අන්දරවැවෙන් හෙළි වන පුරාණ ලාංකිකයාගේ පරිණත ලෝහ තාක්ෂණය | සිළුමිණ

අන්දරවැවෙන් හෙළි වන පුරාණ ලාංකිකයාගේ පරිණත ලෝහ තාක්ෂණය

අන්දරවැව හා තදාශ්‍රිත කලාපය තුළපුර්ව ‍ෙඑතිහාසික අවධි‍ෙය් ලෝහ භාවිතය පිළිබඳ විමසුමකි

මහාචාර්ය ඩී. තුසිත මැන්දිස්

අධ්‍යයනාංශ ප්‍රධාන, පුරාවිද්‍යා හා

උරුම කළමනාකරණ අධ්‍යයනාංශය,

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ, අනුරාධපුර තදාශ්‍රිත ප්‍රදේශ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල

ගල්ගමුව අන්දරවැව මෙගලිතික සුසානය ආශ්‍රිත කැණීම්වලින් හමුවන භෞතික සංස්කෘතික තොරතුරු අතර ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ තොරතුරු වාර්තා වීම කැපී පෙනේ. ඒ අතර යකඩවලින් නිර්මාණය කරන ලද තල දෙකක් ( Iron chisels) වාර්තා වී තිබේ. තවද සුසානයට තදාශ්‍රිත කලාපයේ ස්ථාන කිහිපයකින් ලෝහ බොර (Slag) විශාල වශයෙන් වාර්තා වී ඇත.

එම භෞතික සංස්කෘතික තොරතුරුවල තත්ත්වය වඩා නිවැරදි කරගනු වස් ඇතුළුපුර කාලනීර්ණ වෙත අවධානය යොමු කිරීමේ දී AG 69 ගෙඩිගේ කැණීමේ 3 A ස්ථරයෙන් තඹ බොර (Copper Slag) ඇණ (Nail), පිහිතල (Knife blade) ආදිය හමු වීම (Deraniyagala 1972 : 145-152) අනුව එම පළත් දෙකක සමකාලීන යුගයේ දී ලෝහ භාවිතය ආරම්භ වන්නට ඇති බව උපකල්පනය කළ හැකිය.

ලංකාවේ ලෝහ කර්මාන්තය සම්බන්ධයෙන් වඩා පුළුල් ලෙස සලකා බැලීමේ දී අර්ධද්වීපික ඉන්දීය මෙගලතික සමූහයන් සමඟ සම්බන්ධතා තිබෙන බව සිරාන් දැරණියගල හා සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී ඇත (Deraniyagala 1972 :155 ; Seneviratne 1984 : 272). ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියේ භාවිත කර තිබෙන ලෝහ සම්පත් අතර හෙමටයිට් (Fe2O3) Hematite හා ලිමොනයිට් (Fe2O3H2O) Limonite මෙන්ම මැග්නයිට් (Fe3O4) Magnetite ප්‍රධාන ලෝහ අමුද්‍රව්‍ය වේ (Seneviratne 1992:03). එම අමුද්‍රව්‍ය අතර හෙමටයිට් හා ලිමොනයිට් ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ හා වයඹ පළාතේ දී පොළොව මතුපිටින් හඳුනාගත හැකි බව පර්යේෂණවල දී තහවුරු වී තිබේ (Seneviratne 1984 : 272).

ක්‍රි.පූ. 1000 - 800 අතර කාලයේ විශේෂයෙන් අර්ධද්වීපික ඉන්දියාවෙන් හඳුන්වාදුන් තාක්ෂණික මාධ්‍යයක් වූ ලෝහ තාක්ෂණය උතුරුමැද හා වයඹ පළාතේ, අනුරාධපුර ඇතුළුපුර, යාන්ඔය නිම්නය, ඉබ්බන්කටුව, අන්දරවැව, පිංවැව ගල්සොහොන් කනත්ත, පොල්පිතිගම ආදී ප්‍රදේශවල පරිහරණය වූ බව මේ වන විට හඳුනාගෙන ඇත (Seneviratne 1984 : 273 ; 1995 : 19).

වඩා පුළුල් ලෙස ගත් කල ශ්‍රී ලංකාව පුරාම පූර්ව ඓතිහාසික අවධිය තුළ දී ලෝහ පරිහරණය ඉතා ශීඝ්‍ර ලෙස සිදු වී තිබේ. අනුරාධපුර ඇතුළුපුරයේ මෙන්ම ඉන් පර්යන්ත ප්‍රදේශ තුළ ද ලෝහ සම්පත් පරිහරණය වූ බවට හඳුනාගෙන ඇති සාධක අනුව කේන්ද්‍රීය ප්‍රදේශය ලෙස ඇතුළුපුරයේ පැවති තත්ත්වයන්ට යම් ගාමක බලයක් ඉන් පරිබාහිරව පැවති පර්යන්ත ප්‍රදේශවල ස්ථානගත වූ පූර්ව ඓතිහාසික ස්ථාන ආශ්‍රිත කාර්මික ස්ථානවලින් ලැබෙන්නට ඇති බව අන්දරවැව, පොල්පිතිගම හා පිංවැව ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවන සාධකවලින් ද පැහැදිලි වේ.

