බුදුන් වඩමවන්නා සේ අඩසිය වසක් පුරා සිරි දළදා වැඩම වූ පින්වත් ඇත්රජු | සිළුමිණ

බුදුන් වඩමවන්නා සේ අඩසිය වසක් පුරා සිරි දළදා වැඩම වූ පින්වත් ඇත්රජු

කේ. උදේනි අරුණසිරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව - රත්නපුර

මහනුවර ඇසළ පෙරහර යනු ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අපූර්වත්වය ලොවට කියාපාන සංස්කෘතික ප්‍රකාශනයකි. දළදා පෙරහර පැවැත්වීම උත්තම පූජාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති. මහනුවර දළදා පෙරහර මංගල්‍යය හා අලි ඇතුන් අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි. ඉතා මනරම් ලෙස සරසන ලද අලි ඇතුන් වැඩිම ප්‍රමාණයක් සහභාගි වන පෙරහර මහනුවර දළදා පෙරහරය. එහෙත් දළදා පෙරහරේ අති පූජනීය වස්තුව ලෙස සලකන සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වන්නේ මංගල ලක්ෂණ සහිත හස්තියෙකුට පමණි. එම වාසනා ගුණය සැපරීම හේතුවෙන් අඛණ්ඩව අඩ සියවසක් උත්තම සධාතුක කරඬුව වැඩම කරවීමේ භාරදූර කාර්ය ඉටු කළ දළදා මාලිගාවේ රාජා ඇතා මියගොස් 2019 ජූලි මස 16 වන දිනට වසර 31ක් සැපිරේ.

බෞද්ධ ජනසමාජයේ සදා අමරණීය රාජා ඇතු සත්ව ලෝකයේ අමරණීය වන්නේ ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව පළමු හීලෑ ඇතා බැවිනි. එපමණක් නොව මියගිය පසු සිරුර සංරක්ෂණය කර කෞතුක වස්තුවක් ලෙස ප්‍රදර්ශනයට තැබූ මෙරට පළමු හස්තියා සේම ලොව දෙවන හස්තියා වන්නේද රාජා ඇතුය.

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ අවස්ථාව හිමි වූයේ මංගල හස්තියෙකුට පමණි. මංගල හස්ති රාජයෙකුට භූමි ස්පර්ශ ස්ථාන හතක් හෙවත් හත්පොළ වැඳුම් පිහිටා තිබීම අනිවාර්ය වේ. එම ස්ථාන වන්නේ සතර පා, ඇත් හොඬය, ලිංගය හා වලිගයයි. ඊට අමතරව මඟුල් ඇතෙකු සතුව තවත් ගුණාංග රාශියක් පැවතිය යුතුවේ. ඒවා නම් පුළුල් පිට, පුළුල් කුඹුතල, උදාර ලීලාව, තේජාන්විත දළ යුගල හා මනා කීකරුකමය.

සධාතුක කරඬුව වැඩම කරවීමේ සුදුසුකම් ලත් මංගල ඇතු තෝරාගැනීමේදී දළදා මාලිගාවේ ගජනායක නිලමේ, කාරියකෝරාල සහ ඇතුන් පිළිබඳ කටයුතු කරන සියලු දෙනා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹීම සම්ප්‍රදායයි. එම සියලු සුදුසුකම් සැපිරූ සුවිශේෂී හස්තියෙකු ලෙස රාජා ඇතු කැපී පෙනේ.

රාජා ලෙස ජනාදරයට පත්වූ එම ඇත්පැටියා අල්ලාගෙන ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ තිබූ ගන කැලෑවකිනි. එකල අලි ඇතුන් ඇල්ලූ පුද්ගලයන් මට්ටයන් ලෙස හැඳින්විණි. උමේරු ලෙබ්බේ නැමැති පුද්ගලයා ඇලි ඇතුන් ඇල්ලීම සඳහා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වන දින එම ඇත්පැටියා අල්ලාගෙන ඇත. ඒ වන විට ඇත්පැටියාගේ වයස අවුරුදු 10ක් පමණ වූ අතර උස අඩි 4 අඟල් 5ක් විය.

