මකන්න බැරි කළු පැල්ලම | සිළුමිණ

මකන්න බැරි කළු පැල්ලම

එතෙක් කලක් නිසොල්මනේ ගලා ගිය ජූලි මාසය කළු ජූලිය බවට පත් වන්නේ 1983 වසරේදීය. මේ වන විට කළු ජූලියට තිස්හය වසරකි.1983 වසරේ ජූලි 23 වැනි දා දිනය ශ්‍රී ලාංකිකයන්ට කිසි ලෙසකින්වත් අමතක කළ නොහැකි දිනයකි. එදා මුළු ලක් දෙරණම භීතියට පත් කරමින් ඇවිළී ගිය ජාතිවාදී ගිනි ජාලාව මතකයට නැංවීමට පවා එදා සිටි අය අකමැතිය.

එහෙත් එදා සිදුවූයේ කුමක්දැයි අද අවුරුදු 80ක් වන සෝමසිරි වික්‍රමගේ මහතා පවසන්නේ මෙලෙසයි.

“එදා කොළඹින් පටන් ගත් කොලාහල මුළු ලංකාව පුරා පැතිරෙන්න ගත වු‍ණේ ඉතාම සුළු කාලයක්. කොළඹ, බොරැල්ල සහ ලංකාවේ හැම පළාතකම දෙමළ කඩවලට පහර දෙන්නට පටන් ගත්තා. ගෙවල් ගිනි තියන්න පටන් ගත්තා. හැම තැනම ගිනි ඇවිළෙන්න පටන් ගත්තා. දෙමළ ජනතාව වගේම සිංහල, මුස්ලිම් ජනතාවත් ‍හොඳටම බය වුණා. සමහර සිංහල ජනතාව දෙමළ ජනතාව රැකගන්න ඉදිරිපත් වුණා. කොළඹ විතරක් නොවේ මුළු ලංකාවම කළු දුමාරයෙන් වැසී ගියා. මට මතක ඇති කාලෙක එහෙම දරුණු සිද්ධියක් වෙලා නෑ.” ඔහු පවසයි.

එවැනි තත්වයක් ඇති වන්නට අතීතයේ සිටම හේතු කාරණා තිබුණ බව ඔහුගේ අදහසයි.

“එදා බ්‍රිතාන්‍ය පාලකයන් ලංකාවේ පාලන කටයුතුවලදී වගේම අධ්‍යාපනික, ආර්ථික පාලනය වගේ කටයුතුවලදී ද දෙමළ ජනතාවට වැඩි සැලකිල්ලක් දැක්වූවා. එම වාතාවරණය දෙමළ සුළු ජනතාව සහ සිංහල මහ ජාතිය අතර අර්බුදයක් ඇති වීමට හේතු වුණා කියලා මට හිතෙනවා. 1956 දි සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ පනත මඟින් ඉංග්‍රිසි සහ දෙමළ භාෂාවලට සීමා පැනවුණා. ඊට එරෙහිව දෙමළ ජනතාව දැක්වූ විරෝධතාවලට ප්‍රචණ්ඩකාරි පිරිස් පහර එල්ල කළා.ඒ වගේ සිද්ධි ක්‍රමයෙන් දුරදිග ගිිහින් 1958 දී කැරැල්ලක් දක්වා ඒ තත්ත්වය වර්ධනය වුණා“යැයි වික්‍රමගේ මහතා කරුණු ගෙන හැර දක්වයි.

1960 දශකය පුරා පැවති විරෝධතා ව්‍යාපාර සහ ඒවා වැළැක්වීමට රජය ගත් ක්‍රියා මාර්ගද දෙපාර්ශ්වය අතර ද්වේශය වර්ධනය වීමට හේතු වූ බව මාධ්‍ය වාර්තා කරයි. 1981 දි ප්‍රචණ්ඩකාරි පිරිසක් විසින් යාපනය පුස්තකාලය ගිනි තැබීමත් කළු ජූලියට සෘජුව බල පෑ බව තවත් අදහසකි.

රොසලින් නෝනා අද වයෝවෘද්ධ මාතාවකි. ඇයට ද ඒ අඳුරු කළු ජූලිය ගැන මතයක් ඇත.

“මම පොල්ගහවෙල. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමඟියෙන් මේ ප්‍රදේශයේ ජීවත් වුණා. අපිට කඩ පෙළක් තිබුණා. මගේ මහත්තයා එයින් කඩ කිහිපයක් කුලියට දීලයි තිබුණේ. දෙමළ පවුල් දෙකකුත් අපේ කඩ දෙකක ජීවත් වුණා. කලබල පැතිරුණාම ජාතිවාදී තරුණයන් අපේ කඩවල සිටි දෙමළ පවුල්වලට පහර දෙන්න ආවා. ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් සියල්ල ගිනිබත් කරන්න සූදානම් වුණා. ඇඳිවත පමණක් ඉතිරිව ඔවුන් ජීවිතය බේරාගෙන අපේ ගෙදරට ඇවිත් හැංඟුණා. කොහොම හරි අපි ඒ අයට අවශ්‍ය රැකවරණය සපයලා කන්න බොන්න දීලා පහුවැනිදා පාන්දරම යාපනයට පිටත් කර ඇරියා.” ඇය පවසන්නේ ඔවුන් තම අසල්වැසියනට පිහිටවූ අයුරුයි.

