හොලිවුඩ් සහ බොලිවුඩ් | සිළුමිණ

හොලිවුඩ් සහ බොලිවුඩ්

‘කබීර් සිං’

ළඟදීම ශ්‍රී ලාංකික රසික පිරිසට නැරඹීමට ලැබෙන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය තමයි, ‘කබීර් සිං’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සන්දීප් වන්ගා ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශාහිඩ් කපුර් සහ කියාරා අද්වානි. කභීර් රජ්ධීර් සිං නම් වූ වෛද්‍යවරයකුගේ ජීවිතය මුහුණ දෙන කටුක අත්දැකීම් කේන්ද්‍ර කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. දක්ෂ වෛද්‍ය සිසුවකු ලෙස අධ්‍යයන කටයුතු සිදු කරන සමයේ කබීර් එම වෛද්‍ය විද්‍යාලය තුළ ප්‍රකටව සිටියේ දරදඬු ගති ඇති කලබලකාරයෙකු හැටියටයි. අන්තර් විශ්වවිද්‍යාල පාපන්දු තරගයකදී ඇති වූ ගැටුමකින් පසුව වෛද්‍ය පීඨාධිපති නියෝග කරන්නේ කබීර්ට වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත්වන ලෙස හෝ ගැටුම ඇති කරගත් අයගෙන් සමාව ගන්නා ලෙසයි. වෛද්‍ය සිසුවියක වන ප්‍රීටි ගේ බලපෑම මත කබීර් වෛද්‍යවිද්‍යාලයේ රැඳී සිටීමට තීරණය කරනවා. දෙදෙනා පෙම්වතුන් බවට පත්වෙනවා.

කබීර් මුරණ්ඩු ගතිවලින් ඈත් කරලීමට ප්‍රීට් සමත් වෙනවා. වෛද්‍ය උපාධිය ද සමත් වන කබීර් ඉන් පසුව විකලාංග සැත්කම් පිළිබඳ පශ්චාද් උපාධිය ද හදාරා සමත් වෙයි. මේ වන විට කභීර් සහ ප්‍රීටි අතර පවතින්නේ ශක්තිමත් පෙම් සබඳකමක්. නමුත්, මේ සබඳකමට ප්‍රීටිගේ පියා දැඩි ලෙස විරුද්ධ වෙනවා. එයට හේතුව වන්නේ කබීර් තුළින් මතුවන පෞද්ගලිකත්වයට ප්‍රීටිගේ පියා දක්වන අකමැත්තයි. මෙයින් සිත් තැවුල් ඇති කරගන්නා කබීර් මත්පැනට ඇබ්බැහි වෙනවා. දිනක් කබීර්ගේ නි‍ෙවසට ගිය ප්‍රීටිට දකින්නට ලැබෙන්නේ ඔහු මත්ද්‍රව්‍යයක් එන්නත් කරගෙන සිහි විසඥව ඇඳ වැටී සිටින ආකාරයයි. ඔහු දින දෙකක්ම පියවි සිහිය නොලබා සිටිනවා.

දෙමවුපියන්ගේ බලපෑම මත වෙනත් තරුණයෙකු සමඟ විවාහ වන්නට ප්‍රීටිට සිදුවෙනවා. කබීර්, වෛද්‍යවරයෙකු ලෙස පෞද්ගලික රෝහලක සේවයට එක්වෙයි. නමුත් ඔහු යළිත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තම රැකියාව අහිමිකර ගනියි. ඉන් පසුව රුදුරු අත්දැකීම්වලට මුහුණ දෙන කබීර්ට හදිසියේම ප්‍රීටිව මුණ ගැසෙයි. ඒ වන විට ඇය ගැබිනියක්.

මෙවැනි සංවේදී කතාවක් රැගත් ‘කබීර් සිං’ දැනට නම්කර ඇත්තේ ශාහිඩ් කපුර් රඟ පෑ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් චිත්‍රපටය හැටියටයි.

