ඇසළ පෙරහරේ සංස්කෘතික හා කලාත්මක අගය | සිළුමිණ

ඇසළ පෙරහරේ සංස්කෘතික හා කලාත්මක අගය

මල්වතු මහා විහාරීය කාරක සංඝා සභික, අනුරාධපුර ශ්‍රී ලංකා

භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ

අංශ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති රාජකීය පණ්ඩිත

වැලිවිට සෝරත හිමි

ඇසළ පෙරහරේ ආරම්භය පිළිබඳ විවිධ මතවාද පවතී. ලක්දිවට විජය ඇතුළු ආර්යයන්ගේ පැමිණීම සිදු වූ මොහොතේ ඔවුන් විසින් එකල දඹදිව පැවැති ආෂාඪ නමින් හැඳින්වෙන උත්සවය ලක්දිව දී ද ආරම්භ කරන ලදී. පාලි භාෂාවෙන් ආසාඪ යනු ඇසළ මාසය හැඳින්වීම සඳහා යොදන වචනයකි. එබැවින් මෙය ඇසළ මාසය පදනම් කරගෙන පවත්වන ලදී. එසේ ම පුරාතනයෙහි පැවැති සුරාසුර යුද්ධයේදී සුරයන් විසින් අසුරයන් පරාජය කරන ලද්දේ ඇසළ මාසයේ අමාවක දිනයේදී ය. ඒ අනුව අමාවක දිනයෙන් කප් සිටුවීම ආරම්භ කොට පසළොස්වක දිනයෙන් අවසන් වන පෙරහර සුරයන්ගේ ඒ ජයග්‍රහණය සිහිකරනු වස් පවත්වන බව තවත් මතයකි. සොලීන් මෙරටට පැමිණ සිරකරුවන් 12000 ක් පාත්‍ර ධාතුව සිව් දේවාලයන්ගෙන් රැගෙන ගිය රන් ආභරණ, පත්තිනි දෙවියන්ගේ රන් සලඹ ද රැගෙන ගිය බව ඇසූ ගජබා රජු ඉන්දියාවට ගොස් එහි ලක්දිව සිරකරුවන් ද ඉන්දියන් සිරකරුවන් 24000 න් ද අනෙකුත් සියලු දෑ ද රැගෙන ලංකාවට පැමිණීම සිහිකරනු වස් ඇසළ පෙරහර පැවැත්වෙන බව තවත් මතයකි.

මුල් යුගයේ ඇසළ පෙරහර පැවැතියේ සිව් මහා දේවාලයන්හි එක්වීමෙනි. වර්තමානයේ මේ දේවාල සතරට පළමුව දළදා මාලිගාවේ පෙරහර ගමන් කරයි. මුල් කාලයේ දළදා පෙරහර පවත්වා ඇත්තේ තනිවමය. වර්තමාන ශාසන පුනරුදයේ පුරෝගාමී චරිතය වූ බෝධි සත්ත්ව ගුණෝපේත වැලිවිට මණ්ඩගතික අසරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ ලක්දිවට උපසම්පදාව ගෙන ආ සියම් උපාලි මහා ස්වාමීන්ද්‍රයාණන්ට සිව් මහා දේවාලයන්හි පෙරහර වෙන්වූ බවත් උන්වහන්සේ විසින් බෞද්ධ ප්‍රබෝධය ඇති කරනු පිණිස දළදා වහන්සේ සිහිකරනු වස් පැවැත්වූ පෙරහර ද මීට සම්බන්ධ කරන ලෙස දන්වා තිබේ. ඒ අනුව සංඝරාජ මා හිමියන්ගේ අනුශාසනා ඇතිව සද්ගුණවත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දළදා පෙරහර ද මීට සම්බන්ධ කරන ලදී. එවක් පටන් ඇසළ පෙරහර යන නාමයෙන් පැවැත්වූවත් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන්නේ දළදා පෙරහර යනුවෙනි. එතැන් පටන් මෙය ලක්දිව පැවැත්වෙන බෞද්ධ රාජ්‍ය උත්සවයක සිරි ගනු ලැබේ. ඇසළ පෙරහර ආරම්භයේ පටන් ම සංස්කෘතිකමය හා කලාත්මක අගයන්ගෙන් යුක්තව මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වීම අතීතයේ පටන් ම පැවැතගෙන එනු ලබයි. එතැන් පටන් දින පහක් සන්ධ්‍යා යාමයේ ඒ ඒ දේවාලවල කපු මහත්වරු හේවිසි, බෙර, හොරණෑ, කුඩ, සේසත්, ආදියෙන් යුක්තව කුඩා පෙරහරකින් සිය දේවාලයන්ට අයත් ආයුධ කප වටා වැඩම කරවති. මෙය හඳුන්වන්නේ දේවාලයේ පෙරහර යනුවෙනි.

