේ” නාට්‍යයේ ගී මහ හයියෙන් ගැයීම පුරුද්දක්. “මනමේ” ගී ගයා අවසන් වූ පසු අනුරාධපුරේ ගැමියන් කියන කවියකුත් මතක් වුණා.

“අනුරපුරේ ගරු දිසාපතින් දා

දෙපතුල අල්ලා උතුමට වැන්දා’

මගේ සිතට නවකථාවක් ලිවීමට වස්තු බීජයක් ලැබුණේ ඔය විදිහට. “පෙත්සම” ලිව්වේ ඔය විදිහට. එහි පොතේ සරල දෙබස්, ලිවීමට ආභාසය ලැබුණෙ ඉලංගරත්න මහතාගේ භාෂා ශෛලියෙන්.

පොත මුද්‍රණයෙන් පිට වූ කතාව අපට කීවේ ලීල් ගුණසේකර මහතාගේ කල්‍යාණ මිත්‍රයකු වූ නිශ්ශංක ජයවර්ධන මහතාය. ඒ මහතා මහරගම සමන් පොත් ප්‍රකාශන සමාගමේ ප්‍රකාශන අධිකාරිවරයාය.

“ලීල් ගුණසේකර මහතාත්, මාත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇරඹුවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. එතකොට ලංකාවේ තිබුණ එකම විශ්ව විද්‍යාලයයි. අපි දෙදෙනා ම පේරාදෙණියට ගිය පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වුණා. ලීල් ගේත් මගෙත් කාමර පිහිටා තිබුණෙ ජයතිලක නිවාසයේ බිම් මහල කෙළවර යාබද ගලහ පාරට මුහුණලා. ලීල්ගේ කාමර සගයා වූයේ පසු කලෙක පේරාදෙණියේ ඉංග්‍රීසි මහාචාර්යවරයා වූ සරත්චන්ද්‍ර වික්‍රමසූරිය. පේරාදෙණියේ අප සමඟ එකට ඉගෙන ගත් ශිෂ්‍යයන් අතර පසු කලෙක කීර්තිමත් සිවිල් නිලධාරින් වූ එස්.ඩී. සපරමාදු, වින්ස්නට් පණ්ඩිත, නෙවිල් ජයවීර, මනී වික්‍රමරත්න, ඕල්කට් ගුණසේකර මට මතක නම්. ලීල් එකල විනෝදකාමී තරුණයෙකු වුවද දහමට ළැදි කෙනෙක්.”

ලීල් ගුණසේකර මහතා නිශ්ශංක ජයවර්ධන හමුවීමට මහරගම සමන් මුද්‍රණාලයට ගොස් ඇත.

“නිශ්ශංක, මගේ පොතක් ගහන්න බැරිද?”

“ලියාගෙන එන්න. අපි ගහන්නම්.”

ලීල් ගුණසේකර මහතා නිශ්ශංක මහතාගෙන් ලැබුණු ධෛර්යය නිසා “පෙත්සම” ලිවීම ඇරඹුවේය.

“පෙත්සමට පසුබිම වූ නුවරකලාවියට තම රජරට සේවයේ යෙදී සිටිය දී ම මද විවේකයක් ලද කෙණෙහි හුදු විනෝදය තකාම ලියන ලද කතා පිංචක් වූ “පෙත්සම” මට වැදගත්. රජරට ජනතාවට සොබා දහම මෙන් ම සමාජයෙන් සැපට වඩා දුක දෙන අව්ව, වැස්ස, වන සතුන් ආදියෙන් පැමිණෙන අතවර අලළා ලියන ලද නවකතාවක් වේ. දියුණුව කරා එළඹෙන්නට උත්සාහ කරන හැම ගැමි දරුවකුගේ ම බසින් මම කතාව ලිව්වා. නුවර කලාවියේ ගැමි ජනතාව තම දුක් ‍අ‍ඳෝනා, පෙත්සම් මඟින් නිලධාරින්ට දැනුන්වා. ඇතැම් ගැමි ගැහැනියක් කච්චේරියේ ලියවිල්ලට මාපට ඇඟිල්ලෙන් අත්සන් තබන්නේ “පිරිමින්ට හොර ලියුම් ලියයි කියලා අපට අකුරු ලියන්න ඉගැන්නුවේ නැහැ.” යි කියමින්. එකල රජරට ජනතාවට මා කොතරම් සමීප වූවාද කිවහොත් මා හමුවීමට එන සමහරුන්ගේ ප්‍රකාශ ඔවුන් විසින් සඳහන් කිරීමට පෙර දැන ගැනීමේ හැකියාවක් මට තිබුණා.”

