ගබඩාවෙන් ෂෙඩ් එකට එන ටිකට බාල වෙන පෙට්‍රල් | සිළුමිණ

ගබඩාවෙන් ෂෙඩ් එකට එන ටිකට බාල වෙන පෙට්‍රල්

රටේ විවිධ ස්ථානවල බාල ඉන්ධන බෙදා හැරෙන බවට චෝදනාවක් මේ දිනවල යළිත් ඉස්මතුව ඇත. විවිධ පාර්ශ්වයන් නඟන මෙම චෝදනා පිළිබඳ පසුගිය සතියේ සාකච්ජාවට බඳුන් කළෙමු. මෙහි උණුසුම මැකී යන්නටත් ප්‍රථම බේරුවලින් වාර්තා වුයේ බාල පෙට්‍රල් යැයි සැක කෙරෙන ඉන්ධන බවුසරයක් බේරුවල ඉන්ධන පිරවුම් හලෙන් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ පුවතයි. ‍මේ බාල පෙට්‍රල් පිළිබඳව වාර්තා වූ බැවින් බේරුවල IOC පිරවුම්හළේ සිදුවීම පිළිබඳ එහි හිමිකරුගෙන් විමසා බලන්නට අපි කටයුතු කළෙමු. ඒ වසර ගණනක සිටම දිගින් දිගටම බාල ඉන්ධන අලෙවිය පිළිබඳ ගැටළු රටේ ඇතිවී ඇති බැවිණි.

''පසුගිය සතියේ අපේ IOC ඉන්ධනහලට නිකුත් කිරීමට ත්‍රිකුණාමලයේ සිට රැගෙන ආ පෙට්‍රල් ලීටර් 9900ක ප්‍රමාණයක් හා ඩීසල් ලීටර් 3300කට කිසියම් ද්‍රව්‍යයක් කලවම් වී තිබෙන බවට ද්‍රවමාන ඝනත්ව පරීක්ෂණයකින් තහවුරු වුණා. එහි සම්මත අගය සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ දී තිබිය යුතු වන්නේ සෘණ තුනක් හෝ ධන තුනක් වගේ අගයක්. නමුත් මෙහි අගය හතරයි දශම ගණනක් වුණා. එනිසා මේ වෙනස ගැන සැකයක් ඇතිවෙලා මම එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. අනෙක මට ඒ තෙල් නැව ත්‍රිකුණාමලයෙන් පිටත් වෙලා එනවිට උදෑසන නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබුණා, මේ බවුසරයේ තෙල් වලට භූමිතෙල් කලවම් කර ඇති බවට. ඒ සැකය මත තමයි මම අපේ පිරවුම්හලට ලබා දී ඇති උපකරණ භාවිතා කරලා පරීක්ෂා කළේ. ඒ අනුව මම ඒ පිළිබඳ මේ තෙල් අයත් IOC සමාගමට දැනුම් දුන්නා. එහි නිලධාරියකු පැමිණ එම තෙල් බවුසරයෙන් තෙල් සාම්පල් පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගියා. මේ වනතුරුත් එම තෙල් හොඳ ද නරකද කියලා අපිට දැනුම්දීලා නැහැ. තවමත් ‍ෙෂඩ් එක ඉදිරිපිට එම බවුසරය නවතා තිබෙනවා. අපි මේ ව්‍යාපාරයේ නිරත වෙන්නේ දැනට වසර පනහක පමණ කාලයක සිටයි. අපි කොහොමත් තෙල් ලෝඩ් එකක් එන විට එය පරීක්ෂා කරලා තමයි බාර ගන්නේ. අනෙක සීල් කරලා එවන්නේ. '' සංජීව සමිත් මහතා පවසන්නේ එලෙසයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මේ පිළිබඳ පවසන්නේ, පසුගිය හත් වැනිදා සිට මෙම බාල පෙට්‍රල් තොගය රටපුරා බෙදාහරින බවට තහවුරුවීමත් සමඟ තමන් බලධාරීන්ගේ අවධානයට මෙය යොමු කළ බවයි. මෙලෙස පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් කරන බාල ඉන්ධන ජාවාරම වහාම නැවැත්විය යුතු බවයි.

