තිරිසනුන්ගේ වදයට ලක්ව ජීවිතයෙන් වන්දි ගෙවන සරසවි සිසුවෙකුගේ ආත්මකථනය | සිළුමිණ

තිරිසනුන්ගේ වදයට ලක්ව ජීවිතයෙන් වන්දි ගෙවන සරසවි සිසුවෙකුගේ ආත්මකථනය

මට දෙන මේ වද දරාගන්න බැරිව මගෙ අම්මා මැරුණා...

ලිංගික වද දරාගන්න බෑ මම මානසිකව බිඳ වැටුණා...

බකට් කරන්න කලින් රෑ තමයි දරුණුම ලිංගික වදය දෙන්නෙ...

මම එච්.අයි.වී පරීක්ෂණයක් පවා සිදුකළා...

අතළොස්සකගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් සරසවියට උරුම වී තිබු සමාජ ගරුත්වය, පිළිගැනීම බොහෝ සෙයින් දුරස්ව ගොස් ඇත. එදා සරසවි ජීවිතයේ සුන්දර මතක සටහන් ඉතුරු කළ සරසවි නවක හඳුනාගැනීම් අද ඒ බිමෙන් පලා ගොස්ය. අද තවදුරටත් එය සරසවි මතකය රසවත් කරන සොඳුරු සංස්කෘතිකාංගයක් නොවේ. ලිංගික හා කායික වද වේදනා දක්වා පරිවර්තනය වූ ම්ලේච්ඡ තිරිසන් වදයකි.

මේ වන විට සරසවිවල ම්ලේච්ඡ නවකවද හේතුවෙන් බොහෝ දරු පිරිසක් සරසවි අධ්‍යාපනයට ආයුබෝවන් කියා හමාරය. එමෙන්ම මෙහි ඇති කුරිරි බව හේතුවෙන් මෙන්ම මනෝ විකාරී අසම්මත හැසිරීම් හේතුවෙන් තව බොහෝ පිරිසක් විවිධ මානසික ව්‍යාධීන්ට ලක් වී සිටිති. නවකවද සම්බන්ධ නීයද ඒ පිරිස් වෙනුවෙන් දැඩිව ක්‍රියාත්මක වෙද්දීත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එ ක්‍රියා මැඬ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබියදීත්, විශ්විවිද්‍යාල පාලනාධිකාරීන් විසින් ඒ සම්බන්ධයෙන් වූ රැකවල් තර කර තිබියදීත්, ඇතැම් විශ්වවිද්‍යාලවල සුළුතරයක් ඒ අමානුෂික මානසික, කායික හා ලිංගික හිරිහැර තවමත් සිදු කරති.

තම විශ්වවිද්‍යාලය තුළ නවකවදය නැතැයි, තම විශ්වවිද්‍යාලයට එල්ල වන චෝදනා බොරුයැයි ඕනෑම කෙනෙකුට පැවැසිය හැකි වුවද යථාර්ථය එය නොවන බව සමාජය දනියි. ඇතැම් පිරිසක් වසරක් පාසා සිරිතක් වශයෙන් කරගෙන යන්නාවූ මේ අති අමානුෂික වදයන් තවමත් සරසවි බිමේ සිදු වන බව හේතු සාධක සහිතව අපිට පැවැසිය හැකිය. සමාජය විසින් පිළිකුලෙන් යුතුව බැහැර කරන එවැනි සිදුවීම්වල තවත් කතාවක් මේ ආකාරයෙන් දිග හැරෙන්නේ එක් විශ්වවිද්‍යාලයකට පමණක් ඇඟිල්ල දිගු කිරීමේ අරමුණින් නොවේ.