‘ඇනබල් කම්ස් හෝම්’

කුතුහලය සහ භීතිය කැටි වූ ‘කන්ජුරින් යුනිවර්ස්’ චිත්‍රපට මාලාවේ සැත්වැන්න ලෙස ප්‍රේක්ෂකයන් හමුවන ‘ඇනබල් කම්ස් හෝම්’ චිත්‍රපටය දැන් ශ්‍රී ලංකාවේ තිරගත කෙරෙනවා. මෙය, 2014 දී තිරගත වූ ‘ඇනබල්’ සහ 2017 දී තිරගත වූ ‘ඇනබල් ක්‍රියේෂන්’ චිත්‍රපටවල දිගුවක් ලෙස සඳහන් කළ හැකියි. චිත්‍රපට කතාව ලියා අධ්‍යක්ෂණය කළේ ගැරී ඩෝබර්මාන්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මැක්කෙන්නා ග්‍රේස්, මැඩිසන් අයිස්මාන් අතුළු පිරිසක්.

භූතයන් සම්බන්ධව කටයුතු කිරීමෙහි පළපුරුදුකම් තිබෙන එඩ් සහ ලොරේන් ‍වොරන් යුවළ අද්භූත බලයකින් යුතු ඇනබල් නම් වූ බෝනික්කා තම නිවසට රැගෙන එන්නේ ඩෙබී සහ කැමිලා යන හෙදියන් දෙදෙනාගේ නවාතැන තුළ මේ බෝනික්කා සිදු කරන ප්‍රචණ්ඩ හැසිරීම් හේතුවෙන්. නමුත්, ඇනබල් ගේ ක්‍රියා නතර වන්නේ නැහැ. භූත ආත්මයකට ආරූඩ වන ඇනබල්, එඩ් හට හිරිහැර කරන්නට උත්සාහ දරයි. පියතුමෙකුගේ පිහිටෙන් එම හිරිහැර කරන්නට උත්සාහ දරයි. පියතුමෙකුගේ පිහිටෙන් එම හිරිහැර පාලනය කරගැනීමට හැකිවන්නේ ඇනබල්ව එක්තරා ස්ථානයක සිරකර තැබීමෙන් යළි ඇනබල්ගෙන් කරදර සිදු නොවන බවට පියතුමා සහතික වෙයි. වසර හතරකට පසුව වොරන් යුවළගේ දියණිය වන ජුඩි ගේ වැඩ කටයුතු ඉටු කිරීමට මේරි ඇලන් නමැත්තිය නිවසට පැමිණෙයි. පාසලේදී ජුඩි ට දැක ගන්නට ලැබෙන්නේ පුජකයෙකුගේ ආත්මයක් තමන් පසු පසු ලුහු බඳින බවයි. මේ අතර මේරි ඇලන්ගේ මිතුරියක වන ඩැනියෙලා එම නි‍ෙවසට පැමිණෙයි. ඇය ඇනබල්ව ආරක්ෂිතව තබා ඇති කාමරයට පිවිසෙන්නේ එහි තිබෙන කුඩා පිළි රූ රැසක් දැක බලා ගැනීමටයි.

ඩැනියෙලා උත්සාහ කරන්නේ මිය ගිය තම පියාගේ ආත්මය එම පිළිරුවකට ආරූ‍ඩ කර ගන්නටයි. එම උත්සාහයේදී ඇයට ඇනබල්ව දැක ගන්නට ලැබෙයි. ඉන් පසුව දිග හැරෙන්නේ ප්‍රේක්ෂකයන් ත්‍රාසයෙන්, භීතියෙන් ඇලලී යන සිදුවීම් මාලාවක්.

මේ චිත්‍රපටය ඉකුත් ජුලි 23 දා වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ පමණක් තිරගත කිරීමෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 67.5 ක්. ලොව පුරා තිරගත කිරීමෙන් එම දිනය වන විට ඇ.ඩොලර් මිලියන 199.6 ක් උපයා ගැනීමටත් මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.

Comments