ලංකාවේ දී දුටු අඳුරු පැහැති කාන්තාවන්, කණාමැදිරි රැජනන්, පොල් රුප්පා ආවර්ජනය කළ ඇන්ටන් චෙකොෆ් | සිළුමිණ

ලංකාවේ දී දුටු අඳුරු පැහැති කාන්තාවන්, කණාමැදිරි රැජනන්, පොල් රුප්පා ආවර්ජනය කළ ඇන්ටන් චෙකොෆ්

ක“මොස්කව් නගරයෙහි ඇවිදීමෙන් පසු මා පළමුව ගියේ එහි චැකොෆ් කටුගෙය බැලීමට යි. විශාල ගෙයක් නොවන එහි පාත මාලයෙහි චැකොෆ් වාසය කෙළේ අවුරුදු හතරකි. ඒ පාත මාලයෙහි චැකොෆ්ගේ ඇඳ සහිත නිදන කාමරය, ලියන මේසය සහිත කාමරය හා සාලය ද චැකොෆ් පරිහරණය කළ පරිදි ම දැනුදු පවතියි. ඇනා නමැති මැදිවිය ඉක්මවූ කාන්තාවක් චැකොෆ්ගේ කටුගෙයි ඇති දේ ඉතා ආසාවෙන් අපට පෙන්නමින් විස්තර කළාය.”

ඇන්ටන් පැව්ලොවිච් චොකොෆ් 1860 - 1904 ගැන මේ විස්තරය එන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් 1962 වස‍රේ ලියූ “සෝවියට් දේශයේ නැඟීම” කෘතියෙහි ය. එහි එන පරිදි චැ‍කොෆ් පොත් ලියූවේ ඉටිපන්දම් එළියෙන් බවත් ඔහුගේ මේසය උඩ වූ ඉටිපන්දම් කණුව ඇස් ඇති කාටත් කියන්නක් බවත් සඳහන් කර ඇත. කැටයම් සහිත මකර රූප දෙකක් කටින් ගත් ඉටිපන්දම් විල්ලෙහි චැකොෆ් පාවිච්චි කළ ඉටිපන්දමක් නොවූ බවත් කියන වික්‍රමසිංහයෝ පෑන් පැන්සල් හා ඔහු ලියූ පොත්වල පිටු ද මේසය මතු පිට තිබූ බවත් පවසති. ඉංග්‍රීසි, ප්‍රංස, රුසියන් නවකතාකාරයන් අතරින් ඇන්ටන් චෙකොෆ් තරම් සිංහල - ඉංග්‍රීසි දෙකම උගත් ප්‍රකට වූ අනිකකු නැතියිද ඔහු කියා ඇත. 1964 ජනවාරි 18 වැනි දින චැකොෆ්ගේ 103 වැනි සංවත්සරය නිමිත්තෙන් කළ කතාවක වික්‍රමසිංහයන් මෙසේ පවසා තිබුණි.

“වයසින්, පරිචයෙන් හා කලා ශක්තියෙන් පැසුණු පසු චැකොෆ් ලියූ පළගැටියා - සාහිත්‍ය ගුරුවරයා - හයේ වාට්ටුව, ගුසෙෆ් යන කතා මෑතදී බටහිර රටවල දියුණු වුණු මනෝවිද්‍යාත්මක නවකථා ආදිය ගැන දොඩන සිංහල විවේචකයන්ගේ සැලකිල්ලට හසුවිය යුතු යැයි මම සිතමි.”

“චැකොෆ් හා ලංකාව” නමින් වික්‍රමසිංහයන් කුඩා පොතක් 1970 වසරේ පළකොට තිබුණි.

1955 වසරේ ජී.බී. සේනානායක විසින් ලියූ “බටහිර ශ්‍රේෂ්ඨ නවකථා” කෘතියේ චෙකොෆ් ගැන ඇත්තේ මෙබඳු සටහනකි.

“චැකොෆ් සාමාන්‍ය ජීවිතයෙහි මහත් රසයක් හා බොහෝ අර්ථ ද දුටුවෙකි. සාමාන්‍ය ජීවිතය හෙවත් එදිනෙකා ජීවිතය ඔහුට කථා ප්‍රවාහයක් බඳු වූයේ ය. එය කෙටි කතාවෙහි ගැබ් කළ කතාකාරයා ඔහු ය. ඔහුගේ නවකතා කියවන්නා සාමාන්‍ය ජීවිතය අත්භූත ජීවිතයක් ලෙස දකියි. ඔහු චිත්‍රකාරයකුගේ ඇසින් ලොව දෙස බැලුවෙකි. මිනිසුන්ගේ හැඩහුරු කමෙහිත් ගහ කොළෙහිත් අප සාමාන්‍යයෙන් නොදකින සෞන්දර්යය දකියි. චැකොෆ්ට සාමාන්‍ය ජීවිතය කතා ප්‍රවාහයක් වූයේය. ඔහු විසින් කතාවක් නිර්මාණය කිරීම ජීවිතයෙහි සුන්දරත්වයෙන් බිඳක් ගෙන අපට පෙන්වීමකට සමාන ය.”

ඇන්ටන් චොකොෆ් (1860 - 1904) මිය ගොස් හරියට වසර 105 ගෙවී ඇත. චෙකොෆ් තරම් සිංහල පාඨකයාට වඩාත් සමීප විදේශ කෙටිකතාකරුවෙක් තවත් නැති තරම්ය. ඔහු සිංහල පාඨකයාට හඳුන්වා දුන් අය අතර මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, එදිරිවීර සරච්චන්ද්‍ර, ඒ.පී. ගුණරත්න, පද්ම හර්ෂ කුරණගේ, කේ.ජී. කරුණාතිලක, පියසිංහ ගුණවර්ධන, කේ.ඩී.ඩී. වික්‍රමසිංහ, සිරිල් සී. පෙරේරා, මිනිවන් පී. තිලකරත්න, ඒ.වී. සුරවීර, සුචරිත ගම්ලත්, ආරියරත්න විතාන මට මතක් වන නම් ය; තව ලේඛකයෝ ද සිටිති. එබැවින් මෙය අසම්පූර්ණ ලේඛනයකි. ඒ ලේඛකයන් කමත්වා.

1958 රුසියාවේ සංචාරය කළ පුවත්පත් කලාවේදිනි ඊවා රණවීර “ඇන්ටන් චෙකොෆ්ගේ ලංකා ගමන” නමින් ලිපියක් ඉරිදා ලංකාදීප පත්‍රයට ලියා තිබිණි. 1890 දී එවකට 30 හැවිරිදි වියෙහි පසු වූ චෙකොෆ් ලංකාවේ ගත කළ බවත්, ඔහු කොළඹ, මහනුවර සංචාරය කළ බවත්, ඔහුගේ ඒ මතක සටහන් පසුව රුසියාවට ගොස් ලියූ ලියුම් කියුම්වල සටහන් වන බව ලංකා විශ්වවිද්‍යාල කොලිජියේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩොවයික් විසින් Times of Ceylon Annual වාර්ෂිකව ලියා තිබුණි. චෙකොෆ් ලංකාවට පැමිණියේ රුසියාවේ සිර කඳවුරක් වන සකාලින් පෙදෙසට ගිය පසුවය. සකාලින් ගමන ඔහුගේ හදවතට වධයක් වූ බවත්, ලංකාවේ සංචාරය ඊට හාත්පසින් ම වෙනස් සුන්දර පරිසරයක් වූ බව ඔහු පවසා ඇත.

සිය සොහොයුරු මිඛායෙන් විසින් පැවසෙන පරිදි චෙකොෆ් ලංකාව ගැන ප්‍රබල ලෙස මතකයේ තබාගෙන සිටියේය. ඔහු ලංකාව ගැන ලියූ ඇතැම් දේවල් තරමක දඟකාර ප්‍රකාශයන්ගෙන් යුක්ත ය. චෙකොෆ් පැමිණි නැව 1890 නොවැම්බර් 12 දා කොළඹ වරායේ නැංගුරම්ලා තිබියදියි ඔහු කොළඹ සංචාරය කළේ.

චෙකොෆ් රදළයකු වන Baroness Uexhull හා ඔහුගේ පුතා ද සමඟ නැවෙන් ගොඩ බැස “ග්රැන්ඩ් ඔරියන්ටල් හෝටලයේ (අද ට්‍රැප්‍රබේන් හෝටලය) නවාතැන් ගත් බවත්, චෙකොෆ් කොළඹ වීථිවල ඇවිදින්නට ගියේ නගරයේ තොරතුරු සොයා දැන ගනු පිණිස බවත් මාර්ටින් වික්‍රමසිංහයන් පවසා ඇත. ඒ ගමනේදී චෙකොෆ්ට නයිනටවන්නකු හමු වූ බවත්, නයා නටවන්නා ඔහුගේ නළාව පිඹිමින් පෙට්ටි පියන ඉවත් කොට නයා එළියට ගෙන මුගටියකු හා පොරට යවා ඇති බවත්, නයා මෙල්ල කළ මුගටියා ඔහුගේ සිත් ගත් බවත් වික්‍රමසිංහයන් “චැකොෆ් හා ලංකාව” කෘතියේ සඳහන කර තිබුණි. මුගටියන්ට ලොල් වූ චෙකොෆ් දෙහිවල සත්තු වත්තට ගොස් එහි අධිපතිගෙන් කරුණු විමසා මුගටියන් තුන්දෙනකු මිල දී ගෙන ඇත.

මේ මුගටියන් රුසියාවට ගෙන ආ පසු මොවුන් සැමවිටම තමාට විනෝදය සැපයූ බව පවසා ඇති චෙකොෆ් තම මිත්‍රයන්ට නම් මේ අමුත්තන් පුදුම එළවන සත්ව වර්ගයක් වූ බව පවසා ඇත. චොකොෆ් සොහොයුර මිඛලායි කියන පරිදි මේ මුගටියන් හැම දෙයක් විනාශ කරන්ට, බිඳින්නට, සියලු ද් නැති කරන්නට උපන් සතුන් ය.

ඔහුගේ ගම්බද නිවසට ගිය මිතුරන්ට මේ තොරතුරු ඇසූ රුසියානු මහා සංගීතඥ චයිකොව්ස්කි ද උන් නැරඹීම පිණිස මොස්කම් සිට චෙකොෆ්ගේ ගම්බද නිවසකට පැමිණ ඇත. එක් මුගටියකුට වරක් සෙම්ප්‍රතිශ්‍යාවක් හැදී මැරෙන තරමට ම රෝගාතුර විය. ඌ සුවපත්ක ළ චෙ‍කොෆ් උද්දාමයට පත් විය. එහෙත් සුවපත් මුගටියා සුපුරුදු ලෙස පිඟන් කෝප්ප බිඳිමින් කලබල කිරීමට පටන් ගත්තේය.

මුගටියන්ගේ හිතුවක්කාරකම් මැඩ පැවැත්විය නොහැකි වූ තැන මොවුන් රුසියාවේ සත්ව උද්‍යානයට පරිත්‍යාග කිරීමට චෙකොෆ්ට සිදු විය. කොළඹ නගරය ගැන ඔහුගේ සිතෙහි ඇති වූ “නරක් වූ බටර් කෑමෙන්” ඇති වන හැඟීමක් වැනි දෙයකි. සකාලින් පෙදෙසේ ඔහුගේ සංචාරයෙන් ඇති වූ අසතුට සිංගප්පූරු ගමනින් අධික වී තිබුණි. එහෙත් ලංකාවට පැමිණි ගමන ඊට හාත්පසින් ම වෙනස් විය. ඔහුට මෙහිදී “පාරාදීසයකට ආවේය” යන හැඟීමක් ඇති වූ බව ඒ.එස්. සුවොරින් නම් පුවත්පත් කතුවරයාට ලියමින් මෙසේ ලියා ඇත.

“ඊයේ ලංකාවට පැමිණියා. එය පාරාදීසයේ පිහිටි දේශයක්.”

ශත වර්ෂයකට පෙරාතුව ලංකාවට පැමිණි සංචාරකයන් “ලංකාව පාරාදීසය හා සම්බන්ධ” යි මිථ්‍යා කතාවල තියෙන බව පැවසීමට ඔබ දැන සිටියේ දැයි චෙකොෆ් සුවොරින්ගෙන් ප්‍රශ්න කර සිටියේය. ලංකාවට “පාරාදීසය” යන සලකුණු චෙකොෆ් විසින් සපයන්නට ඇත්තේ සකාලින් පෙ‍දෙස් ගමන් නිසා ඔහු තුළ ඇති වූ සිත් තැවුල නිසා වන්නට ඇත.

ලංකාවේ නැවතී සිටි කෙටි කාලය තුළ ඔහු විසින් කරන විස්තරවල ලංකවේ සිත් ගන්නා සුලු කාලගුණ, පොල්රුප්පා අතරින් සඳ දුටු සැටි, එසේම පාරාදීසයක අනිවාර්යෙන් ම තිබිය යුතු කාන්තාවන් ගැන විශේෂ සඳහනක් වෙයි.

සැතපුම් 100ක් පමණ දුම්රියෙන් චෙකොෆ් ගමන් කර ඇත. ඔහු ගමන කළේ කොයිබට ද? ඒ ගමන කිසිසේත් මීගමුව පැත්තට නොවන බව පවසන මහාචාර්ය ලුඩොවයික් නොඑසේ නම් ඔහු ඒ ගමන ගියේ දකුණු පළාතට දැයි සැක කරයි. ඔහු එසේ නිගමනයකට එන්නේ චෙකොෆ් කඳුකරයේ සිත් ගන්නා සුළු ලක්ෂණ ගැන එතරම් දෙයක් නොකියන නිසා ය.

“චැකොෆ් හා ලංකාව” කෘතියේ මාර්ටින් වික්‍රමසිංහත් චෙකොෆ් මහනුවරට ගිය ගමනක් විස්තර කර ඇත.

“නුවර වැව වටේ ඇවිදින්නට ගිය චොකොෆ්ට ගැලවීමේ හමුදාවේ පෙරහරක් හමු විය. හින්දු සාය හැඳ ගත් ගෑනු බෙරය, ඇකෝඩිනය හා ගිටාරය ගත්තෝ ද, කළු තරුණයෝ හා රතු හැට්ටයක් හැඳ ගත් කාපිරියෙක් ඒ පෙරහරෙහි වූහ යි” චෙකෝෆ් කියයි.”

1891 අගෝස්තු 13 වෙනිදා චෙකෝෆ් මිතුරකුට මෙසේ ලියා යැවීය.

“ලංකාවේ දී යම් කිසි වෙනස් විභූතියක් දැක්කා මිස, රුසියාවේ හා වෙනත් රටවල ඒ විභූතිය දැක නැතැයි චෙකොෆ් ලියා ඇත.

“සකාලින් මට අපායකි. ඉන්පසු ගිය ලංකාව යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම පාරාදීසයකි. පාරාදීසය ගැන මා කියන ප්‍රකාශය ආදම් ගේ ප්‍රකාශය හා සමාන ය. ලංකාවේ දී මම තාල වර්ගයේ ගස්වල දර්ශනයෙන් අත්‍යන්තයෙන් ම තෘප්තියට පත් වුණෙමි. එසේම දුඹුරු පැහැති කාන්තාවන් දැකීමෙන් ද මට තෘප්තියක් ඇති විය. මා නිසා එවැන්නියකට දරුවෙකු ලැබුණොත් ඔවුන්ට ආඩම්බර යුතුව මෙසේ පවසමි.

“බැල්ලිගේ පුතුනි, මම අඳුරු පැහැති ඇස් ඇති ලංකාවේ කාන්තාවන් සමඟ සඳ එළියෙන් බැබළෙන පොල් රුප්පාවක දී පෙම් කළෙමි.”

චෙකොෆ් විසින් සුවොරින්ට ලියූ ලිපියක් උපුටා දක්වමින් මහාචාර්ය ලුඩොවයික් ටයිම්ස් වාර්ෂිකයට ලියූ ලිපියේ එය මෙසේ දක්වා ඇත.

“There (in Ceylon) I sated myself till I was fed up to the back - teeth with palm forests and bronze colored woman. If I shall have children, I shall have children, I shall tell the them, not without pride; You, sons of bitches, in my time I had relations with a black - eyed Indian woman, and where? In a coconut grove on a moonlit night”

මේ ලිපි මඟින් චෙකොෆ් ව්‍යංග්‍යයෙන් පවසා ඇත්තේ තම ලංකා‍වේ දී කළු යුවතියකට පෙම්කර ඇති බව නොවේද?

චෙකොෆ් ලංකා ගමනින් පසු රුසියාවට ගෙන ගියේ පාරාදීසය නම් මතකය හැර වෙන කුමක් දැයි මහාචාර්ය ලුඩොවයික් ප්‍රශ්න කරයි.

දුඹුරු පැහැති කාන්තාවන් පිළිබඳ මතකය, සිත් ගන්නා සුලු දර්ශන හැර චෙකොෆ්ගේ සන්තානයේ ඉතා ප්‍රබල ලෙස බලපෑ බව ඔහු‍ෙග් සහෝදර මිකොලායි කියා ඇත. පසු කාලයකදී චෙකොෆ් නින්ද නොයන රෝගයකින් පෙළෙන විට ඔහු ඇතැම් විට සඳ පහනින් නැහැවුණු ලංකාවේ පොල් රුප්පාවල් ගැන සිතුවා විය හැකිය. කලාමැදිරියන් රාත්‍රී කාලයේ රැජිනන් වන ලංකාවේ දී හමු වූ අඳුරු පැහැති කාන්තාවන් ඔහුට මතක් වෙනු ඇත.

වර්ජිනියා වුල්ෆ් විසින් ඉතා ඉහළින් වර්ණනා කළ චෙකොෆ් හොඳම කෙටිකතාව වූ “ගුසෙෆ්” ඔහු ලිව්වේ ලංකාවේ සිට රුසියාවට යන අතර ය. චෙකොෆ් ගමන් ගත් නැව සිංගප්පූරුවට ළඟා වෙන්නට පෙර නැවෙහි සිටි දෙදෙනෙක් මිය ගොස් ඇති අතර ඔවුන්ගේ මළ කඳන් රුවල් රෙදිවල දවටා මුහුදට විසි කරනු ලැබීය. මේ සිද්ධියත්, මුහුදේ නාන විට තමා දෙස බලා සිටි මිනී මෝරා හා සක්හලින් දූපෙතහි ද ලත් ඇතැම් අත්දැකීම් ඇසුරෙන් “ගුසෙෆ්” කතාව ලියූ බව වික්‍රමසිංහයන් සඳහන් කර ඇත. 1909 දී ගෝර්කි නම් ශ්‍රේෂ්ඨ ලේඛකයාට උදව් කිරීමට ඔහු සොයා ගිය අවස්ථාවේ චෙකොෆ් හුදෙක් ම අවධාරණය කළේ - “ඔබ ලංකාවට යා යුතුමය” කියාය.

“ඔබ ලංකාවට කැමති නැද්ද? ඒක ලොකු වරදක්. ඔබේ සිත අතීතයට යැවුණා ම ඔබ නින්ද නොයන දවස්වල ලංකාවේ අත්දැකීම් ඔබට ඉතුරු වේවි. ලංකාවේ අත්දැකීම් ඔබට ඉතුරු වේවි. ලංකාවේ අනන්ත ක්ෂුද්‍ර ජීවී සංඛ්‍යාව, තාල වර්ගයේ ගස් නියම පාරාදීසයක්. මක්නිසාද යත් ආදම්ගේ කතාවේ ඊවාට සර්පයෙක් සිටියත්, ලංකාවේදී සර්පයකුගේ ආධාරයක් නොමැතිව කාන්තාවන් ආශ්‍රය කළ හැකියි.”

1959 දී චෙකොෆ් කටුගෙය නැරඹීමට ගිය මාර්ටින් වික්‍රමසිංහයන් චෙකොෆ් ලංකාවෙන් මියලයට ගත් කළුවර ලී අලි දෙදෙනකුත්, ඇත් දත් සහිත අලි දෙදෙනකුත් දක්නට ලැබී ඇත.

1958 දී මේ කටුගය නැරඹීමට ගිය ලංකාදීප පත්‍ර කලාවේදිනී ඊවා රණවීරට එහි දී වීදුරු පෙට්ටියත් තුළ තිබූ සිප්පි කටු දෙකක් දක්නට ලැබී ඇත. ඒවා ලංකාවෙන් ගෙන ගිය එක තරම් වූ පාටින් යුතු ඒවා බව ඇය පවසයි. ඇය මෙසේ ද පවසා තිබුණා ය.

“චෙ‍කොෆ් අපේ රටින් ගෙන ගියේ එපමණක් නොවේ. බිත්තියේ වූ පොල් ගොමුවක් සහිත මුහුදු වෙරළක දර්ශනය ඇති ඡායාරූපයක් පෙන්වා ලේකම්වරයා පවසා ඇත්තේ “මේ චිත්‍රයත් චෙකොෆ් ගෙනාවේ ලංකාවෙන් කියා ය. එ් චිත්‍ර මුහුදු වෙරළට පොල් ගසක් නැමී තිබුණි. ළමයි තුන් දෙනෙක් වෙරළ බලාගෙන සිටියේය. එක් මිනිහෙක් කැමරාවට මුහුණ දී ගෙන සිටියේය. ඔහු කබායක් ඇඳ තිබෙන බව පෙනිණි. සමහරවිට ඔහු චෙකොෆ් වෙන්නත් පුළුවනි. ලංකාවේ මේ මුහුදු වෙරළ දැන් වෙනස් වෙලා විය හැකියි.”

චොකොෆ් ගේ ලංකා ගමන ගැන ග්‍රන්ථ තුනක් ප්‍රකාශයට පත්ව ඇත. “රුසියාව” සඟරාවේ සංස්කාරක සරත් ලාල් කුමාර විසින් ම සංගෘහිත “චෙකොෆ්ගේ ලංකා ගමන ඒ තරම්ම සුවිශේෂයි” කෘතිය හා වෛද්‍ය

 

ඡායාරූප පිටපත් කිරීම-ලාල් සෙනරත්

------------------------------

අදහස්