අපිට මොකටද බුලට් | Page 2 | සිළුමිණ

අපිට මොකටද බුලට්

1970 පැවති සිනමා පුවත්පතක විජය පිළිබඳ සඳහන් වූයේ මෙසේය

හන්තානේ කතාව චිත්‍රපටයේ බන්දුගේ චරිතයට ජීවය දුන් සුරූපී නවක නළුවා වැඩිම චිත්‍රපට ගණනක රඟපාන නළුවා වශයෙන් අන් සියලු නළුවන් අබිබවා පෙරමුණ ගෙන සිටී. දැනට නිෂ්පාදනයේ පවතින හා වැඩ අරඹා ඇති චිත්‍රපට විස්සක් සඳහා තෝරාගෙන ඇත. මේ හැම එකකම රඟපාන්නේ එකිනෙක වෙනස් වූ චරිතයක් වීම විශේෂ ලක්ෂණයකි.

හැත්තෑව දශකය අගභාගයේ ලංකාවේ පත්තරේක දැන්වීමක් පළ වෙලා තිබුණා. ඒ අලුතින්ම හැදෙන සිනමාපටයකට නවක නළු නිළියන් තෝරා ගැනීමට ලක් කරනවාය කියලා. මේ වෙද්දි ඒකාකාරී මුහුණුවර තිබු නළු නිළියන් සිනමා තිරය අරක්ගෙන සිටි කාලයක්. නව සිනමා පටයෙ නිර්මාණකරුවන්ට අවශ්‍ය වුණේ තරුණ මුහුණුවරින් යුත් චරිත කිහිපයක් සම්බන්ධ කර ගන්න. සම්මුඛ පරික්ෂණටත් විශාල පිරිසක් සම්බන්ධ වෙලා තිබුණා. සම්මුඛ පරීක්ෂණයට ඒ පිරිස අතරේ වඩා උසින් යුත් හැඩකාර තරුණයකු ද සිටියා. නිතරම ප්‍රසන්න සිනහවක් මුව පුරා රඳවා හුන් මේ ගැටයා පැමිණ සිටියේ සීදු ව සිටයි. කැරැළි කොණ්ඩය මදක් දිගට වවා තිබුණා. පරීක්ෂණ මණ්ඩලය විසින් අසන ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු දුන් ඔහු ඊළඟ සම්මුඛ පරීක්ෂණයට ද තේරුණා. පරීක්ෂණයේදී දෙස් විදෙස් චිත්‍රපට සම්බන්ධයෙන් ද ඔහු මනා ඇගැයීමක් කරන්න වුණා. අවසානෙ දී නව නළු පිරිවර සමඟ ලාංකේය සිනමාවට ඉදිරිපත් කළ ‘හන්තානේ කතාව‘ චිත්‍රපටයෙන් ඔහු සිනමා අඹරට පෑයූ නවක තරුව බවට පත් වුණා.

එකී නවක තරුව හන්තානයේ කතාවට සම්බන්ධ වීමත් සමඟ තවත් චිත්‍රපට පෝලිමක් ගලා ආවා. නවක නළුවකු වුවත් 1970 පැවති සිනමා පුවත්පතක ඔහු පිළිබඳ සඳහන් වූයේ මෙසේය.