''92 පෙට්‍රල් බස්නාහිර පළාතට බෙදාහරිනු ලබන්නේකොලෙන්නා වෙන්. බේරුවලට ත්‍රිකුණාමල පිරිපහදුවෙන් පෙට්‍රල් රැගෙන ඒම සැක සහිතයි. IOC සමාගමේ නිලධාරීන් බේරුවලින් සාම්පල රැගෙන ගියත් ලංකා ඛණිජතෙල් සංස්ථාවේ නිලධාරීන් කිසිවෙකු මේ පරීක්ෂාවට නොපැමිණීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හා සමානයි.''ඔහු චෝදනාත්මකව පවසයි.

රටේ ක්‍රියාත්මක වන තෙල් මාෆියාව

කෙසේ වෙතත් බාල තෙල් පිළිබඳ චෝදනා රැසක්ම පසුගිය කාලය පුරාවට සිදු වූ බව රටට නොරහසකි. පසුගිය සමයේ පෙට්‍රල් භූමිතෙල් කලවම් කොට අලෙවි කරන්නේ යැයි චෝදනා ලද පිරවුම් හල් කිහිපයකටම සීල් තැබිණි. ඒ අතර නාවල, නුගේගොඩ පිරවුම්හල් කිහිපයක් විය. ඒ අතරම අද අක්‍රීය මට්ටමක පවතින බවට චෝදනා නැගෙන ඛනිජ තෙල් සංස්ථාවේ විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙ රටේ දිස්ත්‍රික්ක කිහිපයකම සිදුවන පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධනවලට බාල තෙල් කලවම් කිරීමේ මහා පරිමාණ ජාවාරම් කිහිපයක්ම හෙළි කරගන්නට සමත් වූ බවට මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේය. ඉන් එක් සිදුවීමක් වන්නේ, මුල්ලේරියාව පොලිස් වසමේ කැළණිමුල්ල ප්‍රදේශයේ වාහන අංගනයක දිගුකලක් තිස්සේ ඉන්ධන මිශ්‍ර කිරීමේ ජාවාරම වැටලීමට ඛනිජ තෙල් සංස්ථාවේ විශේෂ විමර්ශන ඒකකයට හැකිවීමය. මේ වන විට යළිත් බාල තෙල් ජාවාරම හිස ඔසොවා ඇති බවට මේ දිනවල සිදුවන සිදුවීම් මඟින් පෙනෙන්ට තිබෙන බවට චෝදනා එල්ල වේ. පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය ඇතුළු සංවිධාන මෙන්ම රටේ ජනතාවද පවසන්නේ මෙයට මුලිකම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන මාෆියාව බවයි. මෙයට ඇතැම් වගකිව යුතු නිලධාරින්, ඉන්ධන පිරවුම්හල්කරුවන්,ඉන්ධන ප්‍රවාහනකරුවන් සම්බන්ධවී මෙම මාෆියාව ගොඩනඟාගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි. ඒ අනුව පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කොට අලෙවි කිරීම ඔස්සේ මොවුන් විශාල ලාභ උපයන බවට චෝදනා නැඟේ. මෙම ඉන්ධන මාෆියාව නැති කිරිමට නම් පෙට්‍රල් හා ඩීසල් අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත් කොට පාරිභෝගික අධිකාරියට මෙහි නියාමනය ලබා දිය යුතු බවට පාරිභෝගික හිමිකම් සංවිධාන හඬ නඟයි.

බවුසර් ජීපීඑස් තාක්ෂණය මඟින් නිරීක්ෂණය කළ කොහැකිද?

