නළුවෙක් වෙනවාමයි කියලා හිතුවේ ‘කුසල්, චිත්‍රපටය නිසා | සිළුමිණ

නළුවෙක් වෙනවාමයි කියලා හිතුවේ ‘කුසල්, චිත්‍රපටය නිසා

ගම්පහින් කලා ලොවට ආ කසුන් මධුෂාන්

කසුන් කියලා කීවහම හුඟ දෙනෙකුට මතක් වෙන්නේ දසුන්ව‍‍. ජනප්‍රියත්වයේ හොඳම කාලේ ජීවන ගමනට සමුදෙන දසුන්ගේ මතකය තාමත් ආදරණීයයි. දසුන් යන්න ගිහින් ටික කාලයක් ගතවෙන කොට ඒ මතකය අලුත් කරන්න කසුන් ඇවිත්. පුදුමේ කියන්නේ මේ දෙන්නාම කලා ලොවට පායා එන්නේ ගම්පහින්. කවදා හරි තමුනුත් දසුන් වාගේ ම ජනප්‍රිය නළුවෙක් වෙනවා... එහෙම සිතුවේ දසුන්ගේ රඟපෑම් දිහා බලන් හිටපු කසුන්.

මේ අතර තමා ‘කුසල්’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ප්‍රචාරණ කටයුතුවල නියැළිලා ඉද්දී තමා මම දැඩි ලෙස හිතට අරගත්තෙ නළුවෙක් වෙලා ඉඳලා තමා මැරෙන්නෙ නම් කියලා. ගෙදරට වෙලා ගොඩාක් කල්පනා කළා. හිතන් උන්නේම විදෙස් රටකට යන්න... හැබැයි මගේ යටි හිතෙන් කියනවා ඇහුණා... ඔයා මේ කලා ලොවේ ගමන යන්නම ඕනා. ඊට පසු දිගටම නිරූපණ කටයුතු සඳහා සහභාගි වුණා. මොඩ්ලර් කෙනෙක් ලෙස ගමනක් යන්න නම් ‍එහෙමට ආසාවක් ඇති වුණේ න‍ෑ. රඟපාන්න ඔයාට පුළුවන් ඉදිරියට එන්න කියලාමයි හිත කීවේ... රෑ - දවල් හීන දැක්කෙම නළුවෙක් වෙන්න නේ...”

කසුන් ටිකක් නිහඬ වුණා. යළි හඬ අවදි කළා.

පාසල් කාලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. රංගනය ලේසි දෙයක් නෙමේ. හැබැයි මතු පිටින් දකින අය කියන්නේ හරිම පහසුයි නේද කියලා. දසුන් අයියාගේ රඟපෑම්වලට වශීවෙලා උන්නේ. අවාසනාවට එයා අපෙන් සමුගත්තා. දසුන්ගේ අඩුව කසුන් පුරවන්න කියලා හැමෝම කීවා. මං දන්නේ නෑ ඒක මට කරන්න පුළුවන් ද කියලා. හැබැයි මං උත්සාහ කරනවා.”

කසුන් තමන් මෙතෙක් සම්බන්ධ වූ නිර්මාණ ගැනත් කතා කළා. මුල්ම රංගනය ‘අමා’ ටෙලිනාට්‍යයේත් ‘අඳුරට ගිය මිනිසුන්’ වේදිකා නාට්‍යයේත් විජය කුවේණී, කෝ මාර්ක් නෝ මාර්ක්, ඇහැළේපොළ කුමාරිහාමි, චිත්‍රපටවලත් සුළු රඟපෑම් කළා. ඒ මදී... හොඳටම මදී... මට දැන් ඕනා ටිකක් දැනෙන චරිතයක් කරන්න. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම්. උසස් සිනමා නිර්මාණයක් නම් මම මාව අමතක කරලා හරි ඕනෑම රඟපෑමක් කරනවා. ඇත්තමයි මට ඕනේ දසුන් අයියා වාගේ කා අතරටත් යන නළුවෙක් වෙන්න. මේ වෙනකොට පිංතූර කතා සඳහාත් මම පෙනී ඉන්නවා.”

පවුලේ අය කැමතිද කසුන් - දසුන් වගේ නළුවෙක් වෙනවාට...

අම්මා නම් කැමැතියි. එයා උදවුත් කරනවා. අයියලා නම් කියන්නේ කරලාම පෙන්නපන්කො කියලා. හැබැයි අවංකව අත හිත දෙන කිහිප දෙනෙකුත් ඉන්නවා. බාධක මැඬගෙන මම මේ ගමන යනවාමයි. දවසක දසුන් අයියා වගේ නළුවෙක් වෙලා ම තමා පස්ස බලන්නේ...”

දසුන්ගේ අඩුව කසුන් පුරවනවා දකින දවස ඉක්මනින් ම උදාවේවා අපි එහෙම ප්‍රාර්ථනා කරනවා ඔන්න කසුන්ට...

“එක දෙයක් අන්තිමට කියන්න දෙන්න. ‘රසඳුනේ’ පළවෙන්නේ මේ මගේ මුල් ම ලිපිය... හදවතින් ම ස්තුතියි ‘රසඳුන’ කට්ටියට... දසුන් වාගේ ජනප්‍රිය නළුවෙක් වෙලා මේ කසුන් එනවා මතු දවසක ‘රසඳුන’ට ස්තුතියි කියලා යන්න...

ලිපිනය - කසුන් මධුෂාන්, 169/4, ගම්පහ-අලුත්ගම, ගම්පහ.

Comments