ඇත්පැටියා දුටු මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාව ඇත්පැටියා අල්ලාගත් ලෙබ්බේවරයාට 1925 වසරේ දෙසැම්බර 11 වන දින රුපියල් 3300ක මුදලක් ගෙවා මිලට ගෙන ඇත. එසේ මිලට ගත් ඇත්පැටියා දෙසැම්බර් 30 වන දින මඩකලපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරියෙකු වූ විශ්වලිංගම් මහතා විසින් මඩකලපුවේ සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ප්‍රවාහනය කිරීමට ලබාදුන් බලපත්‍රයෙන් ප්‍රවාහනය කර තිබේ.

එසේ මාම්පිටිය දිසාවගේ ගිරාගම වලව්වේ වසර 12ක කාලයක් හැදීවැඩුණු රාජා ඇතා දළදා මාලිගාවට පූජා කිරීමට හෙතෙම අදහස් කර ඇත. ඒ අනුව 1937 ජූලි මස 31 වන දින ඇතු දළදා මාලිගයට භාරදී තිබිණි. ඒ වන විට ඇතා වයස අවුරුදු 22ක් හා උස අඩි 8ක් තරම් වූ සද්ධන්තයෙක් විය. එසේ දළදා මාලිගාවේ සේවයට බැඳුණු රාජා ඇතු එම වසරේ දළදා පෙරහරට එකතු කරගැනීමට එකල දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ ටිකිරි බණ්ඩාර රත්වත්තේ මහතා කටයුතු කළේය. එතැන් පටන් 1987 වන තෙක් අඛණ්ඩව අඩසියවසක කාලයක් අති පූජනීය සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූයේ රාජා හස්තියාටය.

මිනිසෙකුගේ වන් ගතිපැවතුම්වලින් යුත් රාජා ඇතු සමඟ බැඳි අපූරු පුවත් රාශියක් වේ. 1955 වසරේ මහනුවර ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර ගමන් කරන අවස්ථාවේදී සධාතුක කරඬුව වැඩම කරවමින් සිටි රාජා ඇතු එකවරම මහනුවර රැජින හෝටලය ඉදිරිපිටදී නැවතී ඇත. රාජාගේ එම හැසිරීමත් සමඟ පෙරහර ඉදිරියට ගමන් කිරීම අඩාළ විය. කොතරම් උත්සාහ ගත්තද රාජා ඇතු ඉදිරියට යෑමට මැළි විය. පසුව එම ස්ථානයට පැමිණි නුගවෙල නිලමේ ඇත්ගොව්වන් ලවා කරඬුව තැන්පත් කර තිබූ රන්සිවිගෙය පරීක්ෂා කිරීමේදී පෙනීගොස් ඇත්තේ රන්සිවිගෙය ඇතුගේ පිටට බැඳ තිබූ රැහැන් පටි සියල්ල කැඩී ඇති බවය. රාජා ඇතු නැවතී ඇත්තේ තව එකදු පියවරක් හෝ ඉදිරියට ගියේ නම් ඉන් සධාතුක කරඬුවට හානියක් වන බැවිනි.

1959 ඇසළ පෙරහරේදී මහා අලි කුලප්පුවක් සිදු විණි. පෙරහරේ ගමන්ගත් ශිල්පීන් මෙන්ම පෙරහර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිවයන්නට වූහ. ඒ සියල්ල සිදු වෙද්දී සධාතුක කරඬුව පිටමත තබාගත් රාජා ඇතු කිසිදු කලබලයක් නැතිව නිසොල්මනේ සිටියේය. ඒ සධාතුක කරඬුව කෙරෙහි ඇති අති මහත් ගෞරවය නිසාය. පාවඩ මතින් කරඬුව වඩමවන රාජා ඇතු පාවඩ එළා නැති කිසිදු විටක පියවරක් හෝ ඉදිරියට යෑම ප්‍රතික්ෂේප කළේය. ඒ වනාහි පෙරහර චාරිත්‍ර පිළිබඳ එම ඇතුට තිබූ මහත් ගෞරවයයි. ඉතා කීකරු හස්තියෙකු වූ රාජා දිනක් මහනුවරදී ලොරි රථයකට පහරදී අලහභානි කර තිබූ අතර පසුව කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එය රා ප්‍රවාහනය කළ ලොරියක් බවයි.