අපට මේ කතාව කියන්නේ එම නින්දිත අත්දැකීමෙන් පීඩිත සිසුවෙකි. ඔහු ඒ අශික්ෂිත අත්දැකීම අපට කියන්නේත්, තම නම් ගම් පවා නොබියව රටට හෙළි කරන්නේත්, එවැනි ම්ලේච්ඡකම් තවමත් සිදු වන බව රටට කියන්නටය. ඔහු පෙනී ඉන්නේ මේ වදහිංසා සරසවි බිමෙන් තුරන් කිරීම වෙනුවෙනි. අප මේ කතාව කියන්නේ සරසවි තුළ නවක වද ම්ලේඡත්වය මොන තරම් නින්දිත ලෙස ක්‍රියාත්මක දැයි තේරුම් කරදීමටය.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි මේ සිසුවා රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට ඇතුළු වන්නනේ 2017 වසරේදීය. විශ්වවිද්‍යාලයට ඇතුළු වු දා සිට ඔහුට විඳින්නට සිදු වී ඇති අමානුෂික කායික හා ලිංගික වදහිංසා කෙනෙකුට අසන්නට නොහැකි තරමට හිරිකිතය. ඔහු විඳි ලිංගික හා කායික හිරිහැරවල භයානක අතුරු ඵලය එළිදකින්නේ කිසිවෙකු අපේක්ෂා නොකළ ආකාරයටය. ඒ ඔහු විඳි පීඩාව දරාගත නොහැකිව ඒ වේදනාවෙන්ම ඔහුගේ මව මිය යෑමෙනි.

තමන් ලද නවකවදය හේතුවෙන් තම මව මිය යෑම, ලිංගික හිංසන හේතුවෙන් අවසානයේ රෝහල් ගත වීම් හා එච්.අයි.වී පරීක්ෂණ පවා කිරීමට සිදු වීම පිටුපස ඇති මේ ම්ලේච්ඡත්වය ඔහුගේ වචනයෙන්ම මෙසේ අනාවරණය වන්නේ එවන් සිදුවීම් මින් පසුව හෝ අසන්නට නොලැබේවි යන බලාපොරොත්තුවෙනි.

“ මම විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වුණේ 2017 වසරේදි. අපි මුලින්ම විශ්වවිද්‍යලයට ගියාට පස්සේ අපිව උණුසුම් ආකාරයෙන් පිළිගත්තේ අපිට කලින් වසරේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්. එදා මේ අය අපේ ගමන් මලු පවා උස්සගෙන ගිහින් අපිව පිළිගත්තා. අපි හිතුවා මේ අයගෙන් අපේ මවුපියන්ට වඩා වැඩි රැකවරණයක් අපට ලැබෙයි කියලා. මේ දිනවල අපිට කිසිම තැනක ඒ අය යන්න දුන්නේ නැහැ. අපේ පස්සෙන්ම ඉඳලා අපේ කටයුතු සියල්ලම ඒ අය ඉටු කරදුන්නා. මුලදි මේ ජ්‍යෙෂ්ඨ සිසුන් අපිට නාන කාමරයකට පවා තනියම යන්න දුන්නේ නැහැ. අපිට නිදහසේ ඒ කටයුත්ත පවා සිදු කර ගන්න දෙන්නේ නැතුව එතැනට යද්දිත් මේ අය අපේ පස්සෙන්ම එන්න ගත්තා.

අන්තිමේදී මෙය අපිට හරිම වදයක් වෙන්න පටන් ගත්තා. මේ තත්ත්වය හැමෝටම එකවගේ. පස්සේ මේ අය අපිව ආදරණීය නංගියේ මල්ලියේ කියලා සුහදව ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. මේ ගොල්ලෝ හැම දේම කරන්න යොදා ගත්තේ ප්‍රධාන කැන්ටිම. ඒ කැන්ටිමට අපේ මුළු බැච් එකම දානවා. මුල් කාලයේ අපිට තබුණේ ඉංග්‍රීසි පාඨමාලාව විතරයි. ඒ නිසා සවස් කාලයේ ඒ අය අපිව දේශනගාරයට එක්ක ගෙන ගිහින් ඒ අයගේ විවිධ දක්ෂතා පෙන්වනවා. අපි ඒවා බලාගෙන ඉන්නවා. හරිම සුහදව මේවා සිදු වුණා. මෙහෙම කැම්පස් ගිහින් මාස දෙකක් පමණ යනතෙක් හොඳින් අපි කල්ගත කළා.

