පුනරුත්ථාපනය වන තරුණ තරුණියන්ට වූල් ගෙතීමේ කලාවනොමිලේ උගන්වන්න කැමැතියි | සිළුමිණ

පුනරුත්ථාපනය වන තරුණ තරුණියන්ට වූල් ගෙතීමේ කලාවනොමිලේ උගන්වන්න කැමැතියි

 දිල්හානි බෝපිටිය

“ලොවෙන් එකෙක් ‍එක් දෙයකට වෙයි සමත” ප්‍රස්ථා පිරුළ සැබෑවක් කරමින් මෙලොව උපන් සෑම, කෙනෙකු ම අපූරු හැකියාවක් උපතින් ම පිහිටලා තිබෙනවා. සමහරුන්ට පැති කීපයකම හැකියාවක් තිබෙනවා. ඇතැමුන්ගේ නිසග හැකියාවන් උරුම වෙන්නේ සංසාර පුරුද්දට‍. ඒ නිසා පුංචි කාලේ ඉඳලාම ඇතැම් අය යම් යම් දේවලට විශේෂ දක්ෂතා දක්වනවා. මේ ලියන්නෙත් ඒ වගේ සුවිශේෂ හැකියාවක් තියෙන කාන්තාවක් ගැන.‍ ඇය රත්නපුර රක්වානේ. නම දිල්හානි බෝපිටිය. ඈ වූල් ගෙතීමේ කලාවේ නිපුණියක්. රත්නපුර කජුගහවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ 8, 9 වසරවලදී තමයි මුලින් ම දිල්හානි මේ අංශයට යොමු වුණේ. ඇගේ නැන්දා කෙනෙක් වූල් ගොතනවා දැකලා ඈට ආස හිතුණා. නැන්දා දිල්හානිට වූල් ගොතන්න ඉගැන්නුවේ ඇය නැන්දට බේරෙන්න බැරි තරමට කරදර කරපු හින්දයි. වූල් ගෙතීමේ කලාව දවසෙන් දෙකෙන් අල්ලා ගන්න දිල්හානි සමත් වුණා. වූල් ගොතන්න ඕනෑ කීවාම ඇගේ තාත්තා ඇයට එක නූල් බෝලයයි ගෙනත් දීලා තිබුණේ. මේ එකම නූල් බෝලේ ඇය කී වාරයක් ගෙතුව ද? ලිහුවද?

ඒත් ඇය හුඟාක් දේ ඉගෙන ගත්තා; අත්හදා බලමින්. එහෙම ඉගෙන ගෙන ටික ටික ඇය විවිධ නිර්මාණ කළා. උසස් පෙළට කලා අංශය තෝර ගත්තත්, අතරමගදී ඇය ගල්කිස්ස බ්‍රිටිෂ් කොස්මැටික් ආයතනයේ රැකියාවකට ගියා. ඒ අතරත් ඇය වූල් ගෙතීමේ කලාව අමතක කළේ නැහැ. ඔය අතරේ එනම් වසර 2015 දිල්හානි රැකියාවක් සඳහා ඉතාලියට යනවා. එහිදී ඇයට ලැබුණ පොඩි විවේක කාලෙ වුණත් ඇය මුළුමනින් ම යෙදෙව්වෙ වූල් ගොතන්න. කෙටි කලකට නැවැතත් ලංකාවට පැමිණි දිල්හානි ‘රසඳුන’ සමඟ මෙසේ දොඩමළු වූවා ය.

“ඉතාලියේ මම වැඩ කළේ කැෆේ එකක. ලැබෙන කුඩා විවේකයේදී වුණත් මම වූල් ගොතනවා. වූල්වලින් විවිධ නිර්මාණ කරනවා. එහෙදි මම වූල්වලින් විවිධ නිර්මාණ කරලා අලෙවි කරලා හොඳ ආදායමක් ලැබුවා. එහෙ හොඳ වර්ගයේ මෙන් ම මිල අධික වූල් වර්ග තියෙනවා. රෑට නිදාගන්න ගිහාම නිදිමත එනකල්ම මම ගොතනවා. වුල්වලින් නිපදවන ඇඳුම් පැලඳුම්වලට එහෙ හොඳ ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන් සීත කාලෙට මැෂින්වලින් ගොතන වූල් ඇඳුම්වලට වඩා අතින් නිම කරපු වූල් නිෂ්පාදන හුඟාක් දුර්ලභ නිසා විශාල ඉල්ලුමක් තියනවා.

වූල් ගෙතීම හරිම ඉවසීමෙන් ශික්ෂණයෙන් යුතුව කළ යුතු දෙයක්. හරියට භාවනාවක් වගේ. විනෝදාංශයකට එහා ගිය ආදායම් මාර්ගයක් වශයෙන් වැඩි දියුණු කරගන්න හැකි ශිල්පයක්. ඇත්තටම මම කැමැතියි සමාජයේ බොහෝ අයට මේ කලාව නොමිලයේ උගන්වන්න. ගෘහණියන්ට, ආබාධිත අයට, බන්ධනාගාර රැඳවියන්ට, පාසල් හැරගිය අයට ස්වයං රැකියාවක් වශයෙන් මෙම ශිල්පය ප්‍රගුණ කළොත් වටිනවා. ඉස්සර කාලේ ලංකාවේ තිබුණු රේන්ද වූල් ගෙතීමේ කලාව අද හුඟාක් සමාජයෙන් දුරස්වෙලා. මම වෘත්තීය පුහුණු අධිකාරියෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි නැවත මේ කලාව ගේන්න කියලා.