"හන්තානේ කතාව චිත්‍රපටයේ බන්දුගේ චරිතයට ජීවය දුන් සුරූපී නවක නළුවා වැඩිම චිත්‍රපට ගණනක රඟපාන නළුවා වශයෙන් අන් සියලු නළුවන් අබිබවා පෙරමුණ ගෙන සිටී. දැනට නිෂ්පාදනයේ පවතින හා වැඩ අරඹා ඇති චිත්‍රපට විස්සක් සඳහා තෝරාගෙන ඇත. මේ හැම එකකම රඟපාන්නේ එකිනෙක වෙනස් වූ චරිතයන් වීම විශේෂ ලක්ෂණයකි. කේසර සිංහයෝ විනිශ්චයකරුවෙකි, බිඳුණු හදවත් අභියස ගුවන් නියමුවෙකි, අහස් ගව්වේ පොලිස් පරීක්ෂකවරයෙකි. මේ හැර රෝමියෝ ජුලියට්, ප්‍රියංගා, සමනල කුමරියෝ, වනරාජා, සුදු මොණරු, මංගල සීනු, හත්දින්නත් තරු හා නම් නොකළ චිත්‍රපට හතරක් සඳහා ද ශේෂා පලිහක්කාරගේ අලුත් නිෂ්පාදනය සහ සුගතපාල සෙනරත් යාපාගේ මීළඟ චිත්‍රපටයට ද ඔහු තෝරාගෙන ඇත" යනුවෙනි.

පහතින් දැක්වෙන්නේ මීට වසර තුනකට ආසන්න කාලයකදී පුවත්පත් ලිපියක් සකස් කරමින් සිටි මොහොතක ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, මා සමඟ පැවසූ කරුණු කිහිපයකි.

"ඔහු සහ මගෙ මිතුදම හුඟක් ඈතට දිව යනවා. ‘හන්තානේ කතාව‘ දවස්වලටත් එහා ඉඳලයි අපි දන්නේ. ඒ කාලේ මම වැඩ කළේ ලේක්හවුස් එකේ. මට මතකයි ජීවන් ගෙ තාත්තා සිඩ්නි කුමාරණතුංග සීදුවේ සම සමාජ පක්ෂ ක්‍රියාකාරී දේශපාලනයේ නියැළිලා එතකොට ඡන්දෙ ඉල්ලනවා. ඔය දවස්වල මගේ මිතුරාගේ රාජකාරිය ඡන්ද පෝස්ටර් අලවන එක. සමහර දවස්වලට සත පහෙ ප්ලේන්ටියක් බොන්න කොහේ හරි තැනකට ගියත් මේ ලස්සන කොල්ලාට කෙල්ලොන්ගෙන් නම් ගැලවිල්ලක් නෑ, ඒ තරමට ඔහු ආකර්ෂණීයයි.

මට මතකයි පසුකාලීනව, දවසක් සෝනියාගේ film එකක් දින සියය පසුකිරීම නිසා වැල්ලවත්තේ omega inn එකේ පොඩි සාදයක් තිබුණා. එදා නළු නිළියන් ගොඩක් ඒ සාදෙට සහභාගී වුණා.. මේ වෙද්දි මගේ යාළුවා තනිකර දේශපාලනික චරිතයක්. කොටින්ම ජේ. ආර්. ගෙ ප්‍රබල විරුද්ධවාදියා.

"මොකක්ද මේ කරන්නේ", ඔයාට මොකක්ද කඩාගෙන බිඳගෙන දේශපාලනය කරන්න තියෙන හදිසිය කියලා මම එදා ඇහුවා. ඒ වෙලාවේ ගත් කටටම මගෙන් ඇහුවේ "ඇයි උඹ අකැමතිද කවද හරි දවසක එකට හිටපු යාළුවෙක් ලංකාවේ ජනාධිපති වෙනව දකින්න" කියලයි.

කොහොමින් කොහොම හරි අපි එක්ක ඉස්සරම හිටි මනුස්සයා නෙවෙයි පස්සෙ කාලෙකදි අපිට දකින්න ලැබුණේ. ඉස්සර පාටියකදි හරි වෙනත් තැනකදී හම්බවුණාම අපේ මාතෘකාව වුණේ නිළියෝ, කෙල්ලෝ, එහෙමත් නැත්නම් චිත්‍රපට ගැන. ඒ වුණාට පහු වෙද්දි මේ හාදයා කතා කරන්න ගත්තෙම දේශපාලනය ගැන. අපිත් මුකුත් කියන්න ගියේ නෑ. අහන් ඉන්නවා මිසක්. කිව්වත් වැඩක් නෑ මොකද මෙයා එතකොට තනිකරම දේශපාලන චරිතයක් වෙලා.