ලංකාවේ තෙල් ප්‍රවාහනයේ දී පෙට්‍රල්වලට බාල ‍ඉන්ධන වර්ග හා රසායන ද්‍රව්‍ය කලව්ම් කරන බවට නැගෙන ප්‍රබල චෝදනාවකි. ලංකාවේ තෙල් ප්‍රවාහනය ක්‍රම කිහිපයක් ඔස්සේ සිදුවේ. ඛනිජ තෙල් සංස්ථාවේ සහ IOC සමාගමට අයත් බවුසර් මඟින් තෙල් ප්‍රවාහනය කිරීම. කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික බවුසර්වලින් තෙල් ප්‍රවාහනය. මීට අමතරව දුම්රිය ඔස්සේ ද තෙල් ප්‍රවාහනය සිදු වේ. ඉහත මුල් ක්‍රම දෙක ඔස්සේ තෙල් ප්‍රවාහනයේදී විවිධ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා එල්ල වේ. බවුසර්වල ගමන්ගන්නා සමහර රියදුරන් හා සහායකයන් මෙම තෙල් බාලකිරිමේ ජාවාරමට සෘජුවම සම්බන්ධවන බවට ද චෝදනා නැගේ. තෙල් ප්‍රවාහනය කිරීමේදී බාල තෙල් මිශ්‍ර කිරීමේදී ජාවාරම සිදුවන බවට චෝදනා නැගේ. ඒ පිළිබඳව අප කළ විමසුමකදී ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු පවසා සිටියේ මෙවැන්නකි. සාමාන්‍යයෙන් තෙල් බහුසරයක් ගමන් ගනිද්දී ඒ සඳහා නිශ්චිත ගමන් මාර්ගයක් තිබෙනවා. නමුත් ජාවාරම් කරුවන් තෙල් බවුසර් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන බව හෙළිවී තිබෙනවා. මේ නිසා ජී.පී.එස්. තාක්ෂණය මගින් එම ගමන් මාර්ග මොනිටර් කිරීම අවශ්‍ය වෙනවා. එලෙසම මහමඟදී කඩා පැනීමෙන් මෙම ජාවාරම මැඩලිය හැකියි” ඔහු පවසයි.

කෙසේ නමුත් ලංකාවේ භාවිතා වන ඉන්ධන ප්‍රධාන වශයෙන් බෙදා හැරෙන්නේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව හා ලංකා IOC සමාගම ඔස්සේයි. මේවා නියාමනය කිරීම සහ ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ වගකීම ඇත්තේ ඛනිජ තෙල් අමාත්‍යාංශයට හා පාරිභෝගික අධිකාරියටය. කෙසේ නමුත් තෙල් පිළිබඳ ඇති වන ගැටලුවලදී චෝදනා එල්ල වන්නේ පවත්නා රජයටය. ඉන්ධන පිළිබඳ මාෆියාවක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ සෙයා බලා එය නියාමනය කිරිම ඛනිජ තෙල් සංස්ථාව සතු වගකීමකි. එයින් ගැලවී යන්නට ඔවුනට නොහැකි බව පවසන්නේ පාරිභෝකයන් වෙනුවෙන් හඬ නඟන සංවිධානයි.

මේ පිළිබඳව අප ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් අදහස් විමසා බැලුවා. අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි පවසා සිටියේ මේ පිළිබඳ නියාමනයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි. ''රටේ එක් තැනක ඇති වූ සිදුවීමක් අල්ලාගෙන පදනම් විරහිත චෝදනා නැගිම වරදක් ලෙස මම දකිනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවටත් IOC සමාගමටත් තෙල් පිළිබඳ බලපත්‍ර නිකුත් කිරිමේ වගකීම තිබෙන්නේ අමාත්‍යාංශය ලෙස අපිටයි. එනිසා පාරිභෝගිකයාට ගුණාත්මක හා ප්‍රමිතියෙන් යුතු තෙල් ලබාදීම පිළිබඳ නිරන්තර අධීක්ෂණයකින් අපි කටයුතු කරනවා. ඒ සඳහා අපිට කිරුම් මිනුම් අධිකාරය, මහජන උපයෝගීතා කොමිසමේ සහයෝගය ලැබෙනවා. අනෙක සිපෙට්කෝ වේවා IOC සමාගම වේවා මෙම තෙල් නිකුත් කරන්නේ ලොව පිළිගත් ක්‍රමවේදයකට අනුවයි. ඒ සඳහා නියමිත ක්‍රියාවලියක් සකසා තිබෙනවා. තත්ත්ව පාලනයට අනුකූලව සිදුවෙනවා. මේ අය චෝදනා කරන පරිදි තෙල්වලට භූමිතෙල් කලවම් කරන්න ඉඩප්‍රස්ථා අඩුයි. පෙට්‍රල් ගත්තත් භූමිතෙල් සුවඳ යම් තරමකට එනවා. අනෙක අදාළ තාක්ෂණික නිලධාරීන් මේවා පරීක්ෂා කරනවා. ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාවේ විමර්ශන අංශ තිබුණාටත් වඩා ශක්තිමත් කරමින් ජීපීඑස් තාක්ෂණය ලබා ගනිමින් ඒ විමර්ශන කටයුතු ක්‍රමවත් කර ආයතන‍ දෙකේම පිරවුම් හල්වල ඇති පොම්ප පවා පරීක්ෂා කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක කරන්නට පියවර ගන්නවා. ඒ වගේම ඉදිරියේදී මේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කරමින් මහජනතාවට ඇත්ත අවබෝධ කර ගන්නට අවස්ථාව සලසා දෙන්න අපි තීරණය කරනු ලැබුවා.'' යනුවෙනි.