2018 පෙබරවාරි මාසයේ, එනම් අපේ කාන්තා සොහොයුරියන්ට නේවාසික පහසුකම් දුන් දවසට පහුවදා සිට තමයි මේ අමානුෂික නවකවදය ආරම්භ වෙන්නේ. දවල් කෑමෙන් පස්සේ මේ අය අපිව පුස්තකාලය පෙන්නන්න එකක් ගෙන යනවා කියලා පේළියට අපිව බෙන්ච් එකක වාඩි කරවනවා. වාඩි කරලා කියනවා අපේ ගාව තියෙන ෆෝන් ඕෆ් කරලා බෑග් එකට දාගන්න කියලා. ඒකට හේතුව විදියට කියන්නේ පුස්තකාලය තුළ ෆෝන් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලයි. මේ වෙලාවේ අපේ පීඨයේ සීනියර් අයියලා, සුපර් සීනියර් අයියලා අපේ වටේට එකතු වෙනවා. මේ වෙලාවේ ඒ හැමෝම එකතු වෙලා ශබ්දය දාලා කුණුහරුප කියලා අපේ ෂර්ට් ඉරලා වද දෙන්න පටන් ගන්නවා. අපි කවමදාවත් අහපු නැති විදියේ කුණුහරුප කියන්න පටන් ගන්නවා. කැන්ටිමේ පවත්වන මේ ආරම්භය ඒ අයගේ වචනයෙන් හඳුන්වන්නේ නවක නව්‍යකරණය කියලයි. මේ නවක නව්‍යකරණයෙන් ආරම්භ වන නවකවද ආරම්භක වැඩසටහන ඒ අය හඳුන්වන්නේ ‘මහ තගේ දැමීම’ කියලා.

“ ඊට පස්සේ අපව කෙළින්ම යවන්න පටන් ගත්තේ ඔඩිටෝරියම් එකට. මේ වේලාවට අපි ඇඳිය යුතු ඇඳුමත් ඒ අය කියනවා. ඒකට කියන්නේ ෆ්‍රෙෂ් කිට් එක කියලා. පිරිමි ළමයින් ඇඳගෙන එන්න ඕන ඉන්ටර්විව් එකකට යන විදියේ ඇඳුමකින්. හැබැයි ටයි එක බැහැ. ගැහුනු ළමයි ඇඳගෙන ආ යුත්තේ කොට සායක් හා අත්දිග බ්ලවුස් එකක්. ඉන් පස්සේ තමයි මේ අයගේ ‘ ගොන් ආතල් ‘ කියන සාමාන්‍ය රුග් එක ආරම්භ වෙන්නේ. මේ ගොන් ආතල් එකේදි අපි මේ අය කියන කියන දේ කරන්න ඕන.

“මෙතැනදි අපිට තියෙනවා හොස්ටල් සංස්කෘතිය කියලා දෙයක්. ඒ හොස්ටල් සංස්කෘතියේ අපි සිටිය යුත්තේ නිරුවතින්. කලින් ඇඳුම් ඇඳගෙන නැවතත් අපි මේ සංස්කෘතියට යටත් වුණායින් පස්සේ ඉන්න ඕන නිරුවතින්. සෑම සිසුවෙකුම මේ වදය විඳිය යුතුයි. බොහොම අමානුෂික වද විඳින්න වෙන්නේ මේ නේවාසිකාගාර වලදි. ”

“ අපට වද දෙන කොට මේ හොස්ටල්වල හැම වසරකම අය රැඳී හිටියා. ඒත් අපේ හොස්ටල්වල සිටිය යුත්තේ පළමු වසර හා අවසාන වසර සිසුන් පමණයි. නමුත් එහි හැම වසරකම අය සිටියා. පසුව තමයි දැනගත්තේ. මේ අය මුලින්ම අප රැගෙන ගිහින් තිබෙන්නේ අපිට අදාළ නැති නේවාසිකාගාරයකට. මුලින්ම කාමරයකට හය දෙනෙක් හිටියත් පස්සේ ඉන්න ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කළා. හොස්ටල් එක ඇතුළේ අපි අඳින්න ඕන සරමකුයි ටී ෂර්ට් එකකුයි විතරයි. යට ඇඳුම් කිසිවක් බැහැ. මේ කාලයේ අපි ඒ අයගේ වැඩ සේරම කරලා දෙන්න ඕන.”

එතැන් සිට ඔහු කියන්නේ ඔහු වින්ද ශාරීරික වද වේදනා ගැනය.

