බකිංහැම් මාලිගාව ඉදිරිපිට විකුණන රුපියල් තිස්පන්දහසේ ලංකාවේ තේ කෝප්පය | සිළුමිණ

බකිංහැම් මාලිගාව ඉදිරිපිට විකුණන රුපියල් තිස්පන්දහසේ ලංකාවේ තේ කෝප්පය

තේ අපේ රටේ ප්‍රධාන අපනයන භෝගයයි. අප රටට වැඩිම විදේශ විනිමය ලබාදෙන අපනයන අතර කලක් ඉහළින්ම පැවති තේ මේ වන විටත් ඉදිරි පෙළ නියෝජනය කරන්නේ තවමත් අප රටට විශාල අදායමක් ලබාදෙමිනි. අප ජන සමාජයද තේ පානයට ලබා දෙන්නේ වැඩි සැලකිල්ලකි. ආර්ථිකයේ සිදු වන උච්ඡාවචනයන්ට අනුව තේ කෝප්පයේ මිල ඉහළ යෑම තීරණාත්මක වූ අවස්ථාද ඉතිහාසයේ පවතී. එහෙත් අපේ රටේ උස් කඳුමුදුන් කොතරම් තේ පඳුරුවලින් වැසී ගියද, කොතරම් උසස් තේ අප ලක් පොළොව මත බිහි වුවද රුපියල් ලක්ෂයක් ගෙවා තේ කෝප්පයක් පානය කිරීම ශ්‍රී ලාංකික අපට නම් සිහිනයක්ම වෙයි.

එහෙත් තේ නිපදවන අප රටේ දී එය එසේ වුවද බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ අවන්හලක් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයකට, එසේත් නැතහොත් බ්‍රිතාන්‍ය පවුම් 500කට තේ පෝචිචියක් අලෙවි කරයි. ඒ අවන්හල පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ නිවස වන බකිංහැම් මාලිගාව ඉදිරියේය. එබැවින්ම විශේෂ සංචාරක ආකර්ෂණයක් සහිත එම අවන්හල හඳුන්වන්නේ The Rubens at the Palace යනුවෙනි. ඒ අවන්හල තම ව්‍යාපාර කටයුතු වර්ධනය සඳහාද මිල අධික තේ කෝප්පය යොදාගෙන තිබේ.

විශේෂත්වය වන්නේ මේ මිල අධික තේ කෝප්පය සෑදීම සඳහා ඔවුන් යොදාගන්නේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද තේ කොළ වීමයි. The Rubens at the Palace වෙබ් අඩවියට අනුව ඔවුන් මේ අති විශේෂ තේ කෝප්පය සාදන්නේ මෙසේය.

ප්‍රථමයෙන්ම ඇණවුම ලැබුණු පසු සුවිශේෂී තේ කෝප්පය පානය සඳහා ඇණවුමක් ලැබුණු බව ප්‍රකාශයට පත් කෙරේ. ඉන්පසුව අැණවුම ලබා දුන් පාරිභෝගිකයාටද දැක ගත හැකි පරිද්දෙන් ශ්‍රී ලංකාවෙන් ගෙන්වන ලද අති විශේෂ තේ කොළ නිශ්චිත ප්‍රමාණය කිරා මැන ගනු ලැබේ. ඒ සඳහා භාවිත කෙරෙන්නේ රත්තරන්වලින් සාදන ලද කුඩා ප්‍රමාණයේ තරාදියකි. තේ කොළ තරාදිය මත තැබීම සඳහා යොදා ගන්නේද රත්තරන්වලින් සාදන ලද ට්වීසරයකි. එලෙස අදාළ ප්‍රමාණය කිරා මැනගත් පසු අති පිරිසුදු ආස්‍රැත ජලය යොදා තේ කොළ හොඳින් පැසවා ගනු ලැබේ. එලෙස සාදාගත් තේ පානය වක් කරන්නේද පිරිසුදු රිදියෙන් නිෂ්පාදනය කරන ලද අති විශේෂ තේ පෝච්චි කට්ටලයකටය. ඉන්පසු ඒ තේ පෝච්චි කට්ටලය පාරිභෝගිකයාට පිරිනමන අතර තේ සමඟ ආහාරයට ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක්ද The Rubens at the Palace අවන්හලේදී ඇණවුම් කළ හැකිය.

මිල අධික එම තේ පෝචිචිය සහිත කට්ටලය මිල කර ඇත්තේ බ්‍රිතාන්‍ය පවුම් 500කටය. එනම් අමෙරිකානු ඩොලර් 620කටය. එය ශ්‍රී ලංකාවේ මුදලින් බැලුවහොත් රුපියල් ලක්ෂයකට මදක් වැඩි වේ. ඒ තේ පෝච්චියෙන් කෝප්ප තුනක් පමණ සාදාගත හැකිය. ඒ අනුව බැලුවහොත් තේ කෝප්පයක් රුපියල් තිස්දහසකටත් අධිකය. ශ්‍රී ලංකාවේ අප තේ පානය කිරීමේදී වරකට එක් තේ කෝප්පයක් පමණක් රස බැලීමට පුරුදු වී සිටියද බ්‍රිතාන්‍යයේදී එක් අයෙකු, එක වරකදී තේ කෝප්ප කිහිපයක් පානය කිරීම සාමාන්‍ය පුරුද්ද වේ. ඒ අනුව The Rubens at the Palace අවන්හල මේ පවුම් 500ක් වටිනා තේ පෝච්චිය නිර්දේශ කරන්නේ එක් අයෙකු වෙනුවෙනි.

අවන්හල පවසන අන්දමට මිල අධික තේ පානය කිරීමට පැමිණෙන පාරිභෝගිකයන්ට ලැබෙන විශේෂ අවස්ථාව වන්නේ එම ඉතා රසවත් තේ කෝප්පය බකිංහැම් මාලිගය දෙස බලාගෙන බීමට ගැනීම බවයි. මාලිගය දෙස බලමින් මේ රසවත් තේ කෝප්පය බිඳෙන් බිඳ තොල ගාන්නට ලැබීම අති විශේෂ අවස්ථාවක් බව අවන්හල මාධ්‍යයට එක් කර ඇති දැන්වීමක පැවසේ.

කෙසේ වුවද ශ්‍රී ලාංකිකයන් ලෙස මේ මිල අධික තේ කෝප්පය අපටද වැදගත් වේ. ඒ මේ අති විශේෂ තේ කෝප්පය නිපදවන්නේ ශ්‍රී ලංකාවේ තේ කොළවලින් වීමයි. ඒ සඳහා තේ ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ තේ නිෂ්පාදන සමාගමක් වන PMD සමාගමයි. පී.එම්. ඩේවිඩ් සිල්වා සහ පුත්‍රයන් සතු වන සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකම තේ වගාවේ නියැළෙයි. නුවරඑළිය, දිඹුල, ඌව, දකුණු පළාතේ ඔවුන් සතු තේ වතු පවතින අතර ඔවුන් වසර 70කට අධික කාලයක් තිස්සේ ලෝකයටම ශ්‍රී ලංකාවේ අති උසස් තේ කොළ සැපයීමෙන් මහත් ජනප්‍රියත්වයක් අත් කරගෙන සිටී. මේ මිල අධික තේ කෝප්පය සඳහාද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන තේ කොළම යොදාගැනීම අපේ රටේද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වන්නේ එමඟින් අප රටේ තේ සඳහා වන ඉල්ලුමට මෙන්ම අප රටේ සංචාරක කර්මාන්තයටද විශාල ධනාත්මක බලපෑමක් සිදු වන බැවිනි.

අදහස්