මාලිගාවේ විදානේලාගේ කතාව | Page 2 | සිළුමිණ

මාලිගාවේ විදානේලාගේ කතාව

දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරන තේවාව පුරාතන රජ දරුවන් පවා ඉතාමත් සැදැසැ සිතින් කරනු ලැබූ රාජකාරියක්.

මේ සඳහා සහල් සේරු තිස් දෙකක සහ ව්‍යංජන තිස් දෙකක් සහිත බුද්ධ පූජාව පැවැත් වීම, සවස ගිලන්පස පූජාව පැවැත්වීම සහ ඊට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමට දළදා මාලිගාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ගම්වර පූජා කළ බව දළදා ඉතිහාසයේ සඳහන්.

ගම්වර පූජාවෙන් පසු ඇතුලු කට්ටලය නමින් හැඳින්වෙන පරිපාලන නිළධාරීන් අපහසු වූ නිසාම දියවඩන නිලමේ විසින් විදානේවරු පත් කිරීම සිදු කෙරිණ.

මේ විදානේ වරු ගමේ විදානෙලාට වඩා ගෞරව බහුමානයට පාත්‍ර වූ අතර දළදා මාලිගයට අයත් ගොඩ මඩ ඉඩම් පිලිබඳවසොයා බැලීමත් අදාල භව භෝග සම්පත්තීන් ගබඩා කිරීමත් ඔවුන්ගේ රාජකාරිය විය.

මෙලෙස ගබඩා කිරීම ඔවුන්ගේ රාජකාරිය වූ නිසා මේ සෑම විදානේවරයෙක්ගේම ගබඩාගම යන පොදු නාමයෙන් හැඳින්වීම සිදු විණ.

මේ අයුරින් පත් කලැ විදානේවරු 10දෙනෙක් වූවා.

උඩදුම්බර ගම්පහ බටහිර කෝරළයේ බඹරබැද්ද පිටිගොඩ ගබඩාගම විදානේ ,

උඩදුම්බර ගම්පහ බටහිර කොරළයේ දොරලියැද්ද ගබඩාගම විදානේ

නුවරඑලිය ගල්ලෑව කෝරළයේ කිතුල්පේ ගබඩාගම විදානේ

 ගඟ පළාත ගුරුදෙණිය ගබඩාගම විදානේ,

හාරසිය පත්තුව අලුදෙණිය ගබඩාගම විදානේ,

හාරසිය පත්තුවේ අලදෙණිය ගබඩාගම විදානේ ,

උඩ පළාත ගඟ පහළ කෝරළයේ කළුගමුව ගබඩාගම විදානේ,

උඩුනුවර ගඟ පළාත කෝරළයේ රදාගොඩ ගබඩාගම විදානේ ,

උඩුනුවර ගඟ පළාත කෝරළයේ කිරිගල්ල ගබඩාගම විදානේ ,

උඩුනුවර ගඟ පළාත කෝරළයේ අලපලාවල ගබඩාගම විදානේ යනුවෙනි.

ගුරුදෙණිය ගබඩාගම විදානේ හා අලුදෙණිය ගබඩාගම විදානේ පිළිබඳ තොරතුරු වර්තමානයෙහි දී හමුනොවුවත් ඒ වෙනුවට යටිනුවර ගඟ පළාත කෝරළයේ ගංතුරේ මුං අතුගොඩ ගබඩාගම විදානේ.

ගඟ පළාත කෝරළයේ හේවාගොඩ ගබඩාගම විදානේ හා හාරසිය පත්තුවේ අංගොඩ ගබඩාගම විදානේ යනුවෙන් අමතර විදානේවරු තිදෙනකු පත්කර ඇති බවට දළදා මාලිගාවේ තොරතුරු වල සඳහන්.

මෙම නාමයන් පත්කිරීම පාරම්පරිකව සිදුකරන අතර පාරම්පරික පුද්ගලයකු නොසිටි අවස්ථාවන්හි ගම්මානයෙහි ප්‍රධාන පුද්ගලයකු පත්කිරීම සිදුකරනු ලැබීය.

ඒ ඒ විදානේවරයාට අයත් ගම්මානයෙහි පවතින ගොඩමඩ ඉඩම් වල සුරක්ෂිතබව ඇති කිරීම,

කෘෂිකර්මාන්ත කටයුතු අවසානයේ අස්වැන්න නෙළීමෙන් පසු මාලිගාවට අයිති පංගුව වෙන්කොට නිසි ලෙස මාලිගාවට ලැබීමට සැලැස්වීම,

ඉඩකඩම් භුක්ති විඳින්නන්ගෙන් නියමිත කාලයට බදු මුදල් එකතු කර ලබාදීම,

අලුත් සහල් මංගල්‍යය,අලුත් අවුරුදු මංගල්‍යය, පෙරහර මංගල්‍ය හා කාර්තික මංගල්‍යය යන සතර මංගල්‍යයන්හි කාරිය කරවන කෝරාළගේ අධීක්ෂණය යටතේ රාජකාරී කටයුතු වල නිරතවීම

ශ්‍රී දළදා මාලිගාවේ සාම්ප්‍රදායිකව සිදුකරන සෙසු චාරිත්‍ර හා ඇතුලු පෙරහර හා පිටත පෙරහර කටයුතු වල දී ඊට අවශ්‍ය සහාය දැක්වීම,

සියලු මංගල්‍යයන් පැවැත්වෙන අවස්ථාවන්හි මෙන්ම, සාම්ප්‍රදායික සිරිත් විරිත් ඉටුකරන අවස්ථාවන්හි දී වැඩසිටින මාලිගා පරිශ්‍රයේ සැරසිලි කටයුතු සඳහා අවශ්‍ය සහාය දැක්වීම. තේවා කටයුතු පැවැත්විමේ දී අවශ්‍යතා මත සැම කාර්යයක්ම මනාව ඉටුකිරීම විදානේවරුන් සියලු දෙනාගේම වගකීම වනවා.

වගකීම් පැහැරහරිනු ලබන විදානේවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමේ අයිතිය දියවඩන නිලමේවරයා සතුව පවතියි.

ශ්‍රී දළදා මාලිගාවෙහි තේවා කටයුතුවල නියුතුව සිටින පිරිස අතර ශබ්ද පූජාව පැවැත්වීම සඳහා ඒ වෙනුවෙන් වෙන්වූ පාරම්පරික කණ්ඩායමක් ද සිටියි.

උදෑසන 5.30පෙරවරු 9.30හා සවස 6.30දක්වා පැවැත්වෙන බුද්ධ පූජාව හා ගිලන් පස පූජාව පුජා කරන අවස්ථාවන්හි දී නොකඩවා ශබ්ද පූජාව පැවැත්වීම ඔවුන්ගේ කාර්යයභාරයයි.

අතිපූජනීය වූත් ගෞරවනීය වූත් දළදා හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් ගෞරවාන්විතව සියලු කටයතු ඉටුකිරීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව වේ.

 

 

 

Comments