“ මම මේ කියන ශාරීරික වද සියල්ලම මටම විඳින්නට සිදු වූ ඒවා. මට වගේම මේ දේවල් මගේ අනෙකුත් සහෝදරයන්ටත් වූ බව මම ඇස් පනාපිටම දුටුවා. ශරීරික වද හිංසා ආරම්භ වන්නේ රාත්‍රියේදි. රෑ 12ට රැස්වීමක් තියෙනවා. එකට එන්න කියලා තමයි මේ වද දෙන්න පටන් ගන්නේ. අපි ඔක්කොම කොමන් රූම් එකකට දාලා ගහන්න පටන් ගන්නවා. මෙකේ ඇඳවල් හතරක් පමණයි තියෙන්නේ. ඒත් පනහක් විතර ඒකට දානවා. දාලා ගහන්න පටන් ගන්නේ රෑ 12න් පස්සේ. අපි ගුලි වෙලා ඇඳන්වලට වෙනවා.

ඒ වෙලාවේ ඒ අය කරන්නේ ගහ ගහ අපේ ටී ෂර්ට් ඉරන එකයි. හොස්ටල් එකේ අය, මේන් කැන්ටිමේ අය මේ දේවල් වෙනකම් බලාගෙන ඉන්නවා. ඇත්ත එයයි. කවුරුත් මීට විරුද්ධව කටයුතු කරන්න ගියේ නැහැ.

මට තාම මතකයි. එක දවසක් අපි ඇඳවල් දෙක තුනකට වෙලා ගුලිවෙලා නිදාගෙන ඉන්නකොට පාන්දර 3-4 ට විතර මට ඇහෙනවා මල්ලී... මල්ලි.... කියලා අමුතු භයංකාර සද්දයක් දාගෙන කට්ටියක් එනවා. මේ වෙලාවේ මාත් එක්ක ළඟ නිදියගෙන හිටිය අය ළඟ හිටියේ නැහැ. ඒ අය මාව එකපාරටම ඇඳලා අරගෙන මළමිනියක් උස්සගෙන යනවා වගේ උස්සගෙන ගියා. ඒත් අර අමුතු ශබ්දය ඒ විදියටමයි. මාව එක්තරා තැනකට කරුවලේම ගෙනිච්චා. එහෙම අරගෙන ගිහින් මගේ ඇඳුම් සියල්ල ඉවත් කරලා සිරුරේ රහස්‍ය තැන් සියල්ල වේදනා දෙමින් මිරිකුවා. මට කරකියා ගන්න විදියක් නැහැ. හැම කෙනාම ගෙනියන්නේ තනි තනියම. ඒත් හැම දෙනාම මේ විදියට ගෙන ගියා.

ඉන් පස්සේ ඒ අය වැටමාර පොල්ලකට උපත් පාලන කොන්ඩමයක් දමා විවිධ හිරිහැර කළා. පසුව එය මගේ කටටත් ඇතුළු කළා. ඉන් පස්සේ අපිව මැද්දවත්ත හොස්ටල් එකේ උඩ තට්ටුවේ කාමරයකට නිරුවතින්ම ඇතුළු කළා. ඒකේ හිටපු සිල්ලෝම හිටියේ නිරුවතින්. මේ නිරුවත් කොමන් රූම් එකේ හැමෝම භය බිරන්ත වෙලා ගුලි වෙලා හිටියේ. මේකේ වෙන දේවල් හඳුන්වන නිවේදකයෙක් ඉන්නවා. මේ කාමරයේ එක් එක් අයට කොන්ඩම් දිලා තිබුණා. ඉන් පස්සේ මේ නිවේදකයා වැටමාර පොල්ල අපිට පෙන්නලා අපිට දුන්න රුග් එකේ නම අපිට පැහැදිලි කරලා දෙනවා.

“මල්ලී මේ කළේ ........භාවය අහෝසි කිරීමයි“

මේවා කරන්නේ දෙවැනි වසර අයයි. මේ සියල්ල ඇත්ත ඕන කෙනෙකුට මේකේ වැඩ විස්තර දැනගන්න ඕන නම් අන්තර් ජාලයට ගිහින් ‘කැම්පස් රුග් එක ‘ කියලා සිංහලෙන් ටයිප් කරලා බලන්න පුළුවන්. මේ කියන එවායේ ඇත්ත. ”

ඔහු දැඩි වේදනාවෙන් පවසයි. ඒ සියල්ල අසන්නට පමණක් නොව ලියන්නටද බැරි තරමට අසභ්‍යය.

