කොළඹට නුදුරු පදිංචි සුමනසිරි පනස් හැවිරිදි සුළු ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිය නයනා හතළිස් පස් හැවිරිදි ගෘහිණියකි. ඔවුහු තුන්දරු මවුපියෝ ය. වැඩිමහල් පුතා මිය ගොස් ඇත. සුමනසිරි නිතර අසනීප වීම නිසා ව්‍යාපාර කඩා වැටී අන්ත අසරණව සිටී. නයනා ද සන්ධි ඉදිමීමේ රෝගයෙන් පෙළෙයි. සුමනසිරි හා දරු දෙදෙනා ද නිතර විවිධ රෝගවලින් පෙළෙති. අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් කිසි සුවයක් නැත. ඊට අමතරව නිවසේ රාත්‍රියට සද්ද බද්ද ඇහෙන්නට වූ අතර මහලු කාන්තාවකගේ ඡායාවක් එහා මෙහා ගමන් කරන අයුරු දැක ගන්නට ඇත. එවිට විශාල දුර්ගන්ධයක් නිවස පුරා පැතිර යති. මේ අසාමාන්‍යතා වලට වත්පිළිවෙත් කළත් ඒවායින් සහනයක් ද නොවීය.
අන්තිමට සුමනසිරි, නයනා සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියේය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති දුක් විපත් විස්තර කළේය.
ගවේෂකවරයා ඔවුන් වෙත ශක්ති කිරණ එල්ල කරන විට දෙදෙනාම වෙවුලන්නට වූහ. ඔවුන්ට භූත දෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
ඒ උපදෙස් අනුව බෝධි පූජා නිම කොට ඔවුහු නැවත පැමිණියහ. එදින නයනාගේ ශරීරයට ආවිෂ්ට වූ භූතාත්මයක් අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා අඬන්නේ?” යි ඇසීය.
“මම පියසිලී” භූතාත්මය කීවාය.
“කවුද පියසිලී කියන්නේ?”
මේ සුමනසිරිගේ අම්මා”
“මොනවා වෙලාද මැරුණේ?”
“හොඳටෝම වයස් ගත වෙලා ඇඳෙන් වැටිලා මැරුණා.”
“ඇයි අඬන්නේ?”
“මගේ කරාබු කුට්ටම අර ගත්තා. ඒකයි අඬන්නේ?”
“මොන කරාබු කුට්ටමද? කවුද ගත්තේ?”
“මම ලොකු ළමයෙක් වෙලා දොරට බැහැපු දවසෙ මගේ අම්මා මගේ කනට දාපු කරාබු කුට්ටම. රත්තරන් පවුම් බාගෙක කරාබු කුට්ටම. ඒක මම ලෙඩ ඇඳේ ඉන්දැද්දි හොර කුඩ්ඩා මගේ බෙල්ල මිරිකලා කන් දෙකෙන් ගලවා ගෙන ගියා.”
“ඒ මොකටද?”
“කුඩු ගහන්න. කුඩු ගහන්න. ඒ නැතුව වෙන මොකටද?”
“කවුද හොර කුඩ්ඩා කියන්නේ?”
“මේ සුමනසිරිගේ ලොකු පුතා. ඌට ගමේ හැමෝම කිව්වේ හොර කුඩ්ඩා කියලා. ගෙදර තිබුණ මන්නය පිහිය පවා මූ හොරෙන් අරගෙන ගිහින් විකුණ ගත්තා. අහල පහල ගෙවල්වල වේළෙන්න දාල තිබුණු ඇඳුම් පවා හොරකම් කළා. කාලකන්නි පෙරේතයා. වල් බල්ලා. මගේ කරාබු කුට්ටමත් ගලවා ගත්තා.”
“ඒ කොහොමද කියන්න.”
“මහත්තයා එතකොට මගේ වයස අවුරුදු අනූහයයි. මම අසනීපෙන් දුර්වලව ඉන්දැද්දි මගේ කාමරයට ඇවිත් මගේ කට වහලා බෙල්ල මිරිකලා මරනවැයි කියලා කනේ තිබුණු කරාබු දෙක ගලවා ගෙන ගියා. මම දඟලලා ඇඳෙන් වැටුණා. ඒකෙන් මැරුණා. මම මැරුණෙ වෛරයෙන්. මැරිලා මුන්ගෙන් දැන් පළිගන්නවා.”
“දැන් හොරකුඩ්ඩා කොහෙද?”
“මම මැරිලා ඌව හොයාගෙන ගිහින් පාරෙ යන වාහනයකට තල්ලු කළා. ඌ බෙල්ල කැඩිලා මළා. මැරිලත් පෙරේතයෙක් වෙලා උපන්නේ ඔළුව නැතුව.”
“ඉතින් කුඩ්ඩාගෙන් නේද පළිගන්න ඕනෑ.”
“උගෙන් පළි ගත්තා. වාහනේට තල්ලු කරලා මැරුවා. කුඩුවලින් පිස්සු හැදුණු ඌ උපන්නෙත් ඔළුව නැතුව. දැන් ඌ පාරෙ යන වාහනවල හැපි හැපි දුක් විඳිනවා. ඒ දඬුවම ඌට ඇති.”
“ඉතින් මේ පුතාගෙනුයි ලේලිගෙනුයි පළිගන්නේ මොකටද?”
“මේ නයනා ඌව වැදුවට. සුමනසිරි ඌව හැදුවට. මේ සමාජයට හානි කර කුඩ්ඩෙක් හැදුවට දඬුවම් කරනවා. ඌව පොලිසියට අල්ලලා දුන්නේ නෑ. මගේ කරාබු දෙක හොරකම් කළාට. ඒකයි මුන්ගෙන් පළි ගන්නේ.”
“දැන් පළිගත්තා ඇති. ඔබ ඔය ප්‍රේතාත්මයෙන් මිදී ඉහළ තලයකට යන්න.”
“එතකොට මගේ කරාබු කුට්ටම?”
ප්‍රේතිය කරාබු කුට්ටම කෙරෙහි ආසාව උපාදාන කැර ගෙන සිටින බැවින් නයනාගේ දෙකන්වල පැළඳු රත්රන් කරාබු කුට්ටම විකුණා ඒ මුදලෙන් පන්සලට දානයක් පිරිනමා මියගිය මවට පින් අනුමෝදන් කර නැවත එන්නැයි නියම කළේය.
පින්කම් නිමවා පැමිණි දිනයේ නයනාට ප්‍රේතිය ආවිෂ්ට වී “මම යනවා. මම යනවා. මේ දෙන්නාට කරදර නොකර මම යනවා” යි කීවාය.
“කොහේද යන්නේ?”
“කුඩු කාරයන්ගෙන් පළිගන්න යනවා. දැක්ක දැක්ක තැන කුඩු කාරයන්ගෙන් පළිගන්න යනවා” යි ප්‍රේතිය ඉවත්ව ගියාය.