ඒ කට්ට හරිම රහයි | Page 2 | සිළුමිණ

ඒ කට්ට හරිම රහයි

“මට තාම හතළිහයි” සමඟ ඔබ හමවට එන ජූඩ් ශ්‍රීමාල්

ඒ කාලේ නාට්‍ය කරලා ලැබූ තෘප්තිය අද නෑ

ක්‍රිකට්වලට, රගර්වලට තියෙන අනුග්‍රහය නාට්‍යවලට නෑ

දැන් වේදිකා නාට්‍ය අරන් දුවන්න වෙලා

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් කිසියම් කලා කටයුත්තක්, ව්‍යාපාරයක් හරි වෙන ඕනෑම දෙයක් හරි අත් නොහැරම එක දිගටම කරන්නේ වෘත්තීය මට්ටමෙන් හරි ආර්ථික තත්ත්වයෙන් හරි ඉහළට යන්න හැකි නම් පමණයි. ඒත් පාඩු ලබද්දිත්, කට්ට කාගෙන එකම දේක එල්ලිලා ඉන්න නම් කිසියම් උණක් තියෙන්නම ඕනෑ. ජූඩ් ශ්‍රීමාලුත් ඒ වගේ නාට්‍යවල මේතාක් කාලයක් එල්ලිලා හිටියේ නාට්‍ය උණක් තිබුණු නිසයි. මේ වන විට ජූඩ් ශ්‍රීමාල්ගේ නාට්‍ය ජීවිතයට අවු: 40ක්. ඒ නිමිත්තෙන් අගෝස්තු මස 19 වැනිදා ඉඳලා 25 වෙනකල් ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේ නාට්‍ය උලෙළක් සංවිධානය කරලා “මට තාම හතළිහයි” කියලා.

රසඳුන සමඟ එක්වෙමින්, 1970 දශකයේ ඉඳලා අද වන තුරු කලාව තුළ ඔහුගේ යටගියාව ජූඩ් මෙහෙම සිහිපත් කළා.

“ජයන්ත, ශ්‍රියන්ත, කමල් අපි එකම කාලේ රඟපාන්න ආවෙ. පාසල් යන කාලේ. මහාචාර්ය නෝබර් ජේ මයර් අධ්‍යක්ෂණය කළ “අනේ අබ්ලික්” නාට්‍යයේ රඟපෑවා. අපි නාට්‍ය දර්ශන කිහිපයක් කළා, ළමා හා යොවුන් නාට්‍යය ආයතන සමඟ එකමුතුවෙන්. ජයන්තත් මාත් කල්පනා කළා නාට්‍ය සංවිධානය කළ යුතුයි කියලා.

මම කාලයක් චිත්‍ර කතා ඇන්දා. අවුරුදු 10ක් විතර. ඒ චිත්‍රමිත්‍ර පත්තරේට “හිතවතා” කියලා. ඒක උපාලි ප්‍රකාශනයක්. බොරැල්ල සුපර් මාකට් එකේ ඉඳගෙනත් චිත්‍ර ඇන්දා. නාට්‍ය 30ක් විතර අධ්‍යක්ෂණය කළා.

මේ තරම් අමාරු නෑ නාට්‍යයක් ඒ කාලේ සංවිධානය කරන එක. පෝස්ටරයක් ගැහුවාම දින ගානක් තියනවා. අද දවසෙන් දෙකෙන් ඒකට උඩින් තව පෝස්ටර් වදිනවා. ඒ කාලේ හැමදේටම සාහිත්‍යයක් තිබුණා. රසවින්දනයක් තිබුණා. ඒත් අලුත් පරම්පරාව විඳිනවා අඩුයි. විඳවනවා වැඩියි.

ඒ කාලේ වැලිතට්ටුව මත සැකසූ වේදිකාවෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්වුණා. ඒක හරියට මැජික් එකක් වගේ දෙයක්.

අසූව දශකයේ අගභාගයේ භීෂණ කාලෙත් ඔබ නාට්‍ය අත නොහැර හිටියා.