මොනම වෙලාවකවත් දෙමළ ප්‍රශ්න, සිංහල මිනිසුන්ගේ ප්‍රශ්න, යූ.ඇන්.පී. ප්‍රශ්න, කියලා බෙදීමක් තිබුණේ නෑ. ඔහු ඔක්කොම දැක්කේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විදියට.

කොහොම වුණත් මගේ මිතුරා ඔහුගේ සින්දු වලට බොහොම කැමැත්තෙන් හිටියා. මට මතක හැටියට මුල්ම කැසට් එක කරේ බුද්ධි කීර්තිසේනයි, බන්දුල පද්මකුමාරයි. මෙයා මහ ලොකුවට සල්ලි හම්බකරෙත් නෑ. සල්ලි හදිස්සියක් වුනොත් පස්සෙ දෙන්නම් මචං කියලා කාගෙන් හරි ඉල්ලගන්නවා.

ඔය අතරේ දවසක් ඔහු අපිට කියනවා ඔහු තාවකාලිකව සිනමාවෙන් සමු ගන්නවාය කියලා. අපි හැමෝටම ඒක ගැටලුවක් වුණා. මගේ මිතුරා තීරණයක් ගත්තොත් ඉතින් ගත්තමයි.. ඒ දවස්වල ‘සරසි‘ පත්තරේ අපි මේ විස්තරේ පොල්ගෙඩි අකුරින් දැම්මා. මහා විනාසයක් වුණේ. ඔය කාලෙ සෙල් ෆෝන් එහෙමත් නෑනෙ. මේ ගැන අහලා ලියුම් මිටි පිටින් අපේ කන්තෝරුවට එන්න පටන් ගත්තා. ඉතින් අපි මේ ගැන ඔහුට කිව්වා. මිනිහටම හිතුණා අපේ කන්තෝරුවට ඇවිත් මේ ලියුම් ගෙනියන්න.

ඒ දවස්වල ඔහුගේ ඔෆිස් එක තිබුණේ කින්සි රෝඩ් එකේ. දවසක් එයාගෙ ඩබල් කැබ් එකෙන් අපි හිටපු තැනට ආවා තනියම. මම ඇහුවා"තනියම එන එක හොඳද" කියලා. ගත් කටටම කිව්වේ " අපිට කොහෙද බොඩිගාඩ්ලා. ජනතාව තමයි අපේ බොඩිගාඩ්ලා අනික කවුද මට බුලට් පාවිච්චි කරන්නෙ..අපි එන්නෙ බැලට් එකෙන්නෙ'. කියල.

හොඳින් මතක තියා ගන්න මේ සිදුවීම වුණේ ඔහුට වෙඩි තියන්න දවස් දෙකකට හෝ තුනකට කලින්. මේ මොහොතේ මම ඔහුට අනන්තවත් කිව්වා පරිස්සමින් කියලා. ඇහුවෙ නෑනෙ.

ඊට දවස් දෙකකට තුනකට පස්සේ ආරංචියක් ආවා වෙඩි තියලා මරල දාලා කියලා. අපිට අදහගන්න බැරි වුණා. මම එතැනට ගියේ කාගේ වාහනයේද කියලවත් මට මතක නෑ. ඔහු විශ්වාස කළා කවදා හරි දවසක මේ රටේ නායකයා වෙන්න පුළුවන් කියලා. ඒත්... අවාසනාවට ඔහු අපට නැති වුණා.

එදා මේ සම්මුඛ සාකච්ඡාවට මා සමඟ සම්බන්ධ වූයේ ප්‍රවීණ පුවත් කලාවේදී අර්නස්ට් වඩුගේ මහතා ය. ඉතින් ලිපියේ මුල සිට අග දක්වා කියවා ගෙන ආ ඔබට මේ ලියැවී ඇත්තේ විජය කුමාරතුංග සම්බන්ධයෙන් බවට කියන්නේ කවරකට ද?

අදහස්