සිලෝන් ටුඩේ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන සුලෝචනා රාමයියා මෝහන්ට ද මේ පිළිබඳ අඳුරු මතකයක් ඇත. ඇය මීට වසර කීපයකට පමණ පෙර බීබීසී සංදේශය වැඩසටහනට අදහස් පවසන්නේ මෙලෙසයි.

“කළු ජූලිය වන අවස්ථාවේ මම අට හැවිරිදි පාසල් දැරියක්. මහනුවර ලක්පහන විදුහලේ ගුරුවරුන් සහ ගම්වාසීන් එකතුවෙලා තමයි මගේ ජීවිතය බේරා දුන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දින කිහිපයක් ගත කර අගනුවරට පැමිණි අවස්ථාවේ තමයි අපේ නිවස ගිනි තබා ඇති බව මට දැනගන්නට ලැබුණේ.

මම හිතුවේ නෑ අපේ ගමේ හිටපු මිනිස්සුම අපේ ගේ ගිනි තියාවි කියලා. මගේ පියාගේ සමීපම මිතුරා වූ පොන්නයියා අන්කල්ට අත් වූ ඉරණම මගෙත් පවුලේත් අනාගතය වෙනස් කළ ශෝචනීය අත්දැකීමක්.

වත්තල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් තමයි පොන්නයියා අන්කල් . ඔහු පණ පිටින් පුලුස්සා දමා තිබුණා. මගේ පියා එය ඇස් දෙකෙන්ම දැක තිබුණා. තාත්තා ඒ වේදනාව මකා ගත්තේ මත්පැනට ඇබ්බැහි වීමෙන්.

පොන්නයියා අන්කල්ගේ බඩට වෙනකම්ම අළු වෙලා තිබුණේ. ඒත් හුස්ම තිබ්බා. තාත්ත කිව්වා එයා අත දික් කළා කියලා. ඒ සිදුවීම සැල වෙලා එතැනට ආ පොන්නයියාගේ බිරිය මහමඟ වාඩි වෙලා තමාගේ සැමියාගේ සිරුරේ අළු නාමින් හඬා වැලපුණු ආකාරය තාත්තා අපට විස්තර කළා.

ඒත් කවුරුත් අද වෙනකම් වැරැද්දක් ඒගොල්ල අතින් වරදක් වුණා කියල පිළිගන්නේ නැති එක තමා ලොකුම වේදනාව.“ ඇය පවසයි.

අන්න බාලන් පුෂ්පා එවකට 35 හැවිරිදිය. ඇගේ යෙහෙළියක වූ මීනච්චි සමඟ සේවය කරමින් සිටියේ මහරගම හයිඩ්‍රාමනී ආයතනයේ ඩෙල්කිට් කර්මාන්ත ශාලාවේයි. ජාතිවාදී පිරිස් එම ආයතනයට ගිනි තැබූහ. කර්මාන්ත ශාලාවේ සිටි සිංහල සේවක සේවිකාවන් එළියට පැන ජීවිත බේරාගත්ත ද ඇයත් ඇගේ යෙහෙළියත් ජීවිත ආරක්ෂාවට කර්මාන්ත ශාලාවේ සිවු වන මහලේ රැඳී සිටිමින් මරණ බියෙන් කෑ ගසන්නට විය. සිද්ධිය සැලවී එතැනට පැමිණි මහරගම පොලිසීයේ නිලධාරීන් ඔවුන් බේරාගත්තේ සිවු වන මහලින් බිමට පන්නවා ගනිමිනි.

ඇය ඒ ගැන පවසන්නේ මෙලෙසය.

“මහරගම පොලිසියේ මහත්වරුන් අපව රැකගන්න පැමිණියා. ඔවුන් බිම ඉඳන් දුන්න උපදෙස් මත මම පණ එපා කියලා බිමට පැන්නා. පොලීසියේ මහත්වරු ලොකු උත්සාහයක් දරලා මාව දැලට අල්ලා ගත්තා. මම ඔවුනට පින් දෙනවා.“

මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශවල ආරක්ෂාවට සිටි හමුදා සහ පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරිහැටි ඉෂ්ට නොකළ බවට චෝදනා එල්ල විය.

දෙමළ ජනයාට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිංහල ජනතාව අතිශය කැලැඹීමට පත් වූ බව නොරහසකි. කිසිවක් කරකියා ගන්නට නොහැකිව බහුතර සිංහල ජනතාවට සිදු වූයේ වෙන දේ පමණක් බලා සිටින්නටය.

මේ සිදු වීමත් සමඟ මෙරටට ඉන්දියාවෙන් ද විරෝධයක් පැන නැඟුණි. නවදිල්ලිය, කල්කටාව, බරණැස, බොම්බාය හා නාග්පූර් වැනි නගරවල පෙළපාළි පැවැත්විණි. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ දෙමළ තරුණයනට අවි පුහුණුව ලබාදීම තමිල්නාඩුවේදී ආරම්භ වීමයි. එයින් පසුගිය වසර තිහක් පුරා ලංකාවේ පැවැතුණු බිහිසුණු යුද්ධය ඇරැඹීමට පසුබිම සකස් විණි.

අදහස්