බොදු ගී සංයුක්ත තැටි දහසක් නොමිලේ | සිළුමිණ

බොදු ගී සංයුක්ත තැටි දහසක් නොමිලේ

ගුවන් විදුලි ශාස්ත්‍රීය වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කළ කථිකාචාර්ය ඇල්බට් පෙරේරා සමරසූරිය කලාකරුවාගේ 81 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ආමිස පුජාවක් වශයෙන් බෞද්ධ ගීත 12ක් ඇතුළත් සංයුක්ත තැටි 1000ක් ගම්පහ සුමේධ විද්‍යාලයේ මේ මස 18 වැනිදා සවස 5.00 පැවැත්වෙන බොදු ගී ගායනා වැඩසටහනට සමගාමීව නොමිලේ බෙදාදීමට කටයුතු යොදලා තියනවා.

ඇල්බට් සමරසූරියන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් තමයි ඒ කාලේ රැකියාව කළේ. කලාවට ඇති හැකියාව නිසා අමරදේවයන්ට පසුව ගුවන්විදුලියේ රස බින්දු ශාස්ත්‍රීය වැඩසටහන අධ්‍යක්ෂණය කළා. රූපවාහිනියේ සමනල නළුව, ජන ගී සළුව බෞද්ධ නාට්‍ය එකතුවක් ඔහුගේ නිර්මාණයක්. ඒ 1980 දශකයේ. ඔහු රැකියාවට ආයුබෝවන් කීවේ මීරිගම හාපිටිගම අධ්‍යාපන විද්‍යාපීඨයේ - කථිකාචාර්යවරයෙක් වශයෙන් සිටියදීයි.

එක්දහස් නවසිය හැන්තෑ ගණන්වල ඉඳලා බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ය‍ටතේ සමස්ත ලංකා තරගවල භක්ති ගීත තේරුම් මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් ඔහු කටයුතු කළා. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සිදු වුණේ එතැනින්. මේ ඔහුගේ හඬයි.

“ඒ කාලේ බෞද්ධ දහම් පාසල් භක්ති ගීත ගැයුවේ පල්ලියේ ඇහෙන නාදමාලා සමඟයි. බෞද්ධ භාෂා බෞද්ධ හඬවල් එහි තිබුණේ නැහැ. මම තීරණයක් අරන් අධ්‍යක්ෂතුමාට කීවා. මින් පසු මම තරග විනිශ්චයට එන්නෙ නෑ කියලා. ඉන්පස්සේ මම ගම්පහ ඌරූවල ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ (සභාවේ පන්සල) ගුරුවරයෙක් ලෙස කටයුතු කරමින් දහම් පාසල් ළමුන්ට බොදු ගායනා පුහුණු කළා. 1970 ගණන්වල ගම්පහ දිස්ත්‍රික්කය වසර 5පමණ එක දිගට සමස්ත ලංකා බොදු බැති ගීවලින් පළමු තැන ලැබුවා. 1982 පසුව එක දිගටම දහම් පාසල් බොදු බැති ගී ප්‍රථම ස්ථාන දිනීමටත් හැකි වුණා.

“2015 වසරේ වෙසක් භක්ති ගී තරගයේ සමස්ත ලංකා පළමු තැන ලැබුණේ මගේ පද රචනයකට. (යාගොඩ විහාරස්ථානයේ සිසුන් ඉදිරිපත් කළ) ගිය වසරේ මට අවුරුදු 80 ක් පිරීම නිමිත්තෙන් මගේ පැරණි භක්ති ගීත 12ක් සංයුත්ත තැටියක් ලෙස නොමිලේ බෙදා දුන්නා ගම්පහ පහළගම විද්‍යාරවින්ද විද්‍යාලයේදී. ඒ වගේ මේ වසරෙදීත් මට අවුරුදු 81ක් පිරීම නිමිත්තෙන් බොදු ගී සංයුත්ත තැටි 1000ක් නොමිලේ බෙදාදෙනවා. අගෝස්තු 18 දින සවස 5.00 මෙම උත්සවය තියෙන්නෙ ගම්පහ සුමේධ විද්‍යාලයේදි. මෙම සංයුත්ත තැටියට වසර 50කට වඩා පැරණි මා ලියූ ගීතත් ඇතුළත්. එදාට පැවැත්වෙන බැති ගීත සංදර්ශනයේදී මා ගීත 7ක් පමණ ගායනා කරනවා.

දහම් පාසල්වලට මම ආරාධනා කරලා තියනවා. එදාට එන්න කියලා ඔබ සැමටත් ආරාධනා කරනවා. මගේ උපන් දිනයට සමගාමීව ආමිස පුජාවක් වශයෙන් තමයි මෙම පින්කම කරන්නේ. එක්තරා තරග විනිශ්චයකදී ඩෝල්ටන් අල්විස් මහතාගේ ඇගයුමට පාත්‍ර වූ මහාමායා මවු කුසින් බිහි වී බෝසත් කුමරා ගීතයත් මීට අයත්”.

“සම්බුදු රන් පියුමේ විහිදෙන පින් සුව‍‍ඳේ , මහාමායා මවුකුසින් බිහිවී, සසර සැරිසරා පෙරුම් දම් පුරා, මේ ඝෝර සංසාරේ, බුදු සමිඳුනි වඩිනු මැනවි, දහම් පවස නිවනු මැනවි, ලෝක පුජිත සමිඳු වන්දිත, අජරාමර ශාක්‍යසිංහ මහමුනි කරුණා නිධාන, ලලිත කලා කෙත, වෙනත් ‍ෙලාවේ නැත, සම්මා සම්බුදු පියාණෙනී, මිහිකත නාවන සඳරැස් දහරේ, සඳ තරු වැල් වසා සිටින රන් කොත් මුදුනේ, මෙත් සිලෙයි නෙත් උලෙළයි මිහින්තලාවේ, ආදී ගීත මෙම සංයුක්ත තැටියට ඇතුළත්.,,

සමරසූරිය මහතාගේ දියණියන් දෙදෙනාම කලාවට සම්බන්ධයි. ලොකු දුව කථක් නිපුන් මෝක්ෂා සමරසූරිය, ඉන්දියානු කථක් නර්ථන සම්ප්‍රදාය ප්‍රගුණ කළා. බාලදුව කථක් නර්තන විශාරද උමේෂා සමරසූරිය. මේ දෙදෙනා ගම්පහ ලෙලුම කලායතනය නමින් රජය අනුමත අධි ශ්‍රේණි කලායතනයක් පවත්වාගෙන යනවා. එය ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත සංගීත විද්‍යාපීඨයක් ලෙස පවත්වාගෙන යෑම විශේෂත්වයක්. ඔහුගේ බිරිය දිවාකාන්තිත් මේ කටයුතුවලට දායක වෙනවා.

දහම් දැනුම ලබා දෙමින් අනාගත පරපුර සු‍පෝෂණයට දායක වන ඇල්බට් සමරසූරිය කලාකරුවාට නිදුක් නීරෝගි සුවය හා දිගාසිරි පතන්නටත් අපි අමතක නොකළෙමු.

අදහස්