ආච්චි‍ගේ කරාබු හොර­කම් කළ කුඩු මුනු­පු­රාගේ පළිය ගත්තේ වැදූ මව­ගෙන් සහ පියා­ගෙන් | සිළුමිණ

ආච්චි‍ගේ කරාබු හොර­කම් කළ කුඩු මුනු­පු­රාගේ පළිය ගත්තේ වැදූ මව­ගෙන් සහ පියා­ගෙන්

 

කොළ­ඹට නුදුරු පදිංචි සුම­න­සිරි පනස් හැවි­රිදි සුළු ව්‍යාපා­රි­ක­යෙකි. ඔහුගේ බිරිය නයනා හත­ළිස් පස් හැවි­රිදි ගෘහි­ණි­යකි. ඔවුහු තුන්දරු මවු­පියෝ ය. වැඩි­ම­හල් පුතා මිය ගොස් ඇත. සුම­න­සිරි නිතර අස­නීප වීම නිසා ව්‍යාපාර කඩා වැටී අන්ත අස­ර­ණව සිටී. නයනා ද සන්ධි ඉදි­මීමේ රෝග­යෙන් පෙළෙයි. සුම­න­සිරි හා දරු දෙදෙනා ද නිතර විවිධ රෝග­ව­ලින් පෙළෙති. අස­නී­ප­ව­ලට වෛද්‍ය ප්‍රති­කාර ගත්තත් කිසි සුව­යක් නැත. ඊට අම­ත­රව නිවසේ රාත්‍රි­යට සද්ද බද්ද ඇහෙ­න්නට වූ අතර මහලු කාන්තා­ව­කගේ ඡායා­වක් එහා මෙහා ගමන් කරන අයුරු දැක ගන්නට ඇත. එවිට විශාල දුර්ග­න්ධ­යක් නිවස පුරා පැතිර යති. මේ අසා­මා­න්‍යතා වලට වත්පි­ළි­වෙත් කළත් ඒවා­යින් සහ­න­යක් ද නොවීය.

අන්ති­මට සුම­න­සිරි, නයනා සමඟ ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය සොයා ගෙන පැමි­ණි‍යේය. ආධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­රයා මුණ ගැසී තමන්ට එළඹ ඇති දුක් විපත් විස්තර කළේය.

ගවේ­ෂ­ක­ව­රයා ඔවුන් වෙත ශක්ති කිරණ එල්ල කරන විට දෙදෙ­නාම වෙවු­ල­න්නට වූහ. ඔවුන්ට භූත දෝෂ­යක් ඇති බව වට­හා­ගත් ගවේ­ෂ­ක­ව­රයා දින විසි එකක් ගමේ පන්ස­ලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උප­දෙස් දුන්නේය.

ඒ උප­දෙස් අනුව බෝධි පූජා නිම කොට ඔවුහු නැවත පැමි­ණි­යහ. එදින නය­නාගේ ශරී­ර­යට ආවිෂ්ට වූ භූතා­ත්ම­යක් අඬ­න්නට විය. ගවේ­ෂ­ක­ව­රයා භූතා­ත්ම­යෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරී­ර­යට ඇතු­ළු­වෙලා අඬන්නේ?” යි ඇසීය.

“මම පිය­සිලී” භූතා­ත්මය කීවාය.

“කවුද පිය­සිලී කියන්නේ?”

මේ සුම­න­සි­රිගේ අම්මා”

“මොනවා වෙලාද මැරුණේ?”

“හොඳ­ටෝම වයස් ගත වෙලා ඇ‍ඳෙන් වැටිලා මැරුණා.”

“ඇයි අඬන්නේ?”

“මගේ කරාබු කුට්ටම අර ගත්තා. ඒකයි අඬන්නේ?”

“මොන කරාබු කුට්ට­මද? කවුද ගත්තේ?”

“මම ලොකු ළම­යෙක් වෙලා දොරට බැහැපු දවසෙ මගේ අම්මා මගේ කනට දාපු කරාබු කුට්ටම. රත්ත­රන් පවුම් බාගෙක කරාබු කුට්ටම. ඒක මම ලෙඩ ඇ‍ඳේ ඉන්දැද්දි හොර කුඩ්ඩා මගේ බෙල්ල මිරි­කලා කන් දෙකෙන් ගලවා ගෙන ගියා.”

“ඒ මොක­ටද?”