ලීල් ගුණසේකර ලේඛකයා අපට පවසා ඇත.

නුවර කලාවියේ ජලය පිළිබඳ ප්‍රශ්නය පසුබිම් කරගෙන “පෙත්සම” ලියූ ලේඛකයා එහි දෙවැනි කොටස 1963 වසරේ “අත්සන” නමින් රචනා කිරීමේදී ඉඩම් ප්‍රශ්නය තේමා කර ගත්තේය. “අත්සන” ලියන විට ‍ලේඛකයා සිටියේ කෑගල්ලේ මහා දිසාපති හැටියටය. ඔහු ලියූ පෙත්සම - අත්සන නවකතාවේ තෙවැනි කොටස “මං නැතිදා” ය. “මං නැති දා” ලියන විට ගුණසේකර මහතා කෑගල්ලෙන් කොළඹට මාරු වී සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරයා වී සිටියේය. “මං නැති දා” නවකතාවෙන් ඔහු කීමට උත්සාහ ගත්තේ දරුවන්ගේ අනාගතය ගැන තැවෙන පියකුගේ අනාගතය ගැනය.

පෙත්සම, අත්සන, මං නැතිදා යන තුන් ඈඳුතු නවකතා ත්‍රිත්වය ලියූ ලීල් ගුණසේකර මහතා “ඉර හඳ කොඩියට අධිපති පෙදෙසේ කෙටිකතා සංග්‍රහය ද, “ත්‍රිකෝණ අරගලය” නම් කාව්‍ය සංග්‍රහය ද “බුහුටිගේ නෑයෝ” “සීලවත” “අලි රංචුව” නම් ළමා කෘතිය ද තවත් පර්යේසණ හා ශාස්ත්‍රිය ග්‍රන්ථ කිහිපයක් රචනා කර ඇත. කාලීන රචනා, social policy in Sri Lanka, Monitoba Manuel of Management, ILO Conventions. H.R.D News Letter, Human Resources Development Council social service concept in practice in Buddhism and sinhala Literature ආදි පරිවර්තන ද ඔහුගේ සෙසු කෘති අතර වෙයි.

1932 දෙසැම්බර් 09 වෙනිදා කොළඹ දිස්ත්‍රික්කයේ ජඹුරැලිය ගම්මානයේ උපත ලැබූ හපුතන්ත්‍රීගේ ලීලාරත්න ගුණසේකර ගමේ සිංහල පාසලේ ඉගෙනීමට ලබා ඩෙන්හැම් ශිෂ්‍යත්වය ලැබ පාණදුරේ ශාන්ත ජෝන්, මාතලේ ශාන්ත තෝමස්, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් ආදි විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබීය.

“මගේ කුඩා අවදිය හරිම රසවත්. මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තා වගේම ගමේ පන්සලේ දහම් පාසලටත් ගියා. මට තෙවරක් ම “ඩබල් ප්‍රමෝෂන්” ලැබුණා. මම පස්වැනි පන්තියේ දී වාක්‍ය රචනාවක් ලැබුණා - “මට ශිෂ්‍යත්වයක් ලැබුණොත්” කියන මාතෘකාවෙන්. “මම කවදා හරි රජයේ ඒජන්ත කෙනෙක් (දිසාපතිවරයකු) බව සඳහන් කරලා ලියූ වාක්‍ය රචනාව බලලා ගුරුවරුන් සතුටින් සිනාසුණා.” ලීල් ගුණසේකර මහතා කුඩා කාලය ගැන කතා කරමින් වරක් කීවේය.

ලීල් ගුණසේකර ශිෂ්‍යයා කුඩා කළ සිටම පොත පත කියවීමට ප්‍රිය කළේය. ඒ බව දැන සිටි පාසල්වල පුස්තකාලය භාරව සිටි ගුරුවරු පුස්තකාලයට ගෙනා අලුත් පොත් මුලින් ම කියවීමට අවස්ථාව දී ඇත්තේ ලීල්ටය. පොතපතට තමා තුළ ඇති ආසාව, ඇල්ම ගැන රසවත් කතාව් ගුණසේකර මහතා අපට මෙසේ විස්තර කළේය.