“ඊට පස්සේ දවසේ දෙන්නේ තවත් දරුණුම රැග් එකක්. මේ දරුණු ලිංගික වද හිංසාවට ඒ අය කියන්නේ බෝංචි කැඩීම කියලා. දෙදෙනෙක් නිරුවත් කරලා කරන මේ හිංසාව හරීම වේදනකාරී අත්දැකිමක්. ඒ අය කියන විදියට උඹලට මේ වගේ ආතල් දෙන කාලයක් තියනවා. ඒ රාත්‍රී 8න් පස්සේ. දරුණු හිරිහැර කරන්න පටන් ගන්නේ තුන්වන වසර අය. ඒක කළායින් පස්සේ ‘මයිල් පූට්ටු කරනවා‘ කියලා තවත් වදයක් කරනවා. ඒ වදයට ලක් කරන්නෙත් නිරුවතින්.

පස්සේ අපිට ‘රාජසිංහ අමුඩය‘ කියලා ඇඳුමක් අන්දවනවා. පොදු කොමන් රූම් එකකට ගෙන ගිහින් අමුඩයක් අන්දවාගෙන ලිංගික අවයව පෙන්වමින් මේසයක් උඩට නැඟ අපිට කියන්න වාක්‍යයක් දෙනවා. මේ වාක්‍යයේ වචනයක් හෝ එහාට මෙහාට වෙන්න බැහැ. වැරදුණොත් හරියට කියනකම්ම මේ වදය දෙනවා. මට මේ වදය විසි පාරක් විතර කරන්නට වුණා.

මීට පස්සේ තවත් දරුණු ලිංගික හිරිහැර කරනවා. සත්තු වගේ එහාට මෙහාට යවනවා. මේවා ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ආකාරයේ ලිංගික හිංසන නෙමෙයි. මේ හැම එකක්ම දවසින් දවස වෙනස් කරමින් කරවනවා. හැම ලිංගික වදයකටම හැමෝමම ලක් වෙන්න ඕන...”

“සරසවි කල්කය බොන්නේ දෙන්නේ මේ අතරෙයි. මේකට මොනවා දාලා දෙනවද කියලා අපි දන්නේ නැහැ. කට දෙපැත්තට කරලා මේක බලෙන් පොවනවා. පෙවුණු ගමන් අපිට වමනය යනවා. ගොඩාක් අය මේවාට ලෙඩ වෙනවා. මේ ලිංගික හිරිහැර සති දෙකක් තිස්සේ දෙනවා. ඊළඟට බකට් එක දෙන්න කලින් දවසේ වදය තවත් අමානුෂිකයි. හෙට බකට් එක දෙනවා නම් කලින් දවසේ රාත්‍රියම නිරුවතින් වද දෙනවා . මැද්දවත්ත හොස්ටල් එකේදි තමයි මේ දේවල් වෙන්නේ. ඒ වගේම අහන්න බැරි කුණුහරුප. අපිට මේවා ආචාර්යවරුන්ට කියන්න බැරි වන ආකාරයට අපි දෙගොල්ලෝ අතරේ සම්බන්ධතාව මේ අය කඩනවා.”

“මේ හැම දේම මම ඉවසගෙන හිටියා. මට ජීවිතේ විඳින්න වුණු වේදනාකාරිම සිදු වීම වුණෙත් මේ නවකවදය නිසාමයි. සිදුවුණු හැම දේම අම්මට කියන්න සිදුවුණා. මම ගැන අහස උසට බලාපොරොත්තු තබාගෙන සිටි, මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා බලන්න ආසාවෙන් සිටි මගේ අම්මාට මට වෙන මේ දේවල් ඉවසන්න බැරි වුණා. අම්මා ලෙඩ වුණා. අන්තිමේදි අවුරුදු 57ක් වයසැති මගේ අම්මා මියගියා. වෛද්‍ය වාර්තාවේ සඳහන් වුණේ අම්මාගේ මොළයේ ස්නායුවක් බිඳි යෑම නිසා මරණය සිදු වුණා කියලා.

අම්මා ජීවත් වෙලා ඉද්දි මං පස්සෙන්ම හිටියා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඇවිත් මේ සියල්ල පැමිණිලි කරන්න ඇය මට ශක්තිය දුන්නා. මේ අතර මේ දැරුණු මානසික වද නිසා මාව විටින් විට මානසික වෛද්‍යවරුන් ළඟට ගිහින් බෙහෙත් ගන්න පවා සිදුවුණා. අන්තිමේදි මට ගම්පහ මූලික රෝහලේදි එච්. අයි .වී පරීක්ෂණයක් පවා කරන්න සිදු වුණා.

