ශ්‍රාවක ප්‍රසාදය මැද ගුවනේ දිග හැරෙනා මුවන්පැලැස්ස | සිළුමිණ

ශ්‍රාවක ප්‍රසාදය මැද ගුවනේ දිග හැරෙනා මුවන්පැලැස්ස

ඔබ ආදරය කළ ආරච්චිලා මැණිකෙලා, වෙද මාමා යළි කරළියට...

ප්‍රවීණ නළු නිළියන් පිරිවරාගෙන දෙසවන් අමන්දානන්දයෙන් පිරී ඉතිරී ගිය අතීත මතකය නැවැත විඳින්නට උදාවන ඒ මිහිරිතම අඩහෝරාව ගුවන් විදුලියෙ වෙළෙඳ සේවයෙන් සඳුදා රාත්‍රි 8.30 ට...

හැත්තෑව දශකය කියන්නේ මේ දශකයන් වාගේ නෙමේ... බොහෝම සරල... චාම්... ජීවිත ගත කරපු හරිම අහිංසක... හරිම ආදරණීය මිනිසුන් ජීවත් වූ කාලයකට... ගමේකමට මුල්තැන දුන්... අපේකමත් සමඟ බැඳුණු... කිසිවකුට කරදරයක් නොවන ලෙස දෑතේ හයියෙන් ජීවිකාව ගෙන ගිය හරි අපූරු කාල වකවානුවක් තමා ඒ...

එදා අද වාගේ ජීවන අරගලවලට මිනිසුන් මුහුණ දුන්නේ නෑ. එකා පිට එකා පාගා හැල්මේ දිව්වේ නෑ. සීමිත ආශාවන් ටිකක් සමඟ නිස්කලංක ජීවිත තමා එදා ගත කළේ. විශේෂයෙන් ගැමි සුන්දරත්වය කියන දේ හරි ඉහළින් ම තිබුණා. ඇළේ... දොළේ... බැද්දෙ ලන්දේ තමා ඔවුන්ගේ ජීවිකාවන් ගත වූයේ. ඉතිං අද වාගේ රසාස්වාදය ‍උදෙසා රූපවාහිනි නාළිකා... F.M. නාළිකා සිනමා නිර්මාණ... පොර බැදිල්ලක් එදා තිබුණේ නෑ. ඒවා පසුපස හඹා ගියේත් නෑ. ගමේ කෝලං මඩුවේ තමා වේදිකා‍ නාට්‍යයක් හරි රස වින්දේ. ඒවාත් අද බිහිවන විගඩම් වාගේ නෙමේ. ඒ යුගයේ මිනිසුන් වැඩිපුර ම එදා දෙසවන් යොමු කළේ රේඩියෝ එකට. හැබැයි සෑම නිවෙසකමත් රේඩියෝ නෑ. එහෙමත් තැනක තමා තිබුණේ. ඉතිං ඉර මළ බැහැගෙන යද්දී ලොකු - කුඩා කොයි කවුරුත් රේඩියෝ එකක් තිබෙන එකම තැනකට එකතුවෙන පුරුද්දක් එදා තිබුණා. මොකද එදවස විකාශනය වූ එක්තරා අපූරු ගුවන් විදුලි කතාවකට මිනිසුන් උන්නේ වශී වෙලා.

ගොම්මන වැටෙන කොට සියලු වැඩපළ අහවර කරන ගැමියන් මේ ආනන්දනීය වින්දනය රස විදිය හැකි කතා මාලාව හා හරි ආදරයෙන් එකතු වෙනවා. තවත් අටුවාටිකා කුමටද... එ...නම් ‘මුවන්පැලැස්ස’ ම නම් විය. ඔව්... හැත්තෑව දශකයේ මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන් හට ජීවිතය විඳින්න ඉඩ සලසා දුන් මුවන්පැලැස්ස... යුගයෙන් යුගයට රසික සිත් සතන් සුවපත් කළා. අදටත් මුවන්පැලැස්සේ ආරච්චිට... මැණිකෙට... වෙද මාමාට... පිනාට... කැකුළිට ආදරය කරන පිරිස මෙතෙකැයි කියන්න බෑ. එදා මුලින් ම මේ අප‍ුරු කතාව රචනා කළේ මුදලිනායක සෝමරත්න. ඊට පසු වික්ටර් මිගෙල්...

අද වෙද්දී මුවන්පැලැස්ස නව පිටපතකින් රචනා කරන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරි මහතායි.