“කුඩු ගහන්න. කුඩු ගහන්න. ඒ නැතුව වෙන මොක­ටද?”

“කවුද හොර කුඩ්ඩා කියන්නේ?”

“මේ සුම­න­සි­රිගේ ලොකු පුතා. ඌට ගමේ හැමෝම කිව්වේ හොර කුඩ්ඩා කියලා. ගෙදර තිබුණ මන්නය පිහිය පවා මූ හොරෙන් අර­ගෙන ගිහින් විකුණ ගත්තා. අහල පහල ගෙව­ල්වල වේළෙන්න දාල තිබුණු ඇඳුම් පවා හොර­කම් කළා. කාල­කන්නි පෙරේ­තයා. වල් බල්ලා. මගේ කරාබු කුට්ට­මත් ගලවා ගත්තා.”

“ඒ කොහො­මද කියන්න.”

“මහ­ත්තයා එත­කොට මගේ වයස අවු­රුදු අනූ­හ­යයි. මම අස­නී­පෙන් දුර්ව­ලව ඉන්දැද්දි මගේ කාම­ර­යට ඇවිත් මගේ කට වහලා බෙල්ල මිරි­කලා මර­න­වැයි කියලා කනේ තිබුණු කරාබු දෙක ගලවා ගෙන ගියා. මම දඟ­ලලා ඇ‍ඳෙන් වැටුණා. ඒකෙන් මැරුණා. මම මැරුණෙ වෛර­යෙන්. මැරිලා මුන්ගෙන් දැන් පළි­ග­න්නවා.”

“දැන් හොර­කුඩ්ඩා කොහෙද?”

“මම මැරිලා ඌව හොයා­ගෙන ගිහින් පාරෙ යන වාහ­න­ය­කට තල්ලු කළා. ඌ බෙල්ල කැඩිලා මළා. මැරි­ලත් පෙරේ­ත­යෙක් වෙලා උපන්නේ ඔළුව නැතුව.”

“ඉතින් කුඩ්ඩා­ගෙන් නේද පළි­ගන්න ඕනෑ.”

“උගෙන් පළි ගත්තා. වාහ­නේට තල්ලු කරලා මැරුවා. කුඩු­ව­ලින් පිස්සු හැදුණු ඌ උප­න්නෙත් ඔළුව නැතුව. දැන් ඌ පාරෙ යන වාහ­න­වල හැපි හැපි දුක් විඳි­නවා. ඒ දඬු­වම ඌට ඇති.”

“ඉතින් මේ පුතා­ගෙ­නුයි ලේලි­ගෙ­නුයි පළි­ගන්නේ මොක­ටද?”

“මේ නයනා ඌව වැදු­වට. සුම­න­සිරි ඌව හැදු­වට. මේ සමා­ජ­යට හානි කර කුඩ්ඩෙක් හැදු­වට දඬු­වම් කර­නවා. ඌව පොලි­සි­යට අල්ලලා දුන්නේ නෑ. මගේ කරාබු දෙක ‍හොරකම් කළාට. ඒකයි මුන්ගෙන් පළි ගන්නේ.”

“දැන් පළි­ගත්තා ඇති. ඔබ ඔය ප්‍රේතා­ත්ම­යෙන් මිදී ඉහළ තල­ය­කට යන්න.”

“එත­කොට මගේ කරාබු කුට්ටම?”

ප්‍රේතිය කරාබු කුට්ටම කෙරෙහි ආසාව උපා­දාන කැර ගෙන සිටින බැවින් නය­නාගේ දෙක­න්වල පැළඳු රත්රන් කරාබු කුට්ටම විකුණා ඒ මුද­ලෙන් පන්ස­ලට දාන­යක් පිරි­නමා මිය­ගිය මවට පින් අනු­මෝ­දන් කර නැවත එන්නැයි නියම කළේය.

පින්කම් නිමවා පැමිණි දිනයේ නය­නාට ප්‍රේතිය ආවිෂ්ට වී “මම යනවා. මම යනවා. මේ දෙන්නාට ක‍රදර නොකර මම යනවා” යි කීවාය.

“කොහේද යන්නේ?”

“කුඩු කාර­ය­න්ගෙන් පළි­ගන්න යනවා. දැක්ක දැක්ක තැන කුඩු කාර­ය­න්ගෙන් පළි­ගන්න යනවා” යි ප්‍රේතිය ඉවත්ව ගියාය.

අදහස්