කුඹල් පෙරහර

කප් සිටුවා දින පහකට පසු දේවාල භූමියෙන් පිටත් කරනු ලබන රන් ආයුධ රන්සිවිගෙයක හිඳුවා එම රන්සිවි ගෙය ඇතෙකු පිට තබා ඒ ඒ දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, වෙනත් නිලධරයෝ මහත් හරසරින් යුක්තව පැමිණ දළදා මාලිගාව ඉදිරිපිට සිටිති. මෙසේ සිටින්නේ දළදා පෙරහර ඉදිරියෙන් ගමන් කිරීම නිසා ය. එළිමහනේ ගමන් කරනු ලබන මෙය හඳුන්වන්නේ කුඹල් පෙරහර නමිනි. කුඹල් පෙරහර පැවැත්වීම පිළිබඳ කරුණු තුනක් ඉදිරිපත් වේ. දළදා පෙරහර පවත්වනු ලබන්නේ සිව් දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ය. මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සාදනු ලබන නැකතට අනුව කප් සිටුවීම සිදුකරනු ලබයි. අමාවක පොහොයට දින කිහිපයකට පෙර සිව් දේවාලවලින් පිරිසක් මල් හා ඵල හට නොගත් කොස් ගසක් වෙත ගොස් එය පිරිසිදු කොට සුවඳ පැන් හා සුවඳ දුම් ගෙන නාවා මල් පහන් පුදා ගස කපා ගනු ලබයි. මෙසේ කරන්නේ එම ගසට අධිගෘහිත දේවතාවෙක් සිටී නම්, එය හැර යන ලෙස ආයාචනා කිරීමක් වශයෙනි. ඉන්පසු රියනක් බැගින් සිව් දේවාලවලට දී අමාවක දිනයේදී කප්, කුඩ, කොඩි, සේසත්, හේවිසි, හොරණෑ මධ්‍යයේ දේවාල භූමිවල සිටුවනු ලැබේ. මෙසේ කප් සිටුවීමෙන් සංකේතවත් කරන්නේ දෙවියන් වැඩම කරවීම සඳහා යැයි සමහරු කල්පනා කරති.

1. විශ්වකෝෂයේ සඳහන් වන්නේ ‘ඉසේ සිට පිළියක් වසාගත් බඩහැල බද්දා කලස් දෙකක් අතින් ගෙන වළන් කඳක් ගෙන්වාගත් අතවැසියකු ද සමඟ මේ පෙරහර ඉදිරියෙන් පැමිණ ඒ කලස් දෙක ‘හඳුන්කුනමේ තබා’ යන හෙයින් මෙය කුඹල් පෙරහර වන බව ය.

වර්තමානයේදී කුඹල්කරු විසින් මෙසේ අලුතින් සාදාගත් කුඹල් රැගෙන පෙරහර ආරම්භයට පෙර ඒ හේවිසි මණ්ඩපයේ තබා පෙරහර ආරම්භ කරයි. ඉහත විශ්ව කෝෂ ප්‍රකාශයට අනුව හඳුන්තුනම යනුවෙන් හඳුන්වන්නේ දළදා හිමි වැඩ සිටින මාලයේ ඉදිරිපස කොටසයි. එහි වළන් කඳ තබා පෙරහර ආරම්භ කරයි. එහෙත් වර්තමානයේ එය හේවිසි මණ්ඩපයේ තැන්පත් කිරීමෙන් පසු පෙරහර ආරම්භ කරනු ලබයි.

2. කුඹලා තම ගෙය සෑදීම සඳහා සංචාරය කරන සීමාව මෙන් පෙරහර ද ගමන් කරන නිසා කුඹල් පෙරහර යනුවෙන් හඳුන්වනු ලැබේ.

කුඹලා යම් ස්ථානයක මැටි ගෙය බඳින අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය කරන මැටි සපයා ගන්නේ ඒ අවටින් ය. ඒ සඳහා වැඩි දුරක් නොයන අතර ගෙය බඳින ස්ථානයේ සිට වටේට රවුමට ගොස් මැටි සපයා ගනී. කුඹල් පෙරහර ද මාලිගාවෙන් පිටත්ව සතර දේවාල වටා ගොස් නැවත ගෙවදී.‍ එබැවින් කුඹලා ගේ ගමන් මාර්ගය මෙන් පෙරහර ද යන බව තවත් මතයකි.