තවත් දිනක් හෙතෙම කටුගස්තොට ප්‍රදේශයේදී මහා මාර්ගයේ දිවයන්නට වූයේය. එයින් තැතිගත් මිනිස්සු පාර පුරා දිවයන්නට වූහ. මේ අතර මාර්ගයේ සිටි එක් අන්ධ පුද්ගලයෙකු කිසිවක් කරකියාගත නොහැකිව මහමඟ සිටිනු දුටු රාජා ඇතු ඔහු වෙත දිව ගොස් තම හොඬයෙන් ඔහුව ඔසවා මාර්ගයේ පැත්තකින් තබා ගොස් තිබේ.

1986 වසරේදී රාජා ඇතුගේ ඇත්ගොව්වා දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගත කරනු ලැබීය. තම වගකීම මනාව වටහාගත් ඇතු තම ඇත්ගොව්වා නැතිව තනිවම සධාතුක කරඬුව වැඩම කරවූහ.

1987 ජනවාරි මස 1 දා උත්සව අවස්ථාවක් සඳහා පේරාදෙණිය පාරේ සිට කටුකැලේ දෙසින් දළදා මාලිගයට පැමිණෙමින් සිටි රාජා ඇතු බීමත් හමුදා නිලධාරියෙකු පැදවූ රථයක හැපුණේය. එහිදී ඇත්ගොව්වා එම ස්ථානයේදීම මියගියේය. තුවාල ලැබූ රාජා කිසිදු කලබලයක් නොකර කොර ගසමින්ම දළදා මාලිගාවට පැමිණියේය. රාජා හස්ථිරාජයාගේ ජීවිතය අවසන් වන්නට ඒ අනතුර ද හේතු විය.

රාජා ඇතු තම සේවය දියවඩන නිලමේවරුන් සයදෙනෙකු යටතේ ලබාදුන්නේය. ඔවුන් වන්නේ ටී.බී.රත්වත්තේ (1937-1947), සී.බී.නුගවෙල (1947-1961), හැරිස් රත්වත්තේ (1961-1964), එච්.බී.උඩුරාවන (1965-1975), නිශ්ශංක විජේරත්න (1975-1985) සහ නිරන්ජන් විජේරත්න (1985-1988) යන නිලමේවරු ය. 1987 වසරේ වූ රිය අනතුරෙන් පසුව රාජා ඇතු දිගින් දිගටම රෝගාතුර වූයේය. වසර 75ක් ආයු වළදා 1988 වසරේ ජූලි මස 16 වන දින උදෑසන දහයයි දහතුනට දියවඩන නිලමේවරයාගේ නිල නිවසට අයත් භූමියේදී රාජා හස්ථියා මෙලොව හැර ගියේය.

රාජා ඇතු අඩසියවසක් කළ අනුපමේය සේවය හේතුවෙන් 1986 වසරේ අගොස්තු මස 20 වන දින එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් රාජා ඇතු ජාතික වස්තුවක් ලෙස නම් කළේය. මියගිය ඇතුගේ දේහය සංරක්ෂණය කර 1989 වසරේ දෙසැම්බර් මස 12 වන දින දළදා මාලිගාවත් පැරැණි රජ මාලිගාවත් අතර ඇති ගොඩනැගිල්ලේ තැන්පත් කර මහජනයා සඳහා විවෘත කෙරිණි. එදිනම ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් නිවේදන අංක 182 යටතේ රාජා ඇතුගේ රුව ඇතුළත් මිලිමීටර් 29X36 ප්‍රමාණයේ ශත හැත්තෑපහක වටිනාකමින් යුත් මුද්දරයක් නිකුත් කරන ලදී. ඒ අනුව ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව පළමු හීලෑ ඇතාට හිමි ගෞරවය රාජා හස්ථියාට හිමි විය. මියගිය පසු සංරක්ෂණය කර ප්‍රදර්ශනයට එක් කළ මෙරට පළමු හස්තියා මෙන්ම ලොව දෙවැනි හස්තියා වූයේ ද රාජා ඇතුය.

Comments