වර්ෂාව - තද සුළං සමග විදුලිය බිඳ වැටීම් | සිළුමිණ

වර්ෂාව - තද සුළං සමග විදුලිය බිඳ වැටීම්

වර්ෂාවත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකින් අර්ධ විදුලි රැහැන්වලට ගස් කඩා වැටීමේ සිදුවීම් රැසක් වාර්තා වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දෙහිවල, මාලඹේ, හෝමාගම, කොස්ගම, පුත්තලම, නිකවැරටිය සහ දඹුල්ල යන ප්‍රදේශවලින් විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද සඳහන්.

මේ අතර කැලණිවැලි, හලාවත සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

එමෙන්ම වැසි සමග හමා ගිය තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නිවාස රැසකට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස 25 කට ඉන් හානි වී ඇති බවයි.

ඊට අමතරව දඹුල්ලේ ද නිවාස 28 කට හානි වී තිබේ.

නාරාහේන්පිට හත්බෝධියවත්ත ප්‍රදේශයේ ද නිවාස 10 කට පමණ තද සුළං හේතුවෙන් හානි වී තිබේ.

මේ අතර බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                                                     මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                                 2019 අගෝස්තු මස 08 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්තික්කවලත් (විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී) සුළඟේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ක්ෂණිකව ඉහල යාමේ වැඩි හැකියාවක් පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා ඉහල යා හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම, යාපනයසහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩිතද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

                                   ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                  2019 අගෝස්තු මස 08 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

ඉදිරි දින කිහිපයේදී, උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැක.

උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල, අගෝස්තු මස 09 වන දින දක්වාද, උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල අගෝස්තු මස 11 වන දින දක්වා ද ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.

කන්කසන්තුරය සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහාපොතුවිල්දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

මීගමුව සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. ඉහතින් දක්වා ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 80 දක්වා ක්ෂණිකව ඉහල යාමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී පවතී.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.                         

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදවඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

Comments