නිකරුනේ පැතිරෙන ෆේස් ඇප් භීතිකාව | Page 2 | සිළුමිණ

නිකරුනේ පැතිරෙන ෆේස් ඇප් භීතිකාව

ෆේස් ඇප් එක රුසියානු නිර්මාණයක්

නිර්මාණය වු‌ෙණ් වසර කීපයකට පෙර

මෑතකදි ජනප්‍රිය වුණේ රැල්ලකට

තාක්ෂණය සමඟින් අඳුරේ අතපත ගාන්නට ගියහොත් සිදුවන්නේ නොදන්නා කුඤ්ඤ අදින්නට ගිය වඳුරාට සිදුවුණු ඇබැද්දිය පන්නයේ අත්දැකීම්වලට මුහුණදීමටය. තාක්ෂණයෙන් පැන යා නොහැකිය. හැකි තරම් තාක්ෂණයෙන් පරිස්සම් වෙමින් කටයුතු කිරීම වඩාත් ගුණය.

කළින් වයසට යෑම මේ දිනවල බොහෝ ජනප්‍රිය මාතෘකාවකි. එය ලෝකයේම ජනප්‍රිය රැල්ලක් වී ඇතුවා සේය. FaceApp එකක් හරහා වයසට යෑම පමණක් නොව ස්ත්‍රී පුරුෂභාවය මාරු කරගත් , හිස කෙස්, රැවුල, මුහුණේ ස්වරූපය වෙනස් කරගත් පින්තූර facebook වෙබ් අඩවියේ වැඩි වශයෙන් මේ දිනවල සංසරණය වේ. FaceApp හරහා වෙනස් වුණු පින්තූර සම්බන්ධයෙන් වෙනම පෝස්ට් ෂෙයාර් කරති. බුකිය මහලු මඩමක් වී ඇති බව එයින් එක් මතයකි. එසේම FaceApp එක හරහා පින්තූර සකස් කිරීමේ 'අනාරක්ෂිතභාවයක්' පිළිබඳ වේගයෙන් සමාජ මතයක් පැතිරී යමින් තිබේ. FaceApp එක මඟින් පින්තූර සකස් කිරීමට ඉඩදීමේදී ජංගම දුරකනයේ ඇති තොරතුරු වෙනත් පාර්ශ්වයකට ලබා ගත හැකි යැයිද එයින් කියවිණ. පින්තූර, මුරපද (passwords) ආදිය මෙලෙස භාවිත කළ හැකි බවට මත පළ විය.

මෙම ඇප් එක රුසියාවේ සංවර්ධනය කරන ලද්දකි. මේ වන විට මෙම ඇප් එක මිලියන 100කට වැඩි ප්‍රමාණයක් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හරහා download කර තිබේ. 2017 වසරේ පෙබරවාරි 14 වැනිදා මෙම ඇප් එක හඳුන්වා දී තිබේ. ලිංගිකත්වය, කොන්ඩා මෝස්තරය, වයස, පුදුම සහගත පච්චා මෝස්තර සමඟින් තම ස්වරූපය පින්තුරයක් ඔස්සේ වෙනස්කර ගැනීමේ හැකියාව මින් ලැබේ.

විවිධ Filters මඟින් තම Selfie ඡායාරූපය හැඩ කර ගැනීමටත්, මේක්අප් යෙදීමටත්, මුහුණ සහිත පින්තූරයට සිනහව එකතු කර ගැනීමටත්, ඡායාරූපයට color filters ඇතුළත් කිරීම වැනි කටයුතුද මින් කළ හැකිය. වසර කිහිපයක් තිස්සේ පැවති App එකක් මොහොතකින් රැල්ලක් බවට පත්වීම සිදුවී ඇති බව නම් මෙයින් පැහැදිලි වේ. කලින් කලට විවිධ රැලි මතු වේ. ඒවා යටපත් වේ. අලුත් ඒවා මතුවේ.

Users (පරිශිලකයන්ගේ) දත්ත සම්බන්ධ මාතෘකාව මේ අතර සුවිශේෂි වී තිබේ. සාමාන්‍යයෙන් ප්‍රධාන ධාරාවේ යෙදුම් පවා පරිශිලක දත්ත රැස් කරයි. විශේෂයෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා දත්ත රැස් කරයි. අනාගතයේදී තමාව කෙසේ වේවිදැයි දෘශ්‍යමානය කර ගැනීමට ඉඩ සැලසීමක් කිරීමෙන් විදෙස් රටවල විශ්‍රාම වැටුප් සමාගම් තරුණ වියේදී වැඩි මුදලක් ඉතිරි කරගැනීමට මිනිසුන් පෙළඹවීම සඳහ App එක භාවිත කිරීමට කටයුතු කළහොත් එය ව්‍යාපාරික අවශ්‍යතාවකි. ඉලක්කගත වෙළෙඳ දැන්වීම් සඳහා සහ නව නිෂ්පාදන සහ විශේෂාංග සංවර්ධනය කිරීමට මෙම දත්ත භාවිත කරයි. ඉතා ජනප්‍රිය සමාජ මාධ්‍යක් වන facebook වෙබ් අඩවිය පවා ඔබගේ දත්ත රැස් කරයි. ඔබට සමහරවිට මෙවැනි අත්දැකීමක් ඇති. ඔබට ජංගම දුරකතනයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් ඇති විය. ඒ සමඟ ඔබ ජංගම දුරකතන පිළබඳ google කිරීමක් සිදු කිරීමට පෙළඹේ. එතැන් සිට ඔබට අන්තර්ජාලය හරහා ඔබ හමුවට ජංගම දුරකතන පිළිබඳ වෙළෙඳ දැන්වීම් වැඩිවශයෙන් එන්නට ඇත. ඔබගේ කැමැත්ත වහාම හඳුනා ගැනීමට තරම් තාක්ෂණය දියුණු වී ඇත. තේරුම්ගත යුත්තේ එයයි.