ඒක කට්ටක් තමයි. හැබැයි කට්ට කන්න පුරුදු වුණාමත් රසයි. සමහරු මේක අත්හරින්නේ ලාභ නොලබන නිසා. ඒත් මේකෙන් ලැබෙන මානසික තෘප්තිය වෙන රැකියාවකින් ලබන්න බැහැ. හරියට අම්මා කෙනෙක් දරුවන් බිහිකළාම දැනෙන සතුට වගේ සිතට දැනෙන්නේ. මුලින්ම සොමී රත්නායකගේ “මනස් කෝලං’” වගේ නාට්‍ය සංවිධානය කරද්දි රු. 4000 වගේ වැය වුණේ. අද ලක්ෂ 4ක් තිබුණත් මදි. 70, 80 දශකයෙත් නාට්‍ය දිව්වා. 90, 2000 දශකයෙත් නාට්‍ය දිව්වා. ඒ කාලේ හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. ඒත් දැන් නාට්‍ය අරන් දුවන්න සිදුවෙලා තියෙන්නෙ.

සරත්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය අවු: 25ක් සංවිධානය කළා. මට වාසනාවක් තිබුණා; එදිරිවීර සරත්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, ආර්.ආර්. සමරකෝන් වගේ හොඳ නාට්‍යකරුවන් සමඟ කටයුතු කරන්න. ඒ කාලේ ලැබූ තෘප්තිය අද නැහැ.

ලංකාව දැන් ජාති, ආගම්, කුල වශයෙන් බෙදිලා. නාට්‍යකරුවනුත් බෙදිලා. ඒ කාලේ නාට්‍ය අතර මත ගැටුම් තිබුණාට නාට්‍යකරුවෝ අතර ගැටුම් තිබුණේ නැහැ.

මම හොඳම නාට්‍ය කීපයක් කළා. දර්ශන වාර කීපයයි ඒවා දිව්වෙ. මිනිස්සු අතරට ගියේ නෑ. නාට්‍යකරුවන් තම තම කුලකවලින් ඒ ඒ අයට හැකි අයුරින් තමයි නාට්‍ය පවත්වාගෙන යන්න සිදුවෙලා තියෙන්නේ. ක්‍රිකට්වලට, රගර්වලට තිබෙන අනුග්‍රහය නාට්‍යවලට නැහැ. මට මතකයි 89 භීෂණ කාලේ ජයන්ත චන්ද්‍රසිරිගේ “මෝරා” නාට්‍යය අනුරාධපුරේ පෙන්නලා පහුවදා හම්බන්තොට යන්න ඉද්දි ඇඳිරි නීතිය දැම්මා. කපුගේ අපිව එයාලගේ ගෙදර එක්ක ගියා. එළිවෙනකම් සින්දු කීවා. උදේ හතරට එහෙන් පිටත්වෙලා හම්බන්තොටට යද්දි පාලම්වල මිනී ඔළු ගහලා තියෙනවා අපි දැක්කා. ඒත් අපි නාට්‍ය පෙන්නුවා පරක්කු වෙලා හරි. ‍

නාට්‍ය සංවිධානය වෘත්තියක් වශයෙන් කළ හැකිද?

ඔව්. ඒකට නම් තදබල මොලේ අමාරුවක් තිබිය යුතුයි. වෙනත් දෙයක නියැළෙන ගමන් තමයි මේක කළ යුත්තේ. නැත්නම් ජීවත් වෙන්න විදිහක් නෑනේ. විදේශීය රටවල නම් එකම නාට්‍ය දින ගාණක් පෙන්නනවා. හුඟාක් පහසුකම් තියෙනවා. වෙනත් රටවල රජයට ලැබෙන ආදායමින් කිසියම් මුදලක් සංස්කෘතික කටයුතුවලට කියලා වෙන් කරනවා. මුල් යුගයේ මිනිස්සු නාට්‍ය බැලුවා. ඒත් භීෂණයෙන් පස්සෙ අඩු වුණා. “බල්ලොත් එක්ක බෑ” ප්‍රහසන නාට්‍යය මිනිස්සු අතරට ගියා. නාට්‍යවල ප්‍රේක්ෂකාගාරය දිගටම පවත්වගෙන යන්න නම් මිනිස්සු කැමැති දේ හරි පිළිවෙළකට දිය යුතුයි.