ක්‍රි.පූ 500 - 600 කාලය වන විට ගල්ගමුව අන්දරවැව ප්‍රදේශය හා එහි තදාශ්‍රිත කලාපය හා බද්ධව තිබූ තාක්ෂණ ශිල්පය (Technology), යැපුම් රටාව (Subsistence) හා සම්පත් පරිහරණය (Resources Used) යන කාරණාවල කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබූ බව දැනට සිදු කර තිබෙන පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ප්‍රාථමික යකඩ යුගය තුළ තාක්ෂණික වශයෙන් ලෝහ තාක්ෂණයේ කැපීපෙනෙන වර්ධනයක් එම කාලවකවානුවේ දී හඳුනාගත හැකි ය. එම තත්ත්වය ඉන්දීය ප්‍රාථමික යකඩ යුගය තුළ ද පොදු කරුණක් වී තිබේ. ශ්‍රී ලංකාවේ මේ අවධියට සම්බන්ධව භාවිත කර ඇති ලෝහ උපකරණ මඟින් ලෝහ තාක්ෂණයේ වර්ධනය හඳුනාගෙන තිබේ. (Begley 1981:77-78 ., Dearaniyagala 1972 : 152., Seneviratne 1984 : 272). හැඩගැසෙමින් පවතින සමාජ ලෝහ තාක්ෂණය උපයෝගී කරගනු ලබන්නේ සමාජ (Social), ආර්ථික (Economy), දේශපාලන (Political), සංස්කෘතික (Culture) තත්ත්ව අනුව විය හැකි ය. විශේෂයෙන් ලෝහ මෙවලම් අනෙකුත් මෙවලම් වර්ගවලට වඩා ශක්තිමත්, දැඩි තියුණු හා කැපීම්වලට ඔරොත්තු දෙන මෙවලම් වර්ගයකි (Seneviratne 1995:13).

ප්‍රාථමික යකඩ යුගයේ සංස්කෘතියට අවතීර්ණ වන අන්දරවැව ප්‍රදේශයේ ජීවත් වූ මිනිසා ක්‍රමානුකූලව ලෝහ තාක්ෂණයේ දියුණුව කරා ළඟා වීම ක්‍රි.පූ 600-500 කාලය අතර සිදු වූ බව සුසානය ආසන්නයෙන් හමු වූ ලෝහ උණු කිරීමට භාවිත කර තිබෙන විශාල ප්‍රමාණයක් ලෝහ බොර (Slag) අන්දරවැව තදාශ්‍රිත ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින් ලැබෙන බැවින් ඒ බව තහවුරු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික යකඩ යුගය ලෝහ තාක්ෂණයේ සමාරම්භක අවධිය වශයෙන් හඳුනාගත හැකි වුව ද (Seneviratne 1995:134-136., uekaÈia 2000 : 26) ක්‍රි .පූ 1000 න් පසු ශ්‍රී ලංකාවට ඇතුළු වූ ලෝහ තාක්ෂණය ඉතා කෙටි කලකින් මුළු දිවයින පුරා පැතිර කඩිනම් සංවර්ධනයක් තාක්ෂණයේ හෝ එය පරිහරණය කරන ලද සමාජ ව්‍යුහයේ ඇති නොකළේය. (Seneviratne 1984(14). තාක්ෂණයේ එවැනි රේඛීය වර්ධනයක් දැකිය නොහැකිය. එහි ගුණාත්මක බව හා ප්‍රාමාණික වර්ධනය තක්සේරු කළ යුත්තේ ඒ ආශ්‍රිත සම්පත් පරිහරණයේ උපයෝගීතාව මත හා ලෝහ මෙවලම්වලට ඇති වන ඉල්ලුමේ උපයෝගීතාව මතය. (එම).

ලෝහ භාණ්ඩයක් පරිහරණයේ දී ඇති වන ඉල්ලුමට අවශ්‍ය බිහි කිරීම සඳහා සමාජ ව්‍යුහයන් ලබා ඇති සාපේක්ෂ වර්ධනය, අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට නිමි භාණ්ඩය දක්වා වූ නිෂ්පාදන ව්‍යවසාය පරාසයයක් තුළ රඳා පවතී (එම). ඒ අනුව ශ්‍රී ලංකාවට ක්‍රි.පූ. 1000 දී හඳුන්වාදුන් ලෝහ තාක්ෂණය හා එහි ක්‍රම විධි වඩා සුවිශේෂ අන්දමකට කළ එළි බසිනු ලබන්නේ තවත් ශතවර්ෂ දෙකක් හෝ තුනක් ගත වීමෙන් පසුව බව පෙනේ (එම).

ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක මෙන් ම බහුල වශයෙන් වැඩි උපයෝගීතාවක් ආරම්භ වන කාලය ක්‍රි.පූ. 700න් පසුව ඇති වන බව අනුරාධපුරය හා පොම්පරිප්පුවලින් හමු වී ඇති ලෝහ පරිහරණය සම්බන්ධ සාධක මැනවින් තහවුරු කරයි. (Seneviratne 1984:272 ; Dearaniyagala 1992: 710). ඒ බව වැඩිදුරටත් තහවුරු වන්නේ අන්දරවැව මෙගලිතික සුසානයෙන් හමුවන ඉතා උසස් මට්මේ යකඩ තල අනුවය. ඒ අනුව ක්‍රි.පූ 500 පමණ කාලය වන විට ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ ලෝහ තාක්‍ෂණය සම්බන්ධ වඩා උසස් මට්ටමේ තොරතුරු හඳුනාගත හැකි බැවින් ලෝහ තාක්‍ෂණයේ ගුණාත්මක බව ඇතිව තිබූ බව ඒ අනුව පෙන්වාදිය හැකිය. එසේම අන්දරවැව ප්‍රදේශයෙන් හමුවන ලෝහ තලවලට සමාන ලෝහ තල උතුරුමැද පළාතට අයත් වාහල්කඩ පූර්ව ඓතිහාසික සුසානයෙන් හා ඉබ්බන්කටුවෙන් හා පොල්පිතිගමින් ද වාර්තා වී තිබේ.

වයඹ පළාත තුළ ප්‍රාථමික යකඩ යුගයේ ජනාවාස විශාල ප්‍රමාණයක් ස්ථානගත වීම සඳහා ස්වභාවික පරිසරය ද බලපා ඇත. එම පළාතේ ස්වභාවික පරිසරය, ඛනිජ සම්පත් හා ස්වාභාවික ඉන්ධන ව්‍යාප්තිය වඩා ඍජු ලෙස පැරණි යකඩ කර්මාන්තයට බලපා තිබේ. පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස හා ජීවනෝපාය ක්‍රමය වඩාත් සමීප වූයේ වියළි හා ශුෂ්ක කලාපවලටය (Seneviratne 1995: 15). ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත සිතියමක් ගෙන හැර දැක්වුවහොත් වයඔ පළාත හා එහි තදාශ්‍රිත ප්‍රදේශය තුළ විවිධ ඛනිජ වර්ග ස්ථානගත වන බව පෙනේ. ඒ අනුව වයඹ පළාත පුරාම පහසුවෙන් නිධිගත වී ඇති යපස් හා තෙල්ගල් පුළුල් ව්‍යාප්තියක් ගෙනහැර දක්වයි (එම). මේවා අතරින් විලගෙදර පනිරෙන්ඩාව ආශ්‍රිතව නිධිගත වී ඇති මැග්නටයිට් යපස් නිධිය තුළ ටොන් හයකට වඩා වැඩි යපස් තැන්පත්ව තිබෙන බව මේ වන විට ගණන් බලා ඇත.

මෑත දී සිදු කරන ලද භූ ගර්භ විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක සමික්ෂණ අනුව ශ්‍රී ලංකාවේ තඹ නිධිගත වී ඇති තවත් ප්‍රදේශ ලෙස සේරුවිල හා මධ්‍ය කඳුකරයේ උතුරු බෑවුමේ පිහිටි නාලන්ද ප්‍රදේශය හා විලගෙදර පණිරෙන්ඩාව හඳුනාගෙන ඇත (Seneviratne 1995:114-138).

ඒ අනුව වයඹ පළාතේ ලෝහ නිෂ්පාදනය ආශ්‍රිත ලෝහ කර්මාන්තය තාක්ෂණික ලෙස දියුණුවට පත් වු බවට සාධක ගල්ගමුව අන්දරවැව මෙගලිතික සුසානය ආශ්‍රිත ව හමුවන එම ලෝහ මෙවලම් හා එම සුසාන භූමියට ආසන්නයෙන් ලැබෙන මහා පරිමාණ ලෙස ලෝහ නිෂ්පාදනය කළ බවට හඳුනාගත හැකි ස්ථාන ආශ්‍රිතව දක්නට ලැබෙන ලෝහ බොර අනුව ද පෙන්වාදිය හැකි ය.

අදහස්