“ඒ කාලයේ මම පාසල් ගිහිල්ල ගෙදර එන්නේ කෝච්චියෙන්. සෙනඟ වැඩි නිසා මම හිටගෙන පොත් කියවමින් ගියේ. ඒ කාලේ ඔගස්ටින් කියලා ගාඩ් කෙනෙක් හිටියා. මම තෙරපෙමින් පොත් කියවමින් දුම්රියේ යනවා ඔහු දවසක් දැක්කා.

“අයිසේ යං මෑන්, තම‍ුසෙ සෙනඟ අස්සේ තෙරපෙමින් කොහොමද මෙහෙම පොත් කියව කියවා යන්නේ. එනවා මගේ කාමරයට.” ඔහු දවසක් මට කිව්වා.

මම ගාඩ් රූම් එකට ගියා. සිග්නල් දෙන කොළ පාට කොඩිය අරන් ගල් අඟුරු වැටිලා තිබුණ සීට් එක පිසදාලා මට පහසුවෙන් ඉඳගෙන පොත් කියවන්න කිව්වා. ඔහුත් හරියට පොත් කියවන කෙනෙක් කියලත් කිව්වා. උදේ 6.30ට දුම්රියට නගින මම ගාඩ් රූම් එකේ ඉඳගෙන පොත් කියවන්න පුරුදු වුණා. මට සීසන් ටිකට් එකක් තිබුණා. මේ විදිහට අවුරුදු එකහමාරක් මම දුම්රියෙ පොත් කියවමින් ගියා.

මම සංස්කෘතික අධ්‍යක්ෂ ව සිටින කාලේ දඬුවමකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස පත් කරලා යැව්වා. මට එහි සේවයට ගියාම ඔගස්ටින් ගාඩ්ව මතක් වුණා. මම කෝච්චියෙ යන කොට උදව් කළ ඔහු ගැන මම තොරතුරු සෙව්වා. එයා ඉන්න තැන හොයලා මම ටෙලිග්‍රෑම් එකක් යැව්වා මාව හම්බවෙන්න කියලා. එයා ආවා. එතකොටයි ඔගස්ටින් දන්නේ මම එයාගේ දෙපාර්තමේන්තුවේ දෙවැනියා කියලා. පළමුවැනියා සාමාන්‍යාධිකාරි ඩී.බී. රම්පාල මහත්තයා.

“ඔගස්ටින් වාඩිවෙන්න.” මම කිව්වා.

ඔගස්ටින් වාඩි වුණේ නැහැ.

“ඔගස්ටින්, මට මේ තත්ත්වයට එන්න, පොත් කියවන්න හුඟාක් උදව් කළා. දැන් කියන්න මගෙන් ඔබට විය යුතු උදව්වක් තියෙනවද?”

ඔහු කතා කළේ නැහැ.

“උසස්වීමක් ලැබිලා තියෙනවද?” මම යළිත් ඇසුවා.

“ඔව් සර්”

“එහෙනං...”

“සර් මට මුකුත් උදව්වක් එපා. මගේ සහායක ගාඩ් හේරත්. මිනිහ අමාරුවක වැටිලා වැඩ තහනම් කරලා. දුප්පතාට මං වෙනුවෙන් කරන්න පුළුවන් උදව්වක් කරන්න.”

ඔගස්ටින් ප්‍රතිපත්ති ගරුක අවංක සේවකයෙක් කියලා මට දැනගන්න ලැබුණා. ඔහු උදව්වක් ඉල්ලුවෙත් වෙන අයකු වෙනුවෙන්. තමා ළඟම සිටි සේවකයා වෙනුවෙන්. මම ඔහුගේ ඉල්ලීම ඉටු කළා. වසරකට පමණ පසු ඔගස්ටින් මිය ගියා. ‍ෙම් කණගාටුදායක ආරංචිය මට ලැබුණා. මම ඔහුගේ අවමඟුලටත් ගියා.”