මම දිගටම නාට්‍යය සංවිධානය කළේ ආසාවයි උනන්දුවයි වගේම වෙන කරන්න දෙයක් නැති හින්දයි. ලංකාදීප, සතුට පත්තරේ චිත්‍ර ශිල්පියෙක් ලෙසටත් කටයුතු කරනවා. මම නාට්‍ය සිය ගානක් භාරව කටයුතු කළා. දහස් ගණනක් සංවිධානය කළා. නාට්‍ය 30ක් නිෂ්පාදනය කළා. 2001 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය සංවිධායක වුණේ මමයි.

නාට්‍ය සංවිධායකවරයාගේ කාර්ය භාරය වන්නේ කොළඹ හා පිටපළාත්වල නාට්‍ය පැවැත්වීමට අවශ්‍ය උපස්ථරය සලසා දීම. නාට්‍යවලට දින යොදාගෙන නළු නිළියන් සංවිධානය කරලා ප්‍රවේශපත්‍ර අලෙවිය සංවිධානයකරලා ප්‍රචාරය ලබාදීලා නාට්‍ය ශිල්පීන් ප්‍රවාහනය කරලා නාට්‍ය නිමාවනතුරුම සැම‍ දේම සංවිධානය කළ යුතුයි.

ඒ කාලේ එඩ්වඩ් චන්ද්‍රසිරි, සමන්ප්‍රිය මාරසිංහ, ප්‍රියන්ත, සෝමපාල පතිරගේ නාට්‍ය සංවිධානය කරලා පසුව අතහැරියා. නාට්‍යයේ පැවැත්ම තීරණය වන්නේ ප්‍රේක්ෂක රසඥතාව මතයි.

මිනිස්සු මනාපයි; ප්‍රහසන නාට්‍යවලට. අර්ථයක් ඇති ප්‍රහසනයක් විය යුතුයි. නාට්‍යය විනෝදාත්මක පමණක් නෙමෙයි අධ්‍යාපන මාධ්‍යයක් විය යුතුයි. නාට්‍ය සංවිධානයට උනන්දුව, ආශාව කැපවීම තිබිය යුතුයි.

* වර්තමාන නාට්‍ය කලාවේ අභියෝගය ගැන කතා කළොත්....

සහරාන්ගේ ප්‍රහාරයෙන් වේදිකාවට අතුල් පහරක් එල්ලවුණා. මිනිස්සු අතර භීතියක් උපන්නා. නාට්‍ය හා රංගකලාව විෂයය පාසල් විෂයය ධාරාවට ඇතුළු කර තිබීම පැවැත්මට හයියක්. ඒත් නාට්‍ය තරගවල විනිශ්චය මණ්ඩලවලට පත් කළ යුත්තේ නාට්‍ය ගැන දැනුමක් තියෙන අයයි. වෙන කලා කටයුත්තක් විනිශ්චය කරනවාට වඩා නාට්‍යයේ පසුතල නිර්මාණය, ආලෝකකරණය, අංග රචනය ආදී සෑම අගංයක් ගැනම දැනීමක් ති‍යන අය විනිශ්චය මණ්ඩලවලට යෙදවිය යුතුයි.

නාට්‍ය කලාවෙ අනාගතය ගැන පේන කියන්න බැහැ. රාජ්‍ය නාට්‍ය උලෙළ ළමා නාට්‍ය උලෙළ ජයග්‍රාහකයන්ට ලබාදෙන යකඩ කෑලි වෙනුවට වටිනා දෙයක් දිය යුතුයි.

* පවුලේ තොරතුරු බිඳක්...

බිරිඳ ප්‍රියානි නීලකාන්ති කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ ගුරුවරියක්. දුව සමින්දි අනුත්තරා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු කරනවා. ඇය බැලේ ගුරුවරියක්. පුතා ඉසුරු ශිවන්ත තොරතුරු තාක්ෂණ ආයතනයේ වැඩිදුර අධ්‍යාපනය හදාරලා, බම්බලපිටිය සික්‍රා ආයතනයේ සයිබර් ආරක්ෂණ අංශයේ වැඩ කරනවා.

 

අදහස්