කුඹල් පෙරහරේ වැඩි කල එළියක් නොතිබීම

කුඹල් පෙරහර ආරම්භ වූ දිනයේ සිට පෙරහරේ ගමන් ගන්නා දියවඩන නිලමේ, බස්නායක නිලමේවරු, සුදු පැහැති වස්ත්‍ර පැලඳගෙන සිටිති. නැට්ටුවන් ද එසේමය. අලි ඇතුන් ද සරසන්නේ සුදු පාටිනි. අනෙකුත් සැරසිලි ආදිය ද අඩුය. එසේ ම පෙරහරේ යන පන්දම් එළි ප්‍රමාණය ද අඩු ය. මේ විවිධ හේතු නිසා පෙරහරේ වැඩි කල එළියක් නොමැති වීම ද කුඹල් පෙරහරේ විශේෂත්වයකි.

රන්දෝලි පෙරහර

කුඹල් පෙරහර දින පහක් පැවැත්වීමෙන් පසු රන්දෝලි පෙරහර ආරම්භ වේ. රන්දෝලි පෙරහරේ විශේෂත්වය වන්නේ සිව් මහා දේවාලයන්හි (රන් දෝලි දේවාභරණ වැඩමවන වාහන විශේෂය) පෙරහරේ අගට එකතු කිරීමයි. මෙය මුල්කාලයේ පෙරහ‍රේ පසෙකින් ගමන් කර ඇති අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියෝගය පරිදි පෙරහරේ අවසානයේ ගෙන යනු ලබයි. මෙය වර්තමානයේ ද මේ ආකාරයෙන් ම පැවැත්වේ. ‍රන්දෝලි පෙරහර සම්බන්ධයෙන් තවත් මත කිහිපයක් පවතී.

1. ‍කුඹල් පෙරහරට වඩා රන්දෝලි පෙරහර අලංකාර ය. මුලින් සඳහන් කළ දියවඩන නිලමේ, බස්නායක නිලමේවරු ආදීන් මෙන් ම නැට්ටුවන් අලි, ඇතුන්, නිල්, රතු, කහ ආදී විවිධ වර්ණයන්ගෙන් යුත් වස්ත්‍ර පැලඳගෙන ගමන් කරයි.

2. සංස්කෘතිකාංග වැඩිවීම, කුඹල් පෙරහරේ ගමන් කරන්නේ ඒ ඒ පළාත්වලට අයත් කොඩි සේසත් ආදී මූලික අත්‍යවශ්‍ය දේ පමණක් වුවත්, රන්දෝලි පෙරහරේ ඒ සියල්ල සමඟ විවිධාකාර සංස්කෘතිකාංග ද එක්කොට අලංකාරමත් කර ඇත‍.

3. මුල් කාලයේ අගමෙහෙසිය රන් දෝලාවේ ගමන් කළ බව කියැවෙන අතර දළදා පෙරහර එකතුවීමෙන් පසු එය නුසුදුසු නිසා දෝලාවන්ට පිටුපසින් ගමන් කිරීම සිදු‍වී ඇත.

දිය කපන අවස්ථාවේ දී ද රන් දෝලා රැගෙන යනු ලබයි. පැරැණි දිය හා දිය කපන කඩුව ගැටඹේ තොට දක්වා ගෙන ගොස් අලුතින් ගන්නා දිය හා කඩුව නැවත දෝලා මත තබාගෙන රැගෙන ඒම සඳහා අවශ්‍ය වේ.

දිය කැපීම

රන්දෝලි පෙරහර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් වී පසුදා දිය කැපීම සිදුකරනු ලැබේ.

දිය කැපීමේ මංගල්‍යයෙන් පසු අලුත් දිය හා කඩු ආභරණ ආදිය නැවත වැඩමවා සිව් දේවාලවල තැන්පත් කිරීමේ කාර්යයෙන් පසු ඇසළ පෙරහර නිමාවට පත් වේ. ඉන් පසු දියවඩන නිලමේ, බස්නායක නිලමේවරු ආදීන් රාජ්‍ය ‍කරවන ප්‍රධානියා වෙත ගොස් පෙරහර නිසියාකාරව සිදු කළ බව ප්‍රකාශ කිරීමෙන් පසු එකී රාජ්‍ය උත්සවයේ කටයුතු නිමා වේ. රන්දෝලි පෙරහරේ අවසන් වීදි සංචාරය පැවැත්වීම දක්වා ඉහත සඳහන් කළ ආකාරයට විවිධ පුද පූජා මෙන් ම සංස්කෘතිකමය හා කලාත්මක විශේෂාංග රාශියක් පෙරහරට එකතුවී තිබීමෙන් එහි අලංකාරය වර්ධනය වී තිබේ. ඇසළ පෙරහර යනු මෙරට පැවැති මහා සංස්ක‍ෘතික මංගල්‍ය‍යකි. මෙහි ඇති වැදගත්කම ආරක්ෂා කරගැනීම හා පවත්වාගෙන යෑම පිළිබඳ ව අනාගත පරපුරේ වගකීමක් වේ.

අදහස්