ඇත්තටම අද කාලේ මිනිසුන්ගෙන් රසාස්වාදය කියන දේ ගිලිහී ගිහිල්ලා. මොකද තාක්ෂණය මිනිස් මනස අවුල් ජංජාලාවක් බවට පත් කරලා. අපේ නිර්මාණ පහළටම ඇද දාලා. ඒ වෙනුවට විදේශ නිර්මාණවලට මුල් තැන දීලා. හරිම කනගාටුයි. අද හැදෙන පරම්පරාව එදා අපි වින්ද රසය විඳින්න දන්නේ නෑ. ගහට කොළට... ඇළට... දොළට... කඩමංඩියට... කොටින් ම ගැමිකමට ළං වෙන්න... ආදරය කරන්න දන්නේ නෑ. ඒකයි මේ තරමටම සමාජයේ වෛරය... ක්‍රෝධය... මානය... අසමගිය පැතිරෙන්නේ. “මුවන්පැලැස්ස එදා සිට අපි පුදුමාකාර ආසාවකින් රස වින්ද කතාවක්... සියලු ම වැඩ අහවර කරලා අපි මුවන්පැලැස්ස රස විඳින්න සූදානම් වූයේ... ජීවිතේ බොහෝ කර්කෂක දේ මුවන්පැලැස්ස රස විඳීම තුළින් පහව ගියා... අදටත් මුවන්පැලැස්ස ගුවන් විදුලි වෙළෙඳ සේවයෙන් අපි රස විඳිනවා. හරියට හැත්තෑව දශකයට ගියා වාගේ. පුදුම වින්දනයක් ලබන්නේ...” මුවන්පැලැස්සේ මුල් ම රසිකාවක් කීවේ එහෙම. ඇත්තමයි ඒ තුළ ජීවිතය කොතෙක් නම් තිබුණ ද කියලා දැන් හොඳටම හැ‍ඟෙනවා. “අද කතාව ඉවර වෙලා හෙට කතාව අහන කල් අපි උන්නේ නොයිවසිල්ලෙන්... ආරච්චි... මැණිකේ... උටියා... සපුමල්... කැකුළි... අපේ හද අරක්ගෙන උන්නේ, ඒ මුවන්පැලැස්සට ආදරය කරන තවත් ළබැඳියකගේ අදහස්.

ඇත්තටම මෙහෙම බලද්දී මුවන්පැලැස්ස මේ ‍රටේ හදවත්වලට මොනතරම් නම් ළං වෙලා ද කියලා හිතෙනවා. මා සමඟ කතා කළා; මුවන්පැලැස්ස දැන් දිග හැරෙන කතා මාලාවේ කැකුළි ගේ චරිතයට ජීවය දෙන ආදරණීය කලාකාරිය... ඇය විවිධ හැකියාවන් ඔස්සේ කලා කෙත පෝෂණය කරන්නියක්... විටෙක රංගන ශිල්පිනියක්... විටෙක නිවේදිකාවක්... තව විටෙක ගී පද රචිකාවක්... හඬ කවන්නියක්... ජන සිත් වැලඳ ගත් ප්‍රවීණ... ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක්... මංජුලා මල්කාන්ති...

මේ ඇගේ අදහස්...

“එදා මම මුවන්පැලැස්සේ රසිකාවක්... හඬ කැවීම් සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්න ඉඩ ලැබුණා. මුලින් ම මම බයෙන් උන්නේ. ප්‍රවීණයින් හා සිටියදී. හඬ පරීක්ෂණයෙන් තේරිලා ඔවුන් හා වැඩ කරද්දී බොහෝ දේවල් ඉගෙන ගන්න මට ලැබුණා. ප්‍රවීණයින් හඬ හසුරුවන අයුරු මම බලන් උන්නා... මම සතුටු වෙනවා මේ රටේ වැඩිම ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කළ මුවන්පැලැස්සේ ප්‍රධාන චරිතයකට හඬ පණ පොවන්න ලැබීම ගැන. දැන් කැකුළි ලොකු ළමයෙක්. ඒ චරිතයටයි මම පණ පොවන්නේ.‍,,

ඇය කියන්නේ ලොකු සතුටකින්. ඒ වාගේමයි මුවන්පැලැස්සේ ප්‍රධාන භූමිකාවලට පණ පොවන්නෙ මෙරට සිටින ප්‍රවීණ කලාකරුවන්. අදටත් ආරච්චිගේ චරිතය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ පණ පොවන අතර මැණිකේ වන්නේ ශීලා පරණමානගේ ය. වෙඩික්කාරයා ලෙස විශිෂ්ට රංගන ශිල්පී පාලිත සිල්වා හඬ කවන අතර වෙද මාමා ලෙස උලපනේ ගුණසේකරත් පිනා ලෙස සෝමසිරි චන්ද්‍රසේන, උටියා ලෙස දුෂාන්ත දර්ශන, කැකුළි ලෙස මංජුලා මල්කාන්ති, සපුමලී ලෙස රෝහණ සිරිවර්ධන ඒ අපූරු හඬ මුසුකරනවා.

සෙසු චරිතවල ගයත්‍රී - බණ්ධරී ලෙසත් ප්‍රහාශ්‍රී යසෝමා ලෙසත් ප්‍රදීපා නේරංජී ගගුලී ලෙසත් සුමනසිරි පොඩි රාල ලෙසත් මුවන්පැලැස්සට සම්බන්ධ වෙනවා. මෙහි නිෂ්පාදක උපුල් චන්දන, නාද තුලනය - සඳරුවන් ලියනගේ වෙන අතර සම්බන්ධීකරණය කරන්නේ රෝහණ සිරිවර්ධනයි.

ඉතිං ගැමි සුවඳ දසත විහිදෙන ගම්මානයේ අපේ ම කතාව මුවන්පැලැස්ස ඔබට රස විඳිය හැක්කේ ගුවන් විදුලි වෙළෙඳ සේවයෙන් සඳුදා රාත්‍රි 8.30 ටයි. මුවන්පැලැස්ස තවත් දශක ගණනාවක් ශ්‍රාවක සිත් සතන් සුවපත් කරන බව නම් නොඅනුමානයි.

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

අදහස්