කලවම් කිරීමේ මාෆියාව නැවැත්වීමට පියවර ගත යුතුයි

මෙම භූමිතෙල් කලවම් කළ පෙට්‍රල් වාහනවලට දැමීමෙන් එකී වාහනවල එන්ජිම දුර්වලවී කෙටිකලකින් ධාවනය ඉවත් කිරීමට සිදුවන බව මෝටර් රථ පිළිබඳ කාර්මික ඉන්ජිනේරුවරුන්ගේ අදහසයි. වාහනයේ එන්ජිම අධික ලෙස රත්වීම,අඩුවෙන් දුම පිටවීම, වාහනය මිස් කිරීම බහුලව දක්නට ලැබෙනවා. එලෙසම එමගින් පරිසරයට ද සිදු වන හානිය විශාලයි. පෙට්‍රල් ප්‍රමිතියෙන් බාල කිරීම පිළිබඳ පරීක්ෂණ සිදුකළ විද්වතකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වර්තමාන පීඨාධිපති මහාචාර්ය කේ.ආර්.ආර්. මහානාම හැඳින්විය හැකි ය. සතිඅන්ත පුවත්පතට වරක් සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු පවසා සිටියේ තමන් විසින් කරන ලද අධ්‍යයනයකදී පෙට්‍රල්වලට ‍භූමිතෙල් ‍හෝ ඊට සමාන ද්‍රව්‍ය එක්කරන බව හොදින්ම සනාථ වී ඇති බවයි. මහාචාර්ය මහානාම මහතා පවසන්නේ, කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් කිහිපයකින් පෙට්‍රල් සාම්පල ලබාගෙන පරීක්ෂා කළ බවත් එම ‍පෙට්‍රල්වලට භූමි තෙල් හෝ වෙනත් ඊට සමාන ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බව ය.

(සාමාන්‍යයෙන් පෙට්‍රල් භූමිතෙල් සහ ඩීසල්වල හයිඩ්‍රොකාබන් වල සංයුතිය බොහෝ දුරට සමානය. මේ නිසා මෙම ද්‍රව්‍ය එකිනෙක හඳුනාගැනීමේ පරීක්ෂණ පහසු නැත. එය සංකීර්ණ ක්‍රියාවලියකි. මේ නිසා මහාචාර්ය මහානාම මේ සඳහා සරල ක්‍රමවේදයක් නිර්මාණය කරමින් උපකරණ කීපයක් පමණක් භාවිතා කරමින් සිදු කළ මෙම පරීක්ෂණයෙන් ඉතා කෙටි කලක් තුළ පෙට්‍රල්වල සංයුතිය පිළිබඳව අවබෝධයක් නිවැරදිව ලබාගැනීමේ හැකියාව ඇත. මේ නව ක්‍රමවේදය ඔස්සේ ආචාර්ය මහානාම පරික්ෂණ මෙහෙයවා ඇත)

එලෙසම ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව නේපාලය අප්‍රිකානු ඇතැම් රටවල ද භූමිතෙල් මිශ්‍ර කිරීම සුලබ ලක්ෂණයක් බව ඔහු පවසයි. මෙම තත්ත්වයට හේතු ලෙස ආචාර්ය මහානාම පවසන්නේ පෙට්‍රල් සහ ඩීසල් අතර පවතින විශාල ‍මිල වෙනසය. ඇතැම් දියුණු රටවල පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් අතර විශාල මිල වෙනසක් නැත. මේ නිසා එවැනි රටවල විශාල ලෙස මෙම පෙට්‍රල් බාල කිරීමක් සිදුවන්නේ නැත‍. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල පෙට්‍රල් ඉන්ධන ‍පිරවුම් හල්වලට ගෙන යා‍මෙන් පසුව ඒවායේ හිමිකරුවන් සේවකයන් අතින් ඒවාට විවිධ දේ මිශ්‍රවීමේ තත්ත්වයක් පවතින බවය.

