දවසකට තැපෑලේ ‘ඕටිය’කෝටිය පනී | සිළුමිණ

දවසකට තැපෑලේ ‘ඕටිය’කෝටිය පනී

තැපැල් දෙපාර්තමේන්තුවේ දිනකට රුපියල් කෝටියකට අධික අතිකාල ගෙවීමට සිදුව ඇති බව සිළුමිණට වාර්තා වේ. දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟය නිසා තැපැල් ස්ථානාධිපතිවරුන් හා ඉහළ නිලධාරීන් වෙනුවෙන් මේ අයුරින් අතිකාල ගෙවීමට සිදුව ඇති අතර මේ නිසා තැපැල් දෙපාර්තමේන්තුව පවත්නාගෙන යෑම පිළිබඳ විශාල ගැටලුවක් මතුව තිබේ.

මේ අතුරින් මධ්‍යම තැපැල් හුවමාරුව, මහනුවර, අනුරාධපුරය වැනි සුපිරි තැපැල් කාර්යාලයන්හි අතිවිශාල අතිකාල ප්‍රමාණයක් වැය වන බවද හෙළිව තිබේ.

තැපැල් සේවකයන්ද නිරතුරුවම වර්ජනවලට සහභාගි වීම නිසා දෙපාර්තමේන්තුවේ ආදායම පහළ ගොස් ඇති අතර අත්‍යවශ්‍ය විභාග අයැදුම්පත් වැනි දේ හැරෙන්නට මේ වන විට තැපැල් සේවාව භාවිත කරන පිරිස විශාල ලෙස අඩු වෙමින් පවතින බවද සමීක්ෂණයකින් හෙළිව තිබේ.

දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1150ක හා කනිෂ්ඨ නිලධාරීන් එමෙන් දෙගුණයකගේ පමණ හිඟයක් පවතින අතර, මේ නිසා සේවාවන් පවත්වා ගැනීමට පවා බාධා පැමිණ ඇත.

මේ අතිකාල ප්‍රමාණයට අමතරව සේවක වැටුප් සඳහා වසරකට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 7500ක් හෙවත් මසකට රුපියල් මිලියන 625ක් පමණ වැය වන බවත් වාර්තා වේ.

මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ නිලධාරීන්ගේ 1150ක පමණ හිඟයක් පවතින බවත් පහළ ශ්‍රේණිවල කිසිදු හිඟයක් නැති බවත්ය.

එසේම අතිකාල සැලකිය යුතු ප්‍රමාණයක් වැය වන බව පිළිගත් ඒ මහතා පැවසුවේ අතිකාල ඇතුළු අනෙකුත් සියලු දිමනා වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 3000කට අධික මුදලක් දරන්නට සිදු වන බවයි.

Comments