App එකකට ජංගම දුරකතන පරිශිලිකයාගේ අනුමැතියෙන් තොරව ජංගම දුරකතනයේ තොරතුරු වෙත යා නොහැකිය. App එකක Download කරන විට තම ජංගම දුරකතනයේ පින්තුර ගැලරිය, දුරකතන අංක නාමාවලිය වැනි අංශ කරා යෑම සදහා අනුමැතිය දෙනවාද යන්න විමසයි. තමාගේ අනුමැතිය දෙනවාද නොදෙනවාද යන්න තමා සතු වගකීමකි. එහි ප්‍රතිවිපාක ඇත්ද නැත්ද තිබේ නම් ඒ මොනවාද නිවැරදිව අවබෝධ කරගත යුතුය.

එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ ආරක්ෂක නායකයකු වන Chuck Schumer විසින් එෆ්බීඅයි හා ෆෙඩරල් වෙළෙඳ කොමිසමට ලිපියක් යවමින් FaceApp මිලියන සංඛ්‍යාතව එක්සත් ජනපද පුරවැසියන්ට ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්ව පිළිබඳ තත්ත්වය තක්සේරු කිරීම සම්බන්ධයෙන් විමසා තිබේ. upload කරන ලද පෞද්ගලික දත්තවලට ප්‍රවේශ විය හැකි රුසියානු රජය ගැන තමා සැලකිලිමත් වන බවද සඳහන් කර ඇත. සෑබෑව නම් අද ලෝකයේ සෑම මිනිසකුගේම පාහේ මුහුණ, නම සැඟවුණු දෙයක් නොවේ. එය 'පොදු' දෙයක් වී හමාරය. ‍faceApp එක ඡායාරූපයක් අල්ලා ගන්නේ ඒ සඳහා තෝරා ගන්නා පින්තූරයක් පමණක් බවත් ආරක්ෂක පර්යේෂක සහ ගාඩියන් ෆයර්වෝල් හි ප්‍රධාන විධායක විල් ස්ට්‍රැෆාච් පවසා තිබේ. මෙලෙස ලබාගන්නා දත්ත තුන්වැනි පාර්ශ්වයකට විකුණනවාද යන්න තවමත් තොරතුරු ලැබී නැත. මෙම App එක රුසියාවේ නිර්මාණයකි.එබැවින් රුසියාවේ ප්‍රතිවාදියකු වන ඇමෙරිකාව විසින් රුසියාවට ප්‍රතිවිරෝධය දැක්වීම සඳහා ‍faceApp එක දඩමීමකු කරගත්තා වන්නට පුළුවන.

නූතන ලෝකයේ ජනතාවගේ තොරතුරු යම් පාර්ශ්වයකට ලබාගැනීමේ අවශ්‍යතාවක් වේ නම් ඒවා මේ වන විට ලබාගෙන අවසන් විය හැකිය. නූතන සන්නිවේදන ක්‍රම ඔස්සේ සන්නිවේදනයේ යෙදෙන අයකුට තමාගේ අනන්‍යතාව හෙළි කිරීමකින් තොරව සන්නිවේදන කටයුතු කළ නොහැකිය. කළ හැකි වන්නේ තාක්ෂණික ලෝකය සමඟින් සිදුවිය හැකි ශාරිරික, මානසික, ආර්ථික, සාමාජීය පීඩාවලින් වැළැකීම සඳහා ආරක්ෂිත පියවර ගැනීමය. එවැනි පීඩාවලින් අන් අයව ආරක්ෂා කිරීම සඳහා කළ හැකි දේ කිරීමය. එලෙස ආරක්ෂිතව සිටීම සඳහා පියවර දෙකක් අනුගමනය කළ හැකිය. එදිනෙදා භාවිත කරන ජංගම දුරකතනය, පරිගණකය ආශ්‍රිත අන්තර්ජාල පහසුකම් පිළිබඳ නව දැනුම ලබා ගැනීම නව සමාජය සමඟ ගනුදෙනු කිරීමේදී වඩාත් පහසු වනු ඇත. ඒ සඳහා තමා තමා භාවිත කරන තාක්ෂණික අංශ පිළිබඳ කිහිපවරක් කියවා බැලීම, සොයා බැලීම, හොඳන් දන්නා අයකුගෙන් විමසා බැලීම මෙන්ම තාර්කිකව සිතමින්, පරිශිලන කටයුතු සිදුකළ හැකිය.

එසේ නොමැති නම් තාක්ෂණික ලෝකයේ ආරක්ෂිතව සිටිය හැකි දෙවැනි පියවරට යා හැකිය. ඒ නොදන්නා දේ අතපත ගෑමට නොයෑමය. තාක්ෂණය සමඟින් අඳුරේ අතපත ගාන්නට ගියහොත් සිදුවන්නේ නොදන්නා කුඤ්ඤ අදින්නට ගිය වඳුරාට සිදුවුණු ඇබැද්දිය පන්නයේ අත්දැකීම්වලට මුහුණදීමටය. තාක්ෂණයෙන් පැන යා නොහැකිය. හැකි තරම් තාක්ෂණයෙන් පරිස්සම් වෙමින් කටයුතු කිරීම වඩාත් ගුණය.

Comments