ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම සංගීතඥයා උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමියි | සිළුමිණ

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම සංගීතඥයා උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමියි

බොහෝ අය මොහු ගැන දන්නේ නැත. දන්නෝ ද නොදන්නා සේ සිටිති. එබැවින් උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි ගැන සොයන්නට සිතුවෙමු. මේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි ගැන කළ කියැවීමයි.

කවුරුද මේ උස්තාද් පොඩි අප්පුහාමි කියන්නෙ?

මේ සාකච්ඡාව ආරම්භයෙදි ම මම ඔබට එක් ප්‍රධාන කරුණක් කිව යුතුයි. මේ සියලු කරුණුවල මූලික ගෞරවය ප්‍රේමසිරි වැවේගෙදර කියන ලේඛකයට, වාර්තා චිත්‍රපට කරුවට හිමි විය යුතුයි කියන දෙය. ප්‍රේමසිරි වැවේගෙදර විවිධ අංශ ගණනාවක දස්කම් දක්වා ඇති පුද්ගලයෙක්. මුහුණු පොතේ සැරිසරනකොට අහම්බෙන් වගෙ කිසියම් පොතක පුංචි ඉඟියක් දැකල තමයි මම ඔහුට කතා කළේ. කර්තෘ ප්‍රකාශනයක් ලෙසින් බිහිව ඇති 'උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි' කියන කෘතිය ගැනත් ඒ සමඟ ම බෙදාහරින වාර්තා චිත්‍රපටය ගැනත් ඔහු මට දැනුම් දුන්නා. එහෙම කියල ඔහුගෙ පොතත් ඒ සමඟ ම එන වාර්තා චිත්‍රපටයත් මට එව්වා. එහි එන කරුණු හා තොරතුරු මාව මවිත කළා. ඒ අනුව ලාංකිකයෙක් ලෙස ඩේවිඩ් පොඩි අප්පුහාමි සතු කරගෙන ඇති අන්තර්ජාතික ගෞරවය මෙන්ම ඔහුගේ නිසඟ සංගීත ප්‍රතිභාව විශාල පිරිසක් එක්ක බෙදා ගන්න ඕන කියල මම හිතුවා. ඇත්තට ම කියනවා නම් කාලයේ වැලිතලාවෙ වැසී ගිය මෙවැනි අප්‍රමාණ නිර්මාණ කෞශල්‍යයක් ඇති පුද්ගලයන් අප දැන්වත් නිරාවරණය කළ යුතු බව මට හැඟී ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මම මේ කතිකාව ගොඩ නඟන්න වෙහෙසුණේ.

මං හිතන ආකාරයට උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි තමයි ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම සංගීතඥයා. ඔහු උපත ලබන්නේ 1924 කුලියාපිටියෙ අස්වැද්දුම කියන ගමේ. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙ 1947 දී පළමු ශිෂ්‍ය නායකයා වෙන්නෙ ඔහු. ඔහුගෙ පළමු සංගීත ගුරුවරයා වෙන්නෙ පී.එම්. විජේසිංහ. සංගීතයට ඔහුගෙ ඇති ළැදියාව නිසා 1951 දි එඩ්වින් සමරදිවාකර, ටියුඩර් සුබසිංහ, සද්ධාතිස්ස වඩිගමංගාව යන මහත්වරුන්ගෙ උපකාරයෙන් ඔහු ඉන්දියාවට යනවා. එදා ඉඳල වර්ෂ 2002 වෙනකල් ඉන්දියාවේ මයිහාර් ප්‍රදේශයෙ ජීවත් වෙනවා. මයිහාර් ප්‍රදේශයට අද කියන්නෙ මධ්‍ය ප්‍රදේශ්. එහිදි මයිහාරයේ සංගීත දෙවිඳු කියන ගෞරව නාමයත් සමඟින් ඔහු මිය යනවා. ඒ අතරතුර සිදුවන සිද්ධිදාමය ඉතාම විචිත්‍රයි.