“මේ වද නිසා මගේ ඇඟේ යම් යම් වෙනස්විම් සිදු වුණා. බස් එකක යන්න බැහැ වමනය යන්න එනවා. මගේ ඇඟට පණ නැතිවුණා. වෙන දේවල් මට හිතාගන්න බැරි වුණා. මේ රැග් එකෙන් පස්සේ තමයි මට විශාල සැකයක් ඇති වුණේ සමාජ රෝගයක් හෝ මට වැලඳී ඇතැයි කියලා. නමුත් පරීක්ෂණයන් පසුව එහෙම දෙයක් නැහැ කියලා දැන ගත්තට මගේ ඇඟපතේ වේදනාව, මානසික අසහනය නැති වුණේ නැහැ.”

“නවකවද නිසා මගේ බෙල්ලේ තුවාල ඇති වුණා. ඒ තුවාල නිසා රෝහල්ගත වීමට පවා සිදු වුණා. මගේ අධ්‍යාපනය මුළුමනින්ම බිඳ වැටුණා. ඉන් පස්සේ තමයි මගේ අම්මයි මමයි තිරණය කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගිහින් මේ ගැන පැමිණිල්ලක් කරන්න. ”

“ මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගිහින් කිව්වට පස්සේ මට එතැනින් රජරට විශ්වවිද්‍යාලයට මාරු වීමක් හදලා දුන්නා. මගේ ගෙවල් ගම්පහ. ඒ නිසා මට ඒ විශ්වවිද්‍යාලය දුරයි. මම නැවතත් රුහුණුටම ගියා. මගේ අම්මත් අයියත් එක්ක. නියෝජ්‍ය උපකුලපතිතුමා හමු වී සියල්ල කිව්වා. එතුමා මගේ අම්මට කියලා තිබුණා, දරුවව මම බලා ගන්නම්, බය වෙන්නේ නැතුව විශ්වවිද්‍යාලයට එවන්න කියලා. ඒ කිව්වා වගේම ප්‍රශ්නවලදි එතුමා මැදිහත් වුණා. ”

“විභාගය ආරම්භ වුණා. මම හොස්ටල් නවතින්නේ නැතුව උදේ හවස බස් එකේ දිනපතාම විශ්වවිද්‍යාලයට යනවා. හවසට අධිවේගයේ යන බස් එකක ගෙදර එන්න අතේ සල්ලි නැහැ. අතේ තියෙන මුදලින් කෝච්චියේ ගෙදර එනවා. පස්සේ මම හොස්ටල් අතහැර බෝඩිං වුණා. බොඩිං වුණාට පස්සේ මේ අය මට තර්ජන කරන්න පටන් ගත්තා. කැම්පස්වත් එන්න දුන්නේ නැහැ. ”

“ විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ රැග් එක අවුරුද්දයි. බකට් එකින් අර්ධ නිදහසක් විතරයි තියන්නේ. මේ නිසා බකට් එක දුන් පස්සෙත් හිරිහැර කිරීම නතර වුණේ නැහැ. කොයි වෙලේත් ඒ අය අපේ කනට ගහනවා. මේ විශ්වවිද්‍යාලයේ පුජා භුමියක් කියලා තැනක් තිබුණා. කවුරුත් දන්නේ නැහැ මෙතැන මොකද වෙන්නේ කියලා. මේ සිදු වීම වෙද්දි අපේ අලුත් වසර. මම රැග් එක ගැන හිතන්නේ නැතුව මගේ වැඩ කරගෙන යනවා. දැන් අලුත් කණ්ඩායමක් ඇවිත්. ඒ අයටත් අර වගේම රැග් එක. පළමු වසර විභාගයෙන් මට විශේෂවේදි උපාධියක් කරන්න බැරි වුණා. නමුත් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ සිසුන්ට මාත් එක්ක තිබුණා තරහ නිවුණේ නැහැ. දෙවැනි වසරේ සිටියත් මාව වටකරගෙන ගහනවා. මගේ ෂර්ට් ඉරනවා. මේ දේවල් අම්මත් දැනගත්තා. අම්මා හරිම වේදනාවෙන් හිටියේ. ඒ සිදු වීම් සියල්ල වන අතර මේ වසරේ අප්‍රේල් මාසයේ මගේ අම්මා ඒ වේදනාවෙන්ම මැරෙනවා.”