ඇත්තටම වූල් ගෙතීමේ කලාව ආශ්‍රයෙන් කළ හැකි නිර්මාණ බොහෝමයි. අසීමාන්තිකයි. ඇත්තටම මේ වූල්වලින් කරන නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපළක් දේශීය විදේශීය වශයෙන් තියනවා. මම කැමැතියි මෙම නිෂ්පාදන මිලට ගන්නත්. සමහර නිර්මාණ කරන්න පිරිසක් ඉන්නව නම් හරි පහසුයි. තනි කෙනෙකුට බොහෝ කාලයක් ගතවෙනවා. ඇතැම් මවුවරුන් දරුවන් පාසලට ඇරලවලා පාසල ඇරෙන තුරු නිරපරාදේ ගත කරන කාලය මේ වගේ දෙයකට යොමුකරන්න හැකි නම් වටිනවා. වයස් භේදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ භේදයකුත් නැහැ. මට පුළුවනි දින 10 ක් මාසයක් තුළ සම්පූර්ණ දැනුමක් ලබාදෙන්න. උනන්දුව තියනවා නම් ඉගෙන ගන්න පුළුවන්.

වූල් ගෙතීමේ කලාවේදී අමුද්‍රව්‍යවලටත් වඩා හුඟාක් කාලය තමයි වැය වෙන්නේ. ඒ වැයවන කාලයට හා ඒ, ඒ නිර්මාණවලට තමයි මිල තීරණය වෙන්නේ. එක දිගටම සාරි ජැකට් එකක් ගෙතුවොත් පැය 15 කාලයක් ගත වෙනවා. වුල්වලින් අසීමාන්තික නිර්මාණ රැසක් කරන්න පුළුවන්. ලංකාවෙ හොඳ වූල් වර්ග නැතිකම අපට තිබෙන ප්‍රශ්නයක්. සිල්ක් නූල තමයි වැඩිපුර තියෙන්නේ. ඒත් ලංකාව වගේ දේශගුණයකට ගැළපෙන්නේ කොට්න් නුල්. චීනයේ තමයි හොඳම වූල් තියෙන්නේ. ඉපදුනු දවසේ සිට ඕනෑම වයසක අයට වූල්වලින් ඇඳුම් සැකසිය හැකියි. සීතලට ඔරොත්තු දෙන තොප්පි, ස්කාෆ් ළමුන් ඔතාගෙන යන උණුසුම් රඳවන සිඟිති ඇඳුම්, ඇඳ ඇතිරිලි, සිඟිති සපත්තු මේස්, ගවුම් - සාරි හැට්ට, මේස රෙදි බෙඩ්ෂීට්, කුෂන් කවර, කොණ්ඩ කටු, කීටැග්, බෑග්, කර්ටන් බිත්ති සැරසිලි, බුමුතුරුණු, කාපට්, හෝටල් අලංකාර කරන දේවල් මෙකී නොකී බොහෝමයක් දේවල් වූල් වලින් ගොතා අපූරුවට නිර්මාණය කළ හැකියි.

කෙනෙකුට ලස්සනට ජීවත් වෙන්න නිර්මාණශීලී හැකියාව තිබිය යුතුයි. වූල් ගෙතීමේ කලාව ප්‍රගුණ කිරීමටත් මේ නිර්මාණශීලී හැකියාව අවශ්‍යයි. ඒ වගේ ම හොඳ නිර්මාණයක් රු. 5000 සිට ලක්ෂය දක්වා මෙන් ම ඊටත් වඩා වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන්.

බීරලු කලාව ගැන, රේන්ද කලාව ගැන මටත් වඩා නිර්මාණශීලී අය සිටිය හැකියි. එවන් අයත් මා සමඟ එකතු වුණොත් බීරලු ගෙතීමේ කලාව ශ්‍රී ලංකාවේ නව මානයකට රැගෙන යා හැකියි. රජයෙන් වුණත් මීට වඩා අනුග්‍රහයක් මේ දේශීය, එහෙත් නව නිර්මාණාත්මක කලාවට ලබාගත හැකියි. මම කැමැතියි සමාජයේ විවිධ තලවල පිරිස් මා හා එක්වෙනව නම්.” ස්වේච්ඡාවෙන් ම තම දැනුම නොමිලයේ ලබාදීමට දිල්හානි කැමතියි.

076 – 1858883 දිල්හානිගෙ දුරකතන අංකයට අමතා ඇයත් සමඟ එක්වන්නට නිර්මාණශීලී ඔබටත් ආරාධනා!

සේයාරුව - ටෙනිසන් එදිරිසංහ

අදහස්