වර්ණය වෙනස් කිරීමට රසායන එකතු කරලා

සාමාන්‍ය ජනතාව රතු සහ නිල් පැහැ වර්ණයෙන් යුතු භූමිතෙල් එදිනෙදා පරිභෝජනය සඳහා යොදා ගනු ලබයි. සාමාන්‍යයෙන් භූමිතෙල් සුදු පැහැයෙන් යුක්තය. රතු සහ නිල් පැහැයෙන් භූමිතෙල් වර්ණ ගන්වන්නේ ජනතාවට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ය. නමුත් තෙල් ජාවාරම් කරුවන් යම් රසායනික ද්‍රව්‍යයක් යොදා ගනිමින් වර්ණ ගන්වන ලද භූමිතෙල් නැවත සුදු පැහැයට හරවා ඒවා පෙට්‍රල් සහ ඩීසල්වලට කලවම් කරනු ලබන බව පැවසේ. එලෙසම බහුසරයේ ‍ටැංකි සඳහා යොදන මුද්‍රාව අතිසූක්ෂම අන්දමින් ඉවත් කර නැවත සැකසීමට මෙම තෙල් ජාවාරම් කරුවන් සමත්වේ. එලෙසම මෙයට අමතරව විදුලිබල උත්පාදනයේදී සහ බොයිලේරු ක්‍රියාත්මක කිරීමේදී යොදාගන්නා ෆර්නේස් ඉන්ධනය නැව්වලින් ඉවත් කරන අපද්‍රව්‍ය තෙල් සමඟ මිශ්‍ර කිරීමේ දැවැන්ත ජාවාරමක් ද ක්‍රියාත්මක වන බව ද පැවැසේ.

එයට අමතරව පෙට්‍රල්වලට එතනෝල් ද ඇතැම් රටවලදී අඩු වැඩි වශයෙන් එකතු කරයි.

පෙට්‍රල් දහනයේදී වඩාත් වැදගත්වන සාධකය ලෙසින් සැලකෙන්නේ ඔක්ටේන් අගයයි. ඔක්ටේන් අගයෙන් කියැවෙන්නේ එන්ජිම තුළ පෙට්‍රල් දහනය වීමේ පවතින නැඹුරුවයි. ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරුවන් පවසන්නේ ඔක්ටේන් අගය අඩුවීම නිසා බොහෝ විට එන්ජිම ආබාධයට ලක්වන බවය. මේ අතර ඉන්ධන පිරවුම්හල් කරුවන් පවසන්නේ, බාල තෙල්වලින් ඔවුන්ගේ ඉන්ධන පොම්පවලට හානි සිදුවෙන බවය. බාල තෙල් නිකුත් කිරීමේ දී පොම්ප හිරවීමකට ලක් වන බවත් ඒවා නැවත වියදම් දරා නැවත අලුත්වැඩියා කිරීමට සිදු වන බවයි.

අප මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ද අදහස් විමසා සිටියා. එහිදී එම ආයතනයේ ප්‍රකාශකයකු පැවැසූවේ මේ වන විට ඔවුනට සිපෙට්කෝ ආයතනයේ පරීක්ෂණාගාරයෙන් පරීක්ෂා කරන ලද IOC තෙල් සාම්පල පිළිබඳ වාර්තාවක් ලැබී තිබුණ ද එය පමණක් පදනම් කරගෙන එම ආයතනයට විරුද්ධව නඩු පැවරිය නොහැකි බවත් මේ පිළිබඳ තවදුරටත් සොයා බලමින් විමර්ශනයක් තවදුරටත් දියත් වන බවයි. එනිසා තවමත් මේ පිළිබඳ විමර්ෂන කටයුතු සිදු කෙරීගෙන යන බැවින් වෙනත් යමක් පැවසිය නොහැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් බාල තෙල් භාවිතයෙන් අපහසුතාවයටත් අසාධාරණයටත් ගසා කෑමටත් ලක් වන්නේ අවසානයේ පාරිභෝගිකයායි. එනිසා බාල තෙල් වෙළෙඳපොළට නිකුත් වීම වළක්වාලිමට බලධාරීන් වගබලාගත යුතු සේම පාරි‍භෝගක අයිතිය සුරක්ෂිත කිරීමට ද ඔවුන් වගවිය යුතුය.

අදහස්