මගේ අම්මගේ ලොකු බලාපොරාත්තුවක් තිබුණා, මගේ අනාගතය ගැන. ඒත් අද ඒ සිහිනය දකින්න මගේ අම්මා නැහැ. මම කොහොම හරි මේ විශ්වවිද්‍යාලයේම ඉඳන් මේ නවකවදය වෙනුවෙන් සටන් කරනවා“ ඔහු කියයි.

මේ වන විට මේ සිසුවා අදාළ අංශවලට පමණක් නොව තමන් විඳි වේදනාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාවලියකට යෑමද අරම්භ කර ඇත. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමද මේ අයුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවේද අනාගතය අරමුණු කර ගනිමිනි.


හරිම සංවිධානාත්මකවයි මේ දේවල් කරන්නේ

රුහුණ විශ්වවිද්‍යාල උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේන

මේ සිසුවාගේ කතාව සම්පූර්ණ සත්‍යයක්. විශ්වවිද්‍යායෙන් මෙවැනි නවකවද සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතුය යන මතයේ අපි දැඩිව සිටිනවා. ඒ වගේම සුළු පිරිසක් කරන මෙවැනි ක්‍රියා නැවැත්වීම සඳහා අපි ඒ වෙනුවෙන් දැඩිව ක්‍රියාත්මක වෙනවා. මේ පිරිස් මෙවැනි දේ කරන්නේ හරිම සංවිධානාත්මකවයි. මෙම නවකවද දෙන පිරිස් අලුතින් විශ්වවිද්‍යාලයට පැමිණෙන පිරිසෙන් දෙදෙනෙකු තෝරා ගන්නවා. ඒ අය මඟිනුයි මේ අය නවක සිසුන්ට සියලු පණිවිඩ ලබා දෙන්නේ. ඒ සඳහා සමාජ මාධ්‍ය උපයෝගි කර ගන්නවා. එහෙම පණිවිඩ ඇර නොපැමිණි අය සිටියොත් ඔවුන්ට අල්ලාගෙන ගහනවා. පැමිණි නැති අයගේ කණ්ඩායමේ අනෙකුත් අයටත් ගහන නිසා ගුටි කන්න බැරිව ඒ හැමෝම අනෙක් අයත් ගෙන්න ගන්නවා. ශාරීරික වද හිංසාවලින් නවකයෙකු අසනීප වුණොත් ඒ අය රෝහල් ගත කරන්නත් මේ අයට විවිධ උපක්‍රම තියෙනවා. මේ අයට වෙනමම සික් රූම් එකක් තියෙනවා. එය පිළිගත් සික් රූම් එකක් නෙමෙයි. ඒවායේ ඒ අයම පිළිගත් බෙහෙත් තියෙනවා.

කවුරු හරි නවකවදයෙන් අසනිප වුණොත් ඒකට එක්කගෙන ගිහින් ඒ අයම බෙහෙත් දෙනවා. බිව්වේ නැති නම් බීපන් කියලා වද දෙනවා. අසනීප තත්ත්ව උග්‍ර වුණොත් මෙඩිකල් සෙන්ටර් එකකට ගෙනියන්න මේ අයට වෙනම ත්‍රී විලර් කට්ටිය ඉන්නවා. ඒවායේ දාගෙන රෝහලට ගෙනියනවා. රෝහලේ ලෙඩා ළඟ නවත්වන්නේ ජ්‍යෙෂ්ඨයෙකුයි.

මේ නිසා රෝගියාට රෝහලේදි ඇත්ත විස්තරය කියන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා නවකවදයෙන් රෝහල්ගත වුණොත් තමන්ගේ ගෙදර කවුරුවත්ම දන්නේ නැහැ.

මේ වගේ දැඩි සංවිධානාත්මක වැඩපිලිවෙළක් යටතේයි මේ අය මේ දේවල් කරන්නේ. මේ එක් උදාහරණයක් පමණයි. ඉදිරියේ අපේ සරසවියෙන් පමණක් නොව අනෙක් සරසවිවලිනුත් මෙවැනි දේ සිදු නොවෙන්න දැන් වැඩකටයුතු කරගෙන යනවා.

අදහස්