කඩවසම්, මනා පෞරුෂයකින් යුත් දැකුම්කළු ලීල් ගුණසේකර මහතා කාරුණික හදවතක් ඇති හැමට ම හැකි අයුරින් උදව් කළ තරුණ පරිපාලන නිලධාරියකු ලෙස එකල කළ ඔහුගේ සේවය පුවත්පත්වලින් බොහෝ දෙනකුට දක්නට ලැබී තිබුණි. අර “පෙත්සම” ලියූ මහත්තයා නේදැයි ඔහු ඡායාරූපවලින් එදා බොහෝ දෙනෙක් දැන සිටියෝය.

ලීල් ගුණසේකර මහතා සංස්කෘතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කාලය (1965) ස්වර්ණමය යුගයක් ලෙස අගය කරනු ලැබීය.

“ඒ කාලෙ සාහිත්‍ය මණ්ඩලයට පත් වුණේ වියත් ගිහි පැවිදි උගත්තු. පඬිවරු. ඒ උගත්තු බුද්ධිමත් තීරණ ගත‍්තේ. දැන් ඒ වෙනුවට අනු මණ්ඩල පත් කිරීම නිසා අධ්‍යක්ෂකගෙ බලය අඩු වුණා. ඇතැම් නුසුදුසු පුද්ගලයන් මේ මණ්ඩලවලට පත්වීම නිසා මණ්ඩලවල පාලනය හීන වුණා. මට මතක් වෙනවා 1967 වර්ෂයේ එක්තරා සාහිත්‍ය සම්මාන උත්සවයක්. එතකොට සංස්කෘතික ඇමතිවරයා අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා. හිරගෙදර හිටිය හේන්පිටගෙදර ඥාණසිහ හාමුදුරුවන් ලියපු “ගාමිණී ගීත නාම ජේට්ඨ ගාමිණි” චරිත කතා පොතට සාහිත්‍ය සම්මානයක් දෙන්න නිර්දේශ වුණා. මෙයට මණ්ඩලයේ සිටි හිමි නමක් විරුද්ධ වුණා. රාජ්‍ය කුමන්ත්‍රණයකට සම්බන්ධ හිමි නමකට රාජ්‍ය සම්මානයක් නොදිය යුතු යැයි කියලා. සාහිත්‍ය මණ්ඩලයේ හිටිය ආචාර්ය ආනන්ද ගුරුගේ මහත්තයා මට කතා කළා.

“ලීල් මේ ප්‍රශ්නෙ ඇමතිතුමා එක්ක කතා කරලා බේර ගන්න” කියලා කිව්වා.

මම ඊරියගොල්ල ඇමතිතුමා හමු වී මේ ප්‍රශ්නය කිව්වා.

“අයිසේ, දක්ෂ යකා හිරේ හිටියත්, නිරේ හිටියත් දක්ෂයා. මගේ අකමැත්තක් නැහැ. අපි කෝකටත් අගමැතිතුමාටත් කියමු.”

අපි ප්‍රශ්නය අගමැති ඩඩ්ලි සේනානායක මහතා ගාවට ගෙන ගියා. ඇමතිතුමා කාරණාව කිව්වා.

“මේ ගැන අධ්‍යක්ෂතුමා මොකද හිතන්නෙ.” අගමැතිතුමා මා දෙසට හැරී ඇහැව්වා.

“ඒ තෑග්ග නිර්දේශ වී ඇති නිසා එය හිමි විය යුත්තේ ඥාණසීහ හිමියන්ටයි.” මම කිව්වා.

“එහෙනම් මුදල් තෑග්ග බන්ධනාගාරයට ම ගිහින් දෙන්න. සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි.” අගමැතිතුමා කිව්වා ම ඇමතිතුමත් කිව්වා - “මමත් ඒකම තමයි සර් කිව්වේ” කියලා යකාගේ කතාවත් කිව්වා. එය අනුමත කළ අගමැතිතුමා හිනා වුණා.”

කොළඹ යුගයේ ප්‍රකට කවියකු වූ පී.බී. අල්විස් පෙරේරා කවියා මිය ගිය අවස්ථාවේ ඊරියගොල්ල ඇමතිතුමා මුදල් ත්‍යාගයකුත් අරගෙන ඒ අවස්ථාවට යන ලෙස ලීල් ගුණසේකර මහතාට උපදෙස් දී ඇත. ‍

“ඔය අල්විස් පෙරේරා විතර මට විරුද්ධව කතා කරපු කවි කියාපු කෙකේ කුලියාපිටියේ පැත්තෙ ම ඉන්න නැතිව ඇති. ඒක වෙනම ම ප්‍රශ්නයක්. පී.බී. කියන්නේ හැබෑ දක්ෂ කවියෙක්. ඒකට අපි සලකන්න ඕනෑ.” ඊරියගොල්ල මහතා එදා කිව් කතාවක් ගුණසේකර මහතාට තවමත් මතක ය.

ආචාර්ය ලීල් ගුණසේකර මහතා තම ප්‍රථම නවකතාව පිළිගන්වා ඇත්තේ තමාගේ දියුණුවට අත හිත දුන් “හංසරාජයකු වැනි අපේ බාප්පා” යැයි කියමින් නම් ප්‍රාචීන පඬිවරයකු වූ මාතලේ එච්.ඩී.ඊ. ගුණසේකර නොතාරිස් රාලහාමිට ය. බාප්පා පොත කියවා “ළමයෝ උඹේ පෙත්සම සඳහා තෑග්ගක් ලැබෙනවා නොඅනුමානයි” යනුවෙන් 1961 දී අනාවැකියක් පළ කර ඇත. පෙත්සමට 1962 දී සාහිත්‍ය සම්මානය ලැබෙන විට මේ බාප්පා සදහට ම වෙන්ව ගිය අවස්ථාව ගැන ගුණසේකර මහතා සඳහන් කළේ සංවේගයෙනි.

දිසාපතිවරයකු ලෙස මන්නාරම, අනුරාධපුරය, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල සේවය කළ ආචාර්ය ගුණසේකර මහතා කැබිනට් මණ්ඩලයේ ලේකම්, රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්, වැඩබලන පොලිස්පති, ජාතික තරුණ සේවා සභාවේ සභාපති තනතුරු හොබවමින් ඒ මහතා නොමඟ ගිය තරුණයන් සුමඟට යොමු කිරීමේ රජයේ පුනරුත්ථාපන කටයුතු භාරධූර කාර්යය ද මනාව ඉටුකර ප්‍රශංසා ලබා ඇත.

ලීල් ගුණසේකර මහතා 1967 වසරේදී විවාහ වන්නේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට කොමිෂන් සභාවේ සභාපතිව සිටි ජෝතියසේන වික්‍රමසිංහ මහතාගේ දියණියකු වූ ඉන්දුමතී වික්‍රමසිංහ මෙණෙවිය සමඟ ය. ඇය උපාධිධාරිනියකි. එම විවාහය සඳහා ගුණසේකර මහතාගේ මව ලියූ ආරාධනා පත්‍රය කවියෙන් ලියා තිබුණා ය.

මගේ පුතු ලීල් ගුණසේකර දිසාපතී

අතිනත ගත් මනාලිය පිය ඉන්දුමතී

ගෙදරට එන දවස සවසට යෙදී ඇතී

උලෙළට ඇරයුමයි ඔබ හට මෙයින් බැතී

ගුණසේකර යුවලගේ වැඩිමහල් දියණිය විපුලී ලන්ඩන් හී සමාජසේවා උපදේශිකාවක ලෙස කටයුතු කරන්නීය. ඇය B.A. (Hons) පේරාදෙනිය M.A (Bradford) උපාධිධාරිනියකි. දෙවන දියණිය මංජුලා B.A (Hons) (පේරාදෙණිය) M.A. (Newyork) උපාධි ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ලීල් ගුණසේකර මහතාගේ ප්‍රිය බිරිඳ ඉන්දුමතී මැතිනිය කලකට ඉහත අභාවප්‍රාප්ත වූවාය. ලීල් ගුණසේකර මහතා මේ වනවිට රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හොබවයි. ගුණසේකර මහතාගේ වැ‍ඩිමහල් මුනුබුරකු වූ අන්ජන සුවිපුල් බෝපිටිය තම සීයා ගැන 2013 දී ලියූ සටහනින් මේ ලිපිය අවසන් කරමි.

“He is an inspiration to me in every way. It is great to meet my favorite author my grandfather every year in summer in Colombo or London. He treats us with affection and we all love him very much!”

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

අදහස්