බොහෝ දෙනෙක් නොදන්නා නිසා එය පැහැදිලි කළ හැකිද?

ශාන්ති නිකේතනයෙදි සංගීතය පිළිබඳ මූලික හැදෑරීම කර ඉවර වුණාට පස්සෙ ඔහු මහිහාරයෙ සංගීත විද්‍යාලයට බැ‍ඳෙනවා. ඒ වෙනකොට භාරතයෙ හිටපු ශ්‍රේෂ්ඨතම සංගීතඥයා වෙලා හිටියෙ අලව්දීන් ඛාන්. ඔහු තමයි මයිහාරයේ සංගීත විද්‍යාලය ආරම්භ කරල තිබුණෙ. ඩේවිඩ් අප්පුහාමි ඔහුගෙ පාද මූලයෙ වැටිල ඒ ගුරුකුලයේ ශිෂ්‍යයෙක් වෙන්න ඉල්ලා සිටිනවා. අවසානයෙ ඔහු එහි වසර 22ක් සංගීතය ප්‍රගුණ කරනවා. පණ්ඩිත් රවි ශංකර් එක තැනකදි ප්‍රකාශ කරනවා අලව් දීන් ඛාන් කියන ශ්‍රේෂ්ඨ සංගීතඥයගෙ හොඳ ම නිර්මාණය උස්දාත් ඩේවිඩ් අප්පුහාමි කියලා.

බ්‍රාහ්මණ වංශිකයෙක් හරි හින්දුවරයෙක් හරි සංගීතයෙහි අති විශිෂ්ට තත්ත්වයට පැමිණි පසු ඔහුට ප්‍රදානය කරන ගුරුකුල අභිදාන නාමය තමයි පණ්ඩිත් නාමය. මුස්ලිම් කෙනකුට නම් උස්තාද් නාමය. අලව්දීන් ඛාන් තම පුත්‍රයකු සේ සලකල ඔහුට උස්තාද් කියන අභිදාන ගෞරව නාමය ප්‍රදානය කරනවා. මේ අනුව එදා මෙදා තුර ශ්‍රී ලාංකිකයෙක් ලබල තියෙන එක ම උස්තාද් නාමය හිමි කර ගැනීමට ඩේවිඩ් අප්පුහාමි සමත් වෙනවා. ඊට පස්සෙ අලවි දීන් ඛාන් මයිහාරයෙ සංගීතය විදුහලෙ විදුහල්පතිකම ඔහුට බාර දෙනවා. එය මහාචාර්ය තනතුරක් හා සමාන තනතුරක්. එහි කටයුතු කරන අතරතුර ලෝක සම්භාවනාවට පාත්‍රවෙච්චි සංගීතඥයන් රාශියක් බිහි කිරීමට ඔහුට හැකියාවක් ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස භාරතීයයන‍්ගේ ගෞරවයට ඔහු අදත් පත්වෙනවා. ඔහුගේ විපුල සංගීත ඥානය පිළිබඳ සැබෑ වටිනාකමක් දීමට තමයි මට අවශ්‍ය වුණේ. ඔහුගෙ අසීමිත සංගීත ඥානය ගැන අපේ රටේ කවුරුවත් කතා කරන්නෙ නැහැ.

ඔහු තමාගෙ ජීවිතයෙන් වැඩි කාලයක් වැය කළේ සංගීතයට පමණයි.

ඔව්. ඔහු දවසකට පැය 16 - 18 පුහුණුවීම්වල නිරත වෙන කෙනෙක්. ඔහුගේ ප්‍රධාන වාදන භාණ්ඩය වෙන්නෙ සරෝද් වාදන භාණ්ඩය. ඊට අමතරව සිතාරය, තබ්ලාව, වයලීනය, බටනලාව, වගේම ගායනයෙහි පමණක් නොව නර්තනයෙහි ද දස්කම් දක්වා තිබෙනවා. ඒ අනුව ඔහු පරිපූර්ණ සංගීතඥයෙක් කියලා කියන්න පුළුවන්.

ඒ වගේම රාග සංචිතයට අලුතින් රාග 3ක් එක්කිරීමට ඔහුට පුළුවන් වුණා. රාගයක් අලුතින් නිර්මාණය කිරීම ඉතා අසීරු කරුණක්. ඒ සඳහා සංගීතය පිළිබඳ පාථුල දැනුමක් වගේම පරිසමාප්ත දැනුමක් තිබිය යුතුයි. උස්තාද් ඩේවිඩ් අප්පුහාමිට එවැනි ගැඹුරු සංගීත ඥානයක් හා අසීමිත නිර්මාණ ශක්තියක් තිබුණු නිසා “මයිහාර් රාග්”, “හේම් ගෝපිකා”, “දුර්ඝාවතී” යන රාග ත්‍රිත්වය අලුතින් බිහි කිරීමට හැකියාව තිබුණා. මේ කරුණම ඇති ඔහුගෙ විශිෂ්ට බව අගය කරන්න. ඒ අනුව භාරතයේ බිහිවෙච්චි ශ්‍රේෂ්ඨ සංගීතඥයන් අතර නිසැකවම ඔහු සමතැන් ගන්නවා.

ප්‍රේමසිරි වැවේගෙදර නොහිටින්නට මේ කිසි දෙයක් අපේ දැනුම් කලාපයේ කොටසක් බවට පත්නොවීමට ඉඩ තිබුණා. ඔහු 1998 හා 2000 කියන වසරවලදි දෙසැරයක් ඉන්දියාවට යනව මේ කරුණු හොයන්න. යන්නෙ බිරියගෙ ගුරුසෙත ණය අරගෙන.

ඔහු විවිධ දුෂ්කරතාවලට මුහුණ දීලා අවසානයේ සාංචි විහාරයේ නතරවෙලා තම පළාතේ ආදිතමයා ගැන කරුණු හොයනවා. ඊට පස්සෙ වර්ෂ 2000 දි වාර්තා චිත්‍රපටය නිම කරනවා. ඔහු එහි එවකට මයිහාර සංගීත විදුහලේ හිටපු විදුහල්පතිතුමා දිගු වෙලාවක් කතා කරනවා. එහිදි ඔහු පැහැදිලිව ප්‍රකාශ කරනවා වර්තමානයේ ඩේවිඩ් අප්පුහාමි වැනි ගුරුවරයෙක් බිහිවීම ආශ්චර්යයක් කියලා. ඒ වගේම මුළු මධ්‍ය ප්‍රදේශය ම සංගීතය සම්බන්ධයෙන් ඔහුට හිස නමනවා කියලා. නමුත් අපේ පූර්ව සංගීතඥයන් කිසි කෙනෙක් ඔහුව කිසි දිනක ඇගයුමට ලක් කළේ නැහැ.

එවැනි තවත් පිරිස් සිටිනවා කිසිදු ඇගයීමකට කිසිදා ලක් නොවුණු?

ඔව්. හොඳම උදාහරණයක් තමයි සංගීතාචාර්ය ස්ටැන්ලි පෙරේරා. ආචාර්ය ස්ටැන්ලි පෙරේරත් ඩේවිඩ් අප්පුහාමි වගේම භාරතයේ සිය දස්කම් දැක්වූ කෙනෙක්. ලෝක සම්භාවනීය සංගීතඥ අලි අක්බර් ඛාන්ගෙ දියණියක් වූ අමීහා සමඟ විවාහ වන ඔහු මුළු මහත් ජීවිතේම භාරතයෙ ගත කරල රවීන්ද්‍ර භාරතී විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක් වශයෙන් සිය හැකියාව ඉන්දියාවටම පුදකරලා 2004 දි මිය යනවා. ඔහුත් කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිය කෙනෙක්.

ඩේවිඩ් අප්පුහාමිගෙ මුළු ජීවිතේ ම භාරතයෙ ගත වුණත් ඔහු වරින්වර ලංකාවට ඇවිල්ලා යම් යම් ප්‍රසංග කිහිපයක් පවත්වලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් ලංකාව අගය කරලා නැහැ. ඒ නිසා එතුමා තම වාස භූමිය ලෙස භාරතය ම තෝරා ගත්තා. ඔහු ඇන්දේ භාරතීය ඇඳුම්. අනුගමනය කළේ භාරතීය වත් පිළිවෙත්. ඌෂා දේවී ගෞතම් කියන කුලීන භාරතීය කාන්තාව සමඟ විවාහ වුණු ඔහුට පුෂ්පේන්ද්‍ර ගෞතම්, ධිරේන් ගෞතම්, රිතික් ගෞතම්, අනිල් ගෞතම් නමින් පුතුන් හතර දෙනෙක් සිටිනවා. මෙවැනි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් ගැන අප අමතක කර දැමීම ඇත්තට ම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් එහෙම පිටින් ම වසා දැමීමක්. ඒ වගේම මේ හැකියාවන් අගය නොකර සිටීමත් අති විශාල අපරාධයක්. අතීතයේ පමණක් නෙමෙයි වර්තමානයේ පවා එවැනි නිසි අගය කිරීම්වලට ලක්වෙන්නෙ නැති සංගීතඥයන් කිහිපදෙනෙකු සිටිනවා. වී. හේමපාල පෙරේරා එවැනි කෙනෙක්. ඔහු තමයි අපට ඉන්න දක්ෂම බටනළා වාදකයා. ඔහු පණ්ඩිත් රවි ශංකර්ගෙන් පවා ඇගයුම් ලද කෙනෙක්; අති දක්ෂයෙක්. නමුත් ඔහු පිළිබඳවත් කිසිදු ආකාරයක ඇගයීමක් නැහැ. අතීතයේ පටන් වර්තමානය දක්වා එවැනි මඟ හැරී ගිය නිර්මාණකරුවන් රාශියක් සිටිනවා.

උස්්තාද් ඩේවිඩ් අප්පුහාමිලා දස්කම් දැක්වූයේ සංගීතය උපන් භාරතයේ; එය සුළු පටු කාරණයක් නෙමෙයි.

අනිවාර්යෙන් ම. භාරතය කියන්නෙ පෙරදිග සංගීතයේ මූලාරම්භය හමුවන තැන. එවැනි තැනක දස්කම් දක්වන්න පුළුවන් අති දක්ෂයකුට විතරයි. ලංකාවේ තත්ත්වෙයි භාරතයේ තත්ත්වෙයි සංගීතය පැත්තෙන් ගත්තොත් කොහෙත්ම සසඳන්න බැහැ. ඒ වගේ මොහොතක ඩේවිඩ් අප්පුහාමිලා වැනි පිරිපුන් ඥානයක් සහිත සංගීතඥයෙක්ගෙ හැකියාව ලංකාවෙ අය එක්ක කොහොමටවත් සම කරන්න බැහැ. එවැනි මොහොතක අපි ඒ පුද්ගලයන්ව සදහට ම අමතක කර දැමීම ජාතික අපරාධයක්. අපේ සංගීත පොත්වලට මෙවැනි සංගීතඥයන් ගැන සටහනක් දාන්න බැරි ඇයි? තවමත් අපේ විෂය නිර්දේශ පටුයි; අන්තර්ජාලය මඟින් ලබා ගත හැකි විවිධ සංගීත සම්ප්‍රදාය ගැන සංගීතය හදාරන අයවත් වෙහෙසෙන්නෙ නැහැ. පොඩි අප්පුහාමි විසින් නිර්මාණය කරපු රාග පිළිබඳ දැනීමක් අපේ වර්තමාන සංගීතය හදාරන ශිෂ්‍යයන්ටවත් ලබා දෙන්න බැරිකමක් නැහැ. ශිෂ්‍යයන්ට ලබා දෙන්න ඉස්සෙල්ල විෂය නිර්දේශ නිර්මාණය කරන අය මේ සම්බන්ධ දැනුවත් විය යුතුයි. නමුත් එහෙම ගවේෂණශීලී අධ්‍යාපනයක් අපේ රටේ නැහැනෙ.

උස්තාද් ඩේවිඩ් අප්පුහාමි කෘතියට පසු වදනක් ලියන රවීබන්දු විද්‍යාපති එහි පැහැදිලිව සටහන් කරනවා නව දැනුම සොයා යෑමේ ඇති අවශ්‍යතාව. ඒ වගේම සුදත් සමරසිංහ පැහැදිලි ව ප්‍රකාශ කරනවා රාගයක් අලුතින් නිර්මාණය කිරීමට ඇති බැරූරුම්කම.

මෙවැනි දක්ෂයන් අතීතය තුළ වැළලී යෑමට හේතුව කුමක්ද?

එය ඉතා ශෝකජනක තත්ත්වයක්. මෙයට මූලිකම හේතුව තමයි පූර්ව සංගීතඥයන් විසින් මෙවැනි පිරිස් සමාජයට හඳුන්වා නොදීම. ඒක එදා විතරක් නෙමෙයි අදත් වෙනවා. හැමදාම සිදුවෙන්නෙ එක් කණ්ඩායමක; එහෙම නැත්නම් එක කුලයක අය ගැන කතා කිරීමක් පමණයි. එතැනදි අගය කළ යුතු පිරිස් රාශියක් මඟ හැරිලා යනවා. පණ්ඩිත් අමරදේවයන් එහෙම නැත්නම් කේමදාසයන් ගන්න. ඔවුන් ගැන හරවත් ලිපි ලේඛන ලියවිලා තියෙනවා; ඔවුන් සම්බන්ධ ව විවෘතව කතා කරනවා. නමුත් පොඩි අප්පුහාමි වැනි අසීමිත සංගීත ඥානයක් ඇති කෙනෙක් පිළිබඳ කතා කරන්න කවුරුත් උත්සාහ කරන්නෙ නැහැ. මොකද ඔහු එක් කුලයක වත් කණ්ඩායමකවත් සාමාජිකයෙක් නොවන නිසා. ඔහු ප්‍රගුණ කළේ ඉතා ගැඹුරු ශාස්ත්‍රයක්. ශාස්ත්‍රවන්තයො කවදාවත් කා පිටිපස්සෙවත් යන්න ඕන නැහැ. ඔවුන් ව හඳුනා ගැනීමේ ශක්තියක් අන් අයට තිබිය යුතුයි. හරි නම් රජයේ සංගීත විද්‍යාලයේ ඔහු නමින් ශාලාවක් තිබිය යුතුයි; ශිෂ්‍යත්වයක් තිබිය යුතුයි. ඒවා එහෙම වෙන්න නැත්තෙ ඇයි? කියන දේශපාලන ප්‍රශ්නය තමයි මාව කැලඹිල්ලට පත් කළේ. එහෙම නැතුව මා පෞද්ගලික ව පර්යේෂණය කරලා සංගීතය පිළිබඳ ව කිසිදු අනාවරණයක් කරලා නැහැ. අපිට අහිමි වීම් රාශියක් පොදුවේ වෙලා තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් ඒ සම්බන්ධ ව නිශ්ශබ්ද ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. එවැනි මොහොතක මෙවැනි ජාතික සම්පතක් වන් මිනිසකු හෙළිකර දීම සම්බන්ධයෙන් ප්‍රේමසිරි වැවේගෙදරට නැවතත් ස්තුති කළ